🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සෙම පැසවා කහ පාට වෙන්නේ හෙම්බිරිස්සාව කැස්ස නරක අතට හැරුණාමයි

සෙම පැසවා කහ පාට වෙන්නේ හෙම්බිරිස්සාව කැස්ස නරක අතට හැරුණාමයි

සෙම්ප්‍රතිශ්‍යාව සුලබ වෛරස් ආසාදනයකි. බොහෝ දෙනාගේ විශ්වාසය නම් සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස ඇති වූ පසුව සෙම කහපාට පිටවීමෙන් හැඟවෙන්නේ රෝගය සුව වී ඇති බවයි. එහෙත් එය වැරැදි ආකල්පයක්. එසේ සෙම කහපාටට හුරු වීම ශ්වාසනාළයේ ඇති වූ ප්‍රදාහයක ප්‍රතිඵලයක් විය හැකියි. ශ්වාසනාළ ප්‍රදාහය හෙවත් බ්‍රොන්කයිටිස් රෝගය යනු කුමක් ද? රෝග ලක්ෂණවලින් ඒ හා සමාන ඇදුම රෝගය හා බ්‍රොන්කයිටිස් රෝගය අතර සම්බන්ධයක් තිබේද? ඒ රෝග උත්සන්නවී මාරාන්තික බවට පත්වීමෙන් වැළකී සිටින්නේ කෙ‍සේද? අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ ඒ පිළිබඳවයි.

ශ්වාසනාළ ආසාදනය හෙවත් බ්‍රොන්කයිටිස් ලෙස හැඳින්වෙන්නේ කවර රෝගී තත්ත්වයක් ද?

ශ්වාසනාළ ආසාදනය හෙවත් බ්‍රොන්කයිටිස් ලෙස හැඳින්වෙන රෝගී තත්ත්වය සාමාන්‍ය කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමෙන් පසුව ඇතිවන සංකූලතාවයක්. ආසාදනයට හේතු කාරකවන විෂබීජය වෛරසයක් හෝ බැක්ටීරියාවක් විය හැකියි. ආසාදනයකදී පෙණහලු තුළ පැතිර ඇති ශ්වසන නාළ ඇතුළු පැත්තේ පිහිටි පටල වණ වෙයි. එවිට ශ්වාස නාළ ඇතුළත පටලය ඉදිමී නාළ සිදුර සිහින් වී හුස්ම ගැනීම අපහසු කරවයි.

ශ්වාසනාළ ආසාදනය වී ඇති බව හඟවන රෝග ලක්ෂණ මොනවාද?

වියළි බල්බල් කැස්ස සෑදී දින කීපයකට පසුව කහපාටට හෝ ළා කොළ පැහැයට හුරු සෙම ඇති වෙයි. ආශ්වාස ප්‍රශ්වාස වේගය වැඩි වී විටින් විට ඇදුම ගතිය ද රාං රූං ශබ්දය ද ඇතිවීමට පුළුවන්. උණ, හුස්ම ගැනීමේ අපහසුව, ආහාර අරුචිය හා කැස්ස සමඟ වමනය ද රෝගී ලක්ෂණ ලෙස පෙන්නුම් කළ හැකියි. රෝගය උත්සන්න වූයේ නම් තොල් සහ දිව නිල් පැහැ ගැනීමට ද පුළුවන්.

බ්‍රොන්කයිටිස් රෝගීන්ට නිවෙසේ දී කළ හැකි ප්‍රතිකර්ම තිබෙනවා ද?

ඔව්. එම රෝගී තත්ත්වය සඳහා ද සාමාන්‍ය කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාවට නිවෙසේදී කරන වෙද හෙදකම්වලට සමාන ප්‍රතිකර්ම ලබා දීම සුදුසුයි. රෝගියාට හුස්ම ගැනීමේ අපහසුව මඟ හැරීමට නටන වතුරින් නඟින හුමාලය ආඝ්‍රාණය කිරීම සුදුසුයි. එය සෙම බුරුල් කිරීමට උදවු වෙයි. කැස්ස ඇතිවී මුල් දින දෙක තුනෙහි සෙම ඇති නොවේ. එහෙත් ඉන් පසුව කහපාට හෝ කොළ පාට සෙම හෝ ඇතිවෙයි. එවැනි අවස්ථාවක රෝගියා කැස්සට උනන්දු කරවා සෙම ඉවත් කිරීම වඩාත් සුදුසුය. රෝගියාට උණ හටගෙන තිබේ නම්, කුඩා දරුවකු නම් ඇල්මැරූ දිය ප්‍රතිකාරය කළ හැකිය. ඊට අමතරව පැරසිටමෝල් ඖෂධය පැය හයකට වරක් ලබා දිය හැකියි. එහෙත් අවුරුදු 12 ට අඩු දරුවන්ට ඖෂධ ලබා දීමට පෙර අනිවාර්යයෙන් ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

බ්‍රොන්කයිටිස් රෝගයේ දී ඇතිවන කැස්සට සිරප් වර්ග භාවිතය සුදුසු ද?

නෑ. කැස්ස මර්දනය කිරීම සඳහා සිරප් වර්ග ලබාදීම කිසිසේත් නුවණට හුරු නොවෙයි. ශ්වාසනාළ ආසාදනය ඇති වූ විට සමහර රෝගීන්ට ආහාර අරුචිය ඇති වුවද නිරාහාරව තැබීම සුදුසු නොවේ. එම නිසා රෝගීන් ආහාර ගැනීමට උනන්දු කරවිය යුතු අතර විශේෂයෙන් ජලය හා දියරවර්ග වැඩිපුර බීමට දිය යුතුයි.

ශ්වාසනාළ ආසාදන රෝගියකුට වෛද්‍ය ප්‍රතිකාර අත්‍යවශ්‍ය ද?

ඔව්. එවැනි රෝගියකුට කැස්ස සමඟ පපුවේ වේදනාවක් ඇති වන්නේ නම්, කැස්ස සමඟ රුධිරය පිටවන්නේ නම් අනිවාර්යයෙන් ම වෛද්‍යවරයා හමුවිය යුතුයි. රෝගී දරුවාගේ හුස්ම ගැනී‍ෙම් වේගය අධික නම්, (කුඩා දරුවකු ගේ නම් හුස්ම ගැනීමේ වේගය විනාඩියට වාර 50 ට වඩා වැඩි නම්) හුස්ම ගන්නා විට පපුවේ ඉළ ඇට අතරින් සම ඇතුළට ඇදෙයි නම්, ආශ්වාසයේ දී ශබ්දයක් ඇති වන්නේ නම්, තොල් හෝ දිව නිල් පැහැගෙන ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.

බ්‍රොන්කයිටිස් රෝගයට ප්‍රධාන හේතුව සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට සහ කැස්සට නිසි ප්‍රතිකාර නොලැබීම ද?

ඔව්. සාමාන්‍යයෙන් කෙනකුට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳී දින කිහිපයකින් පසු, ප්‍රතිජීවක ඖෂධ නැතිව රෝගය ඉබේම සුව වෙනවා. එහෙත් සමහර කෙනකුට ආසාදන තත්ත්වය වර්ධනය විය හැකියි. එවැනි අවස්ථාවක එනම් කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව හා උණ ඇති වූ පසුව සෙම පැසවා කහ පාටට පිටවීම ස්වභාවික දෙයක් ලෙස සමහර අය සිතනවා. ඒ වගේම සෙම පැසවා ඇතිවිට දිය නෑම සුදුසු බවද තීරණය කරනවා. එහෙත් එය වැරැදි ආකල්පයක්. සෙම පැසවා කහ පාටට පිටවන්නේ ශ්වාසනාළයේ ඇති වූ ප්‍රදාහ තත්ත්වය පැසවීම නිසයි. එවැනි අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම යෝග්‍යයයි.

ශ්වාසනාළ ආසාදනය වීමේ අවදානම වැඩි අය කවුද?‍

අවුරුදු පහට අඩු කුඩා දරුවන් සහ වයස අවුරුදු 60 - 65 ත් අතර වැඩිහිටියන්ට මේ රෝගී තත්ත්වය ඇතිවී‍ෙම් අවදානම වැඩියි. එම නිසා එම වයස් කාණ්ඩවල අය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස ඇතිවූ අවස්ථාවන් හි දී ආරක්ෂාකාරී වීම වැදගත්.

දුම්පානය කරන්නන් අතර රෝගය වැලඳීමේ අවදානම වැඩිද?

ඔව්. එවැනි අයට රෝග අවදානම ඉහළයි. ඔවුන් ගේ ශ්වාසනාළය දුර්වල වීම ඊට හේතුවයි. ඒ වගේම මත්වතුරට ඇබ්බැහි වූ අයගේ ස්නායු පද්ධතිය නිසියාකාරව ක්‍රියා නොකරන නිසා ඒ අයට ද රෝගය වැලඳීමේ අවදානම වැඩියි.

බ්‍රොන්කයිටිස් රෝගියකුගෙන් තවත් කෙනකුට රෝගය බෝවනවාද?

නෑ. ශ්වාසනාළ ආසාදනමය තත්ත්වය රෝගියකුගෙන් තවත් කෙනකුට බෝ නොවුණත් වෛරස් ආසාදන නිසා ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව ප්‍රශ්වාස වාතය මඟින් තවත් කෙනකුට බෝවිය හැකියි.

ශ්වාසනාළ ආසාදනය මාරාන්තික විය හැකිද?

රෝගය නිව්මෝනියා තත්ත්වයට හැරී උත්සන්න වූයේ නම් මරණය පවා සිදුවීමට පුළුවන්. එහෙත් නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වූයේ නම් එවැනි තත්ත්වයක් පහසුවෙන් ම වළක්වා ගත හැකියි.

එවැනි රෝගීන් එක්ස්රේ ඡායාරූප ලබාගත යුතුයි කියන්නේ ඇත්තද?

එය වෛද්‍යවරයාගේ නිර්දේශයට අනුව කළ යුතු දෙයක්. හැම රෝගියෙකුටම එය අදාළ නොවෙයි. සෙම පරීක්ෂාවකින් පසු තත්ත්වය බරපතළ නම් එක්ස්රේ ඡායාරූපයක් ගත යුතු වීමට පුළුවන.

ඇදුම රෝගය සහ බ්‍රොන්කයිටිස්, එනම් ශ්වාසනාළ ආසාදන රෝගය සමඟ සම්බන්ධතාවක් තිබෙනවාද?

ඔව්. ඇදුම රෝගීන්ට බ්‍රොන්කයිටිස් ඇතිවීමේ අවදානම ඉහළයි.

ඇදුම රෝගය ගැන යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?

ඇදුම හෙවත් Asthma යනුවෙන් හැඳින්වෙන්නේ පෙණහලු තුළ, ශ්වාසනාළ පද්ධතියේ ඇතිවන ආසාදනයක්. ඒ ආසාදනය නිසා ශ්වාසනාළයන් හි බිත්තිවල පිහිටි සුමට පේශී තන්තු හැකිළෙන අතර නාළයන් හි ගන ශ්ලේශ්මල ශ්‍රාවයන් එක්රැස්වීම ද සිදුවේ.

ඇදුම රෝග ලක්ෂණ මොනවා ද?

මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ හතරක් දැකගත හැකියි. හුස්ම පිටකිරීමේ අපහසුතාව, පපුවේ තද ගතිය, විශේෂයෙන් රාත්‍රී කාලයේ දී වැඩිවන කැස්ස සහ හුස්ම පිටකිරීමේ දී ඇතිවන රාං රූං ශබ්දය ආදී වශයෙන්. ඒ ශබ්දය (wheezing) නළාවකින් පිටවන සිහින් ශබ්දයකට සමානයි. වඩාත් හොඳින් ඇසෙන‍්නේ හුස්ම පිටකිරීමේ දීයි. රෝගය උත්සන්න වූයේ නම් තොල් නිල් පැහැ ගැනීමට ද පුළුවන්. ඊට හේතුව පෙණහලුවලින් රුධිරයට ඇතුළුවන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමයි. හුස්ම ගැනීමේ දී ඇතිවන රාං රූං ශබ්දය වෙනත් රෝග නිසාද ඇතිවිය හැකියි. බළලුන්, බල්ලන් හෝ වෙනත් සතුන්ගේ ලොම්වලට නිරාවරණය වූ විට රෝග ලක්ෂණ මතුවීම, මල් ගොයම් සහ වෙනත් ගස්වර්ග රේණු සුළඟ සමඟ මුසුවන කාලයන් හි දී ඇදුම හට ගැනීම සහ රාත්‍රී හෝ උදේ පාන්දර වැනි දවසේ විශේෂිත කාලයන් හි දී රෝග ලක්ෂණ මතුවීම රෝගය හඳුනා ගැනීමට උපකාරීවන වෙනත් සාධකයන්.

ඇදුම රෝගයට හේතුව කුමක් ද?

ඇදුම ඇති කරන හේතු සාධක හඳුන්වන්නේ විසර්ජන ලෙසින්. අප ආශ්වාස කිරීමේ දී සිරුරට පිටතින් ඇදී එන කුඩා අංශු, උදාහරණ ලෙස දූවිලි, පිහාටු කෙඳි, මල් රේණු, කැරපොතු බෙටි, දහයියා කුඩු පින්න ආදිය ප්‍රධාන වශයෙන් අසාත්මිකතාව ඇති කිරීමට හේතු වෙයි. මීට අමතරව සමහර ආහාර පාන හා ඖෂධවලට මෙන් ම මී මැසි, මදුරු වැනි කෘමි දෂ්ඨනයන් ද ඇදුම ඇතිවීමට කලාතුරකින් හේතුවිය හැකියි.

රෝගය උත්සන්න වන්නේ කවර අවස්ථාවන්හි දී ද?

සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වැලදුණු විට, සිරුර අධික ලෙස වෙහෙසට පත් වූ විට රෝගය උත්සන්න විය හැකිය. එමෙන් ම විෂ වායු උදාහරණ ලෙස සිගරැට් දුම, ක්ලෝරීන් වායුව වැනි වායු සිරුරට ඇතුළු වූ විට ද ඇදුම රෝගය උත්සන්න විය හැකියි. මෙම රෝගීන්ට ඇදුම නිසාම උණ හට නොගත්ත ද යම් හෙයකින් ශ්වසන පද්ධතියට විෂබීජ යාමෙන් ආසාදනයක් වී තිබේ නම් උණ හටගැනීමට ද පුළුවන.

කුඩා දරුවන්ටත් ඇදුම රෝගය හැදෙනවා ද?

සාමාන්‍යයෙන් අවුරුදු දෙකට අඩු දරුවන්ට ඇදුම රෝගය ඇති නොවේ. ඒ වගේ ම ඊට වඩා වයසින් වැඩි දරුවකුට ඇදුම හටගත්තේ නම් යොවුන් වියට පත්වන විට ක්‍රමයෙන් පහව යයි.

ගැබිනි මවකට ඇදුම රෝගය වැලඳුණේ නම් දරුවාට බලපෑමක් වීමට ඉඩ තිබෙනවා ද?

කුස තුළ සිටින දරුවාට එයින් කිසිදු ආබාධයක් ඇති නොවේ. එහෙත් ගැබිනි මවකට ඇදුම වැලැඳී ඇත්නම් ප්‍රතිකාර ගැනීම වැදගත් වේ. නිවැරැදි ප්‍රතිකාර නොලැබුණේ නම් කුස තුළ සිටින දරුවාට යම් යම් ආබාධ ඇතිවන්නට ඉඩ තිබේ.

ඇදුම කෙනකුගෙන් තවත් කෙනකුට බෝවෙනවාද?

නෑ. ඇදුම කෙනකුගෙන් කවර කෙනකුට බෝ නොවේ. එහෙත් චර්ම රෝග සහ ඇදුම වැනි අසාත්මිකතා බහුල පවුල්වල සාමාජිකයන්ට ඇදුම රෝගය හටගැනීමේ ප්‍රවණතාව අධික බව පෙනී ගොස් තිබේ.

ඇදුම රෝගයට නිවෙසේ දී කළ හැකි ප්‍රතිකාර තිබෙනවා ද?

නිවසේ දී ප්‍රතිකාර ඇරඹිය යුතු වන්නේ රෝගියාට වැලඳී ඇත්තේ ඇදුම බව ස්ථිර වශයෙන් දැන ගත් පසුවයි. එමෙන් ම ඇදුම රෝගයට මුලින් ම වෛද්‍ය ප්‍රතිකාර ලැබීම වැදගත්. එවිට වෛද්‍යවරයා විසින් රෝග විනිශ්චය කොට සුදුසු විශේෂිත බෙහෙත් වර්ග නියම කරයි. රෝග ලක්ෂණ මතු වූ අවස්ථාවේ ම ප්‍රතිකාර ලබා ගන්නේ නම් රෝගය ඉක්මනින් ම සුවකර ගත හැකියි.

ඇදුම රෝගය සෑදී අපහසුවෙන් පෙළෙන රෝගියෙකුට රෝහලට ගෙන යාමට පෙර කළ යුතු දේ මොනවාද?

ඇදුම ඇති වූ විට රෝගියා නිදිකර තැබීමට වඩා වාඩිකර තැබීම ප්‍රශ්වාසය පහසු කරවයි. රෝගියාගේ රෝගී තත්ත්වය පිළිබඳව පවුලේ අය බියට පත්ව කලබල වූයේ නම් ඒ දැක රෝගියාට ඇතිවන මානසික අසහනය රෝගය උත්සන්න කරවයි. ඒ නිසා පළමුව තමන් සන්සුන් වී රෝගියා සැනසිය යුතුයි.

ඇදුම රෝගයට දිගින් දිගට ම ප්‍රතිකාර ගැනීම සිරුරට අහිතකරයි කියන කතාව ඇත්තද?

එලෙස සිතන රෝගීන් බොහෝ දෙනෙක් මට හමුවී තිබෙනවා. එවැනි අය සමහරවිට අතරමග ප්‍රතිකාර නවතා දමන අතර ම රෝග සුවයට විකල්ප ප්‍රතිකර්ම සොයනවා. එහෙත් ඇදුමට ඉක්මනින් නිසි ප්‍රතිකාර නොකළේ නම් කල් යනවිට පෙණහලු සහ ශ්වසන නාළවල සුව කළ නොහැකි ආබාධ ඇතිවිය හැකියි. ඇදුම රෝගය හටගැනීමට තුඩු දෙන විසර්ජකයනට නිරාවරණය වීම වැළැක්වීමට පියවර ගැනීම ද ඇදුම සඳහා කරන ප්‍රතිකාරයේ ම වැදගත් කොටසක්.

එම විසර්ජක මොනවාද?

වෛරස් ආසාදන (සෙම්ප්‍රතිශ්‍යාව වැනි), අධික සීතල (වායු සමනය), ව්‍යායාමය සහ ක්‍රීඩාව, දූවිලි, මල් රේණු, දේශගුණයේ ඇතිවන හදිසි වෙනස්කම්, බල්ලන් සහ බළලුන්ගේ මවිල්, සිගරට් දුම, ඇඳ මකුණන්ගේ සහ කීඩෑවන් ගේ අපද්‍රව්‍ය, ඇතැම් කර්මාන්ත රසායනික ද්‍රව්‍ය, දුම් සහිත පරිසරය, සතුන් ගේ අපද්‍රව්‍ය, කිරි, දොඩම් සහ දෙහි පානයත්, මත් වතුර, රට කජු, ශිත කළ පලතුරු බීම වර්ග, ටොෆි සහ චොක්ලට් වර්ග, තීන්ත වර්ග, කාන්තාවන් ගේ ආර්තවය හා ඖෂධ ආදිය ඇදුම රෝගීන්ට අසාත්මික විය හැකිය. ඒ වගේ ම මේ සෑම විසර්ජකයක් ම සෑම ඇදුම රෝගියකුටම අහිතකර නොවන බවද දැන ගත යුතුයි. එනිසා ඇදුම රෝගයෙන් පෙළෙන්නන් මේ සියලුම විසර්ජකයන්ගෙන් වැළකී සිටීම අනුවණකමක්. කළ යුතු වන්නේ තමන්ට අහිතකර විසර්ජකය තෝරා එයින් වැළකී සිටීමයි.

ඇදුම රෝගීන්ට ව්‍යායාම අගුණද?

අධික ලෙස සිරුර වෙහෙසවන ව්‍යායාම ඇදුම රෝගීන්ට නුසුදුසුයි. එහෙත් මධ්‍යම ප්‍රමාණයේ ව්‍යායාම සුදුසු වන අතර විශේෂයෙන් පිහිනීම හිතකරයි.

හෘදයාබාධයකින් පෙළෙන රෝගියෙකුට ඇදුම හට ගන්නේ නම්, කළ යුත්තේ කුමක්ද?

ඇදුම රෝගීන්ට සමහර ඖෂධ විෂ විය හැකියි. ඒ නිසා ඇදුම රෝගීන් හෘදයාබාධ, හන්දිපත් වේදනාව සහ අධිරුධිර පීඩනය වැනි රෝගයන්ට ප්‍රතිකාර ගන්නේ නම් ඒ පිළිබඳව වෛද්‍යවරයාට පැවසිය යුතුයි. ඊට හේතුව මෙම රෝගාබාධ සඳහා ගන්නා සමහර ඖෂධ ඇදුම උත්සන්න කළ හැකි වීමයි.

ඇදුම මාරාන්තික විය හැකිද?

ඔව්. රෝගය උත්සන්න වූයේ නම් මාරාන්තික විය හැකියි. මුල් අවස්ථාවේදී ම නිසි ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් වන්නේ මේ නිසයි.

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

රමණී සුබසිංහ

උපුටා ගැනීම සිළුමිණ