🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

වැඩිහිටියන් අතර බහුලව දකින්නට ලැබෙන අර්ශස් පීඩාකාරී රෝගයකි. ලැජ්ජාව නිසා වෛද්‍යවරයකු වෙත යොමු නොවීමෙන් රෝගය උත්සන්නව සැත්කම්වලට මුහුණ දෙන්නට සිදුවන අය ද වෙති. මලපහ කිරීමේ දී ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම, ගුද විවරයෙන් මස් වැදැල්ලක් වැනි දෙයක් ඉදිරියට නෙරා ඒම, ගුදයෙන් පිටතට එන මෘදු ගෙඩි පුපුරා යාම නිසා අධික වේදනාවක් හට ගැනීම අර්ශස් රෝග ලක්ෂණ ලෙස සැලැකේ. අර්ශස් හටගන්නේ ඇයි? එය නිට්ටාවට සුව කළ හැකි ද? අද ඔබ දැනුම්වත් කරන්නේ ඒ පිළිබඳවයි.

අර්ශස් රෝගයේ මූලික රෝග ලක්ෂණ මොනවා ද?

මලපහ කොට අවසන් වූ විට වේදනාවක් රහිතව ගුදයෙන් රුධිරය පිටවීම හෝ ගුදය තුළින් රුධිරය එළියට විදීම අර්ශස් ඇති බව හඟවන මුල්ම ලක්ෂණය විය හැකියි. එසේ රුධිරය ගැලීම කිහිප වරක් සිදු වී කලක් ගත වන තුරු නතර වී තිබීමට ද පුළුවන්. මුල් අවස්ථාවේ දී නිසි ප්‍රතිකාර නොකළේ නම් මලපහ කිරීමත් සමඟ ගුදයේ සිට මෘදු ගෙඩි විශේෂයක් එළියට ආ හැකියි. මලපහ කිරීම අවසානයේ ඒ ගෙඩි නැවතත් ඉබේම ගුදයට ඇතුළුවන අතර කල් යාමේ දී ඒවා විශාල වීම නිසා සැම විටම ගුදයෙන් එළියට දිස්වන අයුරු පෙනේ. එවිට මලපහ කිරීමෙන් පසු එම ගෙඩි ආපසු ගුදය තුළට යන්නේ නැත. ඒවා ක්‍රමයෙන් ඉදිමීම නිසා අධික වේදනාවක් ඇතිවිය හැකියි.

ගුද මාර්ගයෙන් රුධිරය පිටවන්නේ අර්ශස් රෝගීන්ගේ පමණ ද?

නෑ. ගුදයෙන් රුධිරය පිටවන සෑම අවස්ථාවකටම හේතුව අර්ශස් නොවිය හැකියි. මහාන්ත්‍රයේ පහළ කෙළවර සහ ගුද මාර්ගය තුළ පිළිකාමය තත්ත්වයක් ඇති වූ විටත් මලපහ සමඟ රුධිරය මිශ්‍ර වී තිබෙන්නට පුළුවන්.

අර්ශස් ද වෙනත් රෝගී තත්ත්වයක් ද යන්න සැක හැර දැන ගන්නේ කෙසේ ද?

ගුද මාර්ගය සම්බන්ධ රෝගී තත්ත්වයන් බොහෝ විට අසාධ්‍ය බවට හැරෙන්නේ එවැනි රෝගීන් වැඩි දෙනෙක් ලැජ්ජාව නිසා වෛද්‍යවරයකු වෙත යොමු වීම දිනෙන් දිනම අතපසු කිරීම නිසයි. එහෙත් ඕනෑම රෝගයකට මූලික අවස්ථාවේදීම ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුව කිරීම පහසුයි. එවැනි රෝගීන් පරීක්ෂාවේදී ගුද මාර්ගය තුළට ‘Proctoscope’ නමැති උපකරණය හෝ ග්ලවුස් (අත් ආවරණ) දැමු ඇඟිල්ලක් ඇතුළු කර පරීක්ෂා කිරීමෙන් වැලඳී ඇත්තේ කවර රෝගයක් ද යන්න පිළිබඳව වෛද්‍යවරයාට යම් විනිශ්චයකට පැමිණිය හැකියි. එම නිසා එම රෝගීන් සුදුසු වෛද්‍යවරයකු වෙත යොමු වීම අත්‍යවශ්‍යයි.

ගුද විවරයෙන් මස් වැදැල්ලක් නෙරා එන්නේත් අර්ශස් නිසා ද?

ඔව්. සාමාන්‍ය ජනතාව ගුදය සහ ඒ අවට ඇති රෝග කිහිපයක් ම අර්ශස් ලෙස හඳුන්වනවා. ගුද මාර්ගය තුළ හා ඉන් පිටත රුධිරය පිරි මෘදු ගෙඩි මතු වීම ඉන් එක් අවස්ථාවක්. ගුදය අවට සම පිපිරීම නිසා තුවාල වීම, ගුද විවරයෙන් මස් වැදැල්ලක් වැනි දෙයක් එළියට නෙරා ඒම, ‘එක්ස්ටර්නල් පයිල්ස්’ හෙවත් ගුදයෙන් පිටත දාරයේ පිහිටි රුධිරය පිහිටි කුඩා ගෙඩි විශේෂ යනාදියත් අර්ශස් ලෙස හඳුන්වනවා. මීට අමතරව ගුදය ඇතුළත සිට පිටත සමට ශ්‍රාවයන් ගලා එන රෝගී තත්ත්වයත් සාමාන්‍ය ව්‍යවහාරයේ අර්ශස් ලෙස සැලැකෙනවා.

අර්ශස් ගෙඩි ලෙස හඳුන්වන්නේ මොනවා ද?

සාමාන්‍යයෙන් මිනිසෙක් දෙපයින් නැඟී සිටින විට ගුදය අවට ලේ නහරවලට රුධිරය පිරෙනවා. එසේ ගුදය වටා පිහිටි ශිරා තුනක් රුධිරය පිරීම නිසා විශාල විය හැකියි. අර්ශස් ගෙඩි ලෙස හැඳින්වෙන්නේ එවැනි තත්ත්වයක්. මේ ගෙඩි, මලපහ කිරීමේදී තෙරපීමට ලක් වී පිපිරී ගොස් රුධිරය පිටවිය හැකියි.

අර්ශස් ගෙඩි පිපිරීම නිසා විෂබීජ ආසාදනයක් ඇති විය හැකි ද?

ගුදයේ තුවාලයක් සිදු වූ විට විෂබීජ ආසාදනයක් වුවද සිදුවිය හැකිය. එහෙත් ප්‍රධාන ගැටලුව වන්නේ අර්ශස් ගෙඩි පිපිරීමකදී අදාළ පුද්ගලයා මලපහ කිරීමේ දී දැඩි අසීරුතාවකට පත් වීමයි.

වැඩිහිටියන් වැඩි පිරිසක් අර්ශස්වලින් පීඩා විඳිනවා කියන කතාව ඇත්ත ද?

ඔව්. වැඩිහිටියන් අතර බහුලතම රෝගය අර්ශස් කීවත් නිවැරැදියි. සංඛ්‍යා ලේඛනවලට අනුව වැඩිහිටියන් ගෙන් සියයට හතළිහකට පමණ ඕනෑම අවස්ථාවක දී අර්ශස් රෝගයෙන් පෙළෙන බව පෙනී ගොස් තිබෙනවා. ගුද මාර්ගයේ පිහිටි ශිරා (රුධිර නාල) ඉදිමීමේ හේතුවෙන් හටගන්නා මෙම අර්ශස් රෝගය, බොහෝ දෙනෙකුට වයස්ගත වීමත් සමඟ කිසිඳු හේතුවක් නැතිව ඉබේම ඇති වෙනවා. එය හඳුන්වන්නේ ‘ප්‍රාථමික අර්ශස්’ යනුවෙන්.

ප්‍රාථමික අර්ශස් රෝගය සඳහා බලපාන විශේෂ හේතු සාධක තිබෙනවා ද?

ඔව්. ඒ සඳහා බලපාන සාධක ගණනාවක්ම තිබෙනවා. අප ගන්නා ආහාරයේ තන්තු ප්‍රමාණය අඩු නම් අර්ශස් හට ගැනීමේ ඉඩකඩ වැඩියි. තන්තුමය කොටස් අඩු, විශේෂයෙන් පිරිපහදු කළ ආහාරවලට පුරුදු වූ අය, මස් වර්ග වැඩිපුර අනුභව කරන අය අතර අර්ශස් බහුල බව පෙනී යනවා. මලබද්ධය හා මලපහ කිරීමේ දී පුරුද්දක් ලෙස තැටමීමක් අර්ශස් රෝගය වැඩි වීමට හේතු විය හැකියි. සමහර අය බඩ බුරුල් වීමට (බඩ එළිය යාමට) නිතර නිතර ඖෂධ ගන්නවා. අර්ශස් ඇතිවීමට එයත් හේතු සාධක විය හැකියි. ඒ නිසා එළවළු, පලතුරු, කෙඳි සහිත ආහාරවලට හුරු පුරුදු වීම වැදගත්.

තන්තුමය ආහාරයක් වන ‘කොහිලවල’ අර්ශස් සුව කිරීමේ ඖෂධීය ගුණයක් තිබෙනවා ද?

කොහිලවල තන්තුමය ස්වභාවය වැඩි බව ඇත්ත. අර්ශස් රෝගීන්ට තන්තු අධික ආහාර ගැනීම ඉතා ගුණ දායකයි. එසේ වුවද අර්ශස් සුව කිරීම සඳහා කොහිලවලටම උරුම වූ සුවිශේෂ ඖෂධ ගුණයක් ඇති බව මෙතෙක් පර්යේෂණවලින් සොයාගෙන නැහැ.

ශරීරයේ ඇති වෙනත් රෝගී තත්ත්වයක් අර්ශස්වලට හේතු විය හැකි ද?

එවැනි තත්ත්වයක් ඇති වන්නේ කලාතුරකින්. ගුදයේ පිළිකාවක් හෝ උදරයේ ගෙඩියක්, මුත්‍රා කිරීමේ අපහසුතාවක්, සිරෝසියාව වැනි රෝග නිසා හටගන්නා යකෘත් ප්‍රතිහාර ශිරා පද්ධතියේ පීඩනය වැඩීමත්, මලබද්ධය වැනි රෝග තත්ත්ව නිසා කෙනෙකුට අර්ශස් ඇතිවිය හැකියි. එය හඳුන්වන්නේ ද්විතීයික අර්ශස් යනුවෙන්. අර්ශස් හඳුනා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකු වෙත යොමු විය යුතු වන්නේ ඒ නිසයි.

කකුල්වල නහර ගැට ගැසී ඇති අයට අර්ශස් හටගන්නා බවට ඇති විශ්වාසය ඇත්තක් ද?

නෑ. අර්ශස් කියන්නේ ගුද මාර්ගයේ තිබෙන ශිරා නමැති රුධිර වාහිනී ප්‍රසාරණය වීම නිසා හට ගන්නා තත්ත්වයක්. ගුද මාර්ගයේ නහර ගැට ගැසීම ලෙසත් මෙය සරලව හැඳින්වෙනවා. කකුලේ නහර ගැට ගැසීමත්, අර්ශස් අතරත් සම්බන්ධයක් ඇති බවට විශ්වාසයක් ඇති වන්නට ඇත්තේ ඒ නිසයි.

ඒත් ගර්භණී මවුවරුන් අතර මේ තත්ත්වය දකින්නට ලැබෙනවා නේද?

ඔව්. ගර්භණී කාලයේ දී නම් නහර ගැට ගැසීමත් අර්ශස් තත්ත්වයත් යන දෙකම වැඩිවිය හැකියි. දරු ප්‍රසූතියෙන් පසු එය ක්‍රමයෙන් පහ වෙනවා.

අධික රුධිර පීඩනය හෙවත් ප්‍රෙෂර් රෝගීන්ට අර්ශස් හට ගැනීමේ ප්‍රවණතාවක් තිබෙනවා ද?

අධික රුධිර පීඩනය හා අර්ශස් අතර එවන් සම්බන්ධයක් නැහැ. එහෙත් අධික රුධිර පීඩනය ඇති අයගේ අර්ශස් ගෙඩිවලින් වැඩිපුර රුධිරය ගලා යන්නට පුළුවන්.

මත් වතුර හා අර්ශස් අතර සම්බන්ධයක් තිබෙනවා ද?

‍මත් වතුර බොන අයගේ ශරීරයේ ජලය වැඩි ප්‍රමාණයක් මුත්‍රා සමඟ පිට වෙනවා. එය මලබද්ධයට හේතුවක්. මලබද්ධය ඇති අය අර්ශස්වලින් පීඩා විඳිනවා. ඒ වගේම මත් වතුර බොන අයගේ රුධිර නාළ ප්‍රසාරණය වීමේ ශක්‍යතාව වැඩියි. ඒ නිසා ඔවුන්ට අර්ශස් ඇතිවීමේ ප්‍රවණතාවක් තිබිය හැකියි. උදාහරණ ලෙස මත්පැන් ලෝලීන් ගේ මුහුණු නිරීක්ෂණය කරන්න. ඉදිමී රත් පැහැ ගැන්වී ඇති ආකාරයක් ඔබට පෙනේ. එය රුධිර නාළ ප්‍රසාරණය වීම නිසා සිදුවන්නකි.

අර්ශස් ගෙඩි පුපුරා යාම නිසා රුධිරය පිටවීමෙන් රක්තහීනතාව ඇති විය හැකි ද?

ඔව්. සමහර අයට අර්ශස් ගෙඩි පිපිරීම නිසා දිගින් දිගටම රුධිරය පිටවිය හැකිය. එවැනි අයගේ රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වී සිරුර සුදුමැලි වී රක්තහීනතාව ඇතිවිය හැකියි. එවැනි තත්ත්වයක දී ඇඟ පිපිහලු ගතිය, අධික මහන්සිය, ක්ලාන්තය, කරකැවිල්ල වැනි ස්වභාවයක් ඇතිවිය හැකියි. එවැනි රෝගීන්ට අර්ශස් ප්‍රතිකාරයට අමතරව ලේ දීමට හෝ ලේ වැඩීම සඳහා අවශ්‍ය ඖෂධ ලබා දීමට පවා සිදුවිය හැකියි.

අර්ශස් සුව කිරීමට සැත්කමක් කළ යුතුම ද?

නෑ. මුල්ම අවදියේ දී ආහාර පාලනය මඟින් පමණක් අර්ශස් පාලනය කරගත හැකියි. එහිදී තන්තුමය කොටස් සහිත එළවළු, පලතුරු, පලා වර්ග වැඩි වැඩියෙන් ආහාරයට එක්කර ගැනීමත් මස් මාංශ අඩුවෙන් ගැනීමත් කළ යුතුයි. මලබද්ධය අඩු කර ගැනීම සඳහා බඩ බුරුල් කරන ඖෂධ වර්ග ද වෛද්‍ය උපදෙස් අනුව භාවිත කළ හැකියි. එහෙත් අර්ශස් ගෙඩි එළියට එන තත්ත්වයේ පවතී නම් අර්ශස් ගෙඩියේ නටුව තුළට විදින ඖෂධ තිබෙනවා. මීට අමතරව ඉලාස්ටික් වළලු මඟින් අර්ශස් ගෙඩියේ මුල තද කර බැඳීමෙන් අර්ශස් ගෙඩිය කුඩා වී ඉබේම දිය වී යනවා. එය ඉතා සුළු සැත්කමක්. සැත්කමකට යාම අර්ශස් සඳහා අවසාන ප්‍රතිකාරයයි. කෙනෙකුට එවැනි සැත්කමක් සිදු කළ යුතු වන්නේ කලාතුරකින්. මෙම සැත්කම හඳුන්වන්නේ ‘හෙමරොයිඩෙක්ටමි්’ යනුවෙන්. නිර්වින්දන තත්ත්වයක් යටතේ අර්ශස් ගෙඩි කපා ඉවත් කරන එම සැත්කම අවසානයේ දී දැඩි වේදනාවක් දැනෙන නිසා මූලික අවස්ථාවේ දීම රෝගය වළක්වා ගැනීම වැදගත්.

අර්ශස් ගෙඩි තද වීම නිසා හට ගන්නා වේදනාව තාවකාලිකව සමනය කරගත හැකි ක්‍රමවේදයක් තිබෙනවා ද?

වෛද්‍යවරයකු හමුවන තුරු තාවකාලිකව මේ වේදනාවෙන් අත් මිදීමට නම් ඔබ කළ යුතු වන්නේ බේසමකට හෝ නාන ටැංකියකට හෝ ටබ් එකට මද උණුසුම් ජලය වත්කොට ලුණු කැට අහුරක් පමණ එහි දියකර අර්ශස් ගෙඩි නැහැවෙන ලෙස එහි ගිල්වීමයි. එවිට අර්ශස් ගෙඩිවල ඉදිමුම් ස්වභාවය අඩුවී පහසුවක් ඇතිවේ. පිරිසුදු පොලිතින් බෑගයක අයිස් බහා එය අර්ශස් ගෙඩි මත සියුම්ව තැබීමෙන් ද වේදනාව අඩු කරගත හැකියි. අර්ශස් ඇති විටෙක ලුණු නැති ඇල් දියේ ගිල්වීමෙන් අර්ශස් ගෙඩිවලට ජලය උරාගෙන තවත් විශාල විය හැකියි. එවිට වේදනාව පෙරටත් වඩා වැඩි වෙන්නට පුළුවන්.

වැඩිපුර ජලය පානය කිරීම අර්ශස්වලට ගුණදායක ද?

වැඩිපුර වතුර බීමෙන් මලබද්ධය අඩු වෙනවා. මලබද්ධය අඩුවූ විට අර්ශස්වලින් දුක් විඳීම අඩු වෙනවා. ඒ හැර අර්ශස් හා ජලය පානය කිරීම අතර සෘජු සම්බන්ධතාවක් නෑ.

අර්ශස් රෝගීන්ට ‍වැඩිපුර කේන්ති යන්නේ ඇයි?

අර්ශස් රෝගය හා කේන්ති යාම අතර සම්බන්ධයක් ඇති බවට මෙතෙක් කිසිම පර්යේෂණයකින් තහවුරු වී නෑ. අර්ශස් නිසා වන දැඩි පීඩාව නිසා එවැනි මතයක් ජන සමාජයේ මුල් බැස ගත්තා විය හැකියි. අර්ශස් රෝගය ඇති එහෙත් බොහෝ ඉවසීමේ ගුණ ඇති අයත් කොතෙකුත් සිටිනවා. ඒ නිසා කේන්ති යාම අර්ශස් රෝග ලක්ෂණයක් ලෙස සැලකිය නොහැකියි.

අර්ශස් රෝගය නිට්ටාවට සුව කළ නොහැකි ද?

සුව කළ හැකියි. ඒ සඳහා නිසි ප්‍රතිකාර හා නිවැරැදි ආහාර රටාවකට යොමු විය යුතුයි. මීට අමතරව පුරුද්දක් ලෙස තැටමීම අඩු කිරීම, මලබද්ධය අඩු කරගැනීමත් කළ යුතුයි.

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

සාකච්ඡා කෙළේ - රමණී සුබසිංහ 

උපුටා ගැනීම සිළුමිණ පුවත්පත