🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

දරු ප්‍රසූතියෙන් පසු සිරුර මහත් වෙන්නේ ඇයි?

දරු ප්‍රසූතියෙන් පසු සිරුර මහත් වෙන්නේ ඇයි?

මවක් වීම කාන්තාවකගේ ජීවිතයේ සුන්දරම සිහිනයයි. දරුවා ලැබුණු පසුව ඇයට පැවැරෙන වගකීම් රැසකි. මෙහිදී ඇය කායිකව හා මානසිකව ශක්තිමත්ව පෙර මෙන් නිරෝගී ජීවිතයක් ගත කරන්න නම් මේ කාරණා ගැන දැනුවත් විය යුතුමයි.

ආහාර පිළිබඳ සැලකිලිමත් වන්න
පෝෂණීය ආහාර වර්ග නිතර ගැනීමට හුරුවී ඇති ඔබ මේ වන විටත් ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්. 

  • ආහාර ගත් පසුව කිසි විටෙකත් අතිරේක ආහාර නොගන්න. ෆෝලික් ඇසිඩ්, විටමින් B වැනි දේ අධි මාත්‍රාවෙන් ගැනීමෙන් ශරීරය තරබාරු වීම මීට හේතුවයි. 
  • කිරි ආහාර, දෙල්, කොස්, පොලොස් වැනි ආහාර වැඩිපුර ගත යුතු බව මිථ්‍යාවකි. මේවායින් මවු කිරි වර්ධනය වීමට බලපෑමක් සිදු නොවෙයි. 
  • කාබෝහයිඩේ්‍රට් අඩංගු බත් වේල් 3ටම ගැනීම සුදුසු නැත. රාත්‍රි ආහාරයට මේවා ගත් විට තරබාරු වෙයි. රාත්‍රියට සලාදයක්, එළවළු කිහිපයක් හෝ සුප් පානයක් ගැනීම ප්‍රමාණවත්. අතුරුපසට පලතුරක් එක් කර ගන්න. 
  • උදේ ආහාරය අවදිවී විනාඩි 45 අතර ලබා ගන්න. 
  • මවුවරුන් උදේ තේ පානය පමණක් ගෙන සිටීම නිසා අම්ල පිත්ත රෝග ඇති වෙයි. උදෑසනට ධාන්‍ය වර්ගයක්. අයඩින් ලුණු හැන්දක් මුසු කරගත් කැඳ පානයක් සුදුසුයි. එම ආහාරවලට ලෙමන් හෝ සියඹලා මිශ්‍ර කිරීමෙන් යකඩ අවශෝෂණ පහසු කරයි. පාන්, අල වැනි ආහාර සිරුරට බර නිසා අලස බවක් ගෙන දිය හැකිය. ඒ නිසා උදේ ආහාරයට මේවා නොගන්න. උදෑසන ආහාර ගෙන පැයකට පමණ පසු පලතුරු එක වර්ගයක් හෝ ගන්න.

ව්‍යායාම

  • දරු ප්‍රසූතියෙන් පසු තරබාරු වූ ඔබ නැවැත ක්‍රියාශීලීව කටයුතු කිරීමට නම් ව්‍යායාම කිරීමට හුරුවිය යුතුමයි. 
  • දරු ප්‍රසූතියෙන් පසු මුල් මාස තුන බඩ නැවෙන ව්‍යායාම් නොකරන්න. 
  • එක් කකුලක් පමණක් ඔසවන සරල ව්‍යායාමවලින් ආරම්භයක් ලබන්න. දණහිසේ, වළලු කර හා කොඳු නාරටියේ ආබාධ ඇත්නම්  තෙරපි සිදු කරන්න. තැවීම්, සම්බාහන ක්‍රම වඩාත් සුදුසුයි. වේදනා ඇති ස්ථාන වන බෙල්ල, අත් හා පාදවල විනාඩි 5ක් පමණ තෙරපි කරන්න. 
  • දිනකට දෙවරක් ස්නානය කරන්න. 
  • උදරය ඉදිරියට නෙරා ඇත්නම් ශරීරය නිවැරැදි ඉරියව්වල තබා ගැනීමට කොන්ද ශක්තිමත් වන bandage එකක් පලඳින්න.
  • සති 4ක් පමණ ගතවූ පසු සරල ව්‍යායාම රටාවට හුරු වන්න.

මවුකිරි
මවුකිරි දීමෙන් පියයුරු විශාල වේ යැයි සිතුවද මෙය වැරැදි මතයකි. ශරීරයේ හැඩය හොඳින් තබා ගැනීමට නම් හැකි තරම් කාලයක් දරුවාට මවු කිරි ලබා දෙන්න. පපු පෙදෙස නෙරා ඒමට මවු කිරි දීම බලපාන්නේ නැත. දරුවාට කිරි දෙන කාලයේ (මාස 6ක් වත් ගත වන තුරු) බර පාලනයට විවිධ ඖෂධ ගැනීමෙන් වළකින්න.

මානසික සුවයට

  • රාත්‍රි නිදි වරන නිසා දහවල් 11.00ට පමණ විනාඩි 45ක කෙටි නින්දක් ලබා ගන්න.
  • මාස 2 කට පමණ පසු රෝග පරීක්‍ෂා කර නිසි ප්‍රතිකාර ගැනීමත් මනසට සුවයක්.
  • හවස් යාමයේ විනාඩි 20ක් පමණ බෝධි පූජා වැනි ආගමික කටයුතුවල නිරත වන්න.
  • උදෑසන මල් පැළවලට වතුර දමමින් සුරතල් සතුන් සමඟ සිටිමින් පරිසරයට සමීප වෙමින් කාලය ගත කරන්න.
  • පවුලේ අය හා දරුවා සමඟ නිවෙසින් පිටතට ගොස් ආහාර ගෙන විනෝද වෙන්නට කාලය වෙන් කරන්න.

Stretch Mark 
ගර්භණී සමයේ උදරයේ සම ඇදීමට ලක්වෙයි. මේ හේතුවෙන් කසන විට එම පැල්ලම් සමේ ඇති වෙයි. දරු පසූතියෙන් පසු මාස 6ක් පමණ ගත වූ පසුවත් එම පැල්ලම් ඇත් නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

අඹු - සැමි සබඳතා
අඹු - සැමි සබඳතා පවුල් ජීවිතයේ පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයක්. මේ නිසා දරු ප්‍රසූතියෙන් පසු ඔසප් චක්‍රය යථා තත්ත්වයට පත් වූ පසුව ඔබේ ශරීරය නැවැත දරු පිළිසිඳ ගැනීමකට සූදානම් බව හැඟවෙයි. නමුත් නැවැත දරුවකු පිළිබඳ ඔබ තීරණ කළ යුතු වන්නේ වෛද්‍ය උපදෙස් අනුවය. පවුල් සැලසුම් ක්‍රම වැදගත් වන්නේ එසේ නොමැතිවීම මානසික ගැටලුද වැඩිවන නිසාය. නමුත් අඹු සැමි සබඳතා ඔබේ නිරෝගී බවට සාධකයක් බවද අමතක නොකරන්න.

සිසේරියන් සැත්කමෙන් පසු
සිසේරියන් සැත්කමකට මුහුණදුන් කාන්තාවක් නම් පවුල් සායන උපදේශකවරියකගෙන් උපදෙස් ලබා අඹු සැමි සබඳතා පැවැත්වීම වැදගත්ය. සැත්කමේ මැහුම් වැඩි නම් ඔබට ගැළපෙන විවිධ ලිංගික ඉරියව් පිළිබඳවත් ඇය ඔබ දැනුවත් කරයි.

ශාලිකා රංගනි සමරදිවාකර
මව්බිම