🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

පාකින්සන් හැදුණාට කල්පනා ශක්තිය අඩුවෙන්නේ නෑ

පාකින්සන් හැදුණාට කල්පනා ශක්තිය අඩුවෙන්නේ නෑ

වයස්ගත වීමත් සමඟ වැඩිහිටියන්ට ඇතිවන අත්පා වෙව්ලීම, ඈලිමෑලි දුබල ගතිය, මලබද්ධය, මුත්‍රා කිරීමේ අපහසුව, ශරීරයේ සමතුලිත බව බිඳී යාම ආදී ලක්ෂණ යම් රෝගයක් නිසා නොව මහලු වියත් සමඟ ඉබේම ඇතිවන ලක්ෂණ, දුර්වලතා ලෙස සැලකීම වැඩිදෙනා ගේ සිරිත ය. තවත් කෙනෙක් ඒ බැරි අමාරුකම් වාත අමාරු ලෙස ද හඳුන්වති. අප අසා පුරුදු, දන්නා හඳුනන නමක් නොවුණ ද, විශේෂයෙන් වයස්ගත වීමත් සමඟ ඇතිවන එම රෝග ලක්ෂණ පාකින්සන් රෝග ලක්ෂණ විය හැකි බව ඔබ දන්නවාද? රෝගය ඇතිවීම වළක්වා ගත නොහැකි වුව ද නිවැරැදි ප්‍රතිකාර මඟින් පාලනය කළ හැකි පාකින්සන් රෝගය පිළිබඳ දැන සිටීම අත්‍යවශ්‍ය වන්නේ එවැනි වැඩිහිටියන්ට වඩාත් හොඳින් ජීවත්වීමට අවශ්‍ය කායික හා මානසික පරිසරය සකසා දීම සඳහාය. වයසට යාම නිසා තමන් දුර්වල වී ඇතැයි, මේ තමන්ගේ අවසාන සමය යැයි මානසිකව පීඩාවට පත්වන ඇතැම් වැඩිහිටියෝ ඒ නිසාම සමාජයෙන් ඈත් වී සිටීමට, මෙන්ම බොහෝ වැඩ කටයුතුවලින් බැහැර වීමට ද පෙලඹෙන අතර කලකිරුණු සිතින් ද පසුවෙති. එමනිසා වැඩිහිටියන් මෙන්ම ඔවුන් රැක බලා ගන්නා අය ද පාකින්සන් රෝගය පිළිබඳ යම් අව‍බෝධයකින් සිටීම වැදගත්ය. අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ පාකින්සන් රෝගය පිළිබඳවයි.

පාකින්සන් රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

ප්‍රධාන වශයෙන් දැකගත හැකි රෝග ලක්ෂණ කිහිපයක් තිබෙනවා. සිරුරේ තද ගතිය, අත් පා වෙවුලීම, ඇඟිලි උපයෝගී කර ගනිමින් කරන සියුම් කටයුතු කිරීමේ හැකියාව නැතිවී යාම, යම් කටයුත්තක් ආරම්භ කිරීමේ දී ඇතිවන අපහසුතාව සහ ශරීරයේ සමතුලිත බව ගිලිහී යාම විශේෂයි.

ඒ රෝග ලක්ෂණ හඳුනාගත හැකි ආකාරය තවදුරටත් විස්තර කළ හැකිද?

ඔව්. මේ රෝගයෙන් පෙළෙන අයට කලබලකාරී පරිසරයක වේගයෙන් එහා මෙහා දුව පනිමින් කටයුතු කිරීමට හැකියාවක් නෑ. තමන්ගේ ශරීරය තද වූවා සේ දැනෙන අතර වෙනදා මෙන් අකුරු පහසුවෙන් ලිවීමට නොහැකිය. වේගයෙන් ලිවීමට ද නොහැකිය. ලියවෙන අක්ෂර ද කුඩා වී කුරු වී යයි. ඇවිදින විට සමබරතාව නැති වී ගොස් වැටී අනතුරු සිදුවීමේ ප්‍රවණතාව වැඩිය. විවේකීව සිටින අවස්ථාවක වුව ද අතපය පමණක් නොව හකුපාඩා ද ‍වෙවුලීමට පටන්ගනී. ඒ නිසා කතා කිරීමේ හා ආහාර ගැනීමේ අපහසුතා ඇතිවේ. තමන්ගේ දුක සතුට වැනි හැඟීම් ප්‍රකාශ කිරීමේ හැකියාව ද නැතිව යයි. මුහුණේ හැඟීම් නැති ස්වභාවයක් පෙන්නුම් කරයි.

පාකින්සන් රෝගයේ දී මානසික වෙනස්කම් ඇති වනවාද?

ඔව්. මානසික අවපීඩනය, කාන්සාව වැනි රෝග තත්ත්වයන් ඇති විය හැකිය. ඒ වගේම මුත්‍රා පහ කිරීමේ අපහසුව, මළබද්ධය, ඈලිමෑලි දුබල ගතිය සහ නින්දේ දී අපහසුතා ද ඇති විය හැකිය.

මේ රෝගය ඇතිවීමට බලපාන හේතු සාධක මොනවාද?

රෝගීන් අතරින් බහුතරයකට රෝගය ඇතිවීමේ හේතුව තවමත් නිවැරැදිව ‍හදුනාගෙන නැත. එම තත්ත්වය හැඳින්වෙන්නේ ප්‍රාථමික පාකින්සන් රෝගය ලෙසින්. එහෙත් එම රෝගීන් අතරින් සුළු කොටසකට රෝගය ඇතිවීමට බලපාන හේතු කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. විෂ රසායනික වර්ග ශරීරගතවීම, සමහර ඖෂධ වර්ග භාවිතය, (උදාහරණ ලෙස මානසික රෝග සඳහා භාවිත කරනු ලබන ලාගැක්ටිල්, ස්ටෙලසින් වැනි ඖෂධ)‍ මොළයට වැලඳෙන ආසාදන සහ බොක්සින් ක්‍රීඩාවේ දී මෙන් හිසට නිතර තද පහරවල් වැදීම නිසා ද මේ රෝගය ඇතිවිය හැකියි. එවැනි තත්ත්වයක් හැඳින්වෙන්නේ ද්විතීයික පාකින්සන් රෝගය ලෙසයි. කෙසේ වෙතත් පාකින්සන් රෝගය ස්නායු පද්ධතිය හා සම්බන්ධ වූ රෝගයක් ලෙස සඳහන් කළ හැකියි. එහිදී සිදු වන්නේ මොළයේ බේසල් ගැන්ග්ලියා නම් ප්‍රදේශයෙන් නිෂ්පාදනය කරනු ලබන ඩෝපමින් නැමැති ස්නායු සමාප්‍රේශකය සිඳී යාමයි. එම නිෂ්පාදන 60% - 80%ක් පමණ අඩු වන විට ඉහත කී රෝග ලක්ෂණ මතුවෙනවා.

පාකින්සන් රෝගය නිට්ටාවටම සුව කළ නොහැකිද?

රෝගය නිට්ටාවටම සුව කළ නොහැකියි. එහෙත් පාලනය කළ හැකියි. ඖෂධ ප්‍රතිකාර මෙන්ම භෞතවේදී චිකිත්සාව, සැත්කම් වැනි බහුවිධ ප්‍රතිකාර ඒ සඳහා භාවිත කළ හැකියි.

පාකින්සන් රෝගයෙන් පෙළෙන අයට ව්‍යායාම නුසුදුසුද?

පාකින්සන් රෝගීන් අනිවාර්යයෙන්ම නිතිපතා ව්‍යායාමයේ යෙදිය යුතුයි. එහිදී වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍යයයි. ව්‍යායාම මඟින් රුධිර සංසරණ පද්ධතිය සෞඛ්‍ය සම්පන්න වන අතර හන්දිපත් රුදාව සහ පේශි විඩාව නැතිවී අතපය හැසිරවීම පහසු වේ. ඒ වගේම මාංශ පේශීන් ශක්තිමත් වේ. සිරුරේ සමබරතාව ද රැකේ.

පාකින්සන් රෝගය ඇති අය වේගයෙන් කතා කිරීම නුසුදුසුයි කියන්නේ ඇත්තද?

ඔව්. රෝගීන් වේගයෙන් කතා නො කළ යුතුයි. එක හුස්මකට වචනයක් හෝ දෙකක් පිට කළ යුතුයි. ඒ වගේම එවැනි රෝගීන් ගේ මුහුණෙන් හැඟීම් ප්‍රකාශ නොවන නිසා ප්‍රීතිය හෝ දුක වැනි හැඟීම් හඬනඟා වචනයෙන් ප්‍රකාශ කිරීම වැදගත්. යම් කෙනෙක් සමඟ කතා කරනවා නම් ඒ පුද්ගලයා ඉදිරියට පැමිණ ඔහුගේ මුහුණ දෙස බලාගෙන කතා කිරීමෙන් සාර්ථක පුද්ගලාන්තර සන්නිවේදනයක නිරත විය හැකියි.

ඇවිදීමට අපහසු රෝගීන් කළ යුතු වන්නේ කුමක්ද?

සැරයටියක් භාවිත කිරීම වඩාත් සුදුසුයි. එය අපහසු නම් ඇවිදින රාමුවක් භාවිත කිරීමට පුරුදු විය හැකියි. ඒ වගේම යම් කාර්යයක් කිරීමට පෙර සූදානම් ‍වීම වැදගත්. එයින් අදහස් කරන්නේ රෝගියා යම් වැඩක් කිරීමට පෙර එය කරන ආකාරය ගැන සිතින් සැලසුම් කරගත යුතුයි. එවිට අදාළ කාර්යය පහසුවෙන් හා සාර්ථකව කරගත හැකිවෙයි.

පාකින්සන් රෝගය ඇති අය දෛනික වැඩ කටයුතු සැලසුම් කරගත යුතු වන්නේ කෙසේද?

  • රෝගීන් සෑම දෛනික කටයුත්තකදීම සැලකිලිමත් වීම වැදගත්. විශේෂයෙන් ඇඳක වාඩිවන විට හා වාඩි වී සිට නැඟිටින විට හැරමිටියක වාරුවෙන් අත් පා සහ කඳ සෙමෙන් වාර කිහිපයක දී කොටස් වශයෙන් නවා ගනිමින් නැඟිටීමට පුරුදු විය යුතුයි.
  • එමෙන්ම ඇවිදීමේ දී එකවරම හැරීම සුදුසු නොවේ. ටිකෙන් ටික විශාල කවයකින් හැරිම සුදුසුයි. බෑගයක් ගෙන යනවා නම් එය අතේ එලලාගෙන යනවා වෙනුවට පිටේ එල්ලාගෙන යාමට පුරුදු විය යුතුයි.
  • ඇවිදින විට කලිසම් සාක්කුවේ අත් දෙක බහා ගමන් කිරීමෙන් ද වැළකිය යුතුය. ගැළපෙන පාවහන් පමණක් පැලඳිය යුතු අතර උස අඩි පාවහන් ද සුදුසු නොවේ.
  • එවැනි රෝගීන් සාප්පු යනවානන් කලබලකාරී වේලාවන් මඟ හැරීම ඉතා වැදගත්. එහිදී හුරු පුරුදු වෙළෙඳසලකට පමණක් යාමට පුරුදු වීම ද සදුසුයි.

රෝගියා ලේඛකයෙක් නම් ඔහු එම කාර්යය දිගින් දිගටම කරගෙන යාමට අපහසුයි නේද?

ඔව්. අකුරු ලිවීම ප්‍රශ්නයක් විය හැකියි. එවැනි අය අකුරු ලියන විට අත් අකුරු සඳහා පමණක් අවධානය යොමු කළ යුතුයි. හොඳින් අතට හසුවෙන කඳගොරෝසු බර පෑනක් භාවිත කරනවා නම් වඩාත් සුදුසුයි.

පාකින්සන් රෝගීන් ආහාරපාන ගැනීමේ දී හා ඇඳුම් පැලඳුම් භාවිතයේ දී සැලකිය යුතු කරුණු මොනවාද?

ආහාර ගැනීමේ දී කතා කිරීමෙන් වැළකිය යුතුයි. ඒ සඳහා පමණක් අවධානය යොමු කිරීම ද වැදගත්. ආහාර ගැනීම සඳහා ප්ලාස්ටික් හෝ නොබිඳෙන භාජන භාවිත කිරීම, හොඳින් අල්ලා‍ගත හැකි භාජන භාවිතා කිරීමත් වැදගත්.

පාකින්සන් රෝගීන්ගේ කල්පනා ශක්තිය අඩු ද?

නෑ. පාකින්සන් රෝගීන්ගේ බුද්ධිමත් බවේ අඩුවක් නෑ. හොඳ කල්පනා ශක්තිය ඇති බොහෝ පාකින්සන් රෝගගීන් හමු වී තිබෙනවා.

වයස්ගත වීමත් සමඟ හැම වැඩිහිටියකුටම මේ රෝගය ඇතිවෙනවාද?

නෑ. හැමෝටම එවැනි අවදානමක් නෑ. ඒ වගේම රෝගීන් අතරින් සමහර කෙනකුට සාමාන්‍ය වශයෙනුත්, තවත් කෙනකුට යන්තමිනුත්, තවත් අයෙකුට වැඩි වශයෙනුත් රෝග ලක්ෂණ දැකගත හැකියි. වඩාත් සුදුසු වන්නේ වෛද්‍යවරයකු වෙත යොමුවී රෝග ලක්ෂණ පරීක්ෂා කොට නිගමනයකට එළඹීමයි.

පාකින්සන් රෝගීන්ට සුදුසු පරිසරයක් නිවසේ සකසා දෙන්න... රෝගීන්ගේ ඥාතීන් රෝගියා ගැන හොඳ අවධානයකින් සිටිය යුතුයි. එමෙන්ම රෝගියාට අවශ්‍ය පහසුකම් සලසා දීමට නිතරම කාරුණික විය යුතුයි. 

  • විශේෂයෙන් වැසිකිළියට, මුළුතැන්ගෙට සහ සාලයට යන ගමන් මඟ රෝගියාට ගැළපෙන ලෙස ‍පඩි ඉවත්කර සමතලයකට සකස් කර දීම වැදගත්. වැසිකිළි කොමඩය අසල අල්ලා ගැනීමට බට සවිකර තැබීම හා රාත්‍රී කාලයේ නිතර වැසිකිළි යාමට සිදුවේ නම් එහි විදුලි බල්බය දල්වා තැබීම ද සුදුසුයි.
  • පොළොවෙහි ඇති ලිස්සන සුලු පාපිසි සහ කාපට් ඉවත් කර තැබීම, ජීවත්වන පරිසරය හොඳින් ආලෝකවත් කිරීම ආදී දේ මඟින් රෝගියා අනවශ්‍ය ලෙස ඇදවැටීම වළක්වා ගත හැකියි.
  • ඒ වගේම මෙවැනි රෝගීන්ට ස්නානය සඳහා වතුර මලක් සවිකර දීම හා ඒ යට වාඩිවී නෑමට සැලැස්වීම ද සුදුසුයි.

සාකච්ඡා කළේ, රමණී සුබසිංහ

උපුටා ගැනීම සිළුමිණ