🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ප්‍රසූතියෙන් පසු වැදැමහ නිසි ලෙස ඉවත් නොකිරීම නිසා මව මිය ගිහින්

ප්‍රසූතියෙන් පසු වැදැමහ නිසි ලෙස ඉවත් නොකිරීම නිසා මව මිය ගිහින්

තිස් හැවිරිදි සිවිල් ඉංජිනේරුවකු වූ සුජීවත් ඔහුගේ 29 හැවිරිදි බිරිය කේශලාත් මේ ගෙවා දමන්නේ ජීවිතයේ නොසන්සුන්ම දවස් කිහිපයයි. කුළුඳුල් දරු පැටියා ‍බිහිවන්නට තව ඇත්තේ දිනක් නැතිනම් දෙකකි. නිරෝගී තරුණ ජවසම්පන්න කේශලා නුහුරු අත්දැකීමකට ඇති බිය මිස කිසිඳු රෝගයකින් පීඩා නොවින්දාය. “නියමිත සායනවලටත් ගියානේ. බය වෙන්න දෙයක් නෑ. ඔයාට කරදරයක් නැතිව දරුවා ලැබෙයි...” සුජීව, 2009 වසරේ අප්‍රේල් 18 වැනිදා කොළඹ කාසල් රෝහලට ඇතුළු කළ සිය ආදරණීය බිරිය අස්වැසුවේය. එදිනම රාත්‍රී 10.45 ට කේශලා රෝස පැහැ පුංචි පුතකු බිහි කළාය. දරු ප්‍රසූතියේ වේදනාවෙන් හෙම්බත්ව සිටි කේශලා අමාරුවෙන් සිය සැමියා හා කතා කළ මුත් එන්න එන්නටම ඈ දුර්වල වන බවක් සුජීවට දැනෙන්නට විය. 19 වැනිදා දවස ද ඈ ගත කළේ පෙර පරිදිම අපහසුවෙනි. සුජීවට මේ වෙනස වඩාත් දැනුණේ ඈ සමඟම දරුවන් බිහිකළ සෙසු අම්මලා ඒ වන විට ඇ‍ඳෙන් බැස ඇවිදින්නට ද පටන් ගෙන තිබූ නිසාය. 19 වැනිදා සවස් යාමයේ සුජීව කේශලාගෙත් පුතුගෙත් හිස අතගා ඉඹ, හෙට උදෙන්ම එන පොරොන්දුව පිට රෝහලින් නික්මුණත් ඔහුගේ හිතට හරි නැති බවක් දැනිණි. “මට අද ගෙදර යන්න හිතෙන්නෙම නෑ. මොකද මන්ද...” ඒ රාත්‍රිය ඔහුට මහා දිගු එකක් විය. කේශලා නැති ඇ‍ඳේ ඔහුට මහා හිස් කමක් දැනිණි. ඒ මේ අත පෙරළෙමින් සිටි ඔහු එළිවෙන යාමයේ රෝහලට යන්නට සූදානම් විය. “දෙයියනේ! අදවත් මට පුතාවයි කේශලාවයි ගෙදර එක්කන් එන්න ලැබෙන්න!යි සියලු දෙවි දේවතාවුන්ගෙන් ද ඉල්ලා සිටි ඔහු රෝහලට ගියේ දහසක් බලාපොරොත්තු ඇතිවය. පැද්දෙන තොටිල්ලේ පුංචි පුතු ගුලි වී නිදා සිටින මුත් කේශලාගේ ඇ‍ඳේ හිස් බව දුටු ඔහු තරමක් නොසන්සුන් විය.

“අද පාන්දර ඔයාගේ වයිෆ්ට අමාරු වුණා...” ඔහුට ඇසුණේ එපමණකි. "ඒකනම් කීයටවත් වෙන්න බැහැ"යි ඔහු සිතූ මුත් ඒ වන විටත් කේශලා කුළුඳුලේ බිහිකළ කිරි කැටියාත් පණ මෙන් ආදරය කළ සැමියාත් අතැර යන්නටම ගොස් තිබුණේය. අන්තිමේ, ඔහු හා දෙපයින් රෝහලට ගිය කේශලා පෙට්ටියකින් කිහිප දෙනකුගේ කර මතින් ගෙදර ආවාය. කිසිත් නොදත් පුංචි පුතු කිරි ඉල්ලා හඬන, හඬ මළ ගෙදරට පැමිණි කාගේත් සිත් සසළ කළ දසුනක් විය. මරණ පරීක්ෂණයේදී සුජීව කියා සිටියේ මරණය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් අවශ්‍ය බවය. එඩ්වඩ් අහංගම මහතාගේ ද හිත සසළ කළ මේ හදිසි මරණ පරීක්ෂණයට, අධිකරණ වෛද්‍ය නිලධාරී එච්. පී. විජයවර්ධන මහතාගේ ද සාක්ෂි කැඳවිණි. වැඩිදුර පරීක්ෂා කළ යුතු යැයි සඳහන් වූයෙන් කිහිප වරක් කල්ගිය මෙම මරණයේ වාර්තාව ලැබුණේ අගෝස්තු 22 වැනිදාය.

“ඒ අනුව, කේශලා භාරව සිටි වාට්ටුවේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා කැඳවීමට මා තීරණය කළා. ඔහු 1968 MBBS උපාධිය ගෙන මේ රටේ රෝහල් ගණනාවක සේවය කර 1975 වසරේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හා 1976 වසරේ බ්‍රිතාන්‍යයේ රාජකීය නාරි හා ප්‍රසව වෛද්‍ය විද්‍යාලයෙන් උපාධියකුත් ගත් පුද්ගලයෙක්. මේ ඔහු කියූ සාක්ෂිය. “මට ඔය රෝගියාව මතකයි. ඈ සායනවලටත් ආවා. අප්‍රේල් 10 වැනිදාත් සායනයට ආවා. ඈ තරමක් තරබාරු වුවත් කිසිඳු රෝගී තත්ත්වයක් තිබුණේ නැහැ. 18 වැනිදා ඈ රෝහලට එන විටත් ප්‍රසව වේදනාවෙන් හිටියේ. සාමාන්‍ය දරු ප්‍රසූතියක් සඳහායි ඈ සූදානම් කළේ. ඒ නිසා ‘සින්ටෝසිනෝන්’ ලබා දුන්නා. ඒ, සේලයින් සමඟ ඒකක 4 ක් වශයෙන්. රාත්‍රී 10.45 ට ඈ දරුවා බිහිකළා. රුධිරය වහනය වීමක් තිබුණේ නැහැ. ගර්භාෂයත් තද ගතියට තිබුණා. සාමාන්‍ය ලෙසයි ඇගේ වැදෑමහ ඉවත් කළේ. ප්‍රතිජීවක ලබා දී කැපුම් තුවාලයට මැහුම් දැමුවා. ඒ වන විටවත් ඇයට රුධිරය වහනය වූයේ නැහැ. නමුත් 20 වැනිදා පාන්දර ඇගේ අත් පා සීතල වී නාඩි වැටීම දුර්වල වී තිබුණා. ඒ නිසා පාන්දර 1.10 ට පමණ ඇයට ලේ දුන්නා. දැඩි සත්කාර ඒකකයේදීයි ඈ මිය ගියේ...” ඔහු එසේ කීවත් අභ්‍යන්තරික රුධිර වහනයක ලක්ෂණ වන නාඩි වැටීම දුර්වල වීම, බොහොම මූලික කාරණයක්. මේ විශේෂඥ වෛද්‍යවරයාට ඒ බව නොදැනුණේ ඇයි කියන එකයි ප්‍රශ්නෙ... අනික් ප්‍රධානම කාරණය තමයි, වෛද්‍ය වාර්තාවේ හැටියට මේ මවගේ ගර්භාෂය ඇතුළේ වැදෑමහෙන් (පෙකණිය සහ පෙකණියට ආශ්‍රිත කොටස්) තුනෙන් හතරක්ම ඉතිරිව තිබුණා. ඒවා නරක් වී කුණු වී විෂබීජ ඇතුළු වී තිබුණා. ගර්භාෂය ඇතුළේ අභ්‍යන්තර රුධිර වහනය වීමක් සිදුවූ නිසයි රෝගියාගේ නාඩි වැටීම දුර්වල වුණේ. ඇගේ අත් පා සීතල වුණේ. 

“ඇයි මේ මවගේ ගර්භාෂයේ මේ තරම් වැදෑමහ කොටසක් ඉතිරිව තිබියදී මැහුම් දමා තිබෙන්නේ...” .

“මා ඔහුගෙන් විමසුවා. නමුත් ඔහු කියා සිටියේ වෙන කතාවක්.

“ඒක කීයටවත් වෙන්න බැහැ. වැදෑමහ ආශ්‍රිත සියලු අපද්‍රව්‍ය ඉවත් කළ බවයි, ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයා මට පැවසුවේ. මම විශ්වාස කරන්නේ ඔහුගේ කීම සහ ඇඳ ඉහපතේ තිබූ වාර්තාවයි...”

මේ විශේෂඥ වෛද්‍යවරයා අත සෝදා ගත්තේ එලෙස පවසමින්. නමුත් දෙසැම්බර් 16 වැනිදා, මාස අටකට පසු ලැබුණු අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව, මේ මවගේ ගර්භාෂය ආශ්‍රිත ප්‍රදේශයේ රුධිරය පහව ගොස් මළානික සුදු පැහැයට ලක්ව ඇති බව සොයාගෙන තිබුණා. අධික අභ්‍යන්තර රුධිර වහනය වීමක් නිසයි එසේ සිදුව තිබෙන්නේ. ගර්භාෂය තරමක් හැකිළී තිබූ අතර, අර ඉතිරි වූ නරක් වී කුණු වූ අපද්‍රව්‍ය කොටස් ගර්භාෂ බිත්තියේ ඇලී තිබුණා. ඒවා නිසි ලෙස ඉවත්කොට සුද්ද පවිත්‍ර කළානම් ඈ අදත් ජීවතුන් අතර. අවසානයේ මරණයට හේතුව ලෙස සොයා ගත්තේ ඉතිරි වූ වැදෑමහ විශාල ප්‍රමාණයක් නිසා අභ්‍යන්තර රුධිර වහනයත් කම්පිත තත්ත්වයත් නිසා ඈ මියගිය බවයි...” එහෙත් ඉතාමත් ලෙහෙසියෙන් අත සෝදා ගත් විශේෂඥ වෛද්‍යවරයා අරභයා නීතිය කෙසේ ක්‍රියාත්මක වූවාදැයි අහංගම මහතා ද නොදනී. දරු සිඟිත්තකු සමඟ මෙලොව තනිවූ කේශලාගේ සැමියා සුජීව, නඩු කීවාදැයි අපි ද නොදනිමු. අද ද කොහේ හෝ තැනෙක, අම්මෙකුගේ හව්හරණක් ආදරය හෝ සෙනෙහසක් රැකවරණය බිංදු මාත්‍රයක් නැතිව වැඩෙන ඒ පුංචි පුතු, ඒ මියගිය අම්මා සොයන බව පමණක් දනිමු.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

උපුටා ගැනීම සිළුමිණ