🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

කලාකරුවා සිටින්නෙ දේශපාලකයන්ට වඩා ඉහළින්


අප ජීවත් වෙමින් ඇත්තේ මහා කලා සම්ප්‍රදායන් විහීන සමාජයකය. එවැනි සමාජ වටපිටාවක විදග්ධ කලාවක් ප්‍රාර්ථනා කරන, ඒ වෙනුවෙන් අපේක්ෂා සහගතව කැපවන, අරගල කරන පෞරුෂවත් මිනිස්සු විරලව හමුවෙති. බුද්ධදාස විතානාරච්චි මේ සමාජ වටපිටාවේ දී හමුවන එවැනි දුලබ කලාකරුවෙකි.යහපත් කලාවක නිර්මිතයක් වූ සුවපත් සමාජයක් වෙනුවෙන් මනා සංයමයකින් හා එළඹි සිහියෙන් යුතුව පුරා දශක පහක් නිර්මාණකරණයේ යෙදෙන මේ පෞරුෂවත් රංගවේදියාගේ භාවපූර්ණ රූපණ විලාසය, මෙන්ම හඬ පෞරුෂය යුග දෙකක් පුරා මේ රටේ විදග්ධ ප්‍රේක්ෂකයා සහ රසිකයා ආකර්ෂණය කළේය. මේ අවකාශය වෙන් කරන්නේ බුද්ධදාස විතානාරච්චි නමැති ඒ ප්‍රභූ කලාකරුවා හා කෙරෙන පිළිසඳර වෙනුවෙනි.
මා උපන්නෙ කෑගල්ලෙ. මගෙ ගම්පළාත තියෙන්නෙ කෑගලු දිසාවේ. ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවෙ ගමේ පාසලේ. ද්විතියික අධ්‍යාපනය කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ. මා කලා ජීවිතයට ඇතුළු වුණේ පාසල් වකවානුවෙදීම තමයි. කුඩා අවධියේ පටන්ම කථනය, රූපණය මෙන්ම චිත්‍ර ඇඳීමේ සහජය මා තුළ තිබුණා. එය වැඩි වර්ධනය වෙන්න අවශ්‍ය පරිසරය, ගුරුවරුන්ගේ මඟ පෙන්වීම පාසල් පරිසරය තුළ තිබුණා. මා නිල වශයෙන් ජාතික තලයේ වැඩවලට සම්බන්ධ වෙන්නේ හැත්තෑවෙ දශකය මුල දී මගේ වෘත්තිය වෙනුවෙන් කොළඹට ආවට පස්සේ. කලාව වෘත්තියක් ලෙස නොපැවතුන වටපිටාවක කලාව හුදු විනෝදාංශයක්, බාහිර සංස්කෘතික ක්‍රියාකාරකමක් කරගත් අපේ පරම්පාරාවේ ශිල්පීන් කොළඹට එකතුවෙන්නෙ ස්වකීය ජීවන වෘත්තීන් වෙනුවෙන්. හෙන්රි ජයසේන, ධම්ම ජාගොඩ වැනි ජ්‍යෙෂ්ඨ ශිල්පීනුත් එහෙමයි. කොළඹට පැමිණි මා නාට්‍ය හා රංගකලාව හදාරන්න ලයනල්වෙන්ට්ඩ් රංග කලා ශාලිකාවේ. ඉන් අනතුරුවයි වේදිකාව, සිනමාව හා ටෙලිවිෂන් සඳහා නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ.
බුද්ධදාස විතානාරච්චිගේ රංගනය තුළ ප්‍රේක්ෂක අප දුටු දෙයක් තිබිණි. ඒ දැඩි විනයකින් යුතුව රංගනය සඳහා චරිත තෝරා ගැනීමය. ඔහු විසින් තෝරාගනු ලබන චරිතය සමාජ කථිකාවක් නිර්මාණය කෙරෙන තරමේ තියුණු ස්වාභාවයකින් රූපණය කිරීමය. 'දඬුබස්නාමානයේ' ඔහුගේ රූපණ ප්‍රභාව අප අත්වින්දේ දරුවන් ලෙසිනි. ඒ මතකය තවමත් සජීවීය.

අධ්‍යක්ෂවරයා චරිතයක් රූපණයට මා සුදුසුයි කියලා තීරණය කළ පසු පිටපත බලලා මා මේ වැඩේට සුදුසු ද නැද්ද කියලා මා විසින්ම තීන්දු කරනවා. මේ තෝරා ගැනීමේ දී මගේ ප්‍රමුඛ නිර්ණායකයක් තමයි ඒ චරිතය කතාවේ මුඛ්‍ය පරමාර්ථ හා බද්ධ වෙනව ද, කතාව තුළ චරිතය වැදගත් ද කියන කාරණාව. චරිතයක් ප්‍රබල ලෙස නිරූපණය කළ හැකි නම් මා ඊට වඩාත් කැමතියි. එවැනි චරිත ඉස්සර තිබුණා. දැන් එවැනි චරිත නිරූපණය කරන්න ඇති අවස්ථා අඩුයි.

ඒකාකාරී රස මැරුණු නිර්මාණ යළි යළිත් ටෙලි නාට්‍යය ලෙස බහුලව එළි දකින්නේ ඇයි? ප්‍රේක්ෂක අපට ඇති ප්‍රශ්නය ඔහුට යොමු කළෙමි. ඒ පිළිතුර තාර්කිකය.

වේදිකා නාට්‍ය කලාවක්. එය කර්මාන්තයක් නොවෙයි. නමුත් සිනමාව කියන්නෙ, ටෙලි නාට්‍යය කියන්නෙ, විශාල තාක්ෂණික පරාසයක් තුළ විහිදෙන කර්මාන්තයක්. ඒ වගේම එය ව්‍යාපාරයක්. නිර්මාණවල ගුණාත්මක බව තීරණය වෙන්න කර්මාන්තයේ ස්වරූපය මෙන්ම ව්‍යාපාරික ස්වරූපයත් බලපානවා .

ඒ කියන්නෙ සිනමා නිර්මාණයකට, ටෙලි නිර්මාණයකට බරපැන දැරීම ආයෝජනයක්. හොඳ නිර්මාණයකට හොඳ ප්‍රාග්ධනයක් යෙදවෙන්න ඕන. එය වියදම් කරන්න ඕන. වියදම් කළ විදිහට එය අලෙවි කරගත හැකි ද, ඉන් ප්‍රතිලාභයක් ලැබෙනව ද යන්න නිෂ්පාදකයා කල්පනා කරනවා. මේ අනුව අප තේරුම් ගන්න ඕන කර්මාන්තයේ ව්‍යාපාරික ස්වරූපය තමයි නිර්මාණයක ගුණාත්මක භාවය කලාත්මක හැඩය තීන්දු කරන්නේ. එවැනි ආයෝජන සිද්ධ වෙන්නෙ නැති තැන සිනමා හෝ ටෙලි කර්මාන්තය තුළ උසස් නිර්මාණ බිහි වෙන්න තිබෙන ඉඩකඩ අඩුයි...

බොහෝ ප්‍රවීණයන් තුළ ඇත්තේ තරුණ පරම්රාවේ රසහීන බව පිළිබඳ, දැක්මකින් තොර අවරගණයේ චින්තන පිළිබඳවන විවේචනයකි.

ඔහු නව පරපුර දකින ආකාරය ගැන විමසුවෙමි. පුළුල් දැක්මක් සහිත පැසුණු කලාකරුවකුගේ මැදහත් චින්තන ස්වරූපය ඔහු දුන් පිළිතුරෙහි ගැබ් වී තිබිණි. අපේ රටේ පමණක් නොවෙයි, ලෝකය බැලුවත් තරුණ පරම්පාරව හරිම දියුණුයි. පෙර පරම්පරාවට වඩා ඔවුන්ට දැනුම ලබා ගන්න ක්‍රම තිබෙනවා. සමහර විට ඒ වකවානුවේ ඒ දැනුම ලබා ගන්න වෙන්නෙ ශිෂ්‍යත්වයක් රැගෙන ඒ රටවලට ගිහින්. ඕනෑම සමාජයක තරුණයින්ගේ චින්තනය නැවුම්. රුචිකත්වය ආකල්ප වෙනස්. තර්කනය වෙනස්. මා ඔවුන් අවතේක්සේරු කරන්නෙ නෑ. පරම්පරා දෙකක් අතර වෙනසක් තිබෙනවා. එයට හේතුව එකිනෙකාට ලැබෙන අවස්ථා හා පරිසරයේ වෙනස. එය වටහා ගන්න පුළුවන් නම් මේ ගැටලුව ඇති වෙන්නෙ නෑ." එසේ පවසමින් ඔහු පෙන්වා දෙන්නේ මේ රටේ නිර්මාණකරුවන් පොදුවේ මුහුණ දී ප්‍රායෝගික යථාර්ථය ගැනය. අපේ රටේ ස්වරූපය තමයි නිර්මාණකරුවන්ට කිසි කලෙක සාධාරණ ඇගයීමක් නොලැබීම. එක්කො සංස්කෘතික වශයෙන් සිය නිර්මාණ ප්‍රවර්ධනය කරන්න රජයෙන් පහසුකම් සැලසෙන්නෙ නෑ. ප්‍රතිපාදන වෙන් වෙන්නෙ නෑ. ඒත් ලෝකයේ හොඳ සංස්කෘතික සමාජයන්හි විශාල පිරිවැයක් ඒ සඳහා දරනවා. මේ වගේ පසුබිමක රටේ තිබෙන සමාජ ආර්ථික දේශපාලනික ගැටලුවටත් වර්තමාන පරම්පරාවට මුහුණ දෙන්න සිදු වෙනවා .

කලාකරුවෙක් ලෙස සමාජීය වගකීම ඔබෙන් ඉටු වුණා යැයි ඔබට තෘප්තිමත් විය හැකි ද? ඔහු මඳක් නිහඬ වී සිට පිළිතුරු දුන්නේය.

වේදිකා නාට්‍යයක රූපණය කළ චරිත හරහා කළෙත් ඒ මතවාදය සමාජගත කිරීම. එය සමාජයට සන්නිවේදනය වුණා ද ග්‍රහණය වුණා ද යන කාරණය මතයි අවසායේදී සාර්ථක ද අසාර්ථකද යන්න පිළිබිඹු වන්නේ. නිදර්ශනයක් වශයෙන් මා රූපවාහිනී වැඩසටහන් ඔස්සේ 'සුබ උදෑසනක්' වෙනුවට 'ආයුබෝවන්' කියන්න පුරුදු කළා. එය සමාජගත වුණා. දැන් සුපිරි වෙළෙඳසලකට, බැංකුවකට ගියත් කියන්නෙ 'අයුබෝවන්' කියලා. දැන් ඒවා අකාමකා යන ස්වරූපයක් තිබෙනවා. දැනුමක් ආකල්පයක් ගැඹුරක් නැති පුද්ගලයන් මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් වුණාම එහෙම දේවල් වෙනවා. අපි මතවාද ගොඩනැඟුවට වැඩක් නෑ ඊළඟ පරම්පරාව ඒවා පවත්වා ගත්තෙ නැතිනම්. සංස්කෘතියක් පවතින්න එය අධ්‍යාත්මිකව පුද්ගල බද්ධ විය යුතුයි.

කතාව මඳක් වෙනස් මානයකට රැගෙන යන්නට සිතුවෙමි. ප්‍රියයන් වෙසෙන දුරු රටට නොයා මේ පොළොවේ තවමත් ජීවත්වන බුද්ධදාසයන්ගේ පවුලේ වත ගොත ඇසීමට මා රුචි විය.

මගෙ මුළු පවුලම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. මට ඉන්නවා දුවලා දෙන්නෙක් හා පුතෙක්. ලොකු දුව ප්‍රියංවදා කලා කටයුතුවලට සමබන්ධ නෑ...පොඩි දුව සුලෝචනා ලංකාවේ දී වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍යවල රංගනයෙන් සහ රූපවාහිනී නිවේදිකාවක් ලෙසත් කටයුතු කළා. ඔස්ටට්‍රේලියාවේ සිටත් ඇය එවැනි කටයුතුවලට සම්බන්ධ වුණා. පුතා සිද්ධාර්ථ. ඔහු ලංකාවේ දී රූපවාහිනී සංස්ථාවේ නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කළා. රූපවාහිනී වැඩසටහන්වලට ඔහු සම්මානත් ලබා ගත්තා.

මගේ බිරිය සීතා ලාලනී හේමමාලා. පාසැල් වියේ මුණ ගැසුණු මගෙ පළමු පෙම්වතිය. ඇය වෘත්තීය වශයෙන් මාණ්ඩලික හෙදි නිලධාරිනියක් ලෙස පටන් ගෙන විශ්‍රාම ගියේ විවෘත විශ්වවිද්‍යාලයේ හෙද විද්‍යා අංශ ප්‍රධානි ලෙස. පසුව ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වන "කාට්සු ඉන්ටර්නැෂනල් " හී හෙද විද්‍යාංශයේ ප්‍රධානී ලෙස කටයුතු කළා. කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා සරසවියෙන් හෙද විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ගත්තා. මේ දිනවල ඇය විශ්‍රාමිකව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්වල දරු මුනුපුරන් සමඟ කාලය ගත කරනවා.

කෞෂල්‍යා, කේතකී හා නව්‍යා, නමින් මිනිබිරියන් තිදෙනෙක්, සපුමල්, නවිඳු රාහුල්, අචින්ත්‍ය රාවන් නමින් මුනුපුරන් තිදෙනෙක් වශයෙන් ඇයට මුනුපුරු මිනිබිරියන් 6 දෙනකු සිටිනවා. රුක්මන් හා උදය ඇගේ බෑනලා වන අතර ඇගේ එකම ලේලිය කාන්චනායි. ඔහු පවසන්නේ මුහුණ පුරා ඇඳි ගිය ආදරණීය සිනහවකින් යුතුවය.

කලාකරුවකුගේ දේශපාලනය කුමක් විය යුතුදැයි අසන්නට සිතුණේ බුද්ධදාස විතානාරච්චි යනු මනුෂ්‍යයාගේ පැත්තේ සිටගෙන දේශපාලන භාවිතය තේරූ කලාකරුවෙක් බව දැන සිටි බැවිනි.

මනුෂ්‍යයා ස්වභාවයෙන්ම දේශපාලනිකයි. දේශපාලනය කියන්නෙ මිනිසාගේ භෞතික සංස්කෘතික ලෞකික අවශ්‍යතා ඉටුකර ගැනීමේ අතිශය පුළුල් ක්‍රියාදාමයක්. නමුත් මේ සමාජයේ දේශපාලනය කී හැටියෙම මතුවෙන්නෙ පක්ෂ දේශපාලනයක්.

එතැනදී සමාජීය මිනිසුන් ලෙසත් දේශපාලකයන් ලෙසත් අප ඉන්නෙ බොහොම පසුගාමී තැනෙක. තමන් විසින් පත්කරගත් තම බදු මුදලින් නඩත්තුවන දේශපාලකයාට සලකන්නෙ වැඩවසම් සමාජයේ රදල ප්‍රභූවරුන්ට ප්‍රවේණි දාසයා සැලකූ විදිහට. එහෙම දේශපාලනයකට කලාකරුවන් යා යුතු නෑ.

කලාකරුවෙක් කියන්නේ මුළු මහත් ජාතියේම ගෞරවයට පාත්‍රවන කෙනෙක්. එවැනි කලාකරුවෝ අපට ඉන්නේ අතළොස්සයි. ඔවුන් පක්ෂවලට බෙදී දේශපාලනයට නොයා යුතුයි. කලාකරුවා සිටින්නෙ දේශපාලකයන්ට වඩා ඉහළින්.

හැම දෙයින්ම ඈත්ව ඔබ විවේකී සුවයක ද ඉන්නෙ.“අවසන් වශයෙන් විමසුවෙමි. ඔහුගේ සිනහව වියැකී යනු පෙනුණි.

මට දැන් කරන වැඩවලින් තෘප්තියක් නෑ. ඒ බොහෝමයක් හෘදයාංගම නෑ. මා වැඩ කළේ අධ්‍යාත්මික තෘප්තියකින්. ඉඳ හිට හොඳ වැඩක් ආවොත් කරනවා. මම ජීවත් වෙන්න කලාව කරනවා නොවෙයි. එය නැතිවීම මට ජීවත් වීමට බාධාවකුත් නොවෙයි. රංගනයෙන් මා සුලබව දකින්නෙ නැති වුණාම මම නෑ යන අදහස සමාජයට එනවා. එහෙත් මේ මොහොතේදී පවා මම නාට්‍ය 7කට සම්බන්ධයි.

මා විවේක ගන්නෙවත් විශ්‍රාම යන්නෙත් නෑ. කලකිරීමකුත් නෑ...ශාරීරිකව මානසිකව ස්ථාවර නම් අවුරුදු සීයයක් ගියත් ඒ වයසේ දී පවා කරන්න චරිත රංගන ශිල්පියකුට තිබෙනවා. රංග ශිල්පියකු සතු වාසනාව එයයි.

ඔහු කියන්නේ පෙර අප ආශක්ත කළ පෞරුෂවත් හඬිනි. ජනතාවාදීව හැඩ ගැසුණු සවිමත් දේශපාලන දෘෂ්ටියක් සහිත කලාකරුවෙක් වියපත් වන්නේවත් කලාවෙන් ප්‍රතික්ෂේප වන්නේවත් නැත. බුද්ධදාස විතානාරච්චි අපට කියා දෙන්නෙ ද ඒ සත්‍යයයි.
උපුටා ගැනීම saaravita.lk