🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

කාටුන් සහ වීඩියෝ ගේම් නිසා දරුවන් ප්‍රචණ්ඩත්වයට

නිවේන් හය හැවිරිදි පුංචි පුතෙකි. ඔහු පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබයි. බුද්ධිමත් දරුවකුගේ ලක්‍ෂණ ඔහු වෙත දක්නට ඇත. නිවේන් කැටුව ආ මවුපියෝ කළ පැමිණිල්ල වූයේ ඔහු මවුපියන් පවසන ඕනෑම දෙයකට දක්වන විරෝධතාව සහ දැඩි කෝපයයි. එසේම කියන කිසිවක් එක වරින් කරන්නට ඔහු කටයුතු නොකිරීමයි. ඔහු අවශ්‍ය දෙයම ලබා දෙන තෙක් කරනු ලබන හැඩීම මහත් හිරිහැරයක් බවත් ඔවුපියෝ වැඩිදුරටත් පැවැසූහ. කාටුන් බැලීමට දැඩි රුචියක් දක්වන නිවේන් පැය ගණන් කාටුන් බලන බව මව පැවැසුවාය. පාසලේදී ඉතා හොඳ ළමයකු ලෙස ගුරුවරුන් පවසන නමුත් නිවෙසේදී ඊට හාත්පසින්ම වෙනස් අන්දමට හැසිරෙන බව මව පැවැසුවාය. පාසලෙන් දෙන ගෙදර වැඩ නොකර මඟහැරීමට උත්සාහ කරන බැවින් නිවේන් තමාගෙන් පහර කන බවද මව පැවැසුවාය. අසල්වැසි දරුවන් හා සෙල්ලම් කිරීමට ගියහොත් නිවෙස තුළට ගැනීමට ඉතා අසීරු වන අතර එවිට දැඩි ලෙස ප්‍රචණ්ඩ වන බව මව පැවසුවාය. එම නිසා නිවෙස තුළම නිවේන් රඳවා ගැනීමට මව උත්සාහ කරන බව පැවැසුවාය. ඔහුට අවශ්‍ය සියලුම ක්‍රීඩා භාණ්ඩ නිවෙස තුළම ඇති බැවින් පිටතට යෑමේ අවශ්‍යතාවක්ද මව නොදකී.

පාසලෙන් පසු ඔහුව අමතර පන්ති ගෙන යෑම පිළිබඳ ඔහු විරෝධය දක්වන බවත් කරාටේ පන්තියට යෑමට අකාමැතිව ඔහුගේ කරාටේ ඇඳුම සොයා ගන්න බැරි තැනක ඔහු සැඟවූ බවත් මව පැවැසුවාය. මව රැකියාවක් නොකරන ගෘහණියකි. පියා උසස් රැකියාවක නියුතුය. නිවේන් එකම පුතුය. තම එකම පුතු ඉල්ලන ඕනෑම දෙයක් වහා ඉටු කිරීමට සූදානම් පියකු නිවේන්ට ඇත. ඊටත් වඩා නිවේන් වෙනුවෙන්ම සිටින අත්තම්මා සහ සීයා කෙනෙකුද සිටී. නිවේන්ගේ එක් ඇඬුමකට ලෝකයම ඔහුගේ දෙපා මුල තියන්නට මේ පිරිස සැදී පැහැදී සිටී. මව නිවේන් ඉතාම කුඩා ළදරුවකු කාලයේ සිට කාටුන් නරඹන්නට ඉඩ දී නිවෙසේ වැඩකටයුතු කරගෙන ගොස් ඇත. ඊට අමතරව පාසල් ඇරී නිවේන් කෙළින්ම නිවෙසට නොඑයි. ඔහු ඉංග්‍රීසි පන්ති දෙකකටත් වෙනත් විෂයයන් සඳහා පන්ති දෙකකටත් පිහිනීම, කරාටේ, සංගීතය සහ නැටුම් පන්තිවලටත් යන අතර ඉරිදා උදෑසන දහම් පාසල්ද යයි. පාසලෙන් මෙන්ම මෙම ටියුෂන් පන්තිවලින්ද නිවේන්ට ගෙදර වැඩ ලැබෙයි. නිවේන් යන ටියුෂන් පන්තියේ සහ පාසල් පන්තියේ දක්‍ෂ සිසුන් හා නිවේන්ව සන්සන්දනය කරමින් මව නිවේන්ට දොස් පවරයි.

මවුපියන් නොකළ යුතු කරුණු 

මෙහිදී අප දකින්නේ වැඩිහිටියන්ගේ නොදැනුවත්කම් නිසා පීඩාවට පත්වන අහිංසක දරු පැටියෙකි. මෙහිදී වැඩිහිටියන් අතින් සිදුවී ඇති නොකළ යුතු කාරණා විමසා බලමු.

  • දරුවා ඉල්ලන සෑම දෙයම වහාම ලබාදීම.
  • අධික ලෙස කාටුන් නැරඹීමට යොමු කිරීම.
  • සම වයස් කණ්ඩායම් සමඟ මුසුවීමට ඉඩ නොදීම.
  • ඔහුගේ වයසට නොගැළපෙන තරම් වේලාවක් අධ්‍යාපනයට වෙන් කිරීම.
  • දරුවා අන් දරුවන් හා සන්සන්දනය කිරීම.
  • අවමන් කිරීම.
  • පහරදීම.
  • දරුවාට සමබර ජීවිතයක් ලබා නොදීම.
  • දරුවා තේරුම් නොගැනීම.
මවුපියන්ගේ වරද
මේ කතාව අසා සිටින විට දැනෙන්නේ මේ මවුපියන් දරුවන් හදාවඩා ගත යුතු ආකාරය පිළිබඳ නිසි දැනුමකින් තොර වූවන් බවයි. බැලූ බැල්මටම මේ දරුවා තුළ අස්වාභාවික යමක් නැති බව මනෝ උපදේශනය නොදන්නා දරුවන් ගැන දන්නා කෙනකුට වුවද පෙනී යනු ඇත. නිවේන්ගේ වයස අනුව ඔහු කුඩා දරුවෙකි. ක්‍රීඩා කිරීම, නින්ද සහ සෞන්දර්ය ක්‍රියාකාරකම්වල අවශ්‍යයෙන්ම යෙදිය යුතු වයසේ සිටින දරුවකුට මවුපියන් සිදු කරන දැඩි පීඩනය මවුපියන්ගේ ප්‍රකාශවලින් පෙනේ. මේ වයසේ දරුවකුට අත්‍යවශ්‍ය වනුයේ සමබර ජීවිතයකි. ඒ සඳහා ප්‍රමාණවත් නින්ද, ක්‍රීඩා, සෞන්දර්ය ක්‍රියාකාරකම් ලැබීමද අතිශයින්ම වැදගත්ය. එයට අමතරව ආදරය, පිළිගැනීම රැකවරණය සහ දරුවා තේරුම් ගැනීම වැදගත්ය. දරුවකුට අවවාද, අනුශාසනා, බැනවැදීම් පහරදීම්වලින් තොරව ආදර්ශයෙන් යහගුණ ඔහුගේ ජීවිතයට ඇතුළත් කළ යුතු බව මවුපියන් අවබෝධ කර ගත යුතුය. කුඩා කල සිටම දරුවාට පුද්ගලයන් සමඟ ගනුදෙනු කරන ආකාරය ඉගෙන ගැනීමට අවස්ථාව දිය යුතුය. ආත්ම කේන්ද්‍රණය මූලික කොට සිතන දරුවාට සමූහය තුළදී තමා ඔවුන් අතර තවත් සාමාජිකයකු පමණක් බවත් තමාට ඇත්තේ ඔවුන්ට සමාන අයිතිවාසිකම් පමණක් බවත් ඉගෙනීමට ඉඩ සැලසිය යුතුය. එසේම කණ්ඩායමක් වශයෙන් කටයුතු කරන විට නායකත්වයට අවතන වීම, කණ්ඩායම් හැඟීම සහ අන්‍යයන්ට අන් මතවලට ගරු කිරීම යන මේවා නිරායාසයෙන් ඉගෙනුම ලබයි. ක්‍රීඩා භාණ්ඩ සමඟ ගනුදෙනු කිරීමෙන් දරුවකුට මේ අත්දැකීම් නොලැබෙයි. හැඟීම් ප්‍රකාශනයට ඉඩ නොලැබෙයි. චිත්තවේග කළමනාකරණය පිළිබඳ ස්වයං අවබෝධය නැතිවෙයි. ආදරය, දයාව මෛත්‍රිය වැනි උසස් චිත්තවේගික හැඟීම් ප්‍රකාශ කිරීමට, අත්දැකීමට ඉඩකඩ නොමැති වෙයි. අවසානයේ සමාජයට වැඩිහිටියකු ලෙස පිවිසුණු විට අන්තර් පුද්ගල සම්බන්ධතා දුර්වල වීමෙන් විශාල මානසික කඩා වැටීමකට ලක්වෙයි.

කාටුන් සහ ගේම්
කාටුන් පිළිබඳ මවුවරුන්ගේ දැක්මද සාවද්‍ය එකකි. කාටුන්වල සුරතල් සතුන්, කුඩා දරුවන් සිටි පමණින් කාටුන් දරුවන්ට සුදුසු නොවේ. විශේෂයෙන් අප රටේ විකාශය වන කාටුන්වලින් දරුවන්ගේ පෞරුෂයට වන හානි බලවත්ය. බොහොමයක් කාටුන්වල ඇත්තේ ප්‍රචණ්ඩත්වය වපුරන ක්‍රියාවන්ය, කපටිකම්ය, යුද්ධ, ආයුධ පරිහරණය, අවිනීත භාෂා භාවිතය, මත්පැන්, දුම්වැටි, සොරකම්, උදුරා ගැනීම්, පහරදීම්, අන්සතු දේවලට හානි කිරීම් සහ අනුන්ට සිදුවන විපත්වලදී සතුටට පත්වීම ආත්මාර්ථකාමී හැඟීම් සහ කෑදර බව පෙන්වීම් ආදිය වෙයි. මේවා අලංකාර කොට ආකර්ෂණීය චරිත යොදා ගනිමින් දරුවාට ලබා දෙද්දී මෙම චර්යාවන් අවිඥානිකව දරුවාගේ මනස තුළ තැන්පත් වෙයි. 'වීඩියෝ ගේම්' සහ 'කාටුන්' දරුවන්ගේ ප්‍රචණ්ඩත්වයට හේතු වන බව නවතම සමීක්‍ෂණයන් ආධාරයෙන් හෙළිදරව් කර ඇත. එහෙත් සමහර මවුවරු තමන්ගේ වැඩකටයුතු පහසු කර ගැනීම සඳහා කාටුන් බලන්න දරුවන් බලෙන් පොළඹවන බව දකින්න ලැබෙයි. එසේම වයස අවුරුදු තුනට අඩු දරුවන්ට රූපවාහිනිය කිසිසේත්ම නොපෙන්විය යුතු අතර වයස අවුරුදු දහය වනතෙක් දරුවන්ට එක දිගට පැයකට වඩා රූපවාහිනිය නැරඹීමට ඉඩ නොදිය යුතු බව ඒ පිළිබඳ විශේෂඥ මතය වෙයි. දරුවන්ට බරපතළ අක්‍ෂි ආබාධ ඇතිවීමට හේතුවිය හැකි බවත් ඔවුහු පවසති. එසේම හැඟීම් දැනීම් නැති ක්‍රීඩාභාණ්ඩ සමඟ ක්‍රීඩා කිරීමෙන්ද දරුවාගේ පෞරුෂය සංවර්ධනය නොවේ. ඔහු ආත්මාර්ථකාමී වීමට හෝ හුදකලාවීමට හෝ එය හේතුවක් වනු ඇත. අඩුම තරමේ දරුවාට සුරතල් සතකු සමඟ හැසිරීමට ඉඩ ලැබුණහොත් ඔහු කරුණාව, දයාව, පරිත්‍යාගය සහ ආදරය වැනි උසස් මානුෂීය ගුණධර්ම වඩවා ගන්නවා ඇත.

දරුවාගේ හැකියාව
එසේම නිවේන්ගේ වයසේ දරුවකුට මේ සා විශාල වැඩකොටසක් කිරීමට නොහැකිය. ඔහුට පන්ති කාමරයේදී ලැබෙන අධ්‍යාපනය සහ පාසලේ ගෙදර වැඩ ඉතා ප්‍රමාණවත්ය. ඉවසීමෙන් ආදරයෙන් දරුවා සමඟ කටයුතු කිරීමේ හැකියාව මවකට තිබිය යුතුය. එසේම දරුවාගේ වැඩ කිරීමේ හැකියාව වැඩිහිටියගේ ප්‍රමාණයෙන් බලාපොරොත්තු නොවී දරුවාගේ ප්‍රමාණයට කර ඇත්නම් සෑහීමට පත්වීමට මවුවරු ගුරුවරු වගබලා ගත යුතුය.

ක්‍රීඩාවට ඉඩදෙන්න
හැකි තරම් දරුවන්ට සම වයස් කාණ්ඩ සමඟ හැසිරීමටත් ක්‍රීඩා කිරීමටත් ඉඩ දිය යුතුය. දිවීම්, පැනීම්, හැංගිමුත්තන්, ගුඩු විදීම වැනි ක්‍රීඩාවලින් දරුවන් ඉගෙන ගන්නා කුසලතා මවුපියන් දනිත් නම් කිසිවිටෙක් දරුවන් ඉන් නොවළකනු ඇත. එසේම රසවින්දනය පුහුණු කළ යුතුය. සංගීතය, චිත්‍ර ආදිය ගැන දරුවා සමඟ සාකච්ඡා කළ හැකි නම් දරුවාගේ පරිකල්පන වපසරිය පුළුල් වෙයි. විවේකය සහ නින්ද දරුවන්ගේ හැකියා සහ මතක ශක්තිය ඔප් නංවනු ඇත. එසේම කතාන්දර ඇසීමට සැලැස්වීම දරුවාගේ නිසඟ කුසලතා අවදි කිරීමට හේතු වෙයි.

ඉල්ලන දේ ලබාදීම
දරුවන් ඉල්ලන හැමදේම ඉල්ලූ සැණින් දීමට නම් දරුවන්ට මවුපියන් අවශ්‍ය නැත. දරුවන්ට අවශ්‍ය හොඳ දේවල් තෝරා බේරාදීමට හොඳ බුද්ධිමත් මවුපියන් අවශ්‍යයයි. අනවශ්‍ය දෙයක් ඉල්ලීම් කරන්නේ නම් කෙතරම් ඇඬුවත් ප්‍රකෝප වුණත් නොදිය යුතුය. තමා හැඬු­ පළියට සියල්ල නොලැබෙන බව ඔහු වටහා ගන්නේ එවිටය. එය ජීවිත පාඩමක් වෙයි. එසේම මවුපියෝ දරුවන්ගෙන් යම් යම් දේවල් කරවා ගැනීමට නොයෙකුත් පොරොන්දු දරුවන්ට ලබා දෙති. එවැනි පොරොන්දුවක් දුන්නොත් එය ඉටු කළ යුතුය. එසේ නොමැති වූ විට දරුවගේ සිතෙහි මවුපියන් බොරුකාරයන් බවට හැඟීමක් ඇතිවී විශ්වාසය බිඳ වැටේ. එම නිසා දිය නොහැකි සහ නුසුදුසු කිසිවක් දරුවන්ට පොරොන්දු නොවිය යුතුය.

මව්බිම