🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ගැහැනු දරුවකු අවුරුදු 16දී වත් මල්වර වූයේ නැත්නම්?

ගැහැනු දරුවකු අවුරුදු 16දී වත් මල්වර වූයේ නැත්නම්?

ගැහැනු දරුවෙකු දරුවන් ලැබීම සඳහා පරිණත තත්ත්වයට පත්වන්නේ ඩිම්බ පිට කිරීමත් සමගයි. මෙය හගවන මූලික ලක්ෂණය වන්නේ ඔසප් චක්‍රය ආරම්භ වීම සනිටුහන් කරමින් පළමු ඔසප් වීම සිදුවීමයි. මෙම ඩිම්බ පිටවීම මල්වර වීම ලෙස අපි පසුගිය සතියේ ඔබට පැහැදිලි කිරීමක් කළා මතක ඇති. මල්වර වීමේදී ඇතිවන ගැටලු පිළිබඳව මෙවර සාකච්ඡා කෙරෙනවා. මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා පැවසුවේ මෙවැන්නක්.

සමහර පවුල්වල දරුවන්ගේ මල්වරවීම පමාවීමට ප්‍රධාන වශයෙන් ප්‍රවේණි සාධක බලපානවා. මවගේ හෝ ඇයගේ පවුලේ කාන්තාවන්ගේ මල්වර වීම පමා වූයේ නම් එවැනි පවුල්වල දරුවන්ගේ මල්වර වීම පමාවට ප්‍රවේණි සාධක බලපානවා. සමහර රෝගී තත්ත්වයන් නිසා සහ මන්ද පෝෂණය නිසාද මල්වර වීම පමා වෙනවා. නැටුම්, ක්‍රීඩා සහ ව්‍යයාම්වල අධිකව යෙදෙන දරුවන්ගේ මල්වර වීමද ප්‍රමාද විය හැකියි. යෞවන වයසේදී සමහර යෞවනියන්ට වැළදෙන රෝගී තත්ත්වයක් වන හිතාමතා ආහාර නොගෙන සිටීම හෙවත් ඇනොරෙක්සියා නර්වෝසා (Anorexia Nervosa) තත්ත්වයට පත් යෞවනියන්ගේද මල්වර වීම පමාවිය හැකියි. කෙසේ වෙතත් ගැහැනු දරුවකු වයස අවුරුදු 16 වනවිටත් මල්වර වීම සිදුවී නැත්නම් ඇයව වෛද්‍යවරයකු වෙත යොමු කිරීම ඉතාම වැදගත් වෙනවා.

වෛද්‍යවරයා පළමුව පවුලේ තොරතුරු විමසීම කරනවා. මවගේ මල්වර වීමේ වයස සහ පවුලේ අනෙක් දූවරුන්ගේ මල්වර වීමේ වයස පිළිබඳවද වෛද්‍යරයාට පැවසීම ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන් දරුවාගේ උස මෙන්ම උසට සරිලන බර පවතිනවාද යන්නත් වැදගත් වෙනවා. දරුවන්ගේ මන්දපෝෂණය, රක්තහීනතාවය, ක්ෂය රෝගය, තයිරොටොක්සිකෝසිස් වැනි රෝග හෝ වෙනත් රෝග තත්ත්ව වැළදී ඇත්දැයි යන්න වෛද්‍යවරයාට පැවසීම ද මවුපියන් විසින් කළ යුතුයි. ඇයට ඉහත රෝග ලක්ෂණ පවතී නම් පළමුව ඒ සඳහා ප්‍රතිකාර ලබාදිය යුතු වෙනවා. ඇයට කිසිදු රෝගී තත්ත්වයක් නොමැති නම් තවත් වසර දෙකක් පමණ කිසිදු ප්‍රතිකාරයක් නොකොට වෛද්‍යවරයා විසින් ඇයව නිරීක්ෂණය කරනවා.

වයස අවුරුදු 18 වන විටත් ඇය මල්වර නොවුන හොත් ඇයගේ රුධිරයේ ඇති හෝමෝන ඊස්ට්‍රජන්, පොජෙස්ටරෝන්, ටෙස්ටොස්ටෙරෝන් සහ ෆොලිකියුලර්, ස්ටිම්යුලේට් මට්ටම පරීක්ෂා කළ යුතුයි. හෝමෝන අඩු වීමක් නම් හෝර්මෝන ලබාදීම කළ යුතුයි. එමෙන්ම ඇයගේ වර්ණ දේහ පිළිබඳ අධ්‍යනයක්ද කළ යුතු වෙනවා. එමෙන්ම උපතේ සිට කන්‍යා පටලය සිදුරු නොවී තිබිම ද මල්වර වීම දැන ගැනීමට බාධාවක් වෙනවා. මෙවැනි දරුවන්ගේ ආර්තවය සිදු වුණද එය පෙන්නුම් කිරීමක් සිදුවන්නේ නැහැ. මේ නිසා ආර්තවය සිදුවන දින වනවිට ආර්තව ලක්ෂණ සංකූලතා පෙන්නුම් කරනවා. උදර වේදනාව, උදරය තද වීමක් දැනීම, උදරය පහළ ප්‍රදේශයේ වේදනාව ලක්ෂණ පෙන්නුම් කළ ද කන්‍යා පටලය සිදුරු නොවීම නිසා රුධිර වහනයක් සිදුවන්නේ නැහැ. මෙවැනි යෞවනියන්ගේ කන්‍යාපටලය සැත්කමක් මගින් සිදුරු කළ යුතු වෙනවා. ටර්නර්ස් සින්ඩ්‍රෝම් නැමැති ප්‍රවේණිගත රෝගයේදී උපතේදීම ගර්භාෂය කුඩාවට පිහිටනවා. එවැනි දරුවන්ට ආර්තවයක් සිදුවන්නේම නැහැ. මේ සඳහා ප්‍රතිකාරද නැහැ. ටෙස්ටිකියුලර් ෆොමිනසිශේෂන් නම් උපතින් හටගන්නා තත්ත්වය සහිත අයටද ආර්තවයක් සිදුවන්නේ නැහැ. වර්ණ දේහ ලෙස පිරිමි ලක්ෂණ පිහිටියද ගැහැණු ලක්ෂණ සහිත අය මේ ගණයට වැටෙනවා.

කෙසේ වුවද මල්වර වීම සහ ඉන්පසු මාසික ආර්තවය සිදුවීමට ප්‍රධාන ලෙස බලපාන්නේ ඇයගේ ශාරීරික වර්ධනය සහ ශරීරයේ තෙල් ප්‍රමාණයයි. මේ නිසා විවිධ හේතූන් මත මල්වර වීම ප්‍රමාද විය හැකියි. නිසි වයස ඉක්ම ගිය පසුත් මල්වරවීම ප්‍රමාද වන්නේ නම් එය විශේෂිත තත්ත්වයක් නිසා විය හැකියි. එවැනි අවස්ථාවකදී වෛද්‍යවරයෙකු මුණ ගැසීම වැදගත් වෙනවා. එමෙන්ම ශරීරයේ තැන්පත් වී ඇති මේද ප්‍රමාණය අඩු යෞවනියන්ගේ මුල් කාලයේ ආර්තවය ඇතිවීම අඩු වීමටත්, ප්‍රමාද වීමටත්, අක්‍රමවත් වීමටත් හැකියාව පවතිනවා. එය බිය වීමට කාරණයක් නොවේ.

මල්වර වීම පමාවීමට හේතු :

  • ප්‍රෝටින් සහ කැලරි මන්ද පෝෂණය
  • රක්තහිනතාවය
  • ක්ෂය රෝගය
  • තයිරොටොක්සිකෝසියාව (අයඩීන් ඌණතාවය)
  • ටර්නර්ස් සින්ඩ්‍රෝම් (ප්‍රවේණික රෝගයකි)
  • ටෙස්ටිකියුලර් ෆෙමිනයිශේෂන් (උපතින් හටගන්නා තත්ත්වයකි.)
  • උපතේ සිට කන්‍යාපටලය සිදුරු නොවීම
  • මානසික රෝග සඳහා ගන්නා ඖෂධ
  • හෝමෝන අඩංගු ඖෂධ භාවිතය
  • ක්‍රීඩා සහ නැටුම්වල යෙදීම
  • හෝර්මෝන ගැටලූ

උපුටා ගැනීම දිනමිණ පුවත් පත