🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

දහදිය දානවා ඇඟපත කසනවා

දහදිය දානවා ඇඟපත කසනවා


කාන්තාවන් බොහෝදෙනකුට තියෙන මේ ප්‍රශ්නයට අද අප විසඳුම් කියලා දෙනවා දහදිය දැමීම ඇඟපත කැසීම මේ දිනවල කවුරුත් වගේ නඟන මැසිවිල්ලක්. මෙම උණුසුම් කාලගුණයත් සමඟ වාතයේ ජලවාෂ්ප ප්‍රමාණය ද අඩුවීම නිසා මෙබඳු තත්ත්වයකට මුහුණ දෙන්න අප කාටත් සිදුවී තිබෙනවා. උණුසුමත්, දහදියත් සමඟ ඇතිවන සුලබම සෞඛ්‍ය ගැටලුවක් ලෙස ශරීරයෙන් දුගඳක් හැමීම හා සම කැසීම හඳුනාගත හැකියි.


දහදිය දුගඳ ඇයි?

දහදිය දැමීම ස්වභාවිකය. ඇතැම් අයගේ දහදි යෙන් අධික දුගඳක් හමනවා. ඇත්තටම දහදිය ලෙස අපේ සිරුරෙන් පිටවන්නේ මල මුත්‍ර වගේ ශරීරයෙන් බැහැර විය යුතු ඇතැම් සංයෝගයි. එනිසා සම බහිස්‍රාවීය ඉන්ද්‍රියයක් ලෙස ද කටයුතු කරයි. යූරියා වැනි අපද්‍රව්‍යත් සුළු වශයෙන් එහි අඩංගුයි. ඒවායේ සාන්ද්‍රණයන් වැඩි පුද්ගලයන්ගේ දහදිය සැර ගඳකින් යුක්ත වෙනවා. ඉතින් කිහිලි, ඉකිලි, බෙල්ල වැනි දහදිය වැඩියෙන් රැෙඳන තැන්වල එම තත්ත්වය වැඩියි.


එතකොට කැසීම?

ශරීරයේ කැසීමට බොහොමයක් හේතු බලපාන්න පුළුවන්. සමහර රෝග තත්ත්ව, ඖෂධ, අසාත්මිකතා, ආලේප ආදියත් හේතුවෙනවා. ඒ වගේම මේ උණුසුම නිසා අධික දහදියත් සමඟ තෙතමනය නිතර රැඳීමෙන් දිලීර ආසාදන වැනි දේට ලක්වීමේ ප්‍රවණතාව වැඩියි. පිරිමින්ට වඩා කාන්තාවන්ට ගැටලු පිරිමින්ට වඩා මෙම තත්ත්වයට මුහුණ පාන්නේ කාන්තාවන් යැයි කෙනකුට සිතෙන්න පුළුවන්. එසේ වන්නේ නැහැ. නමුත් අප වගේ රටක කාන්තාවන් දවස මුළුල්ලේම ඒකාකාරීව වැඩ කරනවා. රැකියාවට අමතරව ගින්දර සමඟ ගත කරන කාලය, කඩපොළට යන අවශ්‍යතා, ගෙදරදොර අනෙකුත් කටයුතු හා ගැටීම පිරිමින්ට සාපේක්ෂව ඉහළයි. මේ නිසා කාන්තාවන් පහසුවෙන් මෙබඳු තත්ත්වවලට මුහුණ පානවා. ඒ වගේම තමයි ඇඳුම් පැළඳුම්. බොහෝවිට කාන්තාවන් පරිහරණයේ පහසුව පිළිබඳ සිතා කෘත්‍රිම නූලෙන් සැකසූ ඇඳුම්වලට යොමුවෙනවා. ජෝර්ජට්, නෙට්, සිල්ක් සාරි හා හැට්ට රෙදිවලට දහඩිය උරා ගැනීමේ හැකියාවක් නැහැ. වර්තමානයේ තරුණියන්ගේ විලාසිතාව වන්නේ ඩෙනිම් කලිසමයි. මේවායේ රෙද්ද අනිවාර්යයෙන්ම කෘත්‍රිමයි. යටට අඳින ටී ෂර්ට් එකට උඩින් තව අත් දිග ඕවර් කෝට් එකක් දානවා. හුඟක් ලස්සනයි. හැබැයි එවැනි විලාසිතා මෙවැනි දේශගුණයකට නම් ඔරොත්තු දෙන්නේ නැහැ.


දහදිය පාලනය සඳහා 

මෙය තරමක් සැලසුම් සහගතව බොහොම පහසුවෙන් කළ හැකියි. මේ දිනවලට ගමන් බිමන් යෑම සඳහා තද උණුසුමක් නොමැති වේලාවක් යොදා ගත යුතුයි. රැකියාවට, පාසලට යෑම වුවත් කඩිමුඩියේ කරද්දී දහදිය දැමීමත් වැඩියි. ඇඳුම් පැළඳුම් අදාළ පරිදි වෙනස් විය යුතුයි. සැහැල්ලු කපු ඇඳුම් නැතිනම් උණුසුමත් සමඟ හොඳින් සටන් කිරීමට හැකි ළා පැහැති ඇඳුම් තෝරා ගන්න.

  • දිනපතා නෑම සිදු කරන්න. දිනකට දෙවරක්වත් ඇඟපත සෝදා ගන්න. හැකි අවස්ථාවලදී එම වතුරට බෙලි කොළ, වෙනිවැල්ගැට, රෝසමල් පෙති, සැවැන්දරා, සමන්පිච්ච වැනි දේවල් එකතු කිරීමෙන් දහදිය, කැසීම පාලනය වෙනවා පමණක් නොව දුර්ගන්ධය ද නැති වේ.
  • කිහිලි සහ ඉකිලි ආශි‍්‍රතව ඇති අනවශ්‍ය රෝම ඉවත් කරන්න. ඝණ රෝම අතර දහඩිය රැඳීම වැඩිය. එමඟින් දුර්ගන්ධය පමණක් නොව සම කළුවීමක් ද සිදුවේ.
  • ඉදුණු බෙලි මද, මී පැණි සමඟ අනා කිහිලි ආදියේ ගැල්වීමෙන් මෙම අව පැහැය අඩුකර ගත හැකියි.
  • අලිපේර, කස්තුරි සහ සුදු හඳුන් මිශ්‍රණයත් මේ සඳහා යොදා ගනියි.
  • සැවැන්දරා, වෙනිවැල්ගැට ආදියේ චූර්ණයත් ඇඟේ ගැල්වීමට සුදුසුය.

ආහාරපාන බාහිර ආලේපනවලටත් වඩා වැදගත් වන්නේ සිරුර සිසිල් කරන ආහාරපානයි. එක සතියක් ඔබ මෙබඳු දේ පිළිවෙළටකර බලන්න. පැහැදිලි වෙනසක් දැකගත හැකි වේවි.

  • පලතුරු - කොමඩු, ගස්ලබු, සීනි කැකිරි, දෙහි, දොඩම්, නාරං, තැඹිලි, කුරුම්බා, උක් ගස්, බෙලි
  • එළවළු - සාරණ, පතෝල, වැටකොළු, කරවිල, කොහිල, කෙකටිය, නෙළුම් දඬු, ගොටුකොළ, පිපිඤ්ඤා, කැකිරි, දියලබු
  • කොළ කැඳ - කොළ කැඳ නිතිපතා පානය කරන්න. ඒ අතරින් ඉරමුසු, හාතවාරිය, ගොටුකොළ, පොල්පලා විශිෂ්ටයි.
  • තේ, කෝපි වෙනුවට ඉරමුසු, බෙලිමල්, නෙල්ලි, රසකිඳ, රණවරා වැනි දේ තම්බා සිසිල් වූවාට පසු කිතුල් හකුරු සමඟ බීමෙන් අධික දහඩිය වළකනවා සේම සිරුර ද සිසිල් වේ.
  • මීට අමතරව මු ඇට, සව්, බාර්ලි, එළකිරි ආදියත් ගුණයි. කැහිපිත්තන් වැලේ කොළ කොටා ඉස්මවලට පොල්කිරි, සීනි දමා සාදන ජෙලි අතුරුපසට කදිමයි.

කැසීම සඳහා ප්‍රතිකර්ම
කැසීම සඳහා වූ හේතුව පළමුව සොයා ගත යුතුයි. ප්‍රතිකර්ම තීරණය වන්නේ ඉන් අනතුරුවය. දහඩිය නිසාවන කැසීමක් නම් ඉහත ප්‍රතිකාර ප්‍රමාණවත් වේ. තරුණ කාන්තාවන්ට බහුලවම ඇතිවන්නේ අසාත්මිකතා නිසාවන කැසීම්ය. සබන්, විලවුන් වර්ග, රූපලාවණ්‍ය ආලේපන අසාත්මික වන්නට පුළුවන. එසේම මාල, මුදු, කරාබු, ඉන පටි ආදි ආභරණ ද සම හා ස්පර්ශවීමෙන් කැසීම් ඇතිවිය හැකිය. ඇතැම් විට අප පළඳින සනීපාරක්ෂක තුවා පවා මෙම තත්ත්වය ඇති කරයි. ආයුර්වේදයෙන් දිය හැකි සහනය

  • නුග පොතු, බෝ පොතු, අට්ටික්කා පොතු, වෙනිවැල්ගැට, රත්මල් තැම්බූ වතුර, කොහොඹ කොළ, කහ තැම්බු වතුර යනාදියෙන් ශරීරය සේදීම
  • රෝසමල් පෙති, සමන් පිච්ච දමා රැයක් වසා තබා ගත් ජලයෙන් මුහුණ අතපය සේදීම
  • නීල්‍යාදි, සීතෝදක, පිණ්ඩ, විසර්පහර, සර්ව විෂාදි වැනි තෙල් වර්ගයක් රාත්‍රියේ ගල්වා උදෑසනට සෝදා හැරීම

උපදෙස් - රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අධ්‍යයන අංශ ප්‍රධානී හා ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය කෞමදී කරුණාගොඩ
 ගෙනි