🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මාස් ශුද්ධිය ඇති වුණු දිනවලට කය වෙහෙසීම හොඳ නැද්ද?

මාස් ශුද්ධිය ඇති වුණු දිනවලට කය වෙහෙසීම හොඳ නැද්ද?

මාස් ශුද්ධිය ඇති වුණු දිනවලට කය වෙහෙසීම හොඳ නැද්ද?

අසනීප කිව්වහම නම් මොනතරම් රටේ ලොකේ අසනීප තිබෙනවාද? සමහර වෙලාවට සමහර අසනීප නොවන තත්ත්වයන් පවා ඇතැම් අය ගණන් ගන්නේ අසනීප එහෙමත් නැතිනම් රෝගී තත්ත්ව හැටියටයි. මෙම තේමාව යටතේ අපි කථාබහ කරන්නේ එවැනි එක්තරා සුවිශේෂි අසනීප තත්ත්වයක් පිළිබඳවයි. ඇත්තෙන්ම මේ තත්ත්වය වඩාත් වැදගත් වන්නේ කාන්තා පාර්ශවයේ අයට යැයි පැවසීම වඩාත් නිවැරදියි. කෙසේ වුණත් සමාජයේ කා අතරත් පිළිගත් නමුත් මිත්‍යා මත ගණනාවක් තිබෙන අතරම මේ වාගේ වෛද්‍ය විද්‍යාත්මක පසුබිම පිළිබඳව විමසා බැලූ විට එම මත හුදෙක්ම පුහු මත බව ඉතාමත් පැහැදිලිව දැකගත හැකි තත්ත්වයක්. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් නිරෝගී කාන්තාවකගේ ජීවිතය පිළිබඳ විමසා බැලුවහොත් මාශුද්ධිය ඉතාම සාමාන්‍ය ක්‍රියාවක්. එහිදී ගර්භාෂයේ ඇතුළු බිත්තියේ ඇති ආවරණය ගැලවී ඉවත් වීමක් සිදුවන අතර සාමාන්‍ය රුධිර වහනයක් ලෙස යෝනි මාර්ගය හරහා මෙය පිට වී යයි. නමුත් ඇතැම් කාන්තාවන් මේ නිසා ඇතිවන වේදනාව හෝ වෙනයම් හේතුවක් නිසා අපහසුතාවට පත් වණු ලැබේ. විශේෂයෙන් ශුද්ධ වීම ආරම්භක අවදියේ. එසේ වුවත් සාමාන්‍ය නිරෝගී කාන්තාවකට කාලයත් සමඟ මේ තත්ත්වය ඉතාමත් සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වනු ලබන අතරම කිසිලෙසකත් අසනීප තත්ත්වයක් ලෙසින් නොසැලකිය හැකියි. නමුත් සමාජය තුළ මුල් බැස ගත් වැරදි මත අතර ඔසප් වීම සිදු වන දිනවල ශරීරය වෙහෙසීම නුසුදුසු යැයි ඇතැම් අය විශ්වාස කළත් එහි සත්‍යතාවක් ඇත්තේ නැහැ. නමුත් ඒ කාලය තුළදී විශේෂයෙන් පිරිසුදුව සිටීම ඉතාම වැදගත් වන බව පැවසීම ඉතා වැදගත්. එසේ වුවත් නිරෝගී කාන්තාවකට ඉහත සියලු කරුණු කාරණා අදාළ වුවත් යම් විශේෂිත රෝගී තත්ත්ව (ඔසප් චක්‍රය හා සම්බන්ධ) වලින් පීඩා විඳිින කාන්තාවන්ට නම් වෛද්‍ය උපදෙස්වලින් තොරව ශරීරය වෙහෙසා වැඩ කිරීම නම් එතරම් සුදුසු වන්නේ නැහැ.

නීරෝගී පුද්ගලයකු දිනකට ආහාරයට කොතරම් තෙල් එකතු කර ගත යුතුද?
ජනවහරේ “තෙලෙන් කාලා කිරෙන් අත හොඳනවා කියලා” කථාවක් තියෙනවනේ. ඒ වුණත් මේ වෙනකොට නම් මේ කිසිදෙයක් කන්නේ නැතිව වතුර විතරක් බොන එක හොඳයි කියලත් සමහර අයට හිතෙන්න පටන් අරන්. එහෙම කියන්න හේතුව වෙලා තියෙන්නේ මේදය සහිත ආහාර නිසා මිනිස්සුන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙන ලෙඩ රෝග හින්දයි. කොහොම හරි තෙල් වැඩිපුර ආහාරයට එකතු කර ගැනීම ශරීරයට ගුණදායක නොවෙනවා විතරක්ම නෙමෙයි පිටි ඒ වගේම සීනි වැනි දේවල් පවා අවසානයේ ශරීරයේ තැන්පත් වන්නේ මේදය එහෙමත් නැත්නම් තෙල් විදිහටයි. ඒ නිසා තෙල් අපගේ ආහාරයට එකතු කර ගන්න කොට ඒ ගැන සීමා මායිම් ඇති කර ගන්නවා නම් කෝකටත් හොඳයි. විශේෂයෙන් ශරීරයේ මේ ආකාරයට තැන්පත් වන තෙල් රුධිර වාහිනිවල තැන්පත් වීම නිසා අපට මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයක් බවට පත්වෙලා තිබෙන්නේ හෘද රෝගයි. මෙම හෘද රෝග කෙතරම් භයානක ද කීවොත් පුද්ගලයෙකුගේ ජීවිතය මරණීය අවදානම් කරා ඉතා සුළු මොහොතකදී ඇද දැමීමට තරම් හේතුවිය හැකියි. ඒ නිසා දිනකට නිරෝගී පුද්ගලයෙකු ආහාරයට ගැනීමට අවශ්‍ය තෙල් ප්‍රමාණය පිළිබඳ නිවැරදි මිනුම් දණ්ඩක් ලබාදීම ඉතා වැදගත් වේවි. එමඟින් ව්‍යායාම හරහා ශරීරය නීරෝගි කරනවා හා සමානවම ආහාර පමණ දැන යම් සීමාවකට යටත් කර ආහාරයට ලබා ගත හැකි වේවි. එසේ නම් දිනකට පුද්ගලයෙකු තෙල් තමාගේ ආහාරයට එක්කර ගත යුතු ප්‍රමාණය මේස හැඳි වශයෙන් විමසා බැලුවොත් එය මේස හැදි 2කට පමණ සීමා වෙනවා. ග්රෑම්ස් වශයෙන් සලකා බැලුවොත් එය 11 - 13 අතර ප්‍රමාණයකට සීමාවන බව සඳහන් කළ යුතුයි. නමුත් මෙම ප්‍රමාණයන් දළ වශයෙන් සඳහන් කළත් වයස, ගර්භණී භාවය, රෝගී තත්ත්ව, ක්‍රියාශීලි බව, වෘත්තිය වශයෙන් සලකා බලන කළ යම් යම් සංශෝධන ඇතිව ගණන් බැලිය යුතු බව ද විශේෂයෙන් අවධාරණය කළ යුතුයි.

උපුටා ගැනීම දිනමිණ