🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සමේ ඇතිවන ලප පිළිකා විය හැකිද?

සමේ ඇතිවන ලප පිළිකා විය හැකිද?

ඇඟිල්ලෙන් කොටසක්‌ ඉවත් කල පසුත් නැවත මතුවී ඇත.

අප සමේ නොයෙකුත් ආකාරයේ ලප දැකිය හැක. සමහරක්‌ උප්පත්තියේ සිටම තිබිය හැකි අතර සමහරක්‌ පසු කලකදී මතුවන ලප වේ. බොහෝ කාන්තාවන්ගේ මෙවන් ලප මුහුණේ ඇති විට එය රුව වඩවන්නක්‌ ලෙසද සැලකේ. සමේ ඇති ලප බොහොමයකින් කිසිදු හානියක්‌ සිදුනොවේ. එලෙසම තවත් බොහෝමයක්‌ සමේ රෝග ආශ්‍රිතව ඇතිවන අතර ඒ සම්බන්ධව ඔබ දැනුවත් කිරීම සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයකුගේ කාර්යයකි. එනමුත් පිළිකා ලෙස සමේ ඇතිවිය හැකි ලප කුමක්‌දැයි දැන හඳුනාගෙන තිබීම ඔබට ප්‍රයෝජනවත් වේ. සමේ ඇතිවන ලප සමහරක්‌ පිළිකා නිසා ඇති විය හැකි අතර මෙවැනි පිළිකා බහුල වශයෙන්ම දක්‌නට ලැඛෙන්නේ ඇමෙරිකාව, ඕස්‌ටේ්‍රලියාව, නවසීලන්තය වැනි රටවල වෙසෙන සුදු පැහැති සමකට උරුමකම කියන පුද්ගලයින්ටය. මීට හේතුව වන්නේ එම රටවල ඉහළින් ඇති වායුගෝලයේ, ඕසෝන ස්‌තරයේ ඇති පළුදු තුළින් විහිදෙන හිරු කිරණ වල ඇති පිළිකා ජනක (UVB) විකිරණ සම මත පතිත වීමෙනි.

සමේ ඇතිවන පිළිකා ප්‍රධාන වශයෙන් දෙවර්ගයකට වෙන් කළ හැක. එය මෙලනොමා සහ මෙලනොමා නොවන පිළිකාවේ. මෙලනොමා යනු සමට වර්ණය ගෙන දෙන මෙලනොසයිට්‌ නැමති සෛලයෙන් හටගන්නා පිළිකාය. මෙලනොමා හිරුකිරණවල ඇති විකිරණ වලට අමතරව පාරම්පරිකවද ඇතිවිය හැකි පිළිකා විශේෂයකි. මෙය කළු, තද දුඹුරු, දුඹුරු හෝ ඒවායේ මිශ්‍රණයක්‌ ලෙස, පැහැයක්‌ ගත හැකි අතර උපන් ලපයකටද සමාන වේ. පෙරකී කරුණුවලට අමතරව උපතේ සිට ඇති ලපයක්‌ද, දැඩි හිරු කිරණ නිසා මෙලනොමා තත්ත්වයට පත්විය හැක. එබැවින් මෙලනොමාවක්‌ උපන්් ලපයකින් වෙන්කර හඳුනා ගැනීම ඉතාමත් අවශ්‍ය වේ. උපතේ සිටම ඇති ලපයක්‌ ක්‍රමක්‍රමයෙන් විශාලවීමක්‌ හෝ කසන ගතියක්‌ හෝ එයින් තරලය ස්‍රාවය වීමක්‌ හෝ දක්‌නට ඇත්නම් එය පිළිකාවක්‌ බවට පත්වන පෙර නිමිති විය හැක. එපමණක්‌ද නොව සමහර අවස්‌ථාවන්හිදී එහි පැහැය ක්‍රමයෙන් අඩුවීමත් එතරම් සුබදායක නොවේ. එම ලපයේ ස්‌වරූපය අසම්මිතික නම් (ලපය හරිමැදින් ඉරක්‌ ඇන්ද විට දෙපැත්ත සමාන නොවේ නම්) හෝ එහි සීමාවන් අක්‍රමවත්ව ඇත්නම් හෝ එහි වර්ණ කිහිපයක මිශ්‍රණයක්‌ ලෙස පැහැගැන්වී ඇත්නම් හෝ එය මිලිමීටර් 6 කට වඩා විශාලනම් හෝ එය මෙලනොමාවක්‌ විය හැක. මෙලනොමා වේදනාකාරි නැත. එනමුත් එය වර්ධනය වීමත් සහ කැසීමත් සමඟම ආසාදිත වී වේදනාවක්‌ ඇති කිරීමට ඉඩ ඇත. මෙලනොමා විශාල වනවිට එය තුවාලයක්‌ බවටද පත්විය හැකි අතර එවිට කළු හෝ දුඹුරු පැහැය තුවාලයේ මායිමට පමණක්‌ සීමාවී තිබේ. ශරීරයේ ඕනෑම ස්‌ථානයක මෙලනොමා ඇතිවිය හැකි අතර සමහරවිට ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වලද මෙලනොමා හටගනී. මෙලනොමා පිළිකා සෛල ව්‍යාප්තිය සිදුවනුයේ වසා වාහිනී හරහා වසා ගැටිති හෙවත් කුද්දැටි වලටය. එබැවින් මෙවැනි රෝගීන්ගේ එවන් ස්‌ථානද පරික්‌ෂා කිරීම අවශ්‍යය වේ. ඊට අමතරව අක්‌මාව සහ පෙනහලුවලටද මෙලනොමා පැතිර යා හැක. කුඩාවට ඇති මෙලනොමා ශල්‍යකර්මයකින් ඉවත් කළ හැක. එම සැත්කමේදී ලපයට පිටතින් සෙ.මී 1-2 ක සාමාන්‍ය සමද ඉවත් කරනු ලබයි. එනමුත් කල්ගත වී ඇති මෙලනොමා සඳහා සමේ විශාල ප්‍රමාණයක්‌ ඉවත් කිරීමට සිදුවන අතර මෙය ඇඟිලි තුඩුවල හෝ පාදයක ඇතිවිට එම අවයවයේ කෙලවර කොටස සම්පූර්ණයෙන්ම කපා ඉවත් කිරීමටද සිදුවේ. මීට අමතරව පිළිකා සෛල වසා ගැටිතිවල ඇත්නම්, එම ගැටිතිද ශල්‍යකර්මය කරන අවස්‌ථාවේදීම ඉවත් කළ යුතුය. මෙලනොමා, නොවන සමේ පිළිකා බේසල් සෛල පිළිකා සහ ස්‌කෙව්මස්‌ සෛල පිළිකා ලෙසට වර්ග කළ හැක. මෙවන් පිළිකා හට ගැනීමටද හිරු කිරණ වල ඇති මඩ - ඊ විකිරණද, ආර්සනික්‌ සහ අනෙකුත් හයිඩ්‍රොකාබනික රසායනික ද්‍රව්‍යයද, වයිරස්‌ වර්ග සහ දුම්පානය ද යම් අයුරින් බලපාන බව පර්යේෂණ මගින් සනාථ කර ඇත. බේසල් සෛල පිිළිකාවද සමේ ඇති විශේෂිත වූ සෛලයකින් හටගන්නා පිළිකාවකි. මෙයද දුඹුරු පැහැයෙන් යුත් ලපයක්‌ වන හෙයින් උපන් ලපයක ස්‌වරූපය ගනු ලබයි. නමුත් උපන් ලප කවර දිනකවත් මෙලනොමා මෙන්, බේසල් සෛල පිළිකා බවට පත්වන්නේ නැත. මෙවන් පිළිකා ලප මුහුණ අවට සහ උඩුකයේ බහුලවම දක්‌නට ලැබේ. එබැවින් අලුතින් ඇතිවන උපන් ලපයක්‌ හා සමාන ලප හෝ ඉන්නෙක්‌ අයුරින් ඇති දුඹුරු පැහැති ලප ගැන ඔබේ අවධානය යොමුකළ යුතුය. වාසනාවකට මෙන් බේසල් සෛල පිළිකා ශරීරයේ අන් ස්‌ථාන කරා පැතිරීයාම ඉතාමත් දුර්ලභය. බේසල් සෛල පිළිකා සඳහා ද ශල්‍යකර්මයකින් ඉවත් කිරීම අවශ්‍යය. සමෙහි බහුලවම දක්‌නට ලැඛෙන සෛල විශේෂය ශල්කමය සෛල නොහොත් ස්‌කෙව්මස්‌ සෛල ලෙස නම් කෙරේ. මෙයින් හටගන්නා පිළිකා ස්‌කෙව්මස්‌ සෛල පිළිකා ලෙස හඳුන්වයි. ස්‌කෙව්මස්‌ සෛල පිළිකා බොහෝවිට තුවාලයක්‌ ලෙස මතුවේ. එබැවින් මෙම පිළිකා වේදනාකාරි වේ. තවද වෙනයම් හේතුවක්‌ නිසා කල්ගතවන තුවාලද ස්‌කෙව්මස්‌ සෛල පිළිකාද වසාගැටිති වලට පැතිර යා හැකි නිසා එම ගැටිති ද ඉවත් කළ යුතුය. සමේ පිළිකා අද ශ්‍රී ලංකාව තුළ එතරම් බහුලව දක්‌නට නොලැබීම භාග්‍යයකි. එනමුත් මෙතරම් මතුපිටට, එනම් සමේ ඇතිවන මෙම ලප සහ එවැන්නක්‌ පිළිකාවක්‌දැයි සැක කිරීමත්, ඒ සඳහා දක්‌වන උනන්දුවක්‌ අඩු බැවින් බොහෝ රෝගින් මෙම පිළිකා කල්ගතවන තෙක්‌ සිටීම අවාසනාවකි. ඒ හෙයින් ඔබේ සමේ අලුතින් ඇතිවන ලප සහ මෑත කාලයේදී වෙනස්‌වන උපන් ලප ගැන විමසිලිමත් වී සිටින්න.

උපුටා ගැනීම නවලිය පුවත් පත