This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
වෛද්‍ය මුදලාලි කෙනකු නිසා වැළලී ගිය බිලිඳු ජීවිතයක්

දිනපතා සේවය නිම වී යද්දී අඩුම තරමේ රුපියල් විසි තිස් දාහක්වත් සාක්කුවේ දමාගෙන යන චැනල් වෛද්‍යවරු ඇතැම් විටෙක සතියකට දින හතර පහක්ම මෙවැනි සල්ලි මලු ගෙදර අරන් යති. චැනල් ව්‍යාපාරය ඉල්ලමක් හෙයින් දිවා රෑ නොතකා වැඩ කරන්නට ද සල්ලි මලු පොදි බඳින්නට ද ඔවුන් දැන් පුරුදු වී හමාරය. ජීවකයන් බඳු වෛද්‍යවරු අතරේ ඇතැමකුට රෝගියකු යනු තවත් එක් ගනුදෙනුකරුවකු පමණි. මෙලොව එළිය දකින්නට පෙරුම් පිරූ අහිංසක සිඟිත්තකුට අවසන් ගමන් යන්නට පාර කැපුවේ ද, පෞද්ගලික රෝහලක එවැනි වෛද්‍යවරයෙකි. ඔහුගේ නොසැලකිල්ල නිසා සිදුවූ මේ මරණයේ අග මුල, අහංගම මහතා ඉදිරියේ දිග හැරුණේ මෙලෙසිනි.

නිශාන් සිය බිරියගේ දෙවැනි දරු ප්‍රසූතිය උදෙසා ඈ පෞද්ගලික රෝහලකට ඇතුළු කළේ පාන්දර 2.30 ට පමණය. ඒ වෙද්දීත් ඇය දරු ප්‍රසූතියට ආසන්නව සිටියාය. අධික කොන්දේ වේදනාවකින් පෙළුණු ඈ කොයිතරම් අමාරු වුවද හොඳ සිහි කල්පනාවෙන් පසු වූවාය. වාට්ටුවට ඇතුළු කළ විගස සී. ටී. ජී. පරීක්ෂණයක් කළ යුතු බව හෙදියක දැනුම් දුන් අතර ඈ වේදනාව මැඬගෙන එම ස්කෑන් පරීක්ෂණයට ද මුහුණ දුන්නාය. “ඒ වන විටත් මගේ බිරිය හිටියේ අධික වේදනාවකින්. නමුත් විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍යවරයකු කැඳවන්න වාට්ටුව බාර වෛද්‍යවරයා කටයුතු කළේ නැහැ. ‘වාර්තාව අනුව දරුවාගේ තත්ත්වය හොඳ මදි වගේ. සමහර විට මැෂිමේ වරදක් වෙන්නත් පුළුවන්...’ හෙදිය කිව්වා. මා විශේෂඥ වෛද්‍යවරයකු කැඳවන්න යැයි කීවාම, ‘අවශ්‍ය නම් ඩොක්ට කියනවානේ...’ යැයි ඇය කිව්වා. කෙසේ හෝ පාන්දර 2.30 සිට උදේ 6 වෙනකල් ඇයට කිසිඳු ප්‍රතිකර්මයක් ලැබුණේ නැහැ. උදේ 6.10 ට නැවත වාර්තාවක් ගත් අතර ‘ඒකෙත් දරුවගේ තත්ත්වෙ හොඳ මදි...’ යැයි ඇය කිව්වා. විශේෂඥ වෛද්‍යවරයා ඊටත් පැයකට පමණ පසු ආ විගස ඔහු කිව්වා, ‘ස්කෑන් කරන්න...’ කියා. 8.10 ට මගේ බිරියට සිසේරියන් සැත්කම සිදු කළා. ‘දරුවා හොඳින් ඉන්නවා...’ අර හෙදිය කීවා. මං සැකේට තවත් හෙදියකගෙන් ඇහුවා. ‘ඩොක්ට ඔයාලට කතා කරයි. දරුවගෙ තත්ත්වය එතරම්ම හොඳ නැහැ...’ එහෙම කිව්වේ දෙවැනි හෙදිය. උදේ 8.30 ට පමණ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා මට කතා කළා. ‘දරුවා ඉපදෙන අවස්ථාවේ මළ අපද්‍රව්‍ය පෙණහලුවලට ගිහින්. දරුවගේ තත්ත්වෙ ඒ තරම් හොඳ නැහැ. කෘත්‍රීම ශ්වසනය දෙන්න වෙනවා. ඒකට දැඩි සත්කාර ඒකකයක් ඕනැ. පුළුවන් ඉක්මනට දරුවා අයි. සී. යූ. යුනිට් එකක් ඇති රෝහලකට යවන්න ඕනැ...’ ඔහු කීවා. ඒ අනුවයි උදේ 9.30 ට පමණ දරුවා වෙනත් රෝහලකට යැව්වේ. නවලෝකෙදි දරුවගේ තත්ත්වෙ තවත් බරපතළයි කියලා රිජ්වේ ළමා රෝහලට මාරු කළා. ඉපදිලා දවසක්වත් නැති මගේ පුංචි පුතා ළමා රෝහලේදී මියගියා. පාන්දර 2.30 ට ඇතුළු කළාට උදේ 6 වෙනකල් ඒ පෞද්ගලික රෝහලේදී මගේ බිරියට නිසි සැලකිල්ල ලැබුණේ නැහැ. ඒ වෙලාවෙ වාට්ටුව බාරව හිටි වෛද්‍යවරයාගේ නොසැලකිල්ල නිසයි, මේ අපරාධය සිද්ධ වුණේ...’ දරුවාගේ පියා වන නිශාන් හැඬු කඳුළින් අහංගම මහතා ඉදිරියේ සාක්ෂි දුන්නේය.

ඒ සියලු අවස්ථාවන්ට මුහුණ දුන් සිඟිත්තාගේ මව ද කීවේ එවැනිම කතාවකි. 
‘මගේ පළමු දරුවා ඉපදුණේ ගාල්ල මහමෝදර රජයේ රෝහලේදී. දෙවැනි දරුවා ලැබෙන්න ඇතුළු වුණේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට. එදා මට අධික කොන්දේ වේදනාවක් තිබුණා. බාහිර අංශයෙන් පරීක්ෂා කර බලා මාව වාට්ටුවට ඇතුළු කළා. 2.30 ට ඇතුළු වී, පාන්දර 3.30 - 4.15 අතර වෙලාවකයි සී. ටී. ජි. ස්කෑන් එකට ගත්තේ. නමුත් උදේ 6.15 වෙනකල් කිසිවකු ආවේ නැහැ. ‘සී. ටී. ජි. ස්කෑන් එක ෆ්ලැට්...’ මට ඇහුණා උදේ හෙදියක් කියනවා. වාට්ටුව බාර වෛද්‍යවරයා ඊටත් පස්සෙයි විශේෂඥ වෛද්‍යවරයා කැ‍ඳෙව්වේ. ඔහු ආ විගස ස්කෑන් පත බැලුවා. හෙදියට දොස් කිව්වා. ‘පහසු දේ නෙවෙයි, නිවැරැදි දේ කරන්න...’ ඔහු හෙදියට තදින් කිව්වා. ඊළඟට මාව පැත්තට හරවා යළි ස්කෑන් වාර්තාවක් ගන්න උපදෙස් දුන්නා. බෙහෙත් විදලා ඔක්සිජන් දීලා වහාම සිසේරියන් සැත්කම සිදු කළා. සිහිය එන විට සැමියා මගේ ඇඳ ළඟ හඬමින් සිටියා. ‘බබා කෝ...’ මං ඔහුගෙන් ඇහුවා. ‘බබාගේ පෙණහලුවලට අපද්‍රව්‍ය ගිහින්ලු ඒ නිසා බබාව වෙනත් රෝහලක දැඩි සත්කාර ඒකකයකට අරගෙන ගියා. සැත්කම සිදුකළ විශේෂඥ වෛද්‍යවරයා මා වෙතට ආවා. ‘ඔබ හරි වාසනාවන්තයි. දරුවා ගන්න තව විනාඩි 10 ක් ප්‍රමාද වුණානම් තත්ත්වය මීට වඩා හුඟක් බරපතළ වෙන්න තිබුණා....’ ඔහු කීවා. දරුවා‍ගේ අවසන් කටයුතුවලින් පසු දවසක සැමියා යළි රෝහලට ගියා. ඒ අවශ්‍ය වාර්තා කිහිපයක් ලබා ගන්න. එවිට අර වාට්ටුව බාරව සිටි වෛද්‍යවරයා ඔහුට පහර දෙන්න උත්සාහ කර තිබුණා. මේ සම්බන්ධයෙන් එදිනම කොල්ලුපිටිය පොලීසියටත් අප පැමිණිලි කළා” බිරිය පැවසීය. අදාළ සිසේරියන් සැත්කම සිදුකළ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා ද සාක්ෂි සඳහා මරණ පරීක්ෂකවරයා ඉදිරියට කැඳවා තිබිණි. ඔහුගේ ප්‍රකාශයට අනුව රෝහල් පාර්ශ්වයෙන් බරපතළ පමාවීමක් මේ දරු උපතේදී සිදුව තිබිණි. “ඇත්තටම මා සිතුවේ මේ මව රෝහල් ගතවී ඇත්තේ මට දුරකථන ඇමතුමක් ලැබුණු ඒ උදයේ බවයි. නමුත් ඈ පාන්දර 2.30 ට රෝහල් ගතවී තිබුණා. අවශ්‍ය කටයුතු ඒ මොහොතේ සිට පටන් ගත්තා නම් මේ වෙලාව හොඳටම ඇති දරුවාගේ ජීවිතේ බේරා ගන්නට. ඇගේ පළමු සී. ටි. ජී. වාර්තාවේ දෙපස කතුරකින් කපා තිබෙන ස්වරූපයක් මා දුටුවා. එහි පිටපතක් ළඟ තබා ගන්නැයි මා දෙමවුපියන්ට උපදෙස් දුන්නා. ඒ අනුව විය යුතුයි, දරුවාගේ පියා පසු දිනෙක රෝහලට ගොස් තිබුණේ. එදින කිසියම් ප්‍රමාදයක් සිදුව ඇති බව පැහැදිලියි. කෙසේ නමුත් ප්‍රසූතයේ කටයුතු අවසන් කොට මා ශල්‍යාගාරයෙන් පිටවූවා. යළි එන විට දරුවා හිටියෙ නැහැ. ඔවුන් මටවත් නොදන්වායි, දරුවා රෝහලින් පිටකර තිබෙන්නේ. මා හෙදියන්ට දොස් කීවා. වෙනත් පෞද්ගලික රෝහලකටත් එතැනින් ළමා රෝහලටත් දරුවා මාරු කළ බවත් එහිදී ඔහු මියගිය බවත් දැනගත්තා. හැකි ඉක්මනින් දරුවා මවගේ කුසින් මා එළියට ගත්තත් ඒ වන විටත් දරුවාගේ නාසයේ කටේ පවා අපද්‍රව්‍ය ගොස් තිබුණා. ඒ වෙලාවේ දරුවා පිරිසුදු කළා. දරුවා හැඬුවා. නමුත් අපද්‍රව්‍ය පෙණහලු කරා යාම නිසා මොළේට ඔක්සිජන් අඩුවෙලා. දරුවා ඉපදුණු පසු ළමා රෝග විශේෂඥවරයෙක් ගෙන්වා ගත්තා. ඉන් පසුයි මා ශල්‍යාගාරයෙන් පිටව ගියේ. නමුත් මා සුළු වේලාවකින් ආපසු එන විට දරුවා හිටියේ නැහැ. සමස්තයක් ලෙස මට කීමට ඇත්තේ මෙහිදී රෝහල ක්‍රියා කළ ආකාරය සතුටුදායක නැති බවයි...” විශේෂඥ වෛද්‍යවරයා සාක්කි දෙමින් පැවැසීය.

මුල සිට ඇය බාරව සිටි හෙදිය ද මෙහිදී සාක්ෂි දුන්නාය.

වාට්ටුව බාරව හිටි වෛද්‍යවරයාට සී. ටි. ජී. වාර්තාව පෙන්වූ බවත්, විශේෂඥ වෛද්‍යවරයකු කැඳවීම අනවශ්‍ය බවත් ඔහු කී නිසා තමා කිසිවක් නොකළ බවයි ඈ පැවැසූයේ. නිරීක්ෂණයන්ට යටත්ව තබන්න (under observation) යැයි ඔහු කියූ බවත් ඒ නිසා තමන්ට කිසිවක් කිරීමට බලයක් නොතිබූ බවත් ඈ සාක්කි දෙමින් පැවසුවාය. සී. ටී. ජී. වාර්තාවේ දෙපස, යන්ත්‍රයෙන් ගන්නා විටම කැපී තිබුණු අතර, වාට්ටුව බාර වෛද්‍යවරයා විශේෂඥවරයකු කැඳවීමට දැන්වූයේ අලුයම 5.45 ට නිසා තමා ඒ දේ කළේ උදේ 6 ට පමණ යැයි ද ඈ ප්‍රකාශ කළාය. අවසානයේ අහංගම මහතා ඉදිරියේ සාක්කි දීමට පැමිණියේ එදින වාට්ටුව බාරව සිටි 28 හැවිරිදි ඒ වෛද්‍යවරයායි. වෛද්‍යවරයාගේ සාක්කි අහංගම මහතා මෙසේ සම්පිණ්ඩනය කළේය. “මා ඔහුගෙන් දිගින් දිගටම කරුණු විමසුවා. ඔහු එදිනට කලින් දින පැය 24 ක් පොලිස් රෝහලේ වැඩ කර තිබුණා. ඉන් පිටත්ව ඔහු කෙළින්ම පැමිණ ඇත්තේ මේ පෞද්ගලික රෝහලටයි. මුළු රාත්‍රියම ඔහු ගත කර ඇත්තේ මේ රෝහලේයි. මේ සිදුවීමෙන් පසුත් ඔහු තවත් පැය 24 ක් එක දිගට වැඩ කර තිබුණා. ඒ කියන්නේ නොනවත්වා දින තුනක් එක දිගට ඔහු වැඩ කර අධික වෙහෙසට පත්ව සිටියා. නින්ද නොමැතිව සල්ලි නිසාම මෙසේ වැඩ කිරීම මනුෂ්‍යයකුට ඔරොත්තු දෙන්නේ නැහැ. නිදි මරගාතේ සිටින ඔහුට, මේ ලෙඩාගේ තත්ත්වයේ බරපතළකම නොදැනුණා විය හැකියි. දින තුනක් එක දිගටම වැඩ කළ බව ඔහු සඟවන්න උත්සාහ කළා. නමුත් ප්‍රශ්න කිරීම් සහ පරීක්ෂණ මතිනුයි මා එය හෙළි කර ගත්තේ. ඔහු හිටපු පොලිස් අධිකාරිවරයකුගේ පුත්‍රයෙක්. නොනවත්වා මුදල් හම්බ කිරීමේ අරමුණින් ඔහු වැඩ කළ නිසා, අහිංසක දරුවකුගේ ජීවිතයයි නැති වුණේ. මම ඔහුට දොස් කිව්වා. දරුවාගේ මවුපියන් ඔහුට විරුද්ධව නඩු දැම්මා. ඒ දොස්තර කොහොමහරි රට ගියා. අර පුංචි දරුවාගේ ජීවිතයට වග කියන්න කෙනෙක් නැති වුණා...” අහංගම මහතා පවසන පරිදි මසුරු සිටාණන් වැනි තවත් දොස්තර මුදලාලි කෙනෙකු නිසා කිරිකැටි බිලිඳකුගේ ජීවිතයක් වැළලී ගියේ එලෙසිනි. එසේම සාක්ෂිකරුවන් පස් හය දෙනකුගෙන් කරුණු විමසමින් වැළලී සැඟවෙන්නට ගිය, වෛද්‍යවරයකුගේ නොසැලකිල්ලෙන් සිදුවූ තවත් මරණයක් හෙළි වූයේ ද එලෙසිනි.

ඉනෝකා පෙරේරා බණ්ඩාර
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත