🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

Tattoo ගහන අයටත් HIV

Tattoo ගහන අයටත් HIV

සමාජක රෝග ඇතිවීමේ ආරම්භය කුමක්ද?

ලිංගාශ්‍රිත එච්.අයි.වී. ඒඩ්ස් රෝග වගේ රෝග ඈත අතීතයේ පටන්ම පවතිනවා සමාජයේ ඇතිවන විසබීජ අනාරක්‍ෂිත ලිංගික සබඳතා මඟින් තමයි පැතිර යන්නේ. සමාජ ආචාරධර්මවලින් අෑත් වන සමාජවල මේ රෝග බහුලවම දකින්න පුළුවන්. සංක්‍රමණ වැඩිවීමත් එක්ක මෙවැනි රෝග ව්‍යාප්ත වීමේ සීග්‍රතාව වැඩියි.

සමාජ රෝග අතරින් බහුලව පැතිර යන්නේ කුමන රෝගද?

ලංකාවේ වැඩියෙන්ම ඇතිවන බැක්ටීරියා ආසාදන රෝග ලෙස ගොනෝරියා (සුදු බිංදුව) උපදංශය (සිසිලිස්) හඳුනා ගන්න පුළුවන්. බැක්ටීරියා ආසාදන පාලනය කළ හැකි වුවත් වෛරස් ආසාදන තරමක් ගැටලුකාරීයි. ලිංගික ප්‍රදේශවල ඇතිවන ලිංගික ඉන්නන් හා හර්පීස් කියන වෛරස් ආසාදන ලංකාවේ බහුලවම දැකගත හැකිය.

මේ අතරින් මාරාන්තික රෝග තත්ත්වය මොනවාද?

බැක්ටීරියා හා වෛරස් රෝග තත්ත්ව දැන් දැන් වඩාත් ගැටලුකාරී රෝග බවට පත්ව ඇත. නමුත් මින් මාරාන්තික අවදානමක් පවතින්නේ එච්.අයි.වී. වෛරසයෙන් ඇතිවන රෝගයි. ආසාදනය වෙමින් තවත් රෝග තත්ත්ව ඇති කරවමින් පුද්ගලයකු මරණයට පත් කරවීමට පවා හේතුවෙනවා.

මේ රෝග පවතින බව හඳුනා ගන්නේ කෙසේද?

බැක්ටීරියා හා වෛරස් ආසාදන තත්ත්ව බොහෝවිට ශරීරයේ පවතින්නේ සැඟවයි. කිසිම රෝග ලක්‍ෂණයක් නොපෙන්වමින් මෙම රෝග පැවැතිය හැකිය. එම නිසා නිසි වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු වන තෙක් ඔබට මෙය හඳුනාගත නොහැකිය. කල්තියා හඳුනා ගතහොත් එය පාලනය කිරීමට හැකිය.

ලිංගාශ්‍රිත රෝග බෝවිය හැක්කේ කුමන ක්‍රමයකින්ද?

මේ සෑම රෝගයක්ම බෝවන්නේ අනාරක්‍ෂිත ලිංගික සබඳතාවකිනි. නමුත් එච්.අයි.වී. වෛරසය නම් රුධිරය මඟින් පවා බෝවීමට හැකිය. තවද විලාසිතාවට කරන පච්ච කෙටීමේදීද මෙ අවදානම තිබීමට පුළුවන. එහිදී භාවිත කරන කටු නිසි ලෙස ජීවානුහරණ නොකිරීමෙන්ද මෙය සිදුවිය හැකිය.

බැක්ටීරියා මඟින් ආසාදනය වන ගොනෝරියා රෝගය පාලනය කිරීම හා සුව වීමට කොපමණ කලක් ගත වෙනවද?

ගොනෝරියා රෝගය ඇති බව හඳුනා ගත් පසු මාස 3 කට වරක් රෝගියා පරීක්‍ෂාවට යොමු කෙරේ. ඇතැම් විට මෙය සම්පූර්ණයෙන් සුව කිරීමට සුමාන කිහිපයක් පමණක් වුවද ගතවීමට පුළුවන. ඒත් සමඟම ඔහු හෝ ඇය සමඟ ලිංගික සබඳතා පවත්වන සහකරු හෝ සහකාරියද මෙම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

උපදංශ රෝගය පාලනය කළ හැකිද?

ඔව්, උපදංශ රෝගීන් පෙනිසිලින් එන්නත් ලබාදීමෙන් සුව කළ හැකිය. එය හඳුනාගත් විට වසර 2ක් පමණ ගත වන තෙක් මාස 3 කට වරක් රුධිර පරීක්‍ෂා සිදු කරමින් ඒ බව තහවුරු කර ගනියි.

කාන්තාවන්ට හෝ පුරුෂයන්ට විශේෂිතව වැලඳෙන ලිංගාශ්‍රිත රෝග තියෙනවද?

නැහැ. එහෙම විශේෂයෙන් නැහැ. මේ හැම රෝගයක්ම දෙපිරිසටම හැදෙන්න පුළුවන්. එහි අවදානමත් දෙපිරිසකට බලපාන්නේ එකම ආකාරයටයි. නමුත් කාන්තාවන්ට වඩා පුරුෂයන්ගෙන් ගොනෝරියා රෝග ලක්‍ෂණ දැකීමට පුළුවන.

අපි සමාජ රෝග කියා වරදවා වටහා ගන්නා වෙනත් ලිංගාශ්‍රිත රෝග තිබෙනවාද?

ඔව්. සමහර අයට ඒ ප්‍රදේශවල කැසීමක් හෝ ඔෟෂධ විසවීමෙන් කැසීමක් ඇති විය හැකිය. කාන්තාවන්ට නම් ලිංගික ප්‍රදේශයෙන් ශ්වේත ප්‍රදාහය පිටවීමත් සමාජ රෝගයක් ලෙස සිතිය හැකිය. නමුත් මේ ලක්‍ෂණ සියල්ල සාමාන්‍ය බව කිව යුතුමයි. මේ නිසා ලිංගාශ්‍රිත රෝග සායන පරීක්‍ෂාවට ගොස් නිසි ලෙස පරීක්‍ෂා කරගෙන ඒ බව තහවුරු කර ගැනීම වඩා වැදගත්ය.

සමාජ රෝගයක් වැලඳී ඇති බව දැනගත් විට කුමක් කළ යුතුද?

අනාරක්‍ෂිත ලිංගික සබඳතාවක් තිබුණේ නම් ඔබ වහාම සුදුසු ලිංගාශ්‍රිත රෝග සායනයක් වෙත යොමු වී පරීක්‍ෂා කිරීමෙන් ඒ බැව් තහවුරු කරගත යුතුය. ඔබේ රහසිගතභාවය ආරක්‍ෂා කර ගැනීම පිළිබඳ නම් මෙහිදී සැකයක් ඇතිකර නොගත යුතුය. ඉන්පසුව නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත ඔබට යොමුවීමට පුළුවන. නමුත් වඩාත් වැදගත් වන්නේ මෙවැනි රෝග වැලඳීමට පෙරම වළක්වා ගැනීමය.

සමාජ රෝග මුඛ සංසර්ගයෙන් බෝවිය හැකිද?

ඔව්. හර්පීස්, ගොනෝරියා වැනි රෝග මුඛයෙන් වුවද බෝවීමට පුළුවන නමුත් බොහෝ දෙනා මෙය පිළිගැනීමට අකමැත්ත දක්වයි.

උපත් පාලන කොපු භාවිත කිරීමෙන් මෙම රෝග වැළැක්විය හැකිද?

ඔව්. ඔබ අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධතාවකදී මෙම කොපු භාවිත කළ යුතුවය. එමඟින් ඔබට මෙවැනි රෝගවලින් වැළකී සිටිය හැකිය. නමුත් වඩාත් වැදගත් වන්නේ විවාහක සහකරු හෝ සහකාරිය සමඟ පමණක් සබඳතා පැවැත්වීමයි.

සමාජ රෝගයක් මවගෙන් දරුවාට ඇතිවිය හැකිද?

ඔව්, එච්.එයි.වී. උපදංශය, ගොනෝරියා, ලිංගාශ්‍රිත ඉන්නන් හා හර්පීස් වැනි ඕනෑම රෝගයක් මවගෙන් දරුවාට බෝවීමට හැකියාව ඇත.

එය කෙලෙස පාලනය කරන්නේද?

ගැබිනි සමයේදී එනම් මවු කුසට මාස 2ක් ගතවීමටත් පෙර මේ බව තහවුරු කර ගැනීමට සුදුසු පරීක්‍ෂණ වෙත ඇයව යොමු කරයි. එලෙස හඳුනාගත් විට උපදංශ වැනි රෝග දරුවාට ඇතිවීම වළක්වා ගැනීමට පුළුවන. මෙලෙස ඇයව මාස්පතා පරීක්‍ෂා කරයි. එච්.අයි.වී. ආසාදිත මවකට නම් දරුවා උපත ලැබීමෙන් පසුවත් වැඩි අවධානයක් යොමු කරයි. මෙනිසා මවගෙන් දරුවාට මෙවැනි රෝග ඇතිවීමේ අවදානම අඩුවී ඇත.

දරුවාට මවු කිරි දීමේදී මෙම රෝග දරුවාට වැලඳෙන්නේද?

එච්.අයි.වී. ආසාදිත මවකගෙන් කිරි උරාබොන දරුවාට එම රෝග බෝවිය හැකි වුවද වෙනත් කිසිම ලිංගාශි්‍රත රෝගයක් මවුකිරි දීමෙන් දරුවාට වැලඳෙන්නේ නැත. එච්.අයි.වී. ආසාදිත මවගේ දරුවාට පිටිකිරි දීමට වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ මේනිසයි.

එවිට දරුවාට සංකූලතා ඇති වෙනවාද?

සංකූලතා රැසක් ඇතිවීමට හැකිය. දරුවාගේ ඉන්ද්‍රියන්ට එනම් අක්මාවට හා හන්දිවලටද මෙමඟින් විවිධ බලපෑම් ඇති කරවයි. එච්.අයි.වී. ආසාදිතයෙක් නම් ප්‍රතිශක්තිය අඩු නිසා වරින්වර රෝග ලක්‍ෂණ ඇති කරවීමට පුළුවන.

මෙවැනි රෝග ඇතිවීමෙන් කාන්තාවක් වඳභාවයට පත්විය හැකිද?

ගොනෝරියා ඇතිවන්නේ කාන්තාවන්ගේ ගැබ්ගෙල ආශ්‍රිතවය. එවිට එය පැලෝපීය නාළ හරහා යමින් එහි අවහිරතා ඇතිකරවීමට හැකිය. මෙවැනි හේතු නිසා කාන්තාවක් වඳභාවයට වුවද පත්විය හැකිය.

ලිංගික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලිලානි රාජපක්‍ෂ

ශාලිකා රංගනී සමරදිවාකර

උපුටා ගැනීම මව්බිම