🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සිරුරේ පැත්තක තාවකාලික හිරිය අංශභාගය හඟවන ලක්ෂණයක්

සිරුරේ පැත්තක තාවකාලික හිරිය අංශභාගය හඟවන ලක්ෂණයක්

ආඝාතය, එසේත් නැතිනම්, අංශ භාගය අයහපත් ජීවන චර්යාවන්ගේ බලපෑම නිසා ද ඇති විය හැකි රෝගයකි. අත පය පණ නැතිව යාම, ඇවිද ගැනීමට, කතා කිරීමට නොහැකි වීම ගොතය ආදී විවිධ රෝග ලක්ෂණය නිසා ජීවිතය අඩපණ කරන ආඝාතය වළක්වා ගත හැකි රෝගී තත්ත්වයක් ද? අද කතා කරන්නේ ඒ පිළිබඳවයි‍.

සිරුරේ පැත්තක පණ නැති වීමක් ඇති වන්නේ කවර හේතු නිසා ද?

චලනය, සංවේදනය, පෙනුම, කතාව, ඉරියව් පාලනය ආදී අපගේ ශරීරයේ සෑම ක්‍රියාකාරිත්වයක් ම පාලනය කරන්නේ මොළයෙන්. ඉතින් මොළයේ යම්කිසි තැනක ආබාධයක් ඇති වුවහොත් මොළයේ, එම කොටසින් පාලනය වන ශරීරයේ අනුරූප කොටසේ ක්‍රියාව නැතිව යනවා. එසේත් නැතිනම් අඩාළ වෙනවා. බොහෝ විට මෙය නිරූපණය වන්නේ ශරීරයේ එක පැත්තක පණ නැතිවීමක් ලෙසයි. එහිදී සිදුවන්නේ ශරීරයේ ඒ පැත්තේ පේශිවල චලනය පාලනය කරන මධ්‍යස්ථානය පිහිටි මොළයේ අදාළ කොටස ක්‍රියා විරහිත වීමයි.

මේ විදිහට මොළයේ එක් එක් කොටස් ක්‍රියා විරහිත වෙන්නේ කුමක් නිසා ද?

ඒ සඳහා බොහෝ විට බලපාන්නේ මොළයේ අනුරූප කොටසෙහි රුධිර සැපයුම අඩාළ වීමයි. එය එම කොටසට සැපයෙන රුධිර නාළයක් පුපුරා යෑම නිසා හෝ සිහින් වී සිරවීම නිසා හෝ රුධිර කැටියක් වෙනත් තැනක සිට පාවී ඇවිත් හිරවීම නිසා හෝ සිදුවිය හැකියි. ඊට අමතරව මොළයේ එම ස්ථානයට පිටතින් තුවාලයක් සිදු වුවහොත්, විෂබීජ ආසාදනයක්, ගෙඩියක්, අර්බුදයක් වැනි තත්ත්වයකදීත් එම රෝග ලක්ෂණ ඇතිවිය හැකියි.

ආඝාතයේදී ශරීරයේ එක් පැත්තක පමණක් පණ නැතිවන්නේ ඇයි?

අපේ ශරීරයේ දකුණු පැත්ත පාලනය කරන්නේ මොළයේ වම් පැත්තේ පිහිටි අර්ධ ගෝලයෙන්. වම් පැත්ත පාලනය කරන්නේ මොළයේ දකුණු අර්ධගෝලයෙන්. ඉතින් මොළයේ දකුණු සහ වම් අර්ධ ගෝල දෙකට රුධිරය සැපයෙන්නේ එකිනෙකට වෙන්වූ නාළ යුගල හතරකින්. බොහෝ විට රෝගී වන්නේ එක් රුධිර නාළයක් පමණක් නිසා අක්‍රිය වන්නේ ශරීරයේ එක් පැත්තක් පමණයි. අංශභාගය කියන නම පට බැ‍ඳෙන්න ඇත්තේ ද ඒ නිසයි.

ආඝාතයේ පැහැදිලිව දැක ගත හැකි රෝග ලක්ෂණ මොනවාද?

ආඝාතයේදී මොළයේ සිට සිරුර පුරා දිවෙන ස්නායු ක්‍රියාවිරහිත වීමක් සිදුවෙනවා. මෙහිදී ශරීරයේ පේශී අප්‍රාණිකත්වය සහ සමෙහි දැනීම නැතිවී යාම, කතාව ගොත වීම හෝ නැති වීම, පෙනීම අඩුවීම හෝ නැතිවීම ආදී රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. සමහර විට කල්පනාව අඩුවීමට හෝ සිහි මුර්ජා වීමට‍ ද පුළුවන්.

අංශභාගය සෑදීමේ අවදානම වැඩි අය කවුද?

අධිරුධිර පීඩනය, දියවැඩියාව හා රුධිරයේ කෙ‍ාලොස්ටරෝල් මට්ටම වැඩි අයට අංශභාගය සෑදීමේ ප්‍රවණතාව වැඩියි. දුම්පානය කරන අයටත් අවදානමක් තිබෙනවා. ඒ වගේ ම හෘද රෝගවලින් පෙළෙන අයගේ හෘදයේ හට ගන්නා ලේ කැටි රුධිර නාළ දිගේ පාවී ගොස් මොළයේ සිහින් වූ නාළ තුළ සිරවීමෙන් අංශභාගය තත්ත්වය ඇති විය හැකියි. ඒ නිසා මේ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ගනිමින් පාලනය කර ගන්නවා නම් අංශභාගය නැමැති සංකූලතාව ඇතිවීම වළක්වා ගත හැකියි.

ඔබ කියන්නේ හෘද ‍රෝග හා අංශභාගය අතර සම්බන්ධතාවක් තිබෙන බවද?

ඔව්. හෘදයාබාදයක දී සිදුවන්නේ හෘදයේ කොටසක ලේ සැපයීම නතරවීම හේතුවෙන් එම කොටස අක්‍රිය වීමයි. එසේ අක්‍රියවූ බිත්තිය සහිත හෘද වස්තු කුහරය තුළ රුධිර ගමන නිසි අයුරින් සිදු නොවීමේ හේතුවෙන් රුධිරය කැට ගැසී අක්‍රිය බිත්තිය මත රැඳිය හැකියි. එය ගැලවී රුධිරයේ පාවී ගොස් මොළයේ රුධිර නාළ තුළ හිරවුවහොත් ඒ පුද්ගලයාට අංශභාගය ඇතිවිය හැකියි.

අංශභාගය කල් තියා හඳුනාගත හැකි රෝග ලක්ෂණ තිබෙනවා ද?

ඔව්. අංශභාගය හැදුණු රෝගීන් ගෙන් හතරෙන් එක් අයකුට කල්තියාම අනතුරු හඟවන රෝග ලක්ෂණ මතු වෙනවා. ශරීරයේ පැත්තක තාවකාලිකව ඇතිවන හිරිය, (මෙය පැය කිහිපයක් හෝ විනාඩි කිහිපයක් විය හැකිය) පණ නැති ගතිය, ඇසේ පෙනුම තාවකාලිකව දුර්වල වීම වැනි තත්ත්වයන් ඉන් සමහරක්. දිනක් රෝහල් වාට්ටුවේදී එක් රෝගියෙක් තමන්ගේ දත් ඇන්ද ගලවා අතට අරගෙන විමතියෙන් ඒ දෙස බලනවා දුටු මම ඔහුගෙන් ඒ ගැන විමසුවා. ඔහුට ඒ වෙලාවේ වචනයක් හෝ කතා කරගත නොහැකිවයි සිටියේ. රෝගියා තමන්ගේ දත් ඇන්ද ගැලවූ නිසා කතා කරගන්නට බැරිව ගිය බව මුලින් සිතුවත් ඊට හේතුව වුණේ මොළයේ ඇතිවූ වෙනසක්. එහිදී සිදුව තිබුණේ ඔහුගේ මොළයේ තාවකාලිකව රුධිර සැපයුමේ අඩාළ වීමක්. ඒ අවස්ථාවේ ඔහුගේ රුධිර පීඩනය වැඩි වී තිබු අතර වහාම ඖෂධ මඟින් එය පාලනය කළ නිසා ඔහු අංශභාගය රෝගයෙන් වළක්වා ගැනීමට හැකිවුණා. මෙවැනි අනතුරු හඟවන රෝග ලක්ෂණ මතු වුවහොත් ඔබ කළ යුතු වන්නේ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමයි.

මවට හෝ පියාට අංශභාගය හැදුණොත් අනාගතයේ දරුවන්ටත් එය ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙනවා ද?

එය තීරණය වන්නේ මවට හෝ පියාට අංශභාගෙ හැදුණේ කවර හේතු නිසා ද යන සාධක අනුවයි. ඔවුන්ට ආඝාතනය හැදුණේ අධික රුධිර පීඩනය නිසා නම් වයස්ගත වීමත් සමඟ ඔබගේ රුධිර පීඩනය පරීක්ෂා කරවා ගැනීම නුවණට හුරුයි. ආඝාතයට ලක්වූ මවට හෝ පියාට හෝ දියවැඩියාව තිබුණා නම් කලින් කල ලේ සහ මුත්‍රාවල සීනි ඇති නැති බවට පරීක්ෂා කර ගැනීම වැදගත්. ඒවා පාලනය කර ගැනීමෙන් දරුවකුට අංශභාගය හැදෙන්නට ඇති සම්භාවිතාව අඩුකර ගත හැකියි. ඒ වගේම පවුල් ඉතිහාසයේ කිහිප දෙනකුම ආඝාතයට ලක්වී තිබෙනවානම් තමන්ගේ රුධිරයේ කොලෙස්ටරෝල් තත්ත්වය පරීක්ෂා කරගැනීම වැදගත්. දුම්පානය කරන පුද්ගලයෙක් නම් වහාම ඒ පුරුද්ද අත්හැරිය යුතුයි.

පවුල් සංවිධාන පෙති ගන්න අයට අඝාතය ඇතිවීමේ ඉඩ වැඩියි කියන කතාව ඇත්ත ද?

ඔව්. පවුල් සැලසුම් පෙති බොන කාන්තාවන් අතර ඒවා නොබොන කාන්තාවන්ට වඩා ඉතා සුළු වශයෙන් වැඩිපුර අංශභාගය හැදීමේ ප්‍රවණතාවක් තිබෙන බව පර්යේෂකයන්ගේ අදහසයි. ඒ තත්ත්වය වැඩිපුරම බලපාන්නේ අවුරුදු 40 ට වැඩි කාන්තාවන්ටයි. එම වයස් සීමාව ඉක්ම වූ කාන්තාවන්ට සමහර පවුල් සැලසුම් පෙති නිර්දේශ නොකරන්නේ ද ඒ නිසයි. එහෙත් ඊස්ට්‍රජන් කියන හෝමෝනය අඩුවෙන් මිශ්‍ර කර සැදු පවුල් සැලසුම් පෙතිවලින් ඒ අනතුරුදායක බව අඩු කරගත හැකියි. එහෙත්, නිතර නිතර හිසරදය හැදෙනවානම්, ඉරුවාරදය තිබෙනවා නම් එවැනි කාන්තාවකට පවුල් සංවිධාන පෙති ගැනීම සුදුසු නෑ. ඊට හේතුව එවැනි අයට අංශභාග සැදීමේ සම්භාවිතාව වැඩි වීමයි.

ආඝාතය සෑදී කතා කරගත නොහැකි පුද්ගලයකුට නැවත කතා කිරීමේ හැකියාව ඇති කරන්න පුළුවන් ද?

ඔව්. බොහෝ අයට නැවත කතා කරන්නට පුළුවන් වෙනවා. එහෙත් එකවරම නොවේ. ක්‍රමයෙන්, සමහර විට දින කිහිපයකින් කතා කළ හැකියි. එසේත් නැතිනම් සති කිහිපයක් වුවද ගත වෙන්නට පුළුවන්. ඒ වගේම ආඝාතයට ලක් වූ ඇතැම් අයට කතාව පුරුදු කිරීම සඳහා කථන ප්‍රතිකාර පවා ලබා දෙන්නට සිදු වෙනවා.

ආඝාතයට සුදුසුම වෙදකම සිංහල වෙදකම බව බොහෝ දෙනකුගේ පිළිගැනීමයි. මෙහි සත්‍යතාවක් තිබෙනවා ද?

අංශභාගය සෑදෙන්නේ කවර හේතු නිසාදැයි විද්‍යාත්මක පර්යේෂණවලින් සොයා ගෙන තිබෙනවා. ඒ නිසා කෙනෙක් කළ කී පමණින් යම් යම් තීරණවලට එළැඹීම සුදුසු නෑ. මේ දෙස නවීන විද්‍යාත්මක ඇසකින් බැලිය යුතුයි. ප්‍රතිකාර කළ යුතු වන්නේ මොළයේ ආඝාතය සිදුවී ඇති තැන සහ සිදුවී ඇති ආකාරය එනම් රුධිර නාළ හිරවීමකින් ද, එසේත් නැතිනම් පිපිරීමකින් ද යන බව සොයා බැලීමෙන් පසුවයි. ආඝාතයට පසුබිම් වූ රෝගී තත්ත්වයන් මත දියවැඩියාව, රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් වැඩිවීම සඳහාත් ක්‍රමානුකූලව ප්‍රතිකාර ලබාදිය යුතුයි. එහෙත් සිංහල වෙදකමට අනුව තෙල් ආලේපනය, අතපය සම්බාහනය කළාට වරදක් නෑ.

අංශභාගය සැදුණ රෝගියකුට රෝහලක දී ලැබෙන ප්‍රතිකාරය කෙබඳු ද?

එවැනි රෝගියකු ගේ මොළයට සිදු වී ඇති හෝ සිදු වෙමින් පවතින හානිය අඩු කිරීමට මුලින් ම පියවර ගැනෙනවා. එහි දී රුධිර වහනය නිසා හෝ රුධිර හිරය නිසා මොළයේ ඇතිවන ඉදිමීම අවට පැතිර යාම වැළැක්වීම සඳහා ඖෂධ ලබා දෙනවා. මෙහිදී රෝගියාගේ තත්ත්වය අනුව ප්‍රතිකාර ක්‍රම වෙනස් විය හැකියි. ඇතැම් රෝගීන්ට හුස්ම ගැනීමේ අපහසුතා පවතිනවා නම් සිහි මුර්ජා තත්ත්වයේ සිටිනවා නම් ශ්වසන මාර්ගය අවහිර නොවන සේ තබා උගුරෙහි එකතු වන සෙම යන්ත්‍රයක් මඟින් ඉවත් කිරීමට සිදු වෙනවා. ගිලීමේ අපහසුතා ඇති අයට නාසයක් තුළින් දැමු බටයකින් ආහාර ලබා දෙනවා. මුත්‍රා පාලනය කිරීමට නොහැකි නම් මුත්‍රාශයට බටයක් දැමීමට සිදු වෙනවා. මේවා දකින රෝගියා බලාගන්නා පුද්ගලයාට යම් බියක් චකිතයක් ඇතිවීම ස්වභාවිකයි. එහෙත් ඔහු ධෛර්යවත්ව රෝගියා දිරීමත් කරමින් සුව වීමට අවශ්‍ය ධෛර්ය ලබා දිය යුතුයි.

ආඝාතය හටගත් රෝගියකුට නැවත ස්වාධීන දිවි පෙවෙතක් ගත කරන්න පුළුවන් ද?

ඔව්. අංශ භාගය රෝගීන් ගෙන් සියයට පනහකට පමණ ස්වාධීන දිවි පෙවෙතක් ගත කිරීමට හැකියාව ලැබෙනවා. ඇතැම් විට මාරාන්තික විය හැකි රෝගයක් වුවත් බොහෝ දෙනෙක් අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් සුවය ලබනවා. එහෙත් ඒ සඳහා මාසයක සිට අවුරුද්දක පමණ කාලයක් ගත විය හැකියි. එසේ සුව නොවී ලෙඩ ඇඳටම වැටෙන අය ජීවත් කරවීමට පවුලේ අයගේ සහයෝගය ආදරය, කරුණාව අත්‍යවශ්‍යයි.

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

සාකච්ඡා කෙළේ - රමණී සුබසිංහ 

උපුටා ගැනීම සිළුමිණ පුවත්පත