This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
අම්මා වෙනුවෙන් විලියම් සහ හැරී ගිය රහස් ගමන

සුන්දර ඩයනා කුමරියගේ ලිපි කීපයක් ඇමෙරිකාවේදී ඇගේ පෙම්වතකු වූ ජේම්ස් හෙවිට් විසින් වෙන්දේසි කිරීම නිසා බි්‍රතාන්‍ය රජ පවුලට සිදු වුණු කැළැලක් ගැන ලිපියක් අපි පසුගිය කලාපයක පළ කළා. ඒ ලිපිය හා බැඳුණු අලුත් ප්‍රවෘත්තියක් මේ දවස්වල අන්තර්ජාලය පුරා පැතිරෙමින් පවතිනවා. ජේම්ස් හෙවිට් විසින් ඩයනා කුමරිය සහ පුංචි විලියම් කුමරු 1988 වසරේදී තමාට ලියූ ලිපි කීපයක් ඇමෙරිකාවේ පැවැත්වුණු වෙන්දේසියක දී අධික මිලකට වෙන්දේසි කර තිබුණා. හෙවිට් එක් ලිපියකට ලබාගත් මුදල පවුම් ලක්‍ෂ ගණනක් බවට වාර්තා වුණා. මේ සිදුවීමත් සමඟම ඩයනාගේ පුතුන් දෙදෙනා වන විලියම් සහ හැරී කුමරුවන් දෙදෙනා බොහොම කනගාටුවට පත් වෙලා තිබුණා. තමන්ගේ අම්මා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම යුතුකම කරන්න මේ දෙන්නා තීරණය කර තිබුණේ ඒ සිදුවීම ගැන ආරංචි වුණු මොහොතේදීමයි.

විලියම් සහ හැරී තමන්ගේ මව වෙනුවෙන් මේ යුතුකම ඉටු කරන්න බොහොම රහසින් ඇමෙරිකාව බලා ගොස් තිබුණා. එහිදී ඉතාම රහසිගතව ජේම්ස් හෙවිට් හමුවූ කුමාරවරු දෙදෙනා හෙවිට් ළඟ ඇති ඩයනා විසින් ලියූ ලිපි සියල්ල ඉතා විශාල මුදලක් ගෙවා ලබා ගැනීමට තීරණය කර තිබුණා. ඒ විතරක් නෙවෙයි කලින් කී වෙන්දේසියේදී එම ලිපි මිලදී ගත් පුද්ගලයන් හමුවී ඔවුන් ගෙව්වා වූ මිල මෙන් තුන් ගුණයක මිලක් ගෙවා ඒවා නැවැත තමන් වෙත ලබා ගැනීමට ඔවුන් දෙදෙනා වෙන්දේසිකරුවන් එකඟ කර ගත් බවත් සඳහන් වෙනවා. මෙම ගනුදෙනුව පිළිබඳ මූලික වටයේ සාකච්ඡා සිදු කර තිබුණේ ඉතා රහසිගතව සිදු වූ හමුවීමකින්. ඉන් පසු ඔවුන් දෙවැනි වතාවේ සිදු කළ සාකච්ඡාවෙන් පසු වෙන්දේසිකරුවන් ගනුදෙනුව සිදු කිරීමට එකඟ වී තිබුණා.

සති දෙකක් තුළ ඉහත කී ලිපි 64ක් රජ පවුල විසින් එවන ලද විශේෂ නියෝජිතයකු අත ඇමෙරිකාවේ සිට බි්‍රතාන්‍ය බලා එවීමට නියමිතව තිබෙනවා. මෙම ලිපි වෙනුවෙන් විලියම් සහ හැරී සිය පෞද්ගලික ධනයෙන් පවුම් මිලියන 22කට අධික මුදලක් ගෙවීමට එකඟ වී ඇති බවට ද නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම සිදුවීම පිළිබඳ වෙබ් අඩවි ඔස්සේ දැනුවත් වූ බි්‍රතාන්‍ය වැසියන් කුපිත වී ඇති බවද සඳහන් වෙනවා. ඒ අය නම් කියන්නේ මේ වෙනුවෙන් ගෙවන සම්පූර්ණ මුදල බි්‍රතාන්‍ය භාණ්ඩාගාරයෙන් මිස රජ පවුලේ ධනයෙන් වියදම් කරනවා කියලා කොහෙත්ම පිළිගන්න බැහැ කියලයි. කොහොම වුණත් මේ අතරින් තවමත් ඩයනා කුමරියට ආදරය කරන පිරිස විලියම් සහ හැරීගේ ක්‍රියාව එක සිතින්ම අනුමත කරනවා. කුමරුවන් දෙදෙනා අම්මා වෙනුවෙන් කළ යුතුකම මුළු ලෝකෙටම ආදර්ශයක් විදියටත් ඔවුන් සලකනවා.

මව්බිම