🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

හර්නියාවක් පිළිකාවක් බවට පත් වන්නේ නෑ

හර්නියාවක් පිළිකාවක් බවට පත් වන්නේ නෑ

ගැමි වහරේ ‘අණ්ඩවාතය’ ලෙස හැඳින්වෙන ‘හර්නියා’ බොහෝ විට වේදනාකාරී නොවුණ ද වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතුම රෝගී තත්ත්වයකි. ඊට හේතුව හර්නියා කුහරය තුළට ඇතුළු වූ බඩවැල් සහ පටක තද වීමක් සිදු වුවහොත් ඒවාට රුධිරය සපයන නාළ හිරවී එහි ඇති පටක විනාශ වීමයි. එය බරපතළ සංකූලතාවක් ඇති කළ හැකි තත්ත්වයකි. හර්නියාවක් හඳුනා ගන්නේ කෙසේ ද? ප්‍රතිකාරවලට යොමු විය යුත්තේ කුමන අවස්ථාවේ ද? අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ ඒ පිළිබඳවයි.

‘හර්නියාව’ අර්ථ දක්වන්නේ කෙසේ ද?

හර්නියාවක් ලෙස හැඳින්වෙන්නේ උදර කුහරයේ බිත්තියේ ඇතිවන දුර්වලතාවක් නිසා එහි ඇති බඩවැල් හෝ පටක කොටස් එළියට නෙරා ඒමයි. බොහෝ විට එවැනි දුර්වලතා ඇතිවන්නේ බඩේ පහළ කෙළවර ඉකිළිය ප්‍රදේශයේ. මීට අමතරව පෙකණිය සහ උදරයේ ඉහළ කෙළවර ද ඇතිවිය හැකියි. ඇතැම් විට මහා ප්‍රාචීරයේ ඇතිවන දුර්වලකමක් නිසා උදර කුහරයේ අභ්‍යන්තරයෙන් උර කුහරය දෙසට නෙරා ඒමට ද පුළුවන්. එය හඳුන්වන්නේ ‘Hiatus Hernia’ යනුවෙන්. ඉකිළිය ප්‍රදේශයේ සිට වෘෂණ කෝෂය හෝ කකුල දෙසට ද හර්නියාවක් පැතිරිය හැකියි. වෘෂණ කෝෂය ඉදිමීමට ලක්වන්නේ එවැනි අවස්ථාවකදීය. බොහෝ දෙනා අණ්ඩවාතය ලෙස හඳුන්වන්නේ ඒ තත්ත්වයයි.

හර්නියා කුහරයක් තුළ තිබෙන්නේ බඩවැල් පමණ ද?

නෑ. බඩවැල් හෙවත් කුඩා අන්ත්‍රයේ කොටස් එක්වරම හර්නියාව තුළට එන්නේ එය බඩවැල් ඇතුළට ඒමට තරම් විශාල වූයේ නම් පමණයි. සාමාන්‍ය ප්‍රමාණයේ හෝ කුඩා හර්නියාවකට බොහෝ විට ඇතුළු වන්නේ බඩවැල් වසා සිටින ‘omentum’ නම් පටකය හා මේද පටක. මේ තත්ත්වය එතරම් ගැටලුවක් නොවුණ ද යම් හෙයකින් බඩවැල හර්නියා කුහරයට ඇතුළු වී හිර වුවහොත් වේදනාවක් මෙන්ම වෙනත් සංකූලතාවන් ද ඇති වීමට ඉඩ තිබෙනවා.

හර්නියාවක් හඳුනා ගන්නේ කෙසේ ද?

උදරයේ පෙකණිය හෝ පහළ ප්‍රදේශයේ (ඉකිළි හෝ වෘෂණ කෝෂ) වේදනා රහිත ගෙඩියක් වැනි දෙයක් හර්නියා ලක්ෂණයක් විය හැකියි. නැගිට සිටින විට, තැටමීමේ දී හා කහින විට දී දැකිය හැකි මෙම ගෙඩිය නිදාගන්නා විට නැතිවී යන්නට පුළුවන්. එහෙත් ‘හයටස්’ හර්නියා විශේෂ උදරයේ හටගන්නා තත්ත්වයක් නිසා ගෙඩියක් ලෙස පිටතට දිස් නොවේ. ආහාර ගැනීමෙන් පසු අම්ල රසයක් සමඟ උගුරට ඒම, ආහාර ගිලින විට උදරයේ ඉහළ කෙළවර වේදනාවක් ඇතිවීම, ආදී රෝග ලක්ෂණ ඇතිවිය හැකියි.

හර්නියා ඇතිවීමට බලපාන හේතු මොනවා ද?

බහුලවම දක්නට ලැබෙන හර්නියා විශේෂය ලෙස සැලකෙන්නේ ඉකිළි ප්‍රදේශයේ හා වෘෂණ කෝෂ දෙසට ඇදෙන ‘Inguinal Hernia’ විශේෂයයි. එයත් වැඩිපුර දැකිය හැකි වන්නේ පිරිමින් අතර. ඊට හේතුව කළලයක වෘෂණ, උදර කුහරය තුළ සිට වෘෂණ දක්වා ගමන් කිරීම නිසා සෑදෙන ගමන් මඟ දුර්වල තත්ත්වයේ තිබීමයි. කාන්තාවන් අතර බහුලව දකින්නට ලැබෙන්නේ මහා ප්‍රාචීරයේ දුර්වල වූ තැනකින් ආමාශය උරස් කුහරයට තල්ලු වීම නිසා, මහා ප්‍රාචීරය උඩට තල්ලු කරන ‘Hiatus Hernia’ විශේෂයයි. මේ තත්ත්වයට හේතුව පීඩනය වැඩිවීමයි. මීට අමතරව කල් පවතින කැස්ස, මලබද්ධය, මුත්‍රා කිරීමේ අපහසුව සහ ස්ථුල බව හර්නියා ඇතිවීමට බලපාන තවත් හේතු සාධකයන් කිහිපයක්.

ඇතැම් කාන්තාවන්ගේ සිසේරියන් සැත්කමින් පසු එම කැපුම් ස්ථානය පිම්බී ඉදිරියට නෙරා එනවා. එය හර්නියා තත්ත්වයක් ද?

සැත්කමක් කළ පසු තුවාලය සුව වීමේදී අදාළ බිත්ති සවිමත්ව සුව නොවුණේ නම්, එතැනින් කුඩා අන්ත්‍රය සහ එහි කොටස් එළියට නෙරා එන්නට පුළුවන්. කැපුම් හර්නියාව හෙවත් ‘Incisional Hernia’ ලෙස හඳුන්වන්නේ ඒ තත්ත්වයයි. එවැනි හර්නියාවක් සිසේරියන් සැත්කම නිසා මෙන් ම උදර කුහරය ආශ්‍රිතව කරන ඕනෑම සැත්කමකට පසුව සිදු විය හැකියි.

කුඩා දරුවන්ටත් හර්නියා හැදෙනවා ද?

ඔව්. කුඩා දරුවන් අතර ද හර්නියා රෝග බහුලව දකින්නට ලැබෙනවා. විශේෂයෙන් ළදරුවන් ගේ පෙකණිය ඉදිරියට නෙරා ඒම ද හර්නියා විශේෂයක්. ‘Umbilical Hernia’ ලෙස හඳුන්වන්නේ එයයි. පෙකණිය ආශ්‍රිතව බිත්තිය දුර්වල වීම ඊට බලපානවා. එහෙත් දරුවා වැඩෙත් ම එම බිත්තිය සවිමත් වී හර්නියාව ඉබේම නැතිවී යනවා. ඒ වගේ ම වයසට යන විට අපගේ ශරීරය දුර්වල වෙනවා. එවැනි අවස්ථාවක අධික බර ඉසිලීම, කල් පවතින කැස්ස, තැටමීම වැනි කාර්යයන් හිදී උදරයේ දුර්වල වූ තැන් පිටවී එළියට නෙරා ඒම සිදු වෙනවා.

අවුරුදු හයක තරම් දැරියකගේ කැස්සත් සමඟ ඉකිළිය පෙදෙසින් ගෙඩියක් වැනි දෙයක් මතු වී පෙනෙනවා නම්, එය හර්නියාවක් විය හැකි ද?

ඔව්. එය හර්නියා තත්ත්වයක් විය හැකියි. ඊට හේතුව සිරුරේ ඒ ආශ්‍රිත පෙදෙසේ දුර්වලතාවක් තිබීමයි. එවැනි අවස්ථාවක අනිවාර්යයෙන් ම දරුවා සුදුසු වෛද්‍යවරයකු වෙත යොමුකර ප්‍රතිකාර ලබාගත යුතුයි. දරුවාට සැත්කමක් කළ යුතු ද නැද්ද යන්න ඒ අනුව තීරණය කළ හැකියි.

දරුවකු හර්නියා සැත්කමකට භාජනය කිරීම බරපතළ තත්ත්වයක් ද?

නෑ. එය සාමාන්‍ය සරල සැත්කමක් පමණයි. ගැටලු මතු වන්නේ අවශ්‍ය වෙලාවට සැත්කමක් නොකර සිටීමෙනුයි.

හර්නියාවක් වේදනාකාරී ද?

සාමාන්‍යයෙන් පිටතට පෙනෙන හර්නියාවක් වේදනාකාරී නොවේ. එහෙත් කලාතුරකින් හර්නියා කුහරය තුළට ඇතුළු වූ බඩවැල සහ පටක තදවීම නිසා ඒවාට රුධිරය සපයන රුධිර නාළ හිරවී ගියහොත් හර්නියාව තුළ ඇති පටක මිය යාමට පුළුවන්. ‘Strangulated Hernia’ ලෙස හැඳින්වෙන එවැනි රෝගී තත්ත්වයකදී රෝගියා වහාම වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුයි. යම් හෙයකින් මියගිය පටක පුපුරා ගියේ නම්, උදරය තුළ භයානක ආසාදන තත්ත්වයක් හට ගැනීමට පුළුවන්. බොහෝ විට මෙම රෝගීන් ඉක්මන් සැත්කම් සඳහා භාජනය කරන්නේ ඒ හේතුවෙන්. එමෙන්ම හර්නියාවක් තද වූ විට දැඩි උදර වේදනාවක් ඇතිවිය හැකියි. ඔක්කාරය, වමනය ඇතිවෙයි, මේ රෝග ලක්ෂණ මතු වී පැය ගණනක් ගත වීමට පෙර සැත්කමක් නොකළේ නම් රෝගියාට බරපතළ සංකූලතාවන්ට මුහුණ දීමට සිදු වෙයි.

ඕනෑම හර්නියාවක් බරපතළ සංකූලතාවන් ඇති කරනවා ද?

සාමාන්‍යයෙන් විශාල හර්නියාවක් නම්, ඒ තුළ ඉඩකඩ ඇති නිසා එය පහසුවෙන් තද වන්නේ නෑ. එහෙත් කුඩා හර්නියා තුළ පටක ලෙහෙසියෙන් තද වී හිරවීමක් එනම් ‘Strangulation’ තත්ත්වයක් ඇතිවිය හැකියි. ඉකිළියේ සිට කකුල දෙසට විහිදෙන කුඩා හර්නියා (Femoral Hernia) බොහෝ විට තද වන්නේ මේ හේතුව නිසයි.

හර්නියා රෝගයට එකම ප්‍රතිකාරය සැත්කම පමණ ද?

නෑ. එය තීරණය වන්නේ හර්නියාව ඇතිවීමට බලපෑ හේතු සාධක අනුවයි. හර්නියාවට හේතුව ස්ථුල බව නම්, කැස්ස, මලබද්ධය හෝ මුත්‍රා කිරීමේ අපහසුව නම් මුලින් ම ඒ රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කැරේ. එවිට හර්නියාව ඉබේම නැතිව යනවා. රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීමෙන් පසුවත් රෝගයේ සුවයක් නොදැනේ නම් ශල්‍ය වෛද්‍යවරුන් විසින් රෝගියා සැත්කමකට භාජනය කිරීමට තීරණය කරනු ඇති.

හර්නියාවට සුදුසුම ප්‍රතිකාරය කුමක් ද?

ඉකිළි ප්‍රදේශයේ ඇතිවන හර්නියා තත්ත්වයට (අණ්ඩවාතයට) ඉතාම සුදුසු ප්‍රතිකාරය සැත්කමයි. සිහි නැතිකොට හෝ සිහිය තිබියදී හර්නියා ප්‍රදේශය පමණක් හිරි වට්ටවා මේ සැත්කම කළ හැකියි. මෙහි දී සිදු කෙරෙන්නේ හර්නියාව තුළ ඇති පටක උදර කුහරයට යවා දුර්වල වූ බිත්ති කොටස ඉවත්කොට එම ස්ථානය ශක්තිමත් වන ලෙස නයිලෝන් වැනි නූල් වර්ගයකින් මසා යථා තත්ත්වයට පත් කිරීමයි. ඇතුළත හර්නියා සිදුර විශාල නම් ඊට ශක්තිමත්, නොදිරන කෘත්‍රිම දැලක් දමා මැසීම ද සිදු කරයි. මෙම සැත්කමට ද බොහෝ දෙනෙක් බිය වුවත් එය ඉතා සරල සැත්කමක් පමණයි.

හර්නියා සැත්කමකින් පසු රෝගියකු කොපමණ කාලයක් විවේක ගත යුතු ද?

එය තීරණය කළ හැකි වන්නේ ඒ ඒ රෝගියාගේ දින චර්යාව හා රැකියා ස්වභාවය අනුවයි. රෝගියා බර වැඩ කරන, බර ඔසවන කම්කරුවකු නම් ඔහු අඩුම තරමින් සති හයක් පමණවත් විවේක ගත යුතුමයි. එවැනි රෝගීන්ට සමහර ශල්‍ය වෛද්‍යවරුන් මාස තුනක පමණ විවේක කාලයක් නිර්දේශ කරනවා. ලිපිකරුවකු නම් දින දහයකින් පමණ රාජකාරියට වාර්තා කළ හැකියි. කෙසේ වුවද ඕනෑම රෝගියකු සැත්කමට පසු අනවශ්‍ය ලෙස බර එසවීම සහ තැටමීම සුදුසු නොවේ. සැත්කම් තුවාලය සම්පූර්ණයෙන් ම සුව වීමට මාස තුනක් පමණ ගතවන නිසා රෝගියා ආරක්ෂා විය යුතුයි. මාස තුනකින් පසු නැවත සාමාන්‍ය පරිදි වැඩ කළ හැකියි.

හර්නියා රෝගියකු බර වැඩ කිරීම නුසුදුසු ද?

ඔව්. බර වැඩ කිරීම මෙන් ම බර එසවීම ද නුසුදුසුයි. විශේෂයෙන් ‘හයටස් හර්නියා’ තත්ත්වය තිබේ නම් අනවශ්‍ය ලෙස උදරය ප්‍රදේශය තෙරපීම නුසුදුසුයි. එවැනි රෝගියෙකු නිදා ගන්නා විට දී කොට්ට කිහිපයක් භාවිත කර හිස උදරයට වඩා ඉහළින් තබාගත යුතුයි.

වයෝවෘද්ධ හර්නියා රෝගීන්ට හර්නියා පටි පැලඳීම සාර්ථක ද?

එය එතරම් සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් නොවුණත් සැත්කම්වලට ලක් කිරිමට අපහසු, වයෝවෘද්ධ අය සඳහා සුදුසු ප්‍රතිකාරයක්. එමෙන් ම සැත්කමකට ලක්වන තුරු තාවකාලික ප්‍රතිකාරයක් ලෙස ද භාවිත කළ හැකියි. යටි බඩ ප්‍රදේශයෙන් ඉදිරියට නෙරා එන ‘direct inguinal hernia’ සඳහා මෙම ‘හර්නියා පටිය’ (Hernia belt) ප්‍රයෝජනයට ගත හැකි අතර සාමාන්‍යයෙන් ඉණ වටා බඳින පටියකට සමාන එහි හර්නියාව ඇති තැන ඇතුළට තෙරපීම සඳහා කුඩා ගුලියක් සවි කර තිබෙනවා.

හර්නියාවකට ප්‍රතිකාර නොලැබ සිටීමෙන් පසු කාලීනව එය පිළිකාවක් වීමට පුළුවන් ද?

නෑ. හර්නියාවක් පිළිකාවක් බවට පරිවර්තනය වන්නේ නෑ. එහෙත් හර්නියාවක් තද වුවහොත් රෝගියා තුළ බරපතළ සංකූලතාවයන් ඇති කළ හැකියි.

අණ්ඩවාතය නිසා දරු ඵල අහිමි වෙනවා ද?

හර්නියා රෝගය සහ දරු ඵල ලැබීම අතර සම්බන්ධයක් නෑ. බොහෝ විට එවැනි හර්නියා රෝගීන් බවට පත්වන්නේත් දරුවන් ලැබීමේ වයස ඉක්ම වූ අය.

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

සාකච්ඡා කෙළේ - රමණී සුබසිංහ 

උපුටා ගැනීම සිළුමිණ පුවත්පත