🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

දුම්පානයේ අහිතකර ප්‍රතිඵල ගැන ඔබ දැනුවත් ද?

stop smorking

දුම්පානය ශරීරයට අහිතකරයි යන්න අප හැම දෙනෙක්ම දන්නා කාරණයක්. ඒත් කොපමණ දුම්පානය කළත් සිරුරට අහිතකර බවක් නොදැනීම නිසා සිගරට් බොන අය මෙය පිළිගන්නෙ නෑ. එනිසා දුම්පානය නතර කිරීම ඔවුනට කළ නොහැකි වී තිබෙනවා. මෙවැනි අයට ඉදිරි වසර දෙකෙන් එහා ගැන කිසිදු සැලැස්මක් නෑ. සැලැස්මක් තියනව නම් ඔවුන් දුම්පානය කරන්නෙ නෑ. එසේම තව අවුරුදු දහයකින් පහළොවකින් එන දිනයක් පිළිබඳව කිසිදු විශ්වාසයකුත් නෑ. අනාගතයේ දිනෙක සිගරට් නිසා ජීවිතය අහිමිවී යන බව කීවත් එයද ඔවුනට ගැටලුවක් නොවන්නේ ඒ නිසයි. ඒ සියලු දෙය අවඥාවෙන් බැහැර කොට ඔවුන් දිගටම දුම්පානය කරනවා. නමුත් මරණය ආසන්නයට පැමිණි දවසක කෙසේ හෝ ආපසු හැරෙන්නට හැකි සෑම උත්සාහයක්ම දරනවා. දුම්පානය නිසා රෝගී වූ කෙනෙක් රෝහලට ඇතුළු වන්නේ මුලදී මේ ගැන මොනවා හිතා හිටියත් අන්තිම මොහොතේ මියයාමට තිබෙන බය නිසායි. දුම්පානය කරන අයකු වෙතින් ‘ඔබ සිගරට් බිව්වාදැ’යි වෛද්‍යවරයකු විමසා සිටියොත් ඔවුන්ගේ පිළිතුර වන්නේ ‘කලින් බිව්වා තමයි. ඒත් දැන් නවත්තලා’ යනුවෙනුයි. තමන් දුම්පානය කළ ප්‍රමාණයත්, කාලවකවානුවක්වත් මේ බොහෝ දෙනකුට අමතකයි. ඔවුන්ට මෙය අමතක වුණත් ශරීරයට නම් මේවා අමතක වන්නේ නෑ. එනිසා ශරීරය එය මතක තබාගෙන අවස්ථාව පැමිණි විගස ඔබට කරදර ඇති කිරීම ඒකාන්තයි. දුම්පානය ඉහළ මට්ටමකින් කළ කෙනෙක් වෙනත් හේතුවක් නිසා මියගියහොත් ඒ හදිසි අනතුරක් වැනි අනපේක්ෂිත දෙයකින් පමණයි. දුම්පානය කළ කෙනෙක් මියයන්නේම දුම්පානයෙහි ප්‍රතිඵලයක් ලෙසිනුයි. උපන්නොත් මියයා යුතු බව සැබෑය. නමුත් දුම්පානය කළ කෙනෙක් මියයන්නේ අකාලයේයි. එසේ මියයන විට විඳින වේදනාව අසා දැන ගන්නට නම් පරලොවම යා යුතුයි. මෙවැනි දේවල් අසන දකින විට දුම්පානය කරන අයකුට එය නවත්වන්නට සිතේවි. නමුත් කිරි තේ පානය, ටොෆි චොකලට් කෑම ඔබට සිත් වූ පරිද්දෙන් නතර කළ හැකි වුවත් දුම්වැටිය නිෂ්පාදනය කර තිබෙන්නේ එසේ ගැලවෙන්නට නොහැකි අයුරිනුයි. එය පටන් ගැනීම මෙන්ම නතර කිරීමත් දුෂ්කරයි. දුම්වැටිය උරන්නට පටන් ගත් කාලයේ සතියක් පමණ කහිමින් දුක්විඳි අයුරු ඔබට මතක ඇති. ඒත් ඔබ වටා සිටි මිතුරන්ගේ බල කිරීම මත ඔබ එය අතහැරියේ නැහැ නේද? මෙසේ දිගු කාලයක් දුම්පානය කර ඊට ඇබ්බැහි වූ අයකුට එය නතර කරන්නට අපහසුයි. බඩගින්න, පිපාසය වගේ සිගරට් පිළිබඳ අවශ්‍යතාවයක් ඔබගේ ෙදෙනික ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්වෙලා.

සමහරු දවසට සිගරට් 15-20ක් පමණ ගන්නවා. ඒ වගේම දවසට දෙකක් බොන අය සතියකට එකක් බොන අය ආදී වශයෙන්. දුම්පානයට යොමුවූ තැනැත්තා දුම්වැටිය කෙසේ හෝ ගන්නේ එය නැතිව බැරි නිසයි. දුම්වැටියක් ශරීරය ඉල්ලන වෙලාවට එය නොගෙන සිටීම ඉතාමත්ම අමාරු දුෂ්කර කටයුත්තක්. දුම්පානය නතර කරන්නට ඔබට අවශ්‍ය නම් එය ටිකෙන් ටික අඩු කිරීමෙන් කළ හැකි වන්නෙ නෑ. එක දිනෙක සිගරට් පැකට් එකක්ම මිලදීගෙන එක්වරම සියල්ල විනාශ කරන්නට තරම් ආත්ම ශක්තියක් ඔබ ළඟ තිබිය යුතුයි. එසේ එක වරම සිතට ලොකු ශක්තියක් ඇතිකර ගෙන දුම්පානය නතර කරන්න. මීළඟට ඔබ ඉදිරියේ තිබෙන්නේ දුෂ්කර කාලපරිච්ජේදයක්. දුම්වැටියක් නැතිකම නිසා හිරේට ගියා වගේ හැඟීමක් සිතට දැනේවි. ‘ඔන්න ඔහේ එකක් ගන්න’ කියලා ඔබේ හිත බලකරන්නත් පුළුවන්. නමුත් හිත බලකරමින් ඉල්ලන දේට කන් නොදී පළමු දවස. දෙවන දවස, දෙවන සතිය මේ විදිහට දිගටම ඉවසන්න. ‘අ‍පෝ දැන් දවස් කීයක් නම් ඉවසුවාද?’ කියමින් ඔබ ඇඟිලි ගැන බලාවි. ඒ අතර ඔබට වෙනදා නැති නොඉවසුම් ගති, නොයෙකුත් අපහසුතා ආදියත් ඇතිවේවි. ඔබ වගේම ඔබේ පවු‍ලේ අයත් මේවා ඉවසිය යුතුයි. මේ ආකාරයට වසර තුනක් කෙසේ හෝ පසුකර ගත්තොත් ඉන්පසු උදාවන එම තුන්වෙනි වසර ඔබේ ජීවිතේ ආලෝකමත් සමයයි. එදාට කවුරු හෝ ඔබේ අතට දුම්වැටියක් දුන්නත් ඔබට එය ගන්න බැරිවෙනවා. ඒ තරමටම ඔබට එය අප්‍රසන්නයි. සිගරට් දුමවත් ඔබට ඔරොත්තු නොදෙන තත්ත්වයට පත්වෙනවා. දැන් දුම්වැටියට ඇබ්බැහි වී සිටින අයකුට එය නතර කළොත් අනාගතයේ මෙවැනි දිනයක් උදාවන බවවත් විශ්වාස කරන්න අපහසු වෙයි. එයට හේතුව දුම්පානය කරන ඕනෑම කෙනෙක් සිතන්නේ දුම්පානය තමාට කවදාවත් අත්හැර ගත නොහැකි බවයි. ඒත් නොනැසන ආත්ම ශක්තියක් ඔබට ඇතිනම් ඉහත කී ආකාරයට දුම්වැටියෙන් මිදෙන්න ඔබට පුළුවන්. මෙලෙස දුම්පානය නතර කළ අය ඕනෑතරම් අපේ සමාජයේ සිටිනවා. සිතේ ශක්තිය කියන්නෙ ඒකයි. පිරිමිකම කියන්නෙත් ඒ ශක්තියටම තමයි.

පෙණහලු පිළිකාවක් සම්පූර්ණයෙන් ඔඩු දුවා අවසන් මොහොතට එනතුරුම කිසිවකුටවත් දැනෙන්නෙ නෑ. මේ නිසා පෙනහළු පිළිකාවක් සොයාගන්නා විට එය ප්‍රතිකාර කරන මට්ටම පසුවී සෑහෙන කලක් ගතවී අවසානයි. එනම් රෝගියා ජීවිතයේ අවසන් භාගයට පැමිණිලා සිටින්නෙ. හෘදයාබාධයට හේතුවන කිරීටක ධමනි අවහිර වී එය පුපුරා යන මොහොත වනතුරුත් ඒවා තුළ තෙල් තැන්පත් වී ඇති බවක් අපට දැනෙන්නෙ නෑ. එය සිදුවන්නේ අපට නොදැනීමයි. දුම්පානය නිසා ආමාශයේ තුවාල ඇතිවී ඒවා පුපුරා රුධිර වහනයක් ඇතිවී ජීවිතයට අනතුරක් වීමද සිදුවන්නේ රහසිගතවමයි. මේ සියල්ල සිදුවන්නේ හොඳින් දුම්පානය කර එයට ඇබ්බැහිවීමෙන් පසුව එළැඹෙන අද වැනි දිනෙකදීයි. එයද මේ මොහොත වැනිම තවත් මොහොතක්. දුම්වැටි ලෝකයට පැමිණියේ අද ඊයේ නොවෙයි. අපේ සීයලා මුත්තලාගේ කාලයේ සිට පැමිණ දැන් අපවත් යටකරගෙන අපේ දරු පරම්පරාවත් යටකරගෙන බුල්ඩෝසරයක් මෙන් සෙමින් සෙමින් එය ඉදිරියට යනවා. මේ සියල්ල තේරුම් ගැනීමත්, නොදන්නා අයට පහදා දීමත් බුද්ධිමත් ඔබගේ යුතුකමයි.

උපුටා ගැනීම ලක්බිම