🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මේ කාලයේ ඉස්මතු වී එන ඇදුම හා පපුවේ මහන්සියෙන් මිදෙන්නට ආයුර්වේදයෙන් උපදෙස්

මේ කාලයේ ඉස්මතු වී එන ඇදුම හා පපුවේ මහන්සියෙන් මිදෙන්නට ආයුර්වේදයෙන් උපදෙස්

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව Bronchial Asthma ලෙස හඳුන්වන ඇදුම රෝගය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව ශ්වාශ නොහොත් තමක ශ්වාශ යනුවෙන් හඳුන්වා දෙයි. පෞද්ගලික දිවි පැවැත්මේ සිදුවන වෙනස්කම් මෙන්ම ශීඝ්‍රයෙන් ඉහළ යන පරිසර දූෂණයද ඇදුම රෝගයට තීරණාත්මක ලෙස බලපෑම් කරනා බැවින් වර්තමානයේ මෙම රෝගී තත්ත්වය ඉතා වේගයෙන් ව්‍යාප්තවෙමින් පවතී. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළද ඇදුම රෝගයට ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ක්‍රම රාශියක් තිබෙන බැවින් ඇදුම රෝගය, ඊට හේතුවන කරුණු කාරණා සහ ඊට අදාළ චිකිත්සක ක්‍රම පිළිබඳ දේශීය වෛද්‍ය විද්‍යාත්මක කෝණයකින් විග්‍රහකිරීම කාලීන වටිනාකම් සහිත ක්‍රියාවක් බව අවිවාදිතය. මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහ සංවර්ධන නිලධාරි ආයුර්වේද වෛද්‍ය චූලා විජේරත්න මහත්මිය හා පැවැති සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය ලියැවේ. පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය අනුව ශ්වාශ නොහොත් ඇදුම රෝගය ප්‍රභේද පහක් යටතේ විග්‍රහ කෙරෙයි. මහා ශ්වාශ, ඌර්ව ශ්වාශ, ඡින්න ශ්වාශ, තමක ශ්වාශ සහ ක්ෂුද්‍ර ශ්වාශ යන අංශ පහක් යටතේ විග්‍රහ කෙරෙනා ඇදුම රෝගයේ මූලික ලක්ෂණය ලෙස ස්වසනයේදී ඇති අසීරුතාව දැක්විය හැක.

සාමාන්‍ය ශ්වසන ක්‍රියාවේදී නාසයෙන් ඇතුළු වන වාතය පෙණහලු තුළට ඇතුළුවී එහි ඇති ගර්ථ නම් කුඩා වායු කෝෂ පිම්බිමක් සිදු කෙරෙයි. (වාතයේ ඇති ඔක්සිජන් කොටස් රුධිර නාලිකා මගින් අවශෝෂණය කරගන්නේ මෙහිදීය) මෙම ක්‍රියාවට මෙන්ම ප්‍රශ්වාස වාතය පිටකිරීමේදීද මෙකී ගර්ථවල ක්‍රියාකාරිත්වය අතිශයින් වැදගත් වෙයි. එහෙත් ශරීරයේ දෝෂ තත්ත්වයන් නිසා සෙම් කොටස් මගින් මෙකී ගර්ථ අවහිරව යෑම නිසා ශ්වසන ක්‍රියාවලියට (විශේෂයෙන්ම ප්‍රශ්වාස වාතය පිටකිරීමට) බාධා පැමිණෙයි. එමෙන්ම ශ්වසනයේදී කීං හඩින් ශබ්දයක් පිටවීමටද මෙකී අවහිරතාව හේතු වෙයි. ‍පොදු භාවිතයේදී ඇදුම රෝගය ඥඥල ලෙස හඳුන්වාදීමටද මෙම තත්ත්වය ඉවහල් වෙයි. ශ්වසනයේදී දක්වන අපහසුතාවය, ශ්වාස නොහොත් ඇදුම රෝගය හඳුනාගත හැකි මූලික ලක්ෂණය වෙයි. එහෙත් ශ්වාශ රෝගය නොවන, වෙනත් රෝගයක ලක්ෂණ ලෙසද කෙනෙකුට මෙකී ශ්වසන අපහසුතා ඇතිවිය හැක. සරම්ප සහ හෘද රෝගවලදී ශ්වාශ රෝගයේ ලක්ෂණ මතුවීම එයට උදාහරණයකි. ශ්වාශ රෝගය වැළඳීමට ශරීරයේ වාත සහ කප (සෙම්) දෝෂ හේතුවන බව ආයුර්වේදයේ සඳහන්වන අතර ඔබේ පෞද්ගලික දිවියේ ඇවතුම්, පැවතුම්, ඔබ දිවි ගෙවනා පරිසරය, ඔබේ ආහාර රටාව සහ ඔබේ මානසික සුවතාවයද ඇදුම රෝගය සම්බන්ධව ඉතා තීරණාත්මක බලපෑමක් ඇති කරයි. ශ්වාශ රෝගයට පුද්ගලයෙකු ලක්වීමට නිශ්චිත වයස් සීමාවක් නැත. උත්පත්තියෙන් කප දෝෂ සහිත පුද්ගලයන්ට මෙකී අවදානම වඩාත් දැඩිව දැනෙන අතර, ආහාර, විවිධ රසායනික ද්‍රව්‍ය සහ බෙහෙත් වර්ග සඳහා අසාත්මිකතා දක්වන්නන්ද ඇදුම රෝගයට ලක්වීමට වැඩි අවදානමක් සහිත පුද්ගලයන් ලෙස හඳුනාගත හැක. පුද්ගලයකෙුගේ සෞඛ්‍යමත්භාවය හා සම්බන්ධව ඔහු ගන්නා ආහාර තීරණාත්මක බව ආයුර්වේදයේ බොහෝ තැන්වල සඳහන් වෙයි. මෙම තත්ත්වය ඇදුම රෝගය සම්බන්ධවද ඉතා තීරණාත්මක ලෙස බලපෑම් කරයි. 

ඒ අනුව අධික උෂ්ණ ආහාර මෙන්ම ශරීර දාහය ඇති කරවන ආහාර නිතර ගැනීමද, දිරවීමට අසීරු ඌරු මස් වැනි ආහාර ද බදින ලද කඩල වැනි වියළි ආහාර ද වැගිරෙන සුළු ගුණය ඇති බණ්ඩක්කා, නිවිති, එළකිරි, මීකිරි වැනි ආහාරද නිතර ගැනීම ඇදුම රෝගයට ඇති අවදානම වැඩිකරයි. කෙළවල්ලන්, ඉස්සන්, කකුළුවන්, දැල්ලන් වැනි මත්ස්‍ය ආහාරද, තක්කාලි, අන්නාසි, විනාකිරි වැනි අම්ල දේවල්ද ඇදුම රෝගයට මග පාදයි. විශේෂයෙන්ම මෙම ආහාර සඳහා ඔබ යම් අසාත්මික බවක් දක්වයි නම් ඉන් වැළකී සිටීම අනාගතයේ ඇදුම රෝගී අවදානමින් මිදීමට උපකාරී වෙයි. ශීතකරණ ලද ජලය සහ බිම වර්ග නිතර භාවිත කිරීමද ඔබ ඇදුම රෝගියෙකු කිරීමට ඉඩ තිබේ. එමෙන්ම වර්තමානයේ ආහාර පිසීමේදී සහ සැකසීමේදී භාවිත කරනා රසකාරක සහ වර්ණකාරකද (විශේෂයෙන්ම කහ වර්ණය) කල්තබාගැනීම සඳහා ආහාරවලට එක්කරනා කෘත්‍රිම රසායනද ඔබ ඇදුම රෝගියෙකු කිරීමට ඉඩ තිබේ. පිසින ලද ආහාර ශීතකරණයේ බහා පසුව ප්‍රයෝජනයට ගැනීමද, මීකිරි, එළකිරි, පුහුල් වැනි ආහාර රාත්‍රියට ගැනීමත් ඔබ ඇදුම රෝගියෙකු කරවීමට ඉවහල් වෙයි. ඇදුම රෝගයෙන් වැළකීමට ඔබට උපකාර වන ආහාර වර්ගද ආයුර්වේදයේ සඳහන් වෙයි. ඒ අනුව නිවුඩු සහල් බත්, කුරක්කන්, තෙම්පරාදු කළ කඩල, කව්පි, පරිප්පු, සෝයා වැනි ධාන්‍ය ආහාර ඇදුම රෝගයෙන් වැළකීමට යෝග්‍ය වන අතර කරවිල, පතෝල, වැටකොළු, තුඹ කරවිල, අළු කෙසෙල්, බෝංචි, වට්ටක්කා, කැකිරි වැනි එළවළු ද ගොටුකොළ, මැල්ල කොළ, කිරිඅගුණ කොළ, කතුරුමුරුංගා කොළ මැල්ලුම්ද ඇදුම රෝගීන්ට ඉතා ගුණදායි වෙයි. බෙලි, දිවුල්, ඉදුනු අඹ, නාරං, දෙහි, සීනි කෙසෙල්, උගුරැස්ස, නෙල්ලි ආදී පලතුරු ද ඇදුම රෝගීනට යෝග්‍ය වෙයි. ඔබ ගස්ලබු ආහාරයට ගන්නේ නම් එය උදේ හෝ දහවල් අතුරුපසට සීමා කරගන්න. රාත්‍රියට ගස්ලබු ආහාරයට ගැනීම සුදුසු නොවේ. කොත්තමල්ලි සහ ඉඟුරු තම්බා බිමත්, ඉඟුරු දමා තේ බිමත් සතියකට දෙතුන් වතාවක් තැම්බුම් හොදි සාදා බිමත් ඉතාමත් සුදුසු වෙයි. විශේෂයෙන්ම සෙම් රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඇතිවන කෑම අරුචියට තැම්බුම් හොදි පානය ඉතා ප්‍රත්‍යක්ෂ ඔසුවකි. ඊට අමතරව කරපිංචා කොළ, එළබටු දළු, ගොටුකොළ ආදී කැඳ වර්ග භාවිතයද ඉතා ගුණදායක වෙයි. අමු ඉඟුරු, සුදු ලූනු, කබ‍ලේ බදින ලද අබ කුඩු දමා බත් කැඳ සාදා බිමද ඉතා යෝග්‍ය වෙයි. සාලයා, සූඩයා, අමුහාල්මැස්සන් වැනි මත්ස්‍ය ආහාරද එළු මස් ද මෙම රෝගී තත්ත්වයට ගුණදායක වන අතර එළු කිරි බිමද ඉතා ගුණදායකය. 

ඇදුම රෝගයෙන් ආරක්ෂා වීමට ඔබගේ පෞද්ගලික ඇවතුම් පැවතුම්ද ඉතා තීරණාත්මක ලෙස බලපායි. අධික ශීතලයට නිරාවරණය වී ස්නානය කිරීම, තියුණු සුළං ප්‍රවාහයන්ට දිගු වේලාවක් ලක්වීම. රාත්‍රී ස්නානය සහ රාත්‍රී ස්නානය කර අකැප ආහාර ගැනීම සුදුසු නොවන අතර, අධික වෙහෙස ගෙන එන ව්‍යායාම් සහ ක්‍රීඩාවල නියැළීම මෙන්ම මල මුත්‍ර වේග පාලනයද සුදුසු නොවේ. ඊට අමතරව පෞද්ගලික පරිසරයේ පවිත්‍රතාවයද ඉතා වැදගත්ය. ඇදුම රෝගියෙකු සිටින කාමරයක දූවිලි දින දෙකකට වරක්වත් පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය වෙයි. ඇදුම රෝගියෙකු හිස තබනා කොට්ටයට උර තුනක් පමණ යෙදීම වැදගත්ය. මන්දයත් පුළුන් තුළ ඇති සියුම් දූවිලි අංශු පිටතට පැමිණීම ඉන් අවම වන බැවිනි. ඇදුම රෝගියෙකුගේ කාමරය තුළ තුල්සි (මදුරුතලා) පැළෑටියක් බඳුනක වවා දහවල් කාලයේ තැබිමද ඉතා සුදුසු ක්‍රමයකි. එම පැළෑටිය මගින් නිකුත් කරන වාෂ්පශීලී තෙල් නිසා ඉතා හොඳින් අවට වායුව පිරිසිදු වෙයි. ඇදුම රෝගයෙන් පෙළෙන්නෙකු ශීතාධික පරිසරයකදී රාත්‍රී නිදාගන්නා විට හිස, කන් සහ ගෙල ප්‍රදේශ හොඳින් ආවරණය කරගැනීම සිදුකළ යුතු වෙයි. ආයුර්ව්ද වෛද්‍ය ක්‍රමයේදී සුවකළ නොහැකි රෝග අටක් දැක්වෙන අතර එකී රෝගයන් මහා රෝග ලෙස විස්තර කෙරෙයි. එහෙත් ඇදුම නොහොත් ශ්වාශ රෝගය එවැනි මහා රෝගයක් නොවේ. ඇදුම රෝගය ස්ථීර ලෙස සුව කළහැකි රෝගයක් වන අතර ඒ සඳහා ඉතා දියුණු ප්‍රතිකාර පන්තියක් ආයුර්වේදයේ අඩංගු වෙයි. ශෝදන, ශමන, තර්පන යන ත්‍රිවැදෑරුම් ප්‍රතිකාරවලින් සමන්විත ඇදුම රෝගය සඳහා වන දේශීය ප්‍රතිකාර පන්තිය ක්‍රමානුකූලව ගැනීම මගින් ඉතා සාර්ථකව මෙම රෝගයෙන් මිදීමට ඔබට හැකියාව ඇත. මේ සඳහා වන ශෝදන ප්‍රතිකාර ක්‍රමයේදී රෝගියාගේ බල අබලතාවය සලකා බලා පංචකර්ම වැනි චිකිත්සාවක් හෝ එබඳු ඖෂධීය ප්‍රතිකාර ක්‍රම යොදාගැනීම සිදුකරනු ලබයි. එහිදී අරිෂ්ඨ, ගුලි, කල්ක සහ තෙල් වර්ග භාවිත කරනු ලබයි. ඇදුම සඳහා වන ශමන ප්‍රතිකාරයේදී ශරීරයේ බාහිර හා අභ්‍යන්තරයට සිදුකරනා ප්‍රතිකාර රාශියක් සිදුකරනු ලබයි. විශේෂයෙන්ම පපුවේ සහ පිට ප්‍රදේශයේ තෙල් ගැල්වීම, ඖෂධීය දුම් වර්ග ඇල්ලීම වැනි ප්‍රතිකාර මෙන්ම ක්ෂාය අරිෂ්ඨ ආදිය භාවිත කර සිදුකරන ප්‍රතිකාරද සිදුකරනු ලබයි. ඇදුම රෝගය සඳහා වන තර්පන ප්‍රතිකාරය මගින් ශරීර ධාතු පරිවෘත්තිය ශක්තිමත් කර සිරුර ‍පෝෂණය කරනා අතර එමගින් ශරීරයේ ශක්තිය ඇති කරයි. එනිසාම ප්‍රතිශක්තිකරණයද ඉහළ දැමීම සිදුකරයි. මේ සියලු ප්‍රතිකාර ක්‍රම නිසි කල් නිසි පිළිවෙළට සිදුකිරීමෙන් ඔබට ඇදුම රෝගයෙන් අත්මිදිය හැක. ඇදුම රෝගය සම්බන්ධ දුර්මත රාශියක් සමාජගත වී ඇති අතර මෙබඳු දුර්මත නිසා බොහෝ රෝගීන් නොමග ගොස් පීඩාවට පත්වීම කනගාටුවට කරුණකි. බිත්තර ඇදුම රෝගීනට අගුණ බවට ඇති දුර්මතය එවැනි එකකි. එහෙත් බිත්තර සඳහා අසාත්මික බවක් දක්වන පුද්ගලයෙකුට පමණක් බිත්තර ආහාරයට ගැනීම නිසා ඇදුම රෝග ලක්ෂණ පහළ විය හැක. එවැනි අසාත්මික බවක් පළ නොකරන රෝගියෙකුට බිත්තර නිසා ඇදුම රෝගය උත්සන්න වීමක් සිදු නොවේ. ආයුර්වේද ක්‍රමය මගින් ඇදුම රෝගය මුලින් උත්සන්න කර පසුව සුවකරනා බවද මුළුමනින්ම වැරදි සහගතය. පළපුරුදු වෛද්‍යවරයෙකු මගින් නිසි පරිදි කෙරෙන ප්‍රතිකාරයක් අනුව ඇදුම රෝගය කිසිදු පසු ආබාධ තත්ත්වයකින් තොරව සුවකළ හැකිය.

උපුටා ගැනීම ලක්බිම පුවත්පත