🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ලෙඩක් නෙවෙයි. ඒත් ඉස්හොරි වගේ පේන දිලිර රෝගයකුත් තිබෙනවා

ලෙඩක් නෙවෙයි. ඒත් ඉස්හොරි වගේ පේන දිලිර රෝගයකුත් තිබෙනවා

සුදු පැහැති කුඩා පොතු කැබලි සේ හිසකෙස් අතරින් මතුවන ‘ඉස්හොරි’ සැබැවින් ම ‘හොරි’ විශේෂයක් ද? එසේත් නැතිනම් හිසෙහි සම මතුපිට සිදුවන ස්වභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ද? උකුණන් හා ඉස්හොරිවලින් තොර සුපසන් කෙස් කලඹක් ලබා ගන්නේ කෙසේ ද? අද ඔබ දැනුම්වත් කරන්නේ ඒ පිළිබඳවයි.ඉස්හොරි කියන්නේ මොනවා ද? සම මතුපිට ඇති සෛල ස්ථරය නිරතුරුවම ගැලවී යාම ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියක්. ස්නානය කිරීමේ දී තදින් ඇඟ අතුල්ලන විට සම මතුපිට ඇති සෛල ස්ථරය ඉවත් වෙනවා. මේ ක්‍රියාවලියම හිස මතුපිට සමෙහි ද සිදු වෙනවා. එසේ පොතු කැබලි ලෙස ගැලවී ඉවත්වන චර්ම සෛල හිසකෙස් අතර රැ‍ඳෙන්නට පුළුවන්. සාමාන්‍ය ව්‍යවහාරයේ දී ඉස්හොරි ලෙස හඳුන්වන්නේ ඒ තත්ත්වයයි.

එය චර්ම රෝගයක් ද?

නෑ. ‘ඉස්හොරි’ යන නම ඇසු පමණින් බොහෝ දෙනෙක් එය චර්ම රෝගයක් ලෙස සැක කළත් එය චර්ම රෝගයක් නොවෙයි. ඒ වගේ ම අස්වාභාවික තත්ත්වයක් ද නොවෙයි. එය ගැටලුවක් වී තිබෙන්නේ විශේෂයෙන් අඳුරු පැහැති ඇඳුම් ඇඟලා සිටින අවස්ථාවක ඒ මත ගැලවී ගිය සම සුදු පැහැ පොතු කැබලි වශයෙන් දිස්වීම අප්‍රසන්න වීම නිසයි.

ඉස්හොරි ඇතිවීම ස්වභාවික ක්‍රියාවලියක් නම්, එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නේ ඇයි?

චර්මයෙහි පිටත ස්ථරය ඉවත්වීමේ වේගය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. කෙනෙකු ගේ එම ක්‍රියාවලිය වේගවත්. තවත් කෙනෙකුගේ එය සෙමෙන් සිදුවිය හැකියි. ඉස්හොරි සෑදීම වේගවත් වන්නේ, ඒවා පිටතට දිස්වන්නේ එසේ සමේ පිටත ස්ථරය වේගයෙන් ඉවත්වීම සිදුවන අයගේ.

සමහර පුද්ගලයන්ගේ හිසෙහි සම මතුපිට තරමක් විශාල පොතු වශයෙන් ගැලවී යනවා. ඒ තත්ත්වය ඉස්හොරි ලෙස සැලකිය හැකි ද?

එය ඉස්හොරිවලට සමාන වෙනත් රෝගයක ලක්ෂණයක් විය හැකියි. සමහර පුස් වර්ග නිසා එවැනි තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. වෛද්‍යවරයකු වෙත යොමු වීමෙන් එය රෝගී තත්ත්වයක් ද එසේත් නැතිනම් ඉස්හොරි ද යන්න තීරණය කොට ප්‍රතිකාර ලබාගත හැකියි.

ඉස්හොරිවලින් පීඩා විඳින සමහර අයගේ හිසෙන් දුර්ගන්ධයක් වහනය වන්නේ ඇයි?

කෙනෙකුගේ හිසෙහි තෙල් (ස්වේදය) නිපදවීම වේගවත් නම් ඉස්හොරි පොතු තට්ටුවක් ලෙස සම මතුපිට රැඳී තිබෙන්නට පුළුවන්. එවැනි තත්ත්වයක් ඇති අයගේ නිතර නිතර හිස කැසීම මෙන් ම දුර්ගන්ධයක් ද වහනය විය හැකිය. දුහුවිලි කුණු සෝදා හිස පිරිසිදු බව රැක ගැනීමෙන් ඒ තත්ත්වය මඟ හරවා ගත හැකියි.


පුස් වර්ග නිසා හිස මතුපිට සමෙහි හට ගන්නා රෝග හා ඉස්හොරි හඳුනාගත හැකි සරල ක්‍රමවේදයක් තිබෙනවා ද?

ඔව්. කෙනෙකු ගේ හිසේ සුදු පැහැති පොතු කැබලි සේ දිස්වෙනවා නම්, ඒවා ඇඟිලි තුඩින් අල්ලා පහසුවෙන් ඉවත්කළ හැකි නම් එය පුස් නිසා හටගන්නා චර්ම රෝගයක් විය හැකියි. හිස කෙස්වලට ඇලී තිබෙනවානම් උකුණන් ගෙන් ඇතිවූ ලේඬීන් විය හැකියි.

සමහර අය ඉස්හොරි ඉවත් කිරීමට දිනපතා ස්නානයේ දී ෂැම්පු වර්ග භාවිත කරනවා. එය සුදුසු ද?

නිතර නිතර ෂැම්පු වර්ග හෝ සබන් දමා තදින් හිස ඇතිල්ලීමෙන් ඉස්හොරි ඉවත්වනවා වෙනුවට වැඩිපුර ඇතිවිය හැකියි. මෘදු සබන් වර්ගයක් හෝ ෂැම්පු වර්ගයක් භාවිත කර දවසක් හැර දවසක් හිස සේදීම ප්‍රමාණවත්. ඉස්හොරි සියල්ල ඉවත් කිරීමේ අරමුණින් හිස තදින් ඇතිල්ලීමේ දී චර්මය තුවාල විය හැකියි. එවිට සම උත්තේජනය වන නිසා ඉස්හොරි සෑදීම තිබුණාටත් වඩා වේගවත් වී ප්‍රශ්නය තවත් බරපතළ විය හැකියි.

ඉස්හොරි සඳහා විශේෂිත ෂැම්පු වර්ග තිබෙනවා ද?

ඔව්. එම ෂැම්පු භාවිත කළ යුතු වන්නේ සතියකට හෝ දෙකකට වරක් පමණයි. නිතර භාවිතය ශරීරයට අහිතකර වෙන්නට පුළුවන්. ඉස්හොරිවලදී ‍තමන්ට ගැළපෙන ෂැම්පු වර්ගය තෝරා ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි.

ඔබ කියන්නේ හිස සේදීමට ෂැම්පු වර්ගයක් තෝරා ගැනීමේ දී වෛද්‍ය උපදෙස් ලැබිය යුතුම බව ද?

ඉස්හොරි හෝ පුස් වර්ග නිසා හටගත් රෝගයක් නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබනවා නම් වෛද්‍යවරයා විසින් ඔබට සුදුසු ෂැම්පු වර්ගයක් නිර්දේශ කරනු ඇති. සාමාන්‍යයෙන් ෂැම්පු වර්ගයක් පරිහරණය කිරීමට පෙර එහි වට්ටෝරුව කියවා බැලිය යුතුයි. එහි සෙලේනියම් (Selenium) අඩංගු වන්නේ නම් එය එතරම් සුදුසු නොවෙයි. එය හිසෙහි සමට අහිතකර විය හැකියි. අඩංගු ද්‍රව්‍ය, වට්ටෝරුව සඳහන් නැති ෂැම්පු වර්ග හිතුමතේ පාවිච්චි කිරීම වඩාත් නුසුදුසුයි.

ඉස්හොරි හා තට්ටය පෑදීම අතර සම්බන්ධයක් තිබෙනවා ද?

නෑ. ඉස්හොරි ඇති අයගේ තට්ටය පෑදීම සිදුවන්නේ නෑ.

ප්‍රමාණවත් තරම් ජලය පානය නොකරන අයට ඉස්හොරි සෑදීමේ ප්‍රවණතාවක් තිබෙනවා ද?

ඔව්. විශේෂයෙන් උණුසුම් දිනවල ප්‍රමාණවත් තරම් ජලය නොලැබීම නිසා සම ඉරි තැළුණු ස්වභාවයක් ගන්නට පුළුවන්. මේ තත්ත්වය හිසෙහි සමටත් බලපානවා. එය ඉස්හොරි සෑදීම වේගවත් කරනවා.

උකුණන් ගෙන් ඇතිවන ලේඬීන් ඉස්හොරි හා සමානව දිස්වන බව ඔබ පැවසුවා. උකුණන් බෝවී ඇති බව හරියටම දැනගන්නේ කෙසේ ද?

ඉස්හොරි හා හිසෙහි සම මතුපිට කුණු දුහුවිලි රැඳී තිබීම හිස කැසීමට ප්‍රධාන හේතුවක්. ඒ වගේ ම නිතර නිතර තදින් හිස කසනවා නම් ඊට බලපා ඇත්තේ උකුණන් විය හැකියි. කෙනෙකුගේ හිසකෙස් අතරින් උකුණන් එළියට දිස්වන්නේ උන් සිය ගණනකට වඩා හිසෙහි සිටී නම් පමණයි. හොඳින් කෙස් පීරා කෙස් ගස්වල මුල පිරික්සීමෙන් උකුණන් බෝවී ඇද්ද නැද්ද ගැන දැනගත හැකියි. උකුණන් සිටීනම් ඒ සඳහා වහාම ප්‍රතිකාර ඇරැඹිය යුතුයි.

නිවෙසේ සුරතලයට ඇති කරන බල්ලන් පූසන් වැනි සතුන් ගෙනුත් උකුණන් බෝ විය හැකි ද?

නෑ. උකුණා ජීවත් වන්නේ මිනිස් සිරුරේ පමණයි. උකුණන් බෝවීම වඩාත් පීඩාකාරී වන්නේ තදින් කැසීම හා කෙස් අතරින් මතු වී පෙනීම ඉතා අවලස්සන වීම නිසයි. ඒ වගේ ම හිස කසන විට සම තුවාල වූ විටෙක, නියපොතු හොඳින් කපා නැතිනම් නිය අතර ඇති කුණු (විෂබීජ) එක්වීම නිසා තුවාල වූ සම ආසාදනය විය හැකියි. එම ආසාදනය හිසේ චර්ම රෝග ඇති වීමට ප්‍රධාන හේතුවක්. ඒ වගේම මේ විෂබීජ ආසාදන නිසා බෙල්ලේ වසා ගැටිති, සැරව ගෙඩි බවට පත්වන අවස්ථා ද කලාතුරකින් දැකගත හැකියි.

උකුණන් වඳ කිරීමට වෙළෙඳපොළේ විවිධ ආලේපන වර්ග තිබෙනවා. මේවා භාවිතය හොඳ ද? නරක ද?

වෙළෙඳ පොළේ විකිණීමට ඇති බොහෝ උකුණු නාශක අසුරා ඇති බෝතල්වල සිංහල බසින් එය භාවිත කළ යුතු ආකාරය සටහන් කර තිබෙනවා. සමහර ආලේපන තෙත් කළ හිසෙහි ගල්වා විනාඩි දහයක් පමණ ගිය පසු සෝදා හැරිය යුතුයි. තවත් සමහර දියර රාත්‍රී කාලයේ ගල්වා උදේ සෝදා හැරිය යුතුයි. ඖෂධ සමඟ ඇති පත්‍රිකාවේ ලබා දී ඇති උපදෙස් හොඳින් කියවා ඒ අනුව කටයුතු කිරීම අහිතකර වන්නේ නෑ. මේවා ඇස්වල හා මුඛයේ, නාසයේ ස්පර්ශ නොකිරීමට, පරෙස්සම් විය යුතුයි.

පාසල් දරුවන් අතර උකුණන් වර්ධනය වේගවත් නේද?

ඔව්. නිවෙසේ සිටින අයගේ හිසෙහි උකුණන් නොසිටියත් දරුවකුට පාසලේ දී උකුණන් බෝ විය හැකියි. එක් අයකුගේ කෙස්වල සිට තවත් කෙනෙකු ගේ හිසට (ස්පර්ශ වූ විට) උකුණෙකුට මාරුවීමට ගත වන්නේ තත්ත්පරයකට අඩු කාලයක්. දරුවා ගේ පන්ති භාර ගුරුතුමාට ඒ බව දැන්වුවහොත් පන්තියේ උකුණන් සිටින දරුවන් තෝරා ප්‍රතිකාර කිරීම සඳහා වැඩපිළිවෙළක් සැකසීමට ඔහුට හැකි වේවි.

උකුණන් සහමුලින්ම විනාශ කරගත හැකි ක්‍රමයක් නැද්ද?

උකුණු නාශක දියරයෙන් හිස සේදීමේ ප්‍රතිකාරයෙන් පසු උකුණු පනාවක් (දැති සිහින් පනාවක්) ගෙන මියගිය ලේඬින් සහ උකුණන් පීරා ඉවත් කළ යුතුයි. සතියකට පසු නැවතත් එම ප්‍රතිකාරය ම කිරීම වඩාත් සුදුසුයි. ලේඬින් (බිත්තර) පළමු වටයේ දී විනාශ නොවී තිබුණා නම් දෙවන වටයේ දී උන් විනාශ වනු ඇති. මීට අමතරව නිවසේ ඇති හිස පීරන පනා, බුරුසු වැනි දේ ද උකුණු නාශක දියරයේ ම දමා පිරිසුදු කරගැනීමට කටයුතු කළ යුතුයි. නිදන ඇඳ රෙදි, කොට්ට, ඇතිරිලි හොඳින් සෝදා වියළා මැද ගැනීමෙන් ඒවායේ සිටින උකුණන් විනාශ වී යයි.

උකුණු නාශක දියරත් කෘමි නාශක විශේෂයක් නේද?

ඔව්. ප්‍රබල විෂ සහිත බවක් නැතත් උකුණු නාශක බෙහෙත් යනු කෘමිනාශකයන්. ඒවා වුවද නිතර ආවාට ගියාට හිසෙහි ආලේප කිරීම ශරීරයට අහිතකර විය හැකියි. දරුවනට හසුවන සේ තැබීම හා රිසි පරිදි ඒවා භාවිත කිරීමට ද ඉඩ නොතැබිය යුතුයි.

නිවෙසේ දී කරන ප්‍රතිකාරවලින් උකුණන් වඳ නොවුණහොත් වෛද්‍යවරයකු හමු විය යුතු ද?

ඔව්. වෛද්‍යවරයා විසින් ඔබ ප්‍රතිකාර කළ ආකාරය විමසා බැලීමෙන් පසු උකුණු නාශක ෂැම්පු වර්ගයක් නියම කරනු ඇති. උකුණන් බෝවී ඇති සියලු දෙනාටම ප්‍රතිකාර කිරීමේ වැදගත්කම ද අවධාරණය කරනු ඇති. යම් හෙයකින් ඔබගේ හිසෙහි සම මතුපිට උකුණන් කෑ තැන් තුවාල වී වණ වී ඇත්නම්, ඒ හේතුවෙන් බෙල්ලේ වසා ගැටිති (කුද්දට) ඉදිමි ඇත්නම් අවශ්‍ය ප්‍රතිජීවක වර්ග ද සතියක පමණ කාලයක් ගැනීමට නියම කරනු ඇති.

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

සාකච්ඡා කළේ - රමණී සුබසිංහ 

උපුටා ගැනීම සිළුමිණ