🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ඉපැරැණි චීන කටු වෙදකමේ අනුහස

හුඟාක් අෑත අතීතයේ කටු චිකිත්සාව චීනයේ ප්‍රචලිත වෙමින් තිබුණ අවධියේදී මේ අපූර්වතම චිකිත්සාව හැදෑරීමට එකල චීන ශිෂ්‍යයෝ රොතු පිටින් එකතු වුණා. හැබැයි ඒ වැඩේ එච්චර ලෙහෙසි වුණේ නැහැ. ඒ අවධියේදී මේ චිකිත්සාව හදාරන්න ඔවුන් සුදුසුද කියල බලන්න පරීක්‍ෂණත් පැවතුණා. පැරැණි ග්‍රන්ථ පිළිබඳ දැනීම, කටු චිකිත්සාවේ මූලධර්ම මොක්ෂා පිලිස්සුම් ප්‍රතිකාරය, රෝග නිර්ණය ක්‍රම ආදී දීර්ඝ ප්‍රශ්න විචාරයකින් දැනුම පිළිබඳ වඩාත් සාක්ෂාත් කළා. ඊළඟට තිබුණෙ හරිම අපූරු ක්‍රමවේදයක්. වඩාත්ම නාගන්න අය නිල චිකිත්සාවෙනුත් සමත් අය හැටියට පරීක්‍ෂකයන් තෝරා දෙනවා. කොහොමද දන්නවද...? මෙන්න මෙහෙම. ශරීරවල හැඩයට කුහර සහිත ලීයකින් හෝ ලෝකඩවලින් පිළිරූ තනලා ඒවායේ කටු චිකිත්සා නිල ස්ථානවල සිදුරු හදනවා. ඊළඟට ඒ සිදුරු වැහෙන විදියට ඉටිවලින් මුළු පිළිරුවම වහලා අර නිල සිදුරු අතරේ ජලය පුරවනවා. දැන් කල්පිත රෝගියකුගේ සායනික විස්තරය සපයා අවසන්ව ඊළඟට තියෙන්නෙ ඉටි පිළිරුවේ නිල ස්ථානවලට කටු චිකිත්සාව කරන්න. නිවැරැදි නිලවලට කටු චිකිත්සාව කරද්දී අර සිදුරු හිල් වෙලා. ඒවායින් ජලය විදිනවා. මුළුමනින්ම තෙමිලා නාගත්තු අය කටු චිකිත්සාවෙන් ඉහළින්ම සමත්. ඉතින් මෙයින් පැහැදිලි වන්නෙ කටු චිකිත්සාව මොනතරම් ප්‍රවේශමෙන් සහ දක්‍ෂ අන්දමට හැදෑරිය යුතු වෛද්‍ය ක්‍රමයක්ද කියන එකයි. අද වන විට චීන කටු චිකිත්සා කලාවට ඇති ජන ප්‍රසාදය ඉහළම මට්ටමකයි තියෙන්නෙ.

කළුබෝවිල චීන කටු වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා විසින් ලබා දෙන ලද උද්ධෘත විස්තරය සහ ඔහු සමඟ චීන කටු චිකිත්සාව පිළිබඳ කරන ලද සාකච්ඡාවක් මෙම ලිපිය හා සබැඳේ. චීන කටු චිකිත්සාව නොහොත් චීන වෛද්‍ය විද්‍යාව මූලික වශයෙන්ම අන්තර්ගතව තිබෙන්නෙ යිං සහ යැං කියන සංකල්පය මත. රෝගය වගේම මොකක්ද මේ චීන කටු වෛද්‍ය විද්‍යාව කියන එක ඔබටත් වටහාදීම වඩාත් හොඳයි කියල සිතන නිසාම අප ඒ ගැන චීන කටු වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රියගෙන් ඒ පිළිබඳව විමසුවා. ඉතිහාසගත ප්‍රෞඪ අභිමානයක් තිබෙන මෙම වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඔහු මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා. මේ විශ්වය එකිනෙකට වෙනස්. ඒ වුණාට ඒ එකිනෙක එකට බැඳී පවතින බලයන් දෙකක් මත විශ්වයේ බලය පැතිරෙනවා. යිං සහ යැං කියන්නෙ අන්න ඒ බලවේග දෙකට. අපි ඒ යිං සහ යැං කියන බලවේග දෙකේ ස්වභාවය ගැනත් බලමුකෝ. ඒ එක එකක් ගත්තම හැම දෙයක්ම 'යිං' නෙවෙයි. 'යැං' නුත් නෙවෙයි. ඒ වුණත් යම් පැවැත්මකට හේතු වෙන්නෙ මේ බලවේග දෙකේම සංකලනයයි. අපි තවත් විදියකට කියනව නං ඒ බලවේග දෙකේම සමතුලිතතාව. හොඳයි උදාහරණයක් ගනිමු. දහවල රාත්‍රියට පරිවර්තනය වෙන කොට සිදුවෙන්නෙ යැං ධාතුව යිං ධාතුව බවට පත්වීමයි. ශීත කාලය වසන්තයට පරිවර්තනය වෙද්දි යිං ධාතුව යැං ධාතුව බවට පරිවර්තනය වෙනවා. මේ බල දෙකම එකකට එකක් ප්‍රතිවිරුද්ධයි. නමුත් ඒ එකක බලයෙන් අනෙක් කෙනාට මිදෙන්න බැහැ. කොටින්ම කියනව නං එක් අයෙක් නැති වුණොත් අනෙක් කෙනාත් නැති වෙනවා. හැබැයි මේ කිසිම බලයක් මොනම විදියකටවත් විනාශ වන්නේවත් ක්‍ෂය වන්නේවත් නැහැ.

අපි දැන් බලමු මේ යිං සහ යැංවල තියෙන සුවිශේෂතා මොනවද කියල. යිංවලට ආවේණික ලක්‍ෂණ විදියට දීප්තිමත් බව, උණුසුම් බව සහ චලනය වීම ගන්න පුළුවන්. නමුත් යැං එහෙම නෙවේ. යැං හැම වෙලාවටම අඳුරු, එකම තැන පවතින සහ සීතල ගතියකින් යුක්ත වූ දේවල් සමඟ සහසම්බන්ධතාව වැඩියි. ඕනෑම දෙයක් එක්කෝ යිං. එහෙම නැත්නම් යැං. ඔය දෙපැත්තෙන් එක පැත්තකටයි සම්බන්ධ වෙන්නෙ. අපි අපේ ශරීරය නිදසුනකට ගනිමු. මිනිස් සිරුර සමන්විත වෙන්නෙ අභ්‍යන්තර ඉන්ද්‍රියවලින් සහ අපට පෙනෙන බාහිර ඉන්ද්‍රියවලින්. යිං සහ යැං වර්ගීකරණය කරන්නට පුළුවන් මෙන්න මෙහෙම. වැදගත්ම දේ තමයි මේ යිං සහ යැං චීන සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව උපයෝගී කරගන්නෙ කොහොමද කියල බලන එක. අපේ ශරීරයේ ඉන්ද්‍රිය එක එකක් ගත්තාම එහි යිං ධාතුව සහ යැං ධාතුව දෙකම තියෙනවා. නමුත් ප්‍රායෝගික වශයෙන් ගත්තාම අපි එක එක්කෙනාගේ ශරීර යිං සහ යැං නිසා සමතුලිතව පවතින්නෙත් නැහැ. හැබැයි අපි කායික සහ මානසික වශයෙන් නිරෝගීව සිටින කොට ඒ සමතුලිත බව අපිට හුඟාක්ම ලැබෙනවා. අන්න ඒකයි රෝගවලදී අපට අසමතුලිතතාව ඇතිවන්නෙ. හැබැයි මේ න්‍යාය ලෙඩ රෝගවලට විතරක්ම නොවේ. අපේ මානසිකත්වයටත් ඒවා බලපානවා. තරහකදී මතු වෙන්නෙ යැං අතික්‍රමණය වීමේ දෝෂය. ඉවසීමෙන් කටයුතු කරද්දී මතුවෙන්නෙ යිං තත්ත්වය. චීන සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවට අනුව රෝගයක් කියල කියන්නෙ යිං සහ යැංවල ඇතිවන අසමතුලිතතාව කියල මම කිව්වනේ. යිං බලවත් වුණාම යැං ආපදාවට ලක්වෙනවා. ඒ වගේම තමා යැං බලවත් වුණාම යිං ආපදාවට ලක්වෙන්නෙත්. උදාහරණයක් ගත්තොත් යැං ප්‍රබලවීමෙන් යිං ආපදාවට ලක් වෙද්දි හෘදය ආශ්‍රිත රෝග පීඩා හටගන්නවා. චීන සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවෙන් කෙරෙන්නෙ රෝගයට නොව, රෝග සම්භවයට ප්‍රතිකාර කිරීමයි. හෘද රෝගියාට ප්‍රතිකාර කිරීමේදී කරන්නෙ මේ යැං ආපදාවට පත්වීම වැළැක්වීම. ඒක චීන කටු වෛද්‍යවරයා ඉතාම සංයමයෙන් සහ වගකීම් සම්භාරයකින් කරන ප්‍රතිකාරයක්. එහිදී මුළු සිරුරම සමස්තයක් ලෙස සලකලා ප්‍රතිකාර කරන්නට වෛද්‍යවරයා වග බලා ගන්නවා. මේ ආකාරයට කරන ප්‍රතිකාර අද කාලීනව මොනතරම් සාර්ථකද. ඒවා මිනිසුන් අතර මොනතරම් ජනප්‍රියත්වයට පත්වෙලා තිබෙනවාද කියන දේ ඔබටත් අත් විඳින්න පුළුවන්. මං හිතන්නෙ චීන කටු වෛද්‍ය ක්‍රමයේ තිබෙන සාර්ථකත්වය ඒකයි කියලයි."

කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනයේ වෛද්‍ය අධ්‍යක්‍ෂ ප්‍රසාද් දේශප්‍රිය 0714299777
සදා ලාලිත් රණසිංහ 
මව්බිම