🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

හාට් ඇටෑක් වසංගතයක් වී තිබෙන හේතුව මෙයයි...

හාට් ඇටෑක් වසංගතයක් වී තිබෙන හේතුව මෙයයි...


මූලිකව බලපා ඇත්තේ අප රටටම සුවිශේෂී වූ ජානයක්. මෙම ජානය ඇති වී තිබෙන්නේ කොලෙස්ටරෝල් හැකිතාක් නිපදවා ගැනෙන ආකාරයට. මුතුන් මිත්තන්ට බල නොපෑවේ ඔවුන්ගේ ජීවන රටාව නිසා. ප්‍රශ්නය ඇති වුණේ මිනිසා කුඹුරෙන් පුටුවට ආ නිසයි.

අද අප රට තුළ වෛද්‍ය විද්‍යාව හුඟාක් දියුණුයි. බැලු බැලූ අත වෛද්‍ය පර්යේෂණාගාර, රෝහල් සංකීර්ණ. රටේ ජනතාවත් ලෙඩ රෝග ගැන පෙරට වඩා දැනුවත්. නමුත් අප දන්න කියන කවුරු හරි කෙනෙක් හදිසියේ මිය ගියා කියල ආරංචි වුණොත් එක් වරම අහන්නෙ හාට්ද කියල. ඒ කියන්නෙ ඒ තරමටම හෘද රෝග අප රට තුළ පැතිරිලා.


පෙරකී ආකාරයේ පසුබිමක් තුළ හෘද රෝග මේ තරම් වසංගතයක් බවට පත්වෙලා තිබෙන්නේ ඇයි ?

මේ සඳහා ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් බලපානවා. ඉන් එකක් වන්නේ අපේ චර්යාව පිළිබඳ ප්‍රශ්නය. එය අපේ ආහාර රටාව සහ ගති පැවතුම්, වෙනස් වීම් මුල් කර ගනිමින් ඇති වූ දෙයක්. දෙවැනි කාරණය ජානමය තත්ත්වයක්. ජාන කියන්නේ වෙනස් කරන්න බැරි දෙයක්. අප තුළ ඇති සුවිශේෂ ජානයක්ද මේ සඳහා බලපා තිබෙනවා.

එය ලංකාවේ ජීවත්වන අපට පමණක් සුවිශේෂ වූ එකක්ද නැතිනම් මුළු මහත් මිනිස් ප්‍රජාවටම ‍පොදු වූ එකක් ද?

මෙය අප රටේ ජනතාවට සුවිශේෂ වූ ජානයක්.

එය හඳුන්වනු ලබන්නේ කොයි විදියටද?

Thrifty නමින්.

එය අපට පමණක් සුවිශේෂ වූ ජානයක් වුණේ කොහොමද?

අප ඉන්දු චීන ශිෂ්ටාචාරයෙන් පැවත එන ඇඟ වෙහෙසා වැඩ කරන කෘෂිකර්මාන්තය මුල් කරගත් දිවි පවෛතක් ගත කරන මිනිසුන් කොට්ඨාසයක් වීම නිසා ඇති වූ දෙයක්. 

නමුත් අප අසා ඇත්තේ ඒ නිසාම අපේ මුතුන් මිත්තන් හෘද රෝග සහ දියවැඩියාව ආදියට ගොදුරු නොවූ බවයි. හෘද රෝග ඇති කිරීමට බලපාන මෙවැනි ජානයක් අපට තිබුණා නම් එසේ වන්නේ කොහොමද?

එය තරමක් සංකීර්ණ දෙයක්. ඉවසිලිවන්තව තේරුම් ගත යුතු දෙයක්. ඒ අනුව මුලින්ම කියන්නට තිබෙන්නේ මෙම ජානය ශ්‍රී ලංකාව වැනි භූමි භාගයක කෘෂි සංස්කෘතියක් යටතේ ජීවත් වුණු අප වැනි මිනිස් පරම්පරාවක පැවැත්මට ඉතාමත් හිතකර ලෙස සෑදුණු ජානයක් වූ බවයි.

අද දවසේ හෘද රෝග හැදීමට පදනමක් වූ ජානයක් අපට හිතකර ජානයක් ලෙස පැවතුණේ කොහොමද?

මෙහෙමයි, මා මුලින් කියූ ආකාරයට මේ ලංකා ‍පොළොවේ ජීවත්වන ඔබේත් මගේත් සීයා හෝ සීයාගේ සීයා හෝ අනිවාර්යයෙන්ම ජීවත් වන්නට ඇත්තේ හේනේ, කුඹුරේ වැඩ කිරීමෙන්. එසේ දවස තිස්සේ දහදිය වගුරවමින් වැඩ කළ ඔහුට ගෙන ආ ආහාරය අපි හඳුන්වනු ලැබුවේ ඇඹුල වශයෙන්. මේ ඇඹු‍ලේ කවදාවත් ෂෝට්ස් ඊට්ස් තිබුණේ නැහැ. කොලෙස්ටරෝල් ඇති කරන දේවල් තිබුණේ නැහැ. ඒ නිසා මෙම කෑම වට්ටෝරුවෙන් මිනිසාගේ සිරුරට අවශ්‍ය කොලෙස්ටරෝල් නිසි පරිදි ලැබුණෙ නැහැ. නමුත් මිනිසාගේ සිරුරට කොලෙස්ටරෝල්ද යම් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ වගේම මිනිසාගේ සිරුරට හිතකර කොලෙස්ටරෝල් තිබෙන බව අද සාමාන්‍ය මිනිසුන් පවා දන්නා දෙයක්. එය අනවශ්‍ය දෙයක් නම් මෙච්චර කාලයක් තියෙන්න බැහැනෙ. අන්න ඒ ස්වභාවය අනුව මේ ගෙනා ආහාරය තුළ තිබුණු ඉතා සුළු කොලෙස්ටරෝල් ප්‍රමාණය හෝ සිරුර තුළ රඳවා ගනු පිණිස අපේ මිනිසා තුළජානය පිහිටියේ තෙල් අඩුවෙන් ලැබුණු ජානයකින් වැඩිපුර කොලෙස්ටරෝල් නිපදවා ගත හැකි ආකාරයට. ඒ වගේම ඒ කොලෙස්ටරෝල් ටික ශරීරයේ පැවැත්ම සඳහා ආරක්ෂා කර ගන්නා ආකාරයට. අපේ මිනිසා හුඟාක් මහන්සි වී වැඩ කළත් මෙම ජානය නිසා කොලෙස්ටරෝල් දහනය වුණේ අඩුවෙන්. ඒක අපේ ජීවන රටාවට සාපේක්ෂව මිනිසාගේ යහපත් සෞඛ්‍යය උදෙසා සොබා දහමෙන් තිළිණ කළ මහඟු දායාදයක් වුණා.

එම ජානයම අද දවසේ අපව හදවත් රෝගීන් බවට පත් කිරීමට බලපෑමක් ඇති කරන්නේ ඇයි ?
එය තේරුම් ගැනීම එතරම් සංකීර්ණ දෙයක් නොවෙයි. බොහොම සරලයි. මා කලින් කියූ ආකාරයට අපේ සිරුර සකස් වී තිබෙන්නේ ආහාරයක තිබුණු ඉතා සුළු කොලෙස්ටරෝල් ප්‍රමාණය හෝ උරා ගන්නට. මොකද කොලෙස්ටරෝල් සහිත ආහාර මිනිසාට ඒ කාලයේ නොලැබුණු නිසා. නමුත් අද මොකද වෙලා තියෙන්නෙ. අපේ මුළු ආහාර පද්ධතියම සකස් වෙලා තියෙන්නේ මිනිසාට උවමනා ප්‍රමාණයට බොහෝ වැඩි කොලෙස්ටරෝල් ප්‍රමාණයක් සිරුරට ජනිත කරවන ආකාරයට. ෂෝට් ඊට්ස්, කොත්තු, ප්‍රයිඩ් රයිස් හා අයිස්ක්‍රීම් ඇතුළු පැණි රස සහ රසකාරක ආහාර වර්ග. ඉතින් දැන් ඔබම සිතා ගන්න සුළු දෙයකින් පවා වැඩිපුර කොලෙස්ටරෝල් අදින ජානයක් ඇති අපේ සිරුරට මොකද වෙන්නෙ කියලා. ඒක එක පැත්තක්. අනෙක් පැත්ත තමයි අපේ චර්යා රටාව වෙනස් වීම් අපි එක පාරටම කුඹුරෙන් හේනෙන් මේසයක් සහ පුටුවක් වෙතට මාරු වුණා. දැන් අපි ගත කරන්නෙ කිසිසේත්ම කොලෙස්ටරෝල් දහනය කෙරෙන දිවි පවෛතක් නොවෙයි. හැකිතාක් කොලෙස්ටරෝල් එකතු කරගන්න උදව් වෙන ජානයකුත් සිරුරේ තබාගෙන, ඕනෑවටත් වඩා කොලෙස්ටරෝල් සහිත ආහාර ගනිමින්, ඒවා දහනය කිරීමට උත්සාහයක් නොගන්නා තත්ත්වයක් තුළ හෘද රෝග මෙතරම් පැතිර යාම පුදුමයට කරුණක් නොවෙයි. ඒ අනුව බලන කල පෙනී යන්නේ මෙය එක්තරා දුරකට සංස්කෘතික සහ දේශපාලනික ප්‍රශ්නයක්ද වන බවයි.

අපට වඩා වෙනස් දේශගුණික සහ සංස්කෘතික පරිසරයක ජීවත්වන බටහිර ජාතීන්ගේ සිරුර කොලෙස්ටරෝල්වලට ප්‍රතික්‍රියා දක්වන්නේ කොයි ආකාරයටද?

මූලික වශයෙන් ඔහු තමා ජීවත්වන පරිසරයේ ශීතලට එරෙහිව සිරුරේ ඇති තෙල් පුච්චා දමනවා. ඔහුගේ ආහාරයට බොහෝ විට හැම් හරි සොසේජස් හරි අඩංගු වීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම ෆිෂ් ඇන්ඩ් චිප්ස් කියන්නෙත් ඔහුගේ ආහාර වට්ටෝරුවේ අංගයක්. නමුත් අපට සාපේක්ෂව ගත් කළ ඔහුගේ සිරුරේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය අඩුයි. විශේෂයෙන්ම කිව යුතු කාරණය වන්නේ සුදු ජාතිකයෙකු පැය දෙකක් තුළ ව්‍යායාම කිරීමෙන් පුළුස්සා දමන ප්‍රමාණය පුළුස්සා දමන්නට අප රටේ අයෙකු ඊට වඩා වැඩි වේලාවක් ව්‍යායාම කළ යුතුයි. අනෙක් කාරණය තමයි සුද්දන්ට වඩා අවාසිදායක තැන්වල අපේ තෙල් තැන්පත්වීම.

ඒ කොයි තැන්වලද?

එක්කො බඩවැල් අතර ‍ලේ නහරවල, නැත්නම් බෙල්ලෙ.

හේතුව ?

මුලින් කී හේතුවමයි. මොකද අපි ජානවලින් සකස් වී සිටින්නේ ඇඟ තුළ වූ තෙල් ටික පරිස්සම් කර ගන්නා ආකාරයට නිසා. 

මේ ආකාරයට කලකට ඉහතදී අපගේ යහපතට හේතු වූ ජානම දැන් අපගේ චර්යාව වෙනස් වීම නිසා අපට අහිතකරව බලපා ඇති බව ඔබ පවසනවා. නමුත් අද පවතින සමාජ වාතාවරණය තුළ අපට නැවතත් පැරණි ජීවන රටාවට යොමු වෙන්නට බැහැ. ඔබ පෙන්වා දෙන මූලික පිළියම කුමක්ද?

මූලිකම දේ කට පරිස්සම් කර ගැනීම. ඒ වගේම දිගින් දිගටම නොකඩවා ව්‍යායාමවල යෙදීම ඉතා වැදගත්. හැබැයි පළමුවෙනි කාරණය අමතක කර ව්‍යායාමවල පමණක් යෙදුනාට වැඩක් නැහැ.

ව්‍යායාමය පිළිබඳ සංකල්පයත් අද අප රටේ ව්‍යාපාරික තත්ත්වයට පත්වෙලා. ඔවුන් විවිධ ව්‍යායාම වර්ග ජනතාවට යෝජනා කරනවා. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස ඔබ යෝජනා කරන ව්‍යායාම ක්‍රමය කුමක්ද?

ඇවිදීම.

දිනකට කොපමණ වේලාවක්ද?

අඩුම තරමින් දිනකට විනාඩි 30ක් වත්.

විවිධ ව්‍යායාම අතරින් ඇවිදීම සුවිශේෂ වන්නේ ඇයි ?

මූලික හේතුව තමයි හෘද වස්තුවේ වේගය එකදිගට එක විදියට පවත්වාගෙන යාමට හැකිවීම. ඒ වගේම හුස්ම ගැනීම ක්‍රමවත් වෙනවා. නමුත් අනිත් ව්‍යායාම ක්‍රමවලදී මේ කාරණා දෙකම එක්වරම වෙනස් වෙන්න පුළුවන්.

හෘද රෝගියෙක් සඳහා දෙන මූලික උපදෙස් මොනවාද?

බර උස්සන්න එපා. අදින්න එපා.

සමාජීය පැවැත්ම සඳහා කළ යුතු මොනවාද?

හැමවිටම රිලැක්ස් වෙන්න. රිලැක්ස් වුණාම ලෙඩෙත් එක්ක කටයුතු කිරීමේ හැකියාව බොහෝ සේ වැඩි වෙනවා. වෙන එකක් තියා ඇවිදින එකත් රිලැක්ස් විදියට කරන්න උත්සාහ ගන්න. එහෙම ලිහිල් නිදහස් විදියට ඇවිදීමේ යෙදීමෙන් ආතතියත් අඩු වී ව්‍යායාමයත් ඒ නිසා නිරෝගීභාවයත් ලැබෙනවා. ඒත් අවාසනාවකට වාගෙ අද හුඟක් දෙනෙක් ව්‍යායාම පිණිස ඇවිදින එක කරන්නෙත් ආතතිය වැඩි වෙන විදියට.

ඔබ පසුගිය කාලයේ වසර කීපයක් විදේශ ගතව වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යයනයක යෙදුණ අයෙක්. බටහිර රටවල හෘද රෝග තත්ත්වය අද දවසේ කොයි ආකාරද?

යුරෝපය අද හෘද රෝගවල වැඩිවීම නවතා දමාගන්නට සමත් වී සිටිනවා. ඒ අය මේ තත්ත්වය හඳුන්වන්නෙ හෘද රෝග සම්බන්ධ ටර්නින් ‍පොයින්ට් එකක් වශයෙන්. නමුත් අද මේ වන විට ශ්‍රී ලංකාවේ මිනිස් ජීවිත නැතිවීමේ ප්‍රධාන කාරණාව වී තිබෙන්නේ හෘද රෝග, ආඝාත, ඇතුළු රුධිර වාහිනී ආශ්‍රිත රෝගයන්.

එංගලන්තය වැනි රටවල මේ පිළිබඳ මොන විදියේ පර්යේෂණද සිදු කර තිබෙන්නෙ?

ඇත්තෙන්ම ඔවුන් ආසියානු සංක්‍රමණිකයින් ගැන පර්යේෂණයක් සිදු කර තිබෙනවා. මේ අය ගැන සොයා බලද්දී පෙනී ගිය ප්‍රධාන කරුණක් වූවේ ඒ රටවල අයට වඩා ආසියාවෙන් පැමිණි පිරිස් අතරේ හෘද රෝග සහ දියවැඩියාව බහුල බව. ඒ වගේම කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිත් ඒ අයගේ.

එංගලන්තයේ රෝහල් ආශ්‍රිතව මේ පිළිබඳ ඔබේ අත්දැකීම් කොයි ආකාරයද?

ලන්ඩනයේ රෝහලක වාට්ටුවකට ගියොත් ඒවායේ වැඩිපුර හෘද රෝග සහ දියවැඩියාවෙන් පෙළෙන ලෙඩුන් වශයෙන් දකින්නට ලැබෙන්නෙ ආසියාතිකයින්. අවුරුදු 70 - 80 වයසක මිනිස්සු අතර පවා දියවැඩියාවෙන් පෙළෙන මිනිස්සු ඉන්නෙ කලාතුරකින්.

අප රටේ හෘද රෝග වැඩිවීමට පෙර කී ජානමය තත්ත්වයත් සමග ජීවන රටාව වෙනස්වීම මූලික වී ඇති බව පැවසුවා. නමුත් අප අවට ඇති වී තිබෙන භෞතික දියුණුවත් සමග කිසිසේත්ම පැරණි ජීවන රටාවට යා නොහැකියි නේද? එහෙමනම් විසඳුම සෙවිය යුත්තේ කොයි ආකාරයටද?

ඇත්ත අපි කිසිවෙකුටවත් ඒ පැරණි ජීවිතයට යා නොහැකියි. නමුත් මේ ගැටලුවට මුහුණ දීමට ක්‍රමවේදයක් තිබෙනවා. ඒ තමයි අප සෑම අයෙකුම අවුරුදු 20 පසු වූ වහාම දිනපතා ක්‍රමවත්ව ව්‍යායාමයක යෙදෙන්නට පුරුදු වීම. අඩුම තරමින් හැන්දෑවට විනාඩි 30ක් පමණවත් ඇවිදින්න කියන එක. ඒ වගේම නිවැරදිව කන බොන එක හුරු කර ගන්න පුරුදු කරන එක.

කොයි විදියටද එය කළ යුත්තෙ ?

දැන් දියුණු රටවල නම් සෞඛ්‍ය සම්පන්න ආහාර ගැන නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරනු ලබනවා. එළවළු කෑම වැඩි කරන්න. පලතුරු කෑම වැඩි කරන්න ආදී වශයෙන් ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල ප්‍රචාරය කර තිබෙනවා. ඒ වාගේම පාසලකට පැමිණෙනවා නම් මේවා රැගෙන එන්න ආදී දැනුවත්වීම්ද නිරන්තර කරනු ලබනවා. මේ හුරු කිරීම අපටත් අත්‍යවශ්‍යයි.

හෘදයාබාධවලට එරෙහි සටන ජාතික ප්‍රතිපත්තියක් විය යුතු බවද ඔබගේ අදහස ?

අනිවාර්යයෙන්ම එසේ විය යුතුයි. නමුත් මා කියන්නේ එය කවදා හෝ සිදුවන තුරු බලා සිටිනවාට වඩා තම තමන්ම දැනුවත් වන්නේ නම් එය ඉතා වැදගත්.

ජනතාව දැනුවත් වුවත් ක්‍රියාත්මක නොවීම නේද ප්‍රශ්නය ?

එයත් එක් ප්‍රශ්නයක් තමයි. නමුත් ජනතාව ලෙඩ රෝග අරභයා විවිධ මිථ්‍යාවන් තුළ සිර වී සිටිනවා. ඒවායින් මිදිය යුතුයි. ඒ වගේම හදවත් රෝග ඇති වන අලුත් ප්‍රවණතා අපේ රට තුළ පැතිරෙමින් තියෙන්නට පුළුවන්. ඒ ගැනත් ජනතාව දැනුවත් වෙනවා නම් හොඳයි. එය වෙනත් ලිපියකින් කතා කළ යුතු දෙයක්.

හෘද රෝග විශේෂඥ වෛද්‍ය චානක නන්දසිරි 

උපුටා ගැනීම ලක්බිම පුවත්පත