🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ලේ හිඟ අයට විටමින් දීලම හරියන්නේ නෑ

ලේ හිඟ අයට විටමින් දීලම හරියන්නේ නෑ

රක්තහීනතාව ඇති දරුවෙකු කායිකව මෙන්ම මානසිකව ද පිරිහෙනවා. නිතර ශාරීරික අපහසුවකින් පෙළෙන අතර සිරුර දුර්වල වී විඩාවට පත්වෙනවා. රුධිරයේ හිමොග්ලොබින් අඩුවීමෙන් පෙණහලුවල සිට සිරුරේ නොයෙක් පටක කරා ගෙන යන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම නිසා පටකවලට අවශ්‍ය ශක්තිය නිසි අයුරින් නොලැබීම ඊට හේතුවයි. එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා හිමොග්ලොබින් අඩු තුනී රුධිරය සිරුර පුරා වේගයෙන් ගෙන යාම සඳහා හෘදය වස්තුවට වේගයෙන් ගැහෙන්නට සිදුවෙනවා. පෙණහලුවලට වේගයෙන් ශ්වසනය කිරීමට සිදුවෙනවා. ඒ නිසා සුළු වැඩක් කළ ද හතිය සහ මහන්සිය ඇතිවෙනවා. මේ නිසා විශේෂයෙන් අධ්‍යාපනය ලබන දරුවන් ගේ ආහාරයෙහි යකඩ, විටමින් බී12, පෝලික් අම්ලය අන්තර්ගත විය යුතුයි.


අපගේ ශරීරයෙහි රතු රුධිරාණුවලින් කෙරෙන කාර්යය කුමක්ද?

අප ආශ්වාස කරන විට පෙණහලු කරා ඇදී එන වාතයෙහි අඩංගු ඔක්සිජන් වායුව රතු රුධිරාණුවල පිහිටි හිමොග්ලොබින් වර්ණකය මඟින් උරාගනු ලබනවා. ඉන්පසු නැවත හෘදය වස්තුවට ගොස් එහි සිට ශරීරය පුරා පිහිටි පටකවල සෑම සෛලයක් කරාම බෙදා හරිනු ලැබෙනවා.

එසේ නම් නීරක්තිය හෙවත් රක්ත හීනතාවය ලෙස හැඳින්වෙන්නේ කුමක්ද?

යම් පුද්ගලයකු ගේ සිරුරෙහි අවශ්‍ය තරමට රතු රුධිරාණු හෝ හිමොග්ලොබින් වර්ණකය නොවේ නම්, ඒ තත්ත්වයට කියන්නේ නීරක්තිය කියලයි. හිමොග්ලොබින් වර්ණකය අඩුවීම නිසා ශරීරයේ රතු පැහැය අඩු වී සුදුමැලි ස්වභාවයක් ගන්නවා. ඒ වගේම ඉක්මනින් මහන්සි ගතියක් දැනෙනවා. මලානික ස්වභාවයක් පෙන්නුම් කරන අතර කරකැවිල්ල, හිසරදය ඇතිවෙනවා. එවැනි තත්ත්වයකදී සමහර කෙනකුට පපුවේ වේදනාවක් හටගත හැකියි. හෘදය වස්තුව වේගයෙන් වැඩ කිරීමට පටන් ගන්නා නිසා යම් වැඩක් කරන විට පපුව ගැහෙන්නට පටන් ගනී. එවැනි පුද්ගලයකුගේ අත්ල හා යටිපතුල් පරීක්ෂා කළ විට සුදු පැහැයක් ගන්නා බව පෙනේ. ඒ වගේම හිස, දිව සහ ඇසිපියෙහි ඇතුළු පැත්ත කහවන් සුදුපැහැයක්, එසේත් නැතිනම් පාණ්ඩු පැහැයක් ගනී. ඒ වගේම රක්තහීනතාවයෙන් පෙළෙන අයගේ නිය ලෙහෙසියෙන් කැඩෙනසුළු ස්වභාවයකට පත්විය හැකි අතර නියමැදින් වක ගැසී තුනීවීමට ද පුළුවන්. සමහර විට කකුල් ඉදිමී හිරි වැටෙන්නට ද පුළුවන්.

රක්ත හීනතාවට බලපාන හේතු සාධක මොනවාද?

රක්තහීනතාවට හේතු කිහිපයක්ම තිබිය හැකියි. ප්‍රධානතම හේතුව නම් රතු රුධිරාණු වර්ධනයට අවශ්‍ය වන යකඩ, විටමින් බී සහ ෆෝලික් අම්ලය වැනි ශුද්‍ර පෝෂක ආහාර මඟින් නිසි ප්‍රමාණයට නොලැබීමයි. යම් හෙයකින් රතු රුධිරාණු නිපදවන ඇටමිදුළු රෝගී වූයේ නම්, ලියුකේමියා රෝගය තිබේ නම්, වකුගඩු ක්‍රියා විරහිත වූයේ නම් සහ පිළිකා රෝගී තත්ත්වයක් ඇතිවූයේ නම් රක්ත හීනතාවය ඇතිවිය හැකියි.

අර්ශස් රෝගීන් රක්තහීනතාවයට ගොදුරු වනවාද?

අර්ශස් රෝගය නිසා ගුදයෙන් අධික ලෙස රුධිරය වහනය සිදුවන්නේ නම් රක්තහීනතාවය ඇතිවිය හැකියි. ඒවගේම සිරුරේ ඇතිවූ යම් තුවාලයකින් අධික ලෙස රුධිරය ගලයි නම්, කොකුපණුවන් බඩවැලෙහි එල්ලී ලේ උරා බොන්නේ නම් එය ද රක්තහීනතාවට හේතු විය හැකියි. සමහර කාන්තාවන්ට මාස් ශුද්ධිය හෙවත් ආර්තව රුධිර වහනය වැඩිපුර සිදුවෙනවා. එය ද රක්තහීනතාවට තුඩු දිය හැකියි.

රක්තහීනතාවට බලපාන වෙනත් හේතු මොනවාද?

අපගේ සිරුරෙහි රුධිරාණු නිපදවීම සහ කලක් ගිය පසු ඒවා විනාශ වී යාම නිරතුරුවම සිදුවේ. රතු රුධිරාණු නිෂ්පාදනය අඩු වූ විට මෙන් ම ඒවා විනාශවීම අධික ලෙස සිදුවන්නේ නම් ද රක්තහීනතාව ඇතිවිය හැකියි. ඒ වගේම හැඩය වෙනස් වූ රතු රුධිරාණු ඇතිවීම (උදා: Sickle cell Anaemia, Thalasaemia) සහ ප්ලීහාව ඉදිමුණු විට ද එම තත්ත්වය ඇතිවිය හැකියි.

ඇඟ සුදුමැලි වී ඇති, ඈලිමෑලි දුබලගතිය දැනෙන රෝගියකුට විටමින් ලබා දීමෙන් එම තත්ත්වය මඟහරවා ගත හැකිද?

වෛද්‍ය නිර්දේශයකින් තොරව එසේ විටමින් ලබා ගැනීම සුදුසු වන්නේ නෑ. ඊට හේතුව රක්තහීනතාව ඇතිවීමට හේතු වන සාධක රාශියක්ම තිබීමයි. එමනිසා රක්තහීනතාවෙන් පෙළෙන රෝගීන් වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවා ගැනීම අත්‍යවශ්‍යයයි. රෝගියාට රක්තහීනතා මට්ටම හා එවැනි තත්ත්වයක් තිබේද නැද්ද යන්න හඳුනාගැනීමට රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණය මැන බැලිය යුතුයි. ඒ වගේම රක්තහීනතා වර්ගය හඳුනාගැනීමට රුධිර සෛල අන්වීක්ෂයෙන් පරීක්ෂා කර බැලිය යුතුයි. එමෙන්ම මෙහිදී රෝග නිධානය සොයා ගැනීම සඳහා රෝගියා ගේ ආහාරපානවල ස්වභාවය, කාන්තාවක නම් ආර්තව රුධිර වහනයේ ස්වභාවය, අර්ශස් රෝගය තිබේද නැද්ද යනාදිය ද විමසා බැලේ. මීට අමතරව ආමාශයේ හෝ බඩවැලෙන් රුධිර වහනයක් සිදුවේදැයි දැනගැනීමට රෝගියා භාවිතා කරන ඖෂධ පිළිබඳව ද විමසා බැලෙන අතර කොකුපණු රෝගය තිබේදැයි පරීක්ෂා කිරීමට මලපහ සාම්පලයක් පරීක්ෂා කිරීම ද කළ හැකිය. ප්‍රතිකාර ඇරඹෙන්නේ රෝග විනිශ්චයට අනුව නිසා හිතුමතයේ විටමින් ලබා ගැනීම සුදුසු නොවේ.

යම් රෝගියෙක් අධික රක්තහීනතාවෙන් පෙළේ නම් ලබා දෙන ප්‍රතිකාර කෙබඳුද?

අධික රක්තහීනතාවෙන් පෙලේ නම් එම රෝගියාට වහාම රුධිරය ලබාදිය යුතුවේ. පෝෂක ඌණතාවයක් නම් (යකඩ, ෆෝලික් අම්ලය, විටමින් බී12 වැනි) එම පෝෂක නික්ෂේපණ පෙති හෝ සිරප් මඟින් ලබා දේ. රුධිර වහනයක්, ලියුකේමියා හෝ පිළිකාමය තත්ත්වයක් රෝගයට හේතු වූයේ නම් ඒ රෝග සඳහා පිළියම් යෙදිය යුතුවේ.

සමහර රෝග සඳහා නිර්දේශ කරන ඖෂධ හා රක්තහීනතාව අතර සම්බන්ධයක් තිබෙනවාද?

ඔව්. විශේෂයෙන් හන්දිපත් රුදාවට ලබාදෙන ඇස්ප්‍රීන්, හා තවත් ඖෂධ වර්ග නිසා ආමාශයේ හා ආහාර මාර්ගයේ තුවාල ඇතිවී රුධිරය වහනය විය හැකියි. එවැනි තත්ත්වයක් කල්යාමේදී ලෙඩා නොදැනුවත්වම ඇඟ සුදුමැලි වී රක්තහීනතාව ඇතිවිය හැකිය. හන්දිපත් රුදාවට දිගින් දිගටම ඖෂධ ලබා ගන්නා රෝගීන් සුදුමැලි වන ස්වභාවයක් පෙන්නුම් කරයි නම් වෛද්‍යවරු විසින් ඇස්ප්‍රින් ඖෂධය නවතා දමන ලෙස උපදෙස් ලබා දෙන්නේ මේ නිසයි.

කුඩා දරුවන්ටත් රක්තහීනතාව ඇතිවෙනවාද?

ඔව්. කුඩා දරුවන්ට රක්තහීනතාව ඇතිවීමට ප්‍රධානම හේතුව ආහාරයේ ඇති යකඩ සහ විටමින් ඌණතාවයයි. බඩවැලෙහි කොකුපණුවන් ඇතිවීම නිසා ඒ තත්ත්වය තවත් උග්‍ර අතට හැරෙන්නට පුළුවන්.

යකඩ සහ විටමින් ඌණතාව නිසා රක්තහීනතාවෙන් පෙළෙන දරුවකුට වෛද්‍ය ප්‍රතිකාර පමණක් ලබාදීම ප්‍රමාණවත්ද?

වෛද්‍ය ප්‍රතිකාරවලට අමතරව එවැනි දරුවකුට කරවල, මාළු, මස්, සෝයා, පලාවර්ග, මුංඇට, උළුඳු වැනි මාංශ බෝග සහ තම්බපු නිවුඩු සහලින් පිසූ බත් ආහාරයට දිය යුතුයි. ඒ වගේම ආහාරයෙන් පසු ඉදුණු අලුත් පලතුරු කෑමට දීමෙන් ආහාරයෙහි ඇති යකඩ පහසුවෙන් ශරීරයට උරා ගනී. ඒ ඉදුණු පලතුරුවල විටමින් සී ඇති නිසයි. යකඩ පෙති සමඟ විටමින් සී පෙති ලබා දෙන්නේ ද බඩවැලේ දී යකඩ උරා ගැනීම පහසු කරවීමටයි.

කොකුපණු රෝගය නිසා ශරීරයේ ලේ හිඟ වූයේ නම් කළ යුත්තේ කුමක්ද?

කොකුපණු රෝගය නිසා ඇතිවන ලේ හිඟකම වැළැක්වීම සඳහා දරුවා ඇතුළු පවුලේ සියලු දෙනාම සෞඛ්‍යාරක්ෂිත වැසිකිළි භාවිතයට පුරුදුවිය යුතුයි. කොකුපණුවන් යටි පතුල් හරහා ශරීරයට ඇතුළු වීම වැළැක්වීමට නිතර පාවහන් පැලඳිය යුතු අතර පවුලේ සියලු දෙනාටම එකවර කොකු පණු ප්‍රතිකාරය ලබා දීම ද වැදගත් වේ.

රක්තහීනතාව දරුවකුගේ කායික හා මානසික ශක්තියට බලපාන්නේ කෙසේද?

රක්තහීනතාව ඇති දරුවෙකු කායිකව මෙන්ම මානසිකව ද පිරිහෙනවා. නිතර ශාරීරික අපහසුවකින් පෙළෙන අතර සිරුර දුර්වල වී විඩාවට පත්වෙනවා. රුධිරයේ හිමොග්ලොබින් අඩුවීමෙන් පෙණහලුවල සිට සිරුරේ නොයෙක් පටක කරා ගෙන යන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම නිසා පටකවලට අවශ්‍ය ශක්තිය නිසි අයුරින් නොලැබීම ඊට හේතුවයි. එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා හිමොග්ලොබින් අඩු තුනී රුධිරය සිරුර පුරා වේගයෙන් ගෙන යාම සඳහා හෘදය වස්තුවට වේගයෙන් ගැහෙන්නට සිදුවෙනවා. පෙණහලුවලට වේගයෙන් ශ්වසනය කිරීමට සිදුවෙනවා. ඒ නිසා සුළු වැඩක් කළ ද හතිය සහ මහන්සිය ඇතිවෙනවා. මේ නිසා විශේෂයෙන් අධ්‍යාපනය ලබන දරුවන් ගේ ආහාරයෙහි යකඩ, විටමින් බී12, පෝලික් අම්ලය අන්තර්ගත විය යුතුයි.

විටමින් අඩුකම නිසා රක්තහීනතාව ඇතිවූයේ නම්, විටමින් පෙති ලබා දී කොපමණ කාලයකින් ප්‍රතිඵල ලබාගත හැකිද?

රතු රුධිරාණුවක ජීවිත කාලය දින 120 යි. ඉන්පසු එය මැරී යනවා. ඒ වගේම සිරුරේ තවත් රුධිරානු නිපදවෙනවා. විටමින් අඩුකම නිසා රක්ත හීනතාව ඇතිවූ රෝගියකුට විටමින් ලබා දෙනවා නම් එම ප්‍රතිකාර ආරම්භ කළ දිනයේ සිටම ප්‍රතිඵල ලැබිය හැකියි.

විටමින් අඩුකම නිසා ඇතිවන රක්තහීනතාවෙන් වැළකීමට ගත යුතු ආහාර වර්ග මොනවාද?

සතුන්ගේ ශරීරයෙහි යකඩ තැන්පත් වන්නේ හීම් ලෙසයි. ඒ නිසා මස්,මාළු, පීකුදු, බිත්තර කහමදය වැනි ආහාර ලබාදීම වඩාත් සුදුසුයි. මීට අමතරව ධාන්‍ය වර්ග, තද කොළ පැහැති එළවළු සහ පලා වර්ග නිතර ආහාරයට ගත යුතු අතර එම ආහාර සමඟ දෙහි යුෂ, විටමින් සී සහිත පලතුරක් ආහාරයට ගැනීමෙන් ඒවායෙහි ඇති යකඩ පහසුවෙන් ශරීරයට උරාගත හැකියි.

සාකච්ඡා කළේ, රමණී සුබසිංහ

උපුටා ගැනීම සිළුමිණ