🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සුව වෙන්නට යැයි සිතා කළ සැත්කම අවසානයේ මව මරුට

සුව වෙන්නට යැයි සිතා කළ සැත්කම අවසානයේ මව මරුට

නවීන වෛද්‍ය තාක්ෂණය කොයිතරම් දියුණු වුවත් ඒවා ද පරහට හිටින අවස්ථා නැතුවා නොවේ. ජීවිතය නැතිවන තැනට කටයුතු යෙදෙන්නට එවැනි හේතුවක්ම ඉස්සර වූ විට අසරණ රෝගියකු කුමක් කරන්න ද... පනස් දෙහැවිරිදි වියේ පසු වූ මල්ලිකාට අත්වූයේ ද එවැනි ඉරණමකි. කලක පටන් තිබූ උදරාබාධය ඒ වන විට ඈ සෑහෙන වෙහෙසකට පත් කර තිබුණා පමණක් නොව දෛනික ජීවිතය ද අඩපණ කරන තරමට වධකාරී තත්ත්වයක් උදාකර තිබිණි. අමාරුවෙන් අපහසුවෙන් ගත කළ අවස්ථා අනේකවාරයකදී ඈ යළි කෙසේ හෝ නැඟිට ගත් නමුත් සුව වෙන්නට යැයි සිතා කළ සැත්කම අවසානයේ නොසිතූ ලෙස අවසන් ගමන් ගියාය. කඩවත පදිංචිකාරියක වූ මල්ලිකාට එකම පුතෙකි. 25 හැවිරිදි වියේ පසුවූ ඔහු, සිය මවගේ හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දී තිබුණේ මෙසේයි. 

“මියගිය මගේ මවට කලක පටන් බඩේ අමාරුවක් තිබුණා. නමුත් ඇය සතොස ගබඩා අංශයේ ඇසුරුම් සේවිකාවක ලෙස වැඩ කළා. පිත්තාශයේ ගල් ඇති බව දැන සිටි අතර ඒ සඳහා නොයෙක් වර ප්‍රතිකාර ගත්තා. 2009 අගෝස්තු 28 වැනි දින ඇයට ලැපරොස්කොපි ශල්‍යකර්මයක් සිදුකළා. ඉන් පසු දිගටම ඇයට බඩ රිදෙන්නට ගත්තා. වමනය, උණ, පාචනය පමණක් ඈ ළඟ ළඟ ක්ලාන්ත වන්නට වුණා. ඒ අතරම බඩ පිපුණා. ඇයට අඩු රුධිර පීඩන තත්ත්වයක් ඇතිවී තිබුණා. මේ තත්ත්වය යටතේයි ඇයට දෙවැනි සැත්කමකට යොමු කළේ. මේ සැත්කම් දෙකම සිදුකළේ ජාතික රෝහලේදී. දෙවැනි සැත්කමෙන් පසුවයි දැනගත්තේ ඇගේ බඩවැලේ සිදුරු ඇති බව. ඉන් පසුව යළිත් ඇයට ගැහෙමින් උණ ගත්තා. අවසානයේ ඈ මියගොස් ඇති බව දැනගත්තා...” පුතුගේ මේ සාක්ෂිය සහ මරණ පරීක්ෂණයේ සියලු සාක්ෂි කැඳවූ එඩ්වඩ් අහංගම හදිසි මරණ පරීක්ෂක තුමා සිය රාජකාරි ඇරැඹූයේ එතැන් සිටයි. මෙහි පරීක්ෂණය බාර වූයේ, දක්ෂ පළපුරුදු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ. දයාපාල මහතාටයි. ඔහු මිනිය කපා බැලුවා. බඩවැල තුවාල වී ඇති බවත් එම තුවාල නිසා සෙප්සිස් (Sepsis) සහ පෙරිටොනයිටීස් (Peritonistes) තත්ත්වයක් ඇතිවී ඇති බවත් මරණයට හේතුව එය බවත් සොයා ගත්තා. පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට මා නියම කළේ ඉන් පසුවයි. මේ මවට සැත්කම සිදුකර තිබුණේ එවකට එම රෝහලේ ජ්‍යෙෂ්ඨ රෙජිස්ටාර්වරයකු ලෙස සේවය කළ වෛද්‍යවරයෙක්. ඔහු කියන විදියට මේ මවගේ බඩේ අමාරුවට අවුරුදු තුනකට වැඩි කාලයක් ගතවී තිබුණා. දෙවැනි ශල්‍යකර්මය 31 වැනිදා වන විට ඇගේ රුධිර පීඩනය හොඳටම අඩු වී තිබුණා. බඩ පිපී උදරයේ වේදනාව සහ උණ දිගටම තිබූ නිසයි දෙවැනි සැත්කම වන ‘ලැපරොටොමි’ ක්‍රමයට බඩ පලා සැත්කම සිදු කළේ. එවිටයි ඔහු දුටුවේ මිලිමීටර තුනක ප්‍රමාණයට සිදුරු ඇතිවී ඇති බව. ඒ තුවාල පැසවා, ඉදිමී තිබුණු අතර බඩවැල්වල ඇති අපද්‍රව්‍ය ඉන් එළියට එන තරමට ඒවා උග්‍ර වී තිබුණා. සැප්තැම්බර් 02 වැනිදා මේ මව මරණයට පත්වූයේ දැඩි සත්කාර ඒකකයේදී. ඒ වන විටත් ඇයට දී තිබූ ප්‍රතිජීවක කිසිවක් ශරීරය තුළ ක්‍රියාත්මක වූයේ නැහැ. ඇය ‘Myocardial infarction’ කියන හෘද රෝග තත්ත්වයටත් පත්වී තිබුණා. මෙවැනි අවස්ථාවක සිදුකළ යුතු Troponin - I පරීක්ෂණය කළා දැයි මා ඔහුගෙන් විමසුවා. ‘ඒ සඳහා පහසුකම් තිබුණේ නැහැ...’ ඔහු කීවා. ඊළඟට ඔහු කියනවා දුටු පරිදි රෝගියාගේ ECG වාර්තාවත් හොඳ නැහැ කියලා. ඒ වාර්තාව ඉදිරිපත් කරන්න යැයි යළි මා පැවසූ විට මේ වෛද්‍යවරයා කියා සිටියේ වෙනම කතාවක්. ඒ සඳහා අවශ්‍ය පටි රෝහලේ තිබුණේ නැති බැවින් තමා එය දුටුවේ මොනිටරයෙන් පමණක් බවයි, ඔහු කියා සිටියේ. හැබැයි ඔහු පිළිගත්තා අවසානයේ රෝගියා මියගියේ ‘සෙප්සිස්’ තත්ත්වයට පත්වීමෙන් බව.

ඔය විදියට දිගින් දිගටම කරුණු හොයද්දී තමයි එළි වුණේ බඩ නොපලා පළමුව ලැපරොස්කොපි ක්‍රමයට කළ සැත්කමේදියි මේ රෝගියාගේ බඩවැල් සිදුරු වී තිබෙන්නේ. එහිදී සිදුවන්නේ බඩවැල් ඇතුළට කැමරාවක් සහ අදාළ සැත්කම් උපකරණ යවා වෛද්‍යවරයා මොනිටරය දෙස බලමින් සැත්කම සිදුකිරීමයි. මෙසේ කැමරාව සමඟ ඇතුළු කළ පිහි තුඩකටයි මේ බඩවැල් සිදුරු වී තිබෙන්නේ ඉතාමත් සියුම්ව, පළපුරුදු වෛද්‍යවරයෙක් විසින් කළ යුතු පිටින් ඉඳන් කරන මෙවැනි සැත්කම් ඉතාමත්ම පරෙස්සමට කළ යුතුයි. වෛද්‍යවරයාගෙන් සිදුවූ අත්වැරැද්දක් නිසයි මේ ආකාරයට ඇගේ බඩවැල සිදුරු වූයේ. එය වෛද්‍යවරයාවත් දන්නේ නැහැ. ඊළඟට ඒ තුවාලවලට විෂබීජ ගිහින්. මොකද දිරාපත් ආහාර අසූචි බවට පත්වෙමින් ගමන් කරන්නේ මේ බඩවැල් කොටසින්. දිගින් දිගටම උණ පැවතුණේ මේ පැසවා නරක් වූ තුවාල නිසා. අවසානයේ ‘ලැපරටොමි’ ක්‍රමයට බඩ පළා කළ සැත්කමෙනුයි මේ තුවාල දුටුවේ. එවිට ඈ සෑහෙන දුර්වල වෙලා. ‘මෙඩිකල් මිස්ඇඩ්වෙන්චර්...’ මා තීන්දුව ලියුවේ ඒ විදියට. නොසැලකිල්ල නිසා නොවෙයි නම් මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ නැහැ. ‘සිවිල් නඩුවකට යන්න...’ මට ඔවුන් වෙනුවෙන් දෙන්න පුළුවන් එකම උපදෙස එපමණයි. අවසානයේ සිදු වූයේ මේ අහිංසක රෝගී මවට ජීවිතය අහිමි වීම පමණයි. වරද කොතැනක වුවත් ජීවිතයෙන් වන්දි ගෙවන්නේ රෝගීන්... එඩ්වඩ් අහංගමයන් පෙන්වා දෙන මේ ජීවන අත්දැකීම්, රෝහල් සේවයේ සියල්ලන්ම පරමාදර්ශ කොට ගන්නේ නම්, තවත් මිනිස් ජිවිතයක් සුරැකෙනු ඇත. සිදුවිය යුත්තේ ද එයයි.

කොළඹ විශ්‍රාමික නාග­රික හදිසි මරණ පරීක්ෂක එඩ්වඩ් අහංගම මහතාගේ ජීවන අත්දැකීම් 

ඉනෝකා පෙරේරා බණ්ඩාර

උපුටා ගැනීම සිළුමිණ