🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

දරුවාගේ ළමා කාලය සොරා නොගන්න


"අප්පච්චි, අයියා මා එක්ක කතා කරන්නෙ නැහැ. අයියට කියන්න මාත් එක්ක සෙල්ලම් කරන්න එන්න කියලා."
අයියාගේ හැසිරීමේ අසාමාන්‍ය ස්වභාවය පළමුවෙන්ම දැනුණේ මල්ලීටය.

"අප්පච්චි, කියන එක අහල එන්නකො, ඔය වැඩේ නවත්තලා එන්නකො."
පොඩි පුතුගේ ඉල්ලීම අහක දමන්නට නොහැකි වූ තැන අප්පච්චිට සිදුවූයේ ඔහු හා එක් වන්නටය.

දුර සිටම අයියා පෙන්වූ "මල්ලි, අර බලන්න, අයියා ඉන්න හැටි. මොකද්ද එයාට වෙලා තියෙන්නෙ? මල්ලීගේ හඬ හැඟුම්බරය.
"ලොකු පුතේ" පිළිතුරක් නැත ප්‍රතිචාරයකුත් නැත.
"ඇයි මගෙ ලොකු පුතේ අසනීපයක්වත්ද?"
හැඟීමකින් තොරව වියළී ගිය දරුවාගේ මුහුණ අප්පච්චිගේ බිය දෙගුණ තෙගුණ කරවන්නක් විය.

පාසල් ජීවිතය ආරම්භ කළ දින පටන් ක්‍රියාශීලී හුරුබුහුටි කොලුපැටියකු වූ සිය වැඩිමහල් පුතුගේ වෙනස් වීම අප්පච්චිට මෙන්ම අම්මාටද දැන් පැහැදිලිය. පසුගිය අවුරුදු තුන කඩිනමින් ගෙවී ගියේ පාසල, අතිරේක පන්ති සහ උපකාරක පන්ති අතරේමය. බැරිවෙලාවත් අහම්බෙන්වත් නෑදෑ ගෙදරකට ගොඩ වදින්නට ලොකු ළමයාට අවසරයක් නොවීය. චිත්‍රයක් අඳින්නට, චිත්‍ර කතා පොතක් කියවන්නට, අම්මාට හොරෙන් කියැවූ අඹ යහළුවෝ පොත නිවී සැනසිල්ලේ කියවන්නට අප්පච්චිගේ පොත් රාක්කයෙන් තෝරා ගත් මඩොල් දූව පොත කියවන්නටත් ලොකු ළමයාට අවසරයක් නොවීය. සමත් විය යුතු විභාගයක් වැඩි ලකුණු ගත යුතු විභාගයක් විසින් ලොකු ළමයාගේ සිහින සොරා ගෙන තිබිණි.

හිමිදිරි පාන්දර අවදි වන අම්මා බෑගයට ඔබන බත් ගෙඩියෙන් කටක් හෝ දෙකක් ගිල දමන පුත්‍රයා උපකාරක පන්තියේ ඉදිරිපෙළ අසුනක වාඩි කරවන්නට රැගෙන යන්නේ, ඇදගෙන යන්නේ අම්මාය. සෙල්ලම් පිට්ටනි අමතකව ගොස් කිසිදු නෑදෑ ගෙදරකට ගොඩ නොවැදී ගෙවුණු දිගු කාලයකට පසුව විභාගයට පෙනී සිටි ලොකු පුතා පමණක් නොව පාසලේ ගුරුමහත්ම මහත්මීන් බලාපොරොත්තු තැබූ තවත් පුතුන් බොහෝ දෙනකුට කඩුල්ල පැන ගැනීමට නොහැකි විය.

"කමක් නැහැ ලොකු පුතේ, පන්තියෙ වැඩ ටික හොඳට කරගෙන යන්නකො."
අප්පච්චිගේ හඬ එසේ වුවද, "අපරාදෙ මම තම්බපු බත් කන්දරාව, කකුල් කෙටි ගෙවෙනකන් මෙයත් එක්ක පන්ති ගාණෙ ඇවිද්දා." අම්මාගේ හඳේ වේදනාව හඳුනා ගැනීමට ලොකු පුතා සමත් වූවා දැයි කිසිවෙකුත් දන්නේ නැත. විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලය පවා බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබීම නිසා වේදනාවට පත්ව සිටි බව අප්පච්චිට මෙන්ම අම්මාටද අවබෝධ වීමට ගත වූයේ සුළු මොහොතකි. කලාපයේ පාසල්වලින් ඉහළම ප්‍රතිඵල ලැබීමේ ඉලක්කය කරා දරුවන් සහ සිය ආචාර්ය මණ්ඩලය මෙහෙයවූ විදුහල්පතිතුමා ඉන් පරාජයට පත්වුවද පස්වැනි ශේ‍ර්ණියේ ශිෂ්‍ය කණ්ඩායමේ සමහර අයගේ හැසිරීමේ වෙනස අවබෝධ කර ගනිමින් සිටියේය. පාසල අවසන් වීමේ සීනු නාදය සහ අතිරේක පන්තිය ආරම්භ වීම අතර ඇත්තේ විනාඩි කිහිපයක කාල අන්තරයකි. දිවා ආහාරයට සහ අනෙක් අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට වෙන් කර තිබුණද දරුවන් ඒ වනවිට සිටින්නේ ක්‍රීඩා පිට්ටනිය අසලය. පිට්ටනියේ ක්‍රීඩා කරන අනෙක් අය දෙස බලා ගෙන සිටීමද ඔවුන්ට සතුටකි. නමුත් විභාගය අවසන් වුවද කණ්ඩායමේ වැඩි දෙනෙක් ක්‍රීඩා පිට්ටනිය පැත්ත පළාතේ නැත. පන්ති කාමරයේ හෝ පාසල් භූමියේ ගසක් යට තැන් තැන්වල සිටි පොඩි එවුන්ගේ හැසිරීම සැබැවින්ම අස්වාභාවික විය. මවුපියන් කිහිපදෙනකුගෙන් ලත් තොරතුරුද විදුහල්පතිතුමා සතුවිය. තමන්ගේ ජීවිතවල හොඳම ළමා කාලයෙන් වැඩි කොටසක් ඩෙස්ක්, බංකු, ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ ලකුණු අතර ගෙවූ දරුවන් මෙන්ම සිය ගෙවල් ‍දොරවල් දරු මල්ලන් පවා දෙවැනි තැනෙහි ලා ඉර නැඟුණු වේලේ සිට ඉර බසින තුරුම පාසලේ පන්ති පැවැත්වූ ගුරු මණ්ඩලය සමඟ දරුවන්ගේ හීන ඉවත ලා වෙනත් සිහින ඔවුන්ට ආදේශ කිරීමෙන් අසාර්ථකත්වයට පත්වූ මවුපියන් ද ඉච්ඡා භංගත්වයෙන් පීඩාවට පත්ව සිටියහ. අනපේක්ෂිත ප්‍රතිඵලයේ සෙවණැල්ල පාසල අඳුරු කිරීමෙන් නොනැවතී ගෙවල් ‍දොරවල් කරාද පතිත වූයේ මවුපියන්ගේ ජීවිතවලටද අඳුරක් එක් කරමිනි.

මොකක්ද සර්, අපි කරන්න ඕනෙ, මේ දරුවො හීනෙන් වගෙයිනෙ ඉන්නෙ... 'අපේ දරුවා දැන් කතා කරනවත් අඩුයි සර්.' 'අනේ සර් මේ දරුවට දැන් හරියට තරහ යනවා. කවදාවත් නැති විදියට හැසිරෙනවා.' විදුහල්පතිතුමා අප්පච්චිලා කිහිපදෙනෙක්ගේ කියුම්වලට සවන් දෙමින් සිටියේය. විභාග ප්‍රතිඵල දැනගත්තට පස්සෙ නේද සර් මේ වෙනස. ගිය දේ ගියාවෙ, පාඩමක් කරගෙන ඉන්න කියලා කිව්වත් අහන්නෙ නැහැනෙ. සෙල්ලමක් කරන්නවත් එන්නෙ නැහැනෙ.' මම ගුරු මණ්ඩලයේ කිහිපදෙනෙක් එක්කත් කතා කළා. විභාගය අසමත් වීම මේ පුංචි හිත්වලට දරා ගන්න බැරි වුණා කියලයි අපිට හිතෙන්නෙ. කල්පනා කරලා බැලුවොත් අපි දෙගොල්ලො එකතුවෙලා මොන තරම් පීඩනයක් මේ පොඩි එවුන්ට දුන්නද? කලබල වෙන්න එපා මම පොරොන්දු වෙනවා මේ ගැන සොයා බලන්න.' නැවැතත් පාසලේ හවස පන්ති ආරම්භ වන බවත් දරුවන්ගේ දිවා ආහාරය එවන ලෙසටත් ශිෂ්‍ය වාර්තා පොතේ සටහන් කරන ලද්දේ පන්ති භාර ගුරු මහත්මිය විසිනි.

අම්මා, හෙට ලොකු බත් එකක් ඕනේ.'
මොකක්? අහක දාන්නද? මම දන්නවනෙ ඔයාගෙ කෑම'
නෑ අම්මා අපි හුඟක් දෙනෙක් ඕක කනවා'
තමන්ගේ බත් පත හෝ දන් දෙන්නට කැමැති අම්මා දෙතුන් දෙනකුට සරිලන සේ බත්මුල බඳින්නීය.

ලොකු පුතාගේ හඬ දැන් තරමක් වෙනස්ය. දින කිහිපයක් එක් වී සති දෙක තුනක් ගෙවී යන්නේ දරුවාගේ හැසිරීමේ පැහැදිලි වෙනසක් පෙන්වමිනි.

අප්පච්චි, ලබන සිකුරාදා නිවාඩුවක් ගන්න පුළුවන්ද?'
'ඇයි මගෙ ලොකු පුතේ, මොකක්ද වුවමනාව?'
අපේ මැච් එක එදාට. ඉස්කෝලෙමයි තියෙන්නෙ?'
'මොන මැච් ද දරුවො?'
'අප්පච්චි, එනවද කියන්නකො, අප්පච්චියි, අම්මයි, මල්ලියි තුන්දෙනාම'

එළැඹුණු සිකුරාදා දිනය හවස් වරුව පාසලට අමුතුම දිනයක් විය. ශ්‍රී ලංකාව පුරාම පාසල්වල ක්‍රිකට් වසන්තය හමාර වී ඇත. අප පාසලේ ක්‍රීඩා භූමිය ක්‍රිකට් තරගයකට සූදානම්ය. තම තමන්ට පැවැරී ඇති රාජකාරිවලින් නිවාඩු ලබා ගත් මවුපියෝද, සහෝදර සහෝදරියෝද, පාසල් ක්‍රීඩා භූමියට එක්වෙමින් සිටිති. සිදුවන දෙය පිළිබඳ සමහරක් දැන සිටියද වැඩි දෙනකුට නිවැරැදි අවබෝධයක් තිබුණේ නැත. පහ ශ්‍රේණිය පන්ති හතරකි. මේ පන්ති හතර අතර මූලික තරග පැවැත්වීමෙන් අනතුරුව අවසාන තරගයට සුදුසුකම් ලද කණ්ඩායම් අද තරගවදිති. තරගයක් ලෙස හැඳින්වුවද මෙය සුහද තරගයක් ලෙස නම් කළොත් වඩා ගැළපෙනු ඇතැයි සිතේ. ක්‍රීඩා භූමිය සිසාරා ප්‍රීති ඝෝෂා හඬ රැව් පිළිරැව් දෙයි. පසුගිය දිනවල තැන් තැන්වල මුළු ගැන්වී සිටි දරුවෝ නැවත යථා තත්ත්වයට පත්වෙමින් ක්‍රීඩා කරති. සමහර මවුපියන්ට මෙය ආශ්චර්යයක් සේ පෙනුණි. සැර වැර කිරීමෙන් හෝ ආදරය වැඩිපුර දැක්වීමෙන් හෝ තමන්ට කරගත නොහැකි වූ හපන්කම පාසල විසින් සිදු කිරීම විශ්වාස කළ නොහැකි තරම්ය. සතුට සහ විනෝදය සමඟ තරග නිමා වෙයි. පරාජයක සේයාවක්වත් නැත. අසමත් වූ විභාගය අමතකය. සමත් වූ විභාගයද අමතකය. සියල්ලම යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. අම්මා සහ අප්පච්චි සතුටින්ය. තටු හකුළා ගෙන සිටි කුරුලු පැටව් තටු විහිදා ඉගිළෙති. මිහිරි හඬින් ගී ගයති. ඉහත ක්‍රීඩා තරග විස්තරය ප්‍රබන්ධයක් නොවේ. එය සීදූවේ ගම්පළ ජිනරාජ ප්‍රාථමික විද්‍යාලයේදීය. මානසික පීඩාවට ගොදුරු වූ දරුවන් ඉන් මුදා ගැනීමට කටයුතු සැලැසුම් කළේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයයි. මොහොතක් සිතා බලන්න. දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව වැඩිහිටියන් වන අපි දරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටිමු. මෙය ඉහත පාසලට පමණක් සීමාවූ තත්ත්වයක් නොවේ. ඔබේ දරුවාටද මේ තත්ත්වය උද්ගත විය හැකියි. ඇත්තෙන්ම මෙය අනතුරු ඇඟවීමක් ලෙස සලකනු මැනවි. වෙනස් ආකාරයකට, වෙනත් ආකාරයකට, ඔබේ දරුවා පීඩාවට පත්විය හැකියි.

දයාබර මවුපියනි, අප තවමත් ප්‍රමාද නැත. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දා ගත නොහැකිය. නැවැතත් විභාගය පේනතෙක් මානයට පැමිණෙමින් සිටී. ඔබේ කාලයෙන් දිනකට වැඩිපුර විනාඩි දහයක්වත් දරුවන්ට දෙන්න. රසවත් කතන්දරයක් කියන්න. දරුවාගේ මුහුණේ සිනාවක් දකින්න. පසුගිය අවුරුදු දෙක තුන තුළ ඔබට අමතකව ගිය හෝ හිතාමතාම අමතක කළ දේවල් නැවැත මතක් කරන්න. දරුවාට තමන්ගේ සිහින තුළ සැරි සැරීමට අවස්ථාව දෙන්න. සැහැල්ලුවෙන් ජීවත් වීමට ඉඩ දෙන්න. තමන්ගේ සිහින සැබෑ කර ගැනීමට දරුවා උත්සාහ කරනු නොඅනුමානයි. තෘප්තිමත් දරුවා ජීවිතය දිනා ගන්නා දිනයේදී ඔබේ සිහිනයත් සැබෑ වේවි. වැඩිහිටියන් වන අපට තිබිය යුත්තේ එකම සිහිනයකි. අපගේ සිහිනය විය යුත්තේ ද දරුවාගේ සිහිනයයි. ඒ සිහිනය සැබෑ කර ගැනීමට උදවු වෙමු.

උපුටා ගැනීම මව්බිම