🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

දහදිය දැමීම ඇඟට ගුණයි

දහදිය දැමීම ඇඟට ගුණයි

“පුදුම දහඩියක්නෙ... බලන්න මේ ඇඳුම් හිටන් තෙත්වෙලා... කොච්චර පවන් ගැහුවත්, ෆෑන් දැම්මත් දහඩිය කරදරයෙන් නම් ගැලවිල්ලක් නැහැ...”

මෙවැනි මැසිවිලි ඔබ ද ඉඳහිට හෝ නඟන්නට ඇතිවාට සැකයක් නැත. දහදිය මොන තරම් කරදරයක් දැයි කිවහොත් දහදිය දැමීම වලක්වන පෙත්තක් වෙළෙඳපොළට ආවොත් ඔබ එය මහත් උනන්දුවකින් ගිල දමනවා ඇත. දහදිය දැමීම අඩුකරන ප්‍රති – දහඩිය කාරක (ඇන්ටි පර්ස්පරන්ට්ස්) සහ දහදිය ගඳ නාශක (ඩියොඩ්රන්ට්ස්) සඳහා ඇති වෙළෙඳපොළ ඉල්ලුම දෙස බලන විට මෙය ඉතා හොඳින් වටහා ගත හැකිය.

කිසියම් ක්‍රමයක් උපයෝගී කරගෙන දහදිය දැමීම නතර කළහොත් ඔබට එහි අනිෂ්ට ඵල විපාක විඳීමට සිදුවනු ඇත. එයට හේතුව දහදිය දැමීමේ වැදගත්ම හා අත්‍යවශ්‍යම කාර්යභාරය වනුයේ සිරුර සිසිල්ව තබාගැනීම වන බැවිනි. සම මතට වැගිරෙන දහදිය එසැණින් වාෂ්ප වී යාමේදී ශරීරය ඇතුළතින් තාපය ලබාගැනීම එසේ වීමට හේතුවිය. ව්‍යායාම කරනවිට, ඇඟ වෙහෙසන විට මෙන්ම උණුසුම් දේශගුණයක් ඇති විට දී ද මෙම ක්‍රියාව සිදුවීම අතිශයින්ම වැදගත්ය.

ශරීර උෂ්ණත්වය වැඩි වූ විට මෙන්ම කාංසාව, බිය, ලිංගික පිබිදීම ආදී චිත්ත වේගීය තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමේදී ද දහදිය දැමීම සිදුවෙයි. සමේ පිහිටා ඇති ලක්‍ෂ සංඛ්‍යාත දහදිය ග්‍රන්ථි මගින් ඒ හා සම්බන්ධ ප්‍රණාල ඔස්සේ සම මතට දහදිය වගුරවයි.

දහදිය නිපදවන ග්‍රන්ථි දෙවර්ගයකි. ඒ නිස්සර්ග සහ අපසර්ග වශයෙනි. නිස්සර්ග දහදිය ග්‍රන්ථි පා පතුල් හා අත්ල ඇතුළු ශරීරයේ සෑම තැනකටම විසිරී පැතිරී තිබෙන අතර ශරීරයේ තාප පාලන වගකීමේ කොටසක් මෙම ග්‍රන්ථි මත පැවරෙයි. චිත්තවේගී හා ස්නායුමය උත්තේජනයන්ට ප්‍රතිචාර දක්වමින් දහදිය වගුරුවන අපසර්ග ග්‍රන්ථි රෝම සම්බන්ධව පවතින අතර ඒවා වැඩිවශයෙන්ම පිහිටා ඇත්තේ කිහිලි, ඉකිළි සහ නාභිය වැනි ප්‍රදේශවලය. සමහර ක්‍ෂීරපායී සතුන් පිළිබඳව සිදුකළ පර්යේෂණ මඟින් පෙන්වා දෙන්නේ තම ලිංගික ප්‍රතිවාදියෙකු ආකර්ෂණය කරගැනීමට අපසර්ග දහදිය ගන්ධය උදව්වන බවය. මිනිසුන් හා සම්බන්ධයෙන් ද එය එසේම බලපාන්නේ ද යන්න මෙතෙක් හෙළිදරව් වී නොමැත.

දහදිය යනු කුමක්ද? දහදිය යනු වැඩි වශයෙන්ම ජලය ද, සෝඩියම්, ක්ලෝරීන් පොටෑසියම් ඇතුළු ඛනිජ වර්ග රාශියක්, සුළු වශයෙන් අඩංගු වූ දියරයකි. මෙම ඛනිජ වර්ග සාමූහිකව ගත්කළ ඉලෙක්ට්‍රෝලයිට ලෙස හැඳින්වේ. ශරීරය තුළ රුධිර පීඩනය නියාමනය කිරීමට සහ ශරීරයේ ජල තුල්‍යතාවය රැකීම සඳහා එය උපකාරී වෙයි. කෙසේවෙතත් අපසර්ග ග්‍රන්ථි දහදිය තුළ ප්‍රෝටීන, සහ මේදය අඩංගුය. එය සම මත ඇති තෙල් හා දූවිලි ආදිය සමඟ මිශ්‍ර වී වඩා උකු සහ ලා කහ පැහැති වර්ණයන් ගනියි. දහදිය ගන්ධය ලෙස හැඳින්වෙන ගන්ධයට හේතුවන්නේ මේ අපසර්ග දහදියෙහි අඩංගු කාබනික සංයෝග මත වැටෙන බැක්ටීරියා ක්‍රියාකාරීත්වයයි. කොතරම් ප්‍රමාණයක් දහදිය දමන්නේද? පුද්ගලයෙකුගේ සිරුරෙන් බැහැරවන දහදිය ප්‍රමාණය සාධක රාශියක් මත වෙනස්වන බව දැකිය හැකිය. වයස්, ස්ත්‍රී පුරුෂ භාවය, ජාන (ප්‍රවේණ) රැකියාවේ ස්වභාවය (කය වෙහෙසෙන හා නොවෙසෙහෙන) වෙසෙන ප්‍රදේශය, කාලගුණ තත්ත්වය යනාදීය ඒ අතුරින් ප්‍රධානය. කෙසේවෙතත් සාමාන්‍ය අක්‍රීය නැතිනම් කය නොවෙහෙසන පුද්ගලයකු දිනකට, ප්‍රමාණයන් දක්වා නොමිනිය යුතු ප්‍රමාණයක සිට ලීටර් 1.8 ක දහදිය ප්‍රමාණයක් පිටකරයි. තද උෂ්ණාධික දිනයක, ව්‍යායාම යෙදෙන විට හෝ ඇඟ වෙහෙස කටයුතු කරන අයෙකුගෙන් දිනකට ලීටර් 2 ක පමණ දහදිය ප්‍රමාණයක් බැහැර විය හැකිය. ව්‍යායාම කිරීමේදී ඇඟ වෙහෙසන විට දහදිය වැඩිපුර දමන්නේ ඇයි? යන්න ඔබට ප්‍රශ්නයක් විය හැකිය. පේශීන් සක්‍රීයව ක්‍රියා කරන විට කැලරි (ශක්තිය) විශාල වශයෙන් දැවීම හේතුකොට වැඩි තාප ප්‍රමාණයක් නිපදවීම සිදුවෙයි. එය ශරීර උෂ්ණත්වය ඉහළ දැමීමට හේතුවෙයි. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා ශරීරය, සමට සිදුකරන ලේ එවන ප්‍රමාණය ඉහළ දමයි. එහිදී සංවහනය ලෙස හැඳින්වෙන ක්‍රියාවලියක් තුළින් තාපය බැහැර කරයි. එසේම එහිදී දහදිය දමන ප්‍රමාණය වැඩිකර වාෂ්පීකරණය නම් ක්‍රියාවලිය තුළින් ද ශරීරයට සිසිලක් උරුම වෙයි.

ආර්ද්‍රතාවය වැඩි දවසකදී, සම මතට පැමිණෙන දහදිය වාෂ්පීකරණයට ලක්නොවන නිසා සම දිගේ දහදිය ගලායනු දැකිය හැකිය. තද හිරු රැස් පතිත වන වියළි කාලගුණයක් පවතිනවාට වඩා අඩු සුවපහසු ගතියක් අහස වලාකුළින් වැසී ඇති ආර්ද්‍රතාවය ඉහළ දවසකදී දැනෙන්නේ එහෙයිනි. අධිකව දහදිය දමන විට විදුලි පංකාවක් (ෆෑන් එකක්) මගින් ඇතිකරන වාතය සංචලනය නිසා වාෂ්පීකරණය පහසු කරයි. එහෙයින් එවැනි අවස්ථාවකදී අපට විදුලි පංකාව ඉටුකරන්නේ මහඟු මෙහෙයකි.

අධිකව දහදිය දමන විට පිපාසාව (තිබහ) දැනීම තවත් සුලබ සංසිද්ධියකි. එයට හේතුවන්නේ අධිකව දහදිය දමන විට රුධිර පරිමාව අඩුවීම (ජලය ඉවත්වීම නිසා) ලේ තුළ ඇති සෝඩියම් ප්‍රමාණය ඉහළ යැවීමක් සිදුවීමයි. එවිට මොළයේ පිහිටි පිපාස මධ්‍යස්ථානය අවදිකිරීම නිසා තිබහව ඇතිවෙයි. සමහර විට ව්‍යායාම ගන්නා විට මෙන්ම ඇඟ වෙහෙසා වැඩකරන විට ද පිපාසය දැනීමට පෙර ශරීරයෙන් සැලකිය යුතු ජලය ප්‍රමාණයක් නික්ම ගොස් තිබිය හැකිය. එහෙයින් ඇඟ වෙහෙසන කාර්යයන්හි නිරත වීමට පෙර, එසේ නිරතවන අතරතුර හා නිරතවීමෙන් පසු ජලය පානය කිරීම විශේෂයෙන්ම ප්‍රයෝජනවත්ය.

අධික ලෙස දහදිය දැමීම සමහර විට අනතුරුදායක වීමට පුළුවන. තදින් අව්රශ්මිය සහිත ඌෂ්ණාධික දවසක එළිමහනේ වැඩ කරන විට ශරීරයෙන් බැහැරවන දහදිය සහ සෝඩියම් ඇතුළු ඛනිජ ලවණ ප්‍රමාණය සැලකිය යුතු තරම් ඉහළ යයි. සංවහනය මඟින් අහිමිවන ජලය ප්‍රමාණය ආපසු ලබා නොදුනහොත්, දහදිය දමන ප්‍රමාණය අඩුවීමටත්, ශරීර උෂ්ණත්වය ඉහළ යාමටත් හැකිවන අතර එය තාප කෝචය (මස් පිඬු පෙරලීම) තාප ග්‍රන්ථිය හා තාප ස්ථාරය යන ජීවිත තර්ජන ඇතිකළ හැකි තත්වයන් කරා ගමන් කළ හැකිය. පැරන්හයිට් අංශක 104ට වැඩි ශරීර උෂ්ණත්වයක් ඇති වීම නිසා මෙහිදී අධික හිසරදය, නාඩි වැටීමේ වේගය ඉහළ යාම සහ සිහි මුර්ජාව වැනි තත්වයන් ඇතිවිය හැකිය. ව්‍යායාම වල නිරතවන අතරතුර තැඹිලි හෝ ක්‍රීඩා පානයන් හෝ ගැනීම, කෙටි ආහාරයක් (ලුණු සහිත) ගැනීම ප්‍රයෝජනවත් විය හැකිය. දීර්ඝ කාලීනව නම් දිනපතා ගන්නා ආහාර වේල තුළින් ශරීරයට අවශ්‍යය ජලය හා ලවණ, ඛනිජ ද්‍රව්‍ය ලැබීම අවශ්‍යය.

කායික සෞඛ්‍යයෙන් උසස් මට්ටමක් හිමි නම් එවැනි අයකුගේ ශරීර උෂ්ණත්වය ඉහළ යාම සෙමෙන් සිදුවන නිසා බැහැරවන දහදිය ප්‍රමාණයට සාපේක්‍ෂව කාර්යක්‍ෂම ලෙස ශරීර උෂ්ණත්වය පාලනය සිදුවෙයි. එහිදී හෘදයේ ක්‍රියාකාරීත්වය ද මැනවින් සිදුවන නිසා අධික දහදිය දැමීමට මුහුණ දෙමින් ව්‍යායාම වල යෙදීම පහසු කරයි. කායික වශයෙන් නිරෝගී නොවන අයට දරා සිටීමේ ශක්තිය දුර්වල අයට මඳ වෙහෙසට පත්වුවත් අධිකව දහදිය දැමීමටත්, ශරීර ලවණ වැඩි ප්‍රමාණයක් අහිමි වීම සිදුවේ.

දහදිය දැමීම නතර කළ නොහැකි වන අතර එය අපට ඉතා ප්‍රයෝජනවත් කාර්යභාරයක් ඉටුකරන කාර්යයක් බව දැන් ඔබට වැටහෙනු ඇත. ජලය වැඩිපුර පානය කිරීම තුළින් මෙම ස්වභාවික ක්‍රියාවලියට සහාය වීමටත් සෞඛ්‍යය රැකගැනීමටත් හැකිබව අවබෝධ කරගත යුතුය.