This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
නෑ හිත මිතුරන් අසල්වැසියන් එක්ක ඔබ හොඳින් ද ඉන්නේ එහෙනම් ඔබේ මානසික සෞඛ්‍ය යහපත්

මානසික රෝග යනු පුළුල් විෂයය ක්ෂේත්‍රයකි. යම් කෙනකුගේ මනසෙහි ඇතිවන සිතිවිලි, හැඟීම්, දැනීම් සහ ආවේග මඟින් එම පුද්ගලයාගේ චර්යාවන් අස්වාභාවික ලෙස වෙනස් කිරීමට පෙලඹේ නම්, ඔහු ‍මානසික රෝගයකින් පෙළෙනවා යැයි සැක කළ හැකියි. එසේ නම් මානසික රෝගීන් අන් අය අතරින් වෙන්කර හඳුනා ගන්නේ කෙසේද? එවැනි අය හඳුනා ගත් පසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු වන්නේ කෙසේද? මානසික රෝගියකුට ප්‍රතිකාර ලැබීමෙන් පසු නැවත සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිද? අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ ඒ පිළිබඳවයි.

තමන් හොඳ මානසික සුවයකින් සිටින බව දැන ගන්නේ කෙසේ ද?
හොඳ මානසික සෞඛ්‍යයකින් පෙළෙන පුද්ගලයකුට සමතුලිත ලෙස වර්ධනය වූ පෞරුෂත්වයක්, සිතුම් පැතුම් සහ ආකල්පයන් තිබිය යුතුයි. ඒ වගේම නෑදෑයින් හිතමිතුරන්, අසල්වැසියන් හා සමඟ මතභේද ඇති නොවන ලෙස සතුටින් ජීවත්වීමට හැකි විය යුතුයි. දැනටමත් ඔබ එලෙස ජීවත්වනවා නම් හොඳ මානසික සුවයෙන් පසුවන කෙනෙක් බව තීරණය කළ හැකියි. තම ගැටලු තමන් විසින් ම විසඳා ගැනීමට පෙලඹීමත්, එසේ නොහැකි අවස්ථාවක ඒ සඳහා අන් අයගේ උදවු ලබා ගැනීමත් හොඳ මානසික සුවයෙන් සිටින අයගේ තවත් සුවිශේෂී ලක්ෂණයක්. තමන්ගේ ගැටලු විසඳා ගන්නවා සේ ම තම ඥාති හිතමිතුරකුට ගැටලුවක්, ප්‍රශ්නයක් ඇති වූ විට ඒවා විසඳීමට හැකි පමණින් ඉදිරිපත් වීමත් එවැනි පුද්ගලයින් කෙරෙහි දැකිය හැකි සුවිශේෂීතාවන්. එමෙන් ම තමන් සතු සුවිශේෂී හැකියාවන් අධි තක්සේරු කිරීම හෝ අවතක්සේරු කිරීම නොකරන අතර හෙතෙම තමන්, තමන් වීම ගැන සතුටු වෙයි. සිය අඩුලුහුඬුකම් හඳුනා ගත්තේ නම් හෝ කිසිවෙක් ‍ඒවා පෙන්වා දුන්නේ නම් ඒවා නිවැරැදි කිරීමට උත්සාහ කරයි. ඒ වගේ ම ජීවිතයේ අරමුණු සාර්ථක කර ගැනීම සඳහා තමාට ළඟාවිය හැකි ඉලක්කයන් වෙත යාමට නොපසුබට වන අතර එහිදී මතුවන ප්‍රශ්න හා ගැටලු විසඳා ගැනීමට ප්‍රායෝගික පිළිතුරු සෙවීමට ද පෙලඹෙයි. අනුන්ගේ අයිතීන්ට ගරු කිරීම, අසල්වැසියන්ට කාරුණික වීම, ආදරය, දයාව දැක්වීම, මෙන් ම තම යුතුකම් හා වගකීම් මනාව හඳුනා ගනිමින් සමාජයේ යහපත් සාමාජිකයකු ලෙස ජීවත්වීමට පෙලඹෙයි. එවැනි චාර්යාවන් හා සිතුම් පැතුම් වේ නම් ඔබ හොඳ මානසික සෞඛ්‍යයෙන් පෙළෙන බව ඔබට ම තීරණය කළ හැකියි.

මානසික සෞඛ්‍යය අහිතකර බව හඳුනා ගත හැකි පොදු ලක්ෂණ මොනවාද?
යම් පුද්ගලයෙක් නිතර ම කනස්සල්ලෙන් කල් ගෙවයි නම් (කිසිදු හේතුවක් නැතිව) ලෙහෙසියෙන් ම කෝප වීමේ ස්වභාවයක් ඇත්නම්, පැහැදිලි හේතුවකින් තොරව නිතර නිතර සිතට දුකක් දැනේ නම්, පැහැදිලි හේතුවක් නැතිව එක දිගට යම් දෙයක් කෙරෙහි අවධානය යොමු කරගෙන සිටීමේ අපහසුතාවක් තිබේ නම් එවැන්නෙකුට යම් මානසික සෞඛ්‍යය ගැටලුවක් තිබෙන්නට පුළුවන්.

වරෙක අධික ලෙස උද්‍යෝගිමත් බවක් ඇති වී තවත් වරෙක අධික කණස්සලු බවක් ඇතිවීම මානසික සුවතාවය පිළිබඳ ප්‍රශ්නයක් ද?
එය තීරණය කළ හැකි වන්නේ එම හැඟීම් එදිනෙදා වැඩ කටයුතුවලට බලපාන ආකාරය අනුවයි. එනම් දෛනික ජීවන කටයුතු අවුල්වන ලෙස වරෙක අධික උද්‍යෝගිමත් බවක් හා කිසිදු ‍හේතුවක් නැතිව කනගාටුවෙන් සිටිනවා නම් එය ගැටලුවක් විය හැකියි.

හේතුවක් නැතිව ඇතිවන බියපත් ස්වභාවය අහිතකර මානසික සෞඛ්‍යයක් ඇති බවට පෙර නිමිත්තක් ද?
සමහර අය අහේතුකව, සිතේ මවාගත් දේ පිළිබඳව නිතර බිය ගතියකින් පසුවනවා. සැකයෙන් හා සිත් තැවුලෙන් පසුවනවා. එය ද මානසික සුවතාව පිළිබඳ ප්‍රශ්නයක් විය හැකියි.

සමහරු ජීවිතයේ සියල්ල එපා වූ ස්වභාවයක් පෙන්නුම් කරනවා. එය මානසික රෝගයක් ද?
ඔව්. එදිනෙදා ගෙදර දොර කටයුතු, රැකියාවේ කටයුතු, එසේත් නැතිනම් ඉගෙනීමේ කටයුතු ආදී සියල්ල එපා වී ගිය බවක්, ජීවිතය තිත්ත වූ හැඟීමකින් පීඩා විඳිනවා නම් එම තැනැත්තා ගේ මානසික සෞඛ්‍යයෙහි යම් අඩුවක් තිබෙන්නට පුළුවන්. ඒ වගේ ම මිනිසුන් සමඟ එක්ව කරන කටයුතුවලට නිතර ම අකැමැත්තක් දැක්වීම, තමන් නිවැරැදි බවට හා අනුන් වැරැදි බව නිතර සිතීම, අන් අයගේ විශේෂයෙන් නිවැසියන් ගේ වැඩ කටයුතු නිසා නිතර නිතර කේන්ති යාම ද අයහපත් ලක්ෂණ විය හැකියි.

මානසික සෞඛ්‍යයෙහි යම් අඩුවක් ඇති බව පෙන්වන වෙනත් ලක්ෂණ මොනවා ද?
තමන්ට කරදරයක් සේ දැනෙන තරමට සුවදායී නින්දක් නොලැබීම, කෙනෙකු නැති තැනෙක ඔහුගේ හෝ ඇය ගේ කට හඬ ඇසීම, එසේත් නැතිනම් කෙනෙක් හෝ යම් දෙයක් හෝ නැති තැනක එය මැවී පෙනීම, වෛද්‍යවරුන්ට නියම කායික හේතුවක් සොයා ගැනීමට බැරි වූ ඇඟපත කැක්කුම්, වේදනාවන්ගෙන් හෝ හිසරදයෙන් නිතර පීඩා විඳීම මානසික සෞඛ්‍ය පිරිහුණු පුද්ගලයින් කෙරෙහි දැකිය හැකි ලක්ෂණ විය හැකියි. මේ ලක්ෂණ තිබුණා යැයි බියට පත් නොවිය යුතු අතර වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් යෝග්‍යයයි.

මානසික රෝග හට ගැනීමේ අවදානම ඇත්තේ කාට ද?
මානසික රෝග ඕනෑම කෙනකුට ඕනෑම වෙලාවක හැදෙන්නට පුළුවන්. සමාජ මට්ටම, පවුල් පසුබිම, දුප්පත් පොහොසත් බව මේ ආදි කිසිඳු භේදයක් නොවීම සුවිශේෂත්වයයි. මානසික රෝගවලට විරුද්ධව කිසිවකුගේ සිරුරෙහි ප්‍රතිශක්තියක් වර්ධනය වන්නේ නෑ.

මත්ද්‍රව්‍ය හා දුම්පානයට ඇබ්බැහි වීමත් මානසික රෝගයක් නිසා සිදුවන්නක් ද?
මානසික රෝග යනු බොහොම පුළුල් විෂයය ක්ෂේත්‍රයක්, යම් පුද්ගලයකු ගේ මනසෙහි ඇතිවන සිතිවිලි, හැඟීම්, දැනීම් සහ ආවේග මඟින් තමන්ගේ චර්යාවන් අස්වාභාවික ලෙස වෙනස් කිරීමට පෙලඹේනම් ඒ තැනැත්තා මානසික රෝගයකින් පෙළෙනවා යැයි සිතිය හැකියි. එපමණක් නොව මනස හා සම්බන්ධ සමහර කායික රෝග පවා මානසික රෝග යටතට ගැනෙන අවස්ථා තිබෙනවා. දුම්පානය සහ වෙනත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ගැනෙන්නේ ද මානසික රෝග යටතටයි. ඒ වගේම කෙනකුගේ පෞරුෂත්වයේ ඇතිවන වෙනස්කම් සහ සමහර අහිතකර, කරදරකාරී පුරුදු අයත් වන්නේ ද ඒ යටතටයි. එහෙත් බොහෝ අය මානසික වෛද්‍ය ඒකකවලින් ප්‍රතිකාර ගන්නේ හීන්නෝන්මාදය, මානසික අවපීඩනය හෙවත් ඩිප්‍රෙෂන් සහ කලකදී දුකට පත්වී, අක්‍රිය වී කලකදී උමතු සහ සක්‍රීයත්වයට පත්වන Manic depressive psychosis වැනි රෝගවලින් පෙළෙන අයයි. එහෙත් සංවර්ධිත රටවල නම් බොහෝ අය සිතේ බියක්, සැක සහිත බවක්, සුළු කනස්සල්ලක්, නින්ද යාමෙහි අඩුවක්, හිත එකඟ කර ගැනීමේ අපහසු බවක් දැනුණු වහාම මානසික වෛද්‍ය උපදේශ සඳහා යොමුවන බවක් පෙනෙනවා. ඒ මානසික වෛද්‍ය සායනයකදී, තමන්ගේ සුළු ගැටලුවක් සඳහා වුවද, කරදර නොවී, වද නොවී යම් සහනයක් ලබා ගත හැකි බව ඔවුන් දන්නා නිසයි.

බටහිර වෛද්‍ය ක්‍රමය මඟින් මානසික රෝග සුව කළ හැකි ද?
මීට දශක හතකට පමණ පෙර අපේ රටේ මානසික රෝගීන් සඳහා ලබා දුන්නේ ඉන්සියුලින් කම්පන ප්‍රතිකාරය හා විද්‍යුත් කම්පන ප්‍රතිකාරයි. ඉන් පසු කලෙක දී එනම් 1950 ගණන්වල බෙහෙත් පෙති හා එන්නත් මානසික රෝග සඳහා ප්‍රතිකාර වශයෙන් හඳුන්වා දුන්නා. බොහෝ මානසික රෝග සුව කිරීමටත්, පාලනය කිරීමටත් එමඟින් හැකියාව ලැබුණා. ඉන් පසු කලෙක මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර, වෘත්තීමය ප්‍රතිකාර, චර්යා ප්‍රතිකාර, මානසික රෝගීන් සඳහා ලබාදීම ආරම්භ වුණා. අද වන විට මෙම ප්‍රතිකාර ක්‍රම තවත් දියුණු තත්ත්වයට පත් වී මානසික රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට සෑම මහ රෝහලකම පාහේ වාට්ටු සහ සායන පැවැත්වෙනවා. ඒ වගේම සෑම වෛද්‍ය පීඨයකම පාහේ මානසික රෝග පිළිබඳ සියලු අංශ පිහිටුවා ඇති අතර එමඟින් වෛද්‍ය සිසුන් සඳහා මානසික රෝග පිළිබඳව හොඳ දැනුමක් ලබා දෙනවා. එහිදී මානසික රෝග හඳුනා ගැනීමටත්, ප්‍රතිකාර කිරීමටත්, විශේෂඥ වෛද්‍යවරුන් කරා යොමු කිරීමටත් ඔවුන් ඉගෙන ගන්නවා. ඒ නිසා ඔබට, ඔබේ හිත මිතුරකුට, පවුලේ සාමාජිකයකුට අසල්වැසියකුට මානසික රෝගයක් ඇතැයි සිතන්නේ නම් ඔහු ළඟම තිබෙන රජයේ වෛද්‍ය ආයතනයට හෝ පවුලේ වෛද්‍යවරයා වෙත රැගෙන යන්නට ඔබට පුළුවන්. අවශ්‍ය නිවැරැදි උපදෙස් සහ ප්‍රතිකාර අදාළ වෛද්‍යවරයා විසින් ඔබට ලබා දෙනු ඇති.

කෙනෙක් අවශ්‍ය පමණට වඩා හුදකලා බව ප්‍රිය කරනවා නම්, එයත් මානසික රෝගී තත්ත්වයක් ද?
ස්වභාවයෙන් ම හුදකලා බව ප්‍රිය කරන අය සිටිය හැකියි. එහෙත් සමහරෙක් තනිවම, තමන්ගේ ම ලෝකයක ජීවත් වනවා නම් එය මානසික සුවතාවයේ යම් අඩුවක් විය හැකියි. එම තත්ත්වය දිගින් දිගටම වර්ධනය වීමෙන් හේතුවක් නැතිව තැනින් තැන ඇවිදින්නට යාම, අසල්වැසියන් හා දන්නා නොදන්නා පුද්ගලයන් සමඟ රණ්ඩු දබරවලට යාම පවා සිදුවිය හැකියි. හොඳම දේ මූලික අවස්ථාවේදීම මෙවැනි අය වෛද්‍ය උපදේශන වෙත යොමු කිරීමයි. එවිට ඔවුන්ට වඩාත් සහනදායි ජීවිතයක් ගත කළ හැකියි.

සුළු මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර නොගෙන සිටීමෙන් එය බරපතළ තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි ද?
අනිවාර්යයෙන් ම වර්ධනය විය හැකියි. අදාළ පුද්ගලයා ජීවත්වන පරිසරය ද ඊට බොහෝ දුරට බලපාන්නට පුළුවන්. ඇතැමෙක් තමන් මානසික රෝගයකින් පෙළෙන බව තමන්ම දන්නවා. උදාහරණ ලෙස අනවශ්‍ය දේට ඇතිවන බිය වැනි හැඟීම් ඇති බව. එහෙත් සමහර අය තමන් මානසික රෝගීන් බව දන්නේ නෑ. එවැනි අය මානසික හේතුන් නිසා ඇතිවන රෝගාබාධවලට මේ මගේ කරුමයක් ආදි ලෙස පවසන අවස්ථා ඕනැ තරම් තිබෙනවා. තවත් සමහරෙක් තමන්ට යහපත් මානසික සෞඛ්‍යයක් නැති බව පෙන්නුම් කරන්නේ විවිධ ඇබ්බැහි වීම්වලින්, මත්පැන්, දුම්වැටි ආදි ලෙස. තවත් සමහරෙක් පෞරුෂයේ වෙනස්කම්වලින්. ඒ අතර කෙනෙක් මුළුගැන්වෙන අතර තවත් කෙනෙක් පමණටත් වඩා කතාබහට යන ස්වරූපයක් පෙන්නුම් කරනවා. මෙම තත්ත්වයන් මානසික රෝගයක් නිසා සිදුවන්නක් ද? නොවේ ද යන්න තීරණය කළ හැකි වන්නේ වෛද්‍යවරයකුට පමණයි. එම නිසා අදාළ පුද්ගලයන් වෛද්‍යවරයකු වෙත යොමු කොට ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු නම් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ලබා දිය යුතුයි.

මවුපියන්ගේ ආදරය කරුණාව අඩුවීම, අනවශ්‍ය ලෙස තරවටු කිරීම හා අනවශ්‍ය ලෙස පොත පතටම නැඹුරු කිරීම දරුවකුගේ මානසිකත්වයට බලපාන්නේ කෙසේ ද?
දරුවකුගේ මානසික සංවර්ධනයට මවුපියන්ගේ ආදරය, දයාව, කරුණාව අත්‍යවශ්‍යයි. රැකවරණය ද අවශ්‍යයි. එම සාධක නැතිව හැදෙන වැඩෙන දරුවන් අනාගතයේ සැර පරුෂ, දඩබ්බර පුද්ගලයන් විය හැකියි. අනවශ්‍ය ලෙස පොතපතට නැඹුරු කිරීම ද දරුවාට මානසික පීඩනයක් ඇති කළ හැකියි. මෙය තේරුම් නොගෙන දරුවන් ඇතිදැඩි කරනවානම් කායිකව මෙන්ම මානසිකව ද රෝගි විය හැකියි. හොඳ පෞරුෂයකින් යුතු පුරවැසියෙක් නොවිය හැකියි.

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ
සාකච්ඡා කළේ, රමණී සුබසිංහ
උපුටා ගැනීම සිළුමිණ