🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

''කෙදිනක හෝ වටිනාකමක් ඇතිව කියවන්න මගේ කතාව ලියැවෙයි'' - දිල්හානි ඒකනායක

දිල්හානි ඒකනායක යනු අමුතුවෙන් හඳුන්වා දිය යුතු නිරූපණ ශිල්පිනියක නොවේ. දේදුන්නෙන් සමනලියක් චිත්‍රපටය තිරගත වී එක් රැයකින් තරුවක් වූ ඇය අදටත් නොනිමී දැල්වෙන තරුවකි.

Covid-19 තත්ත්වය නිසා මේ දවස් විවේක සුවයෙන් ද පසුවෙන්නෙ?
කොවිඩ් නැති කාලෙත් මං විවේක සුවයෙන් හිටියා. වැඩක් භාර ගත්තත් මං කවදාවත් විවේකය නැති කර ගත්තෙ නැහැ. විවේකයත් එක්ක මං වැඩ කරන කෙනෙක්. කොළඹින් පිට ගියා ම නතර වෙලා ආවත්, කොළඹ වැඩ කරද්දි වැඩ කරන දවස් මැද විවේකයක් ගන්නවා. රඟපෑම කියන්නෙ මානසික සුවයෙන් කරන්න ඕන රැකියාවක්. වදයක් නොවෙන විධියට විවේකයෙන් මං වැඩ කරන කෙනෙක්.

සිනමාවෙන් ජනප්‍රිය වුණු කෙනෙක් විධියට එදා සිනමාව තිබුණු තැන සහ අද සිනමාව තිබෙන තැන ගැන මොන වගේ හැඟීමක් ද තිබෙන්නේ?
සිනමාව විතරක් නෙවෙයි මේ රටේ මොන දේ ද අද සාර්ථක කියන එකයි ප්‍රශ්නය. අපේ රටේ මොන පද්ධතිය ද එහෙමත් නැත්නම් මොන ආයතනය ගැන ද මිනිස්සු තෘප්තිමත් කියලා කියන්න. මේ තත්ත්වය තියෙන්නෙ කොරෝනා නිසා ම නෙවෙයි. රට ඇතුළෙ තියෙන්නෙ හරි ම පීඩාකාරි ස්වභාවයක්. හැම දවසක ම, හැම මාසයක ම ප්‍රශ්න. දැන් මිනිස්සු අරගල කරන්නෙ කන්න ටික හොයා ගන්න මිසක චිත්‍රපටයක් බලන්න ටිකට් එකක් ගන්න සල්ලි වියදම් කරන්න නෙවෙයි.

අද මිනිස්සුන්ට තමන්ගෙ ආස්වාදය විඳින්න පුළුවන් එක ම තැන රූපවාහිනිය බවට පත්වෙලා. 90%ක් ම අද රූපවාහිනියට ඇබ්බැහි වෙලා ඉවරයි. නැවත සිනමා පට නරඹන්න ප්‍රේක්ෂකයෝ පෙළඹෙන්න නම් ප්‍රචාරණය වෙනුවෙන් ලොකු වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනෑ. එහෙම නැතුව වෙනසක් කරන්න හිතන්න අමාරුයි. ඇත්තට ම එදා සහ අද සංසන්දනය කළා ම එදා අපිට තිබුණු සැහැල්ලුව වෙනුවට අද තිබෙන්නෙ පීඩනයක්.

ඒ දවස්වල 'තරු' කියලා හැඳින්නුවෙ ඇත්තට ම කලාවෙ දිදුලපු අයව වුවත් අද කවුරුවත් ම නොදන්න අයවත් බොහෝ මාධ්‍යවලින් 'තරු' විධියට හැඳින්වීම ගැන ඔබේ අදහස ගැන දැනගන්න කැමැතියි?
අලුත් අය අතරත් හොඳට රඟපාන තරු ගුණාංග තිබෙන අය ඉන්නවා. ඒ වගේ ම රඟපාන්නෙ නැතිව අතිදක්ෂ විධියට අනියම් දේවල්වලින් උඩට එන්න පෙළඹිලා ඉන්න අයත් ඉන්නවා. කිසිවක් නොකර මොනා හරි කරලා TV එකේ බැබළෙන්න කැමති, ආන්දෝලනාත්මක පුවත් මවන අයවත් සමහරු තරු කියලා හඳුන්වනවා. අද මේ තියෙන්නෙ හොඳ දේ යට ගිහින් නරක දේ ඉහළට යන කාලයක්. ඇත්ත යට ගිහින් බොරුව උඩට එන කාලයක් අපි මේ පහුකරමින් යන්නෙ. 

සොබාදහම වැඩි කාලයක් නොගෙන මේවට උත්තර දෙයි. වැරදිකාර මිනිස්සු රත්වුණු හට්ටිය ඇතුළෙ නටනවා. එයාලට නටන්න සොබාදහම ටික කාලයක් දෙයි. ප්‍රභාකරන්ටත් අවුරුදු 30ක් දුන්නනෙ. ඉවසීමෙන්, උපේක්ෂාවෙන් සත්‍යවාදීව කටයුතු කළ යුතුයි කියන තැනයි මම ඉන්නෙ. මේ සියල්ල හදන්න පුළුවන් සොබාදහමට විතරමයි. එයා ඒක හරි ලස්සනට කරයි.

ඔබට අනුව වර්තමානයේ සිනමාවේ දක්ෂ තරු යුවළ කවුද?
හේමාල් රණසිංහ, ශලනි තාරකා, සමනලී ෆොන්සේකා.

රංගන ශිල්පිනියගෙන් මිදුණු දිල්හානි ඒකනායක කියන ගැහැනියට මේ තරම් ඉවසීමක්, දරා ගැනීමක් ලැබුණෙ කොහොම ද?
ඕනෑ ම කෙනෙක්ට ඉවසීම ලැබෙන්නෙ නරක දේවල් එක්ක ගැටෙනකොට. මම අභියෝග ගන්නෙ මම රඟපාන චරිතවලින් නෙවෙයි. ව්‍යායාම් කරලා ඇඟ හදාගන්න එක නෙවෙයි අභියෝගය. තමන්ට නොගැළපෙන ඍණාත්මක මිනිස්සු එක්ක ඔළුව ගහහෙන ඉන්න එකයි ජීවිතයේ අභියෝගය. මම සියල්ලට කාලය දෙන කෙනෙක්. තව කෙනෙක්ගෙ දෛවය වෙනස් කරන්න මට බැහැ. හැබැයි එහෙම අය එක්ක ඇසුරු කරන්න බැඳෙන්න අපිට හේතු වෙන්නෙ අපේ කර්මය, පාපය නිසා. එතැනදියි අපේ ඉවසීම එක්ක අපි අපේ ගමන යන්න ඕනෑ. මම එහෙමයි මගේ ගමන යන්නෙ. මේ ඉවසීම නැති නිසයි ළමයි ඩිවෝස් වෙන්නෙ. කසාදය ඇතුළෙ විතරක් නෙවෙයි රාජකාරි කරන තැනක වුවත් එතැන ප්‍රධානියා Negative වුණොත් එයා එක්ක ගැටෙන එක නෙවෙයි කරන්න ඕන. ඉවසීමෙන් තමන්ගෙ ගමන යන එක. ඉවසීම, දරා ගැනීම ඇති වෙන්නෙ ඒ ජීවිතයේ ගැටෙන දේවල් එක්කමයි.

අත්දැකීම්වලින් පරිණත වුණු වයසින් මුහුකුරා ගිය කෙනෙක් විධියට අද ජීවිතය දකින්නෙ කොහොම ද?
මං ජීවිතය දකින්නෙ මං තුළින් විතරයි. මම ජීවත් වෙන්නෙ මා එක්ක. මං ජීවිතය දකින්නෙත් ජීවිතය හොයන්නෙත් මා තුළින් විතරමයි. මට ඒකට බුද්ධ දර්ශනය ඉවහල් වුණා. අනිසි දෙයින් ගැලවීමට සතුට ඇති වීමට මට මම අනුගමනය කරන බුදුන්ගේ දර්ශනය හේතු වුණා. මම දැන් සැහැල්ලුවෙන්. මට මං යන ගමන ගැන දැනෙනවා වගේ ම හොඳින් සංවේදනය වෙනවා. අනිත් අයගෙ ගමන මම දන්නෙ නැහැ. මට වෙනස් කරන්නත් බැහැ. මං මගේ සංසාර ගමන කෙටි කර ගන්න හදන කෙනෙක් මං යන ගමන්මග තුළින්. ඊළඟ භවයට එකතු කර ගන්න ඕන දේ එකතු කර ගන්න කෙනෙක්. මං සොබාදහමට ආදරය කරන, ඒ සොබාදහම, විශ්වාස කරන කෙනෙක්. මගේ හිත දන්නෙ මේ සොබාදහම මේ විශ්වය. මං එක්ක බැඳිලා මාව ආරක්ෂා කරමින් මගේ හොඳම යාළුවා වෙලා ඉන්නේ මේ විශ්වය. ඒක මට මාර හැඟීමක් දෙනවා. කවුරු හිටියත් නැතත් කමක් නෑ කියන සිතුවිල්ල මට තියෙන්නෙ විශ්වය මා එක්ක ඉන්න නිසා.

සෝෂල් මීඩියා කලාකරුවන්ගෙ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක් කියලා හිතෙන තැනට අද පත්වෙලා ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, යූටියුබ් චැනල් දකින කොට එහෙම දැනෙන්නෙ නැද්ද?
දැන් තරු කියලා හඳුන්වන්නෙ සෝෂල් මීඩියාවල දාන දේවල්වල Viewersලා වැඩි වුණා ම. මිනී මරලා හරිකමක් නෑ ඒකට Viewersලා වැඩි කරගෙන පොරවල් වෙන්නයි ගොඩක් අයට ඕන. හොඳට වඩා කුණු රසට අවධානය වැඩියි. ඒත් මම ජංගම දුරකතනය පාවිච්චි කරන්නෙ මොනාහරි දෙයක් ඉගෙන ගන්න. සෝෂල් මීඩියා කියන්නෙ නරක දෙයක් නෙවෙයි ඒක හරි විධියට පාවිච්චි කරනවා නම්. මටත් ඉන්ස්ටග්‍රෑම් පේජ් එකක් තියෙනවා. ඒක මේ බොහොම මෑතක හදාගත්තෙ. මොක ද සමහර වෙලාවට අපිට ඒවා අවශ්‍ය වෙන තැන් තියෙනවා. FBවල ෆොටෝස් දාලා ඒවයෙ කමෙන්ට් දාන ප්‍රමාණයෙන් පැවැත්ම තීරණය කරන්න බැහැ. මට නම් ෆෝන් එක ගුරුවරයෙක්, ජීවිතේ ඉගෙන ගන්න පුළුවන් දේ එතැන තිබෙනවා.

ජීවිතේ ලේසියෙන් ම අත්හරින්න පුළුවන් දේ මොකක් ද?
ආත්මාර්ථකාමී මිනිස්සුන්ව ලේසියෙන් ම අත්හරින්න පුළුවන්. දුකක් දැනුණ ම මං බලන්නෙ ඇයි මට දුක හිතුණෙ කියලා. වැඩිපුර ම මං හිතින් ළංවෙලා හිටපු අයගෙන් එහෙම වුණහමයි දුක. ප්‍රියතමයන් දැන් නැති වේගෙන යනවා. දුක වැඩි දැඩිව අල්ලා ගත්ත ම. අත් හරින්න කියන තරම් ලේසි නැහැ. මටත් එහෙමයි. එහෙම වුණහම මට ආයෙ හිත යථාතත්ත්වයට පත්වෙන්න දවසක් දෙකක් යනවා. එහෙම අයව අයින් කරලා. හිත හදාගත්තට පස්සෙ දෙයියන්නාන්සෙ කිව්වත් ආයෙ අල්ලගන්නෙ නැහැ. එහෙම අත්හැරපු අය ජීවත් වුණත් මැරුණත් මට විශේෂ නැහැ. ජීවත් වුණත් එහෙම අය මට මැරුණු පුද්ගලයන්.

ජීවිතේ අත්හරින්න අපහසු ම දේ මොකක් ද?
දැනට අත්හරින්න බැරිව ඉතුරු වෙලා ඉන්නෙ අත් හරින්නෙ නැත්තෙ මගේ දරුවාව විතරයි. එයා දැන් විවාහකයි. මම ඒ ලෝකෙට ඇඟිලි ගහන්නෙ නෑ. ඒත් ලෙඩකදී දුකකදී මං ඉන්නවා. මගේ ලොකු ම බැඳීම. පුතා ඒ බැඳීම මම අත්හරින එකක් නැහැ කවදාවත්.

හෙට දවස ගැන මොන වගේ හැඟීමක් ද තිබෙන්නෙ?
ජීවත්වෙලා හිටියොත් අද දවසට වඩා හොඳ කර ගන්නවා. අදට වඩා දියුණු වෙනවා. සිතුවිලි යහපත් කර ගන්නවා. වැරදි නිවැරදි කර ගන්නවා.

ලබපු විඳපු අත්දැකීම් එක්ක ජීවිත කතාව ලියන්න අදහසක් නැද්ද?
අනිවාර්යයෙන් එහෙම අදහසක් තියෙනවා. නිළියක් කියන තැනට එහා ගිහින් ජීවිතයෙ මුහුණ දුන්න දේවල් නිසා ලැබුණු අත්දැකීම් එක්ක මගේ කතාව ලියැවෙයි කාටහරි දවසක වටිනාකමක් ඇතිව කියවන්න.

උපුටා ගැනීම මවුබිම