This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
ඛෙල්ලේ අතේ හිරිය සුළුවෙන් හිතන්න එපා
"තේ කෝප්පය අල්ලනවිට අත හිරිවැටිලා තේ කෝප්පය බිම වැටුණා..."
"පෑන අල්ලන්න බැහැ මගෙ අත හිරිවැටෙනවා..."
"පොල් මිරිකන්නවත්, තෙත රෙද්දක් මිරිකන්නවත් බෑ‍. අත හිරි වැටෙනවා..."
"මගේ මුහුණේ පැත්තක් හිරි වැටෙනවා..."
"ඛෙල්ලෙන් පටන් ගන්න හිරිය මගේ අත දිගේ දුවනවා..."

එවැනි කතා ඔබ කොතෙකුත් අසා ඇත. ඒ සියල්ලටම හේතුවන්නේ ශරීරයේ විවිධ ස්ථානවල ඇතිවන හිරිවැටීමේ තත්ත්වයයි.‍ හිරිය යනු කුමක්ද ? එය ඇතිවන්නේ ඇයි ? ඒ සඳහා ඇති ප්‍රතිකාර මොනවාද ? යන ගැටලුවලට පිළිතුරු සඳහා අප විශේෂඥ වෛද්‍ය මහේෂි වි‍ෙජ්රත්න මහත්මිය හමුවුණෙමු.

හිරිය ශරීරයේ විවිධ ස්ථානවල ඇතිවනවා නේද?
විවිධ රෝගීන් හිරිය ගැන පවසන්නේ විවිධ ආකාරයට. ඇතැම් උදවිය ශරීරයේ විවිධ ස්ථානවල ඇතිවන රිදීම් ද හිරිය ලෙස පවසනවා. ඇතැම් පුද්ගලයින් පවසන්නේ තමන්ගේ අතක, පාදයක හෝ ඛෙල්ල ප්‍රදේශයේ තදවීමක් තිඛෙනවා කියායි. තවත් උදවිය පවසන්නේ කිසිම වැඩක් කර ගැනීම‍ට නොහැකි ආකාරයෙන් ඉදිකටුවලින් අනින ස්වභාවයක් ඇතිවන බවයි. මීටත් අමතරව විදුලි සැරයක් අත දිගේ දුවන ආකාරයක් පවතින බව සමහර රෝගීන් වෛද්‍යවරු හමුවට පැමිණ පවසනවා. හිරිය යනු ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන තත්ත්වයක්. එය රෝගයක් ලෙසත් රෝගයක ලක්ෂණයක් ලෙසත් මතුවෙන්න පුළුවනි. බොහෝ දෙනෙකුට හිරිය ඇතිවන්නේ රෝගයක ලක්ෂණයක් ලෙස. හිරිය ඍජුවම රෝගයක් ලෙස පෙන්නුම් කළ හැකි අවස්ථාවක් ලෙස හදිසි අනතුරක් හෝ කැපීමක් සිදුවූ අවස්ථාවන් දක්වන්න පුළුවනි. එහිදී ආබාධයට ලක් වූ ස්ථානය ආශ්‍රිතව ඇති ස්නායුවට හානියක් වුණේ එම ස්ථානයේ හිරියක් ඇතිවීමට හැකියාව තිඛෙනවා. එවැනි ආබාධයක් සිදුවූ විට එම ස්ථානය අවට රුධිර වහනයක් සිදුවීම නිසා ආසන්නයේ ඇති ස්නායුව තැළී‍මකට හෝ තෙරපීමකට ලක් වෙනවා. යම් අයකු හදිසි අනතුරකට මුහුණ දුන්විට අනතුරට ලක්වූ ප්‍රදේශයේ ඇති ස්නායුවට තුන් ආකාරයකට හානි සිදුවෙන්න පුළුවනි. ඒ ස්නායුව තැළීම හෝ සුළු වශයෙන් හෝ අර්ධ වශයෙන් ස්නායුව කැපීම හෝ සම්පූර්ණ වශයෙන් ස්නායුව කැපී යාමයි. මෙම ආකාර තුනෙහිම බලපෑම නිසා එම ස්ථානයේ හිරිය ඇතිවීමට ඉඩ තිඛෙනවා. විවිධ රෝගාබාධ නිසාත් හිරිය ඇතිවෙනවා. එවැනි ‍රෝගීන් වෛද්‍යවරයා වෙත පැමිණ පවසන්නේ තමන්ගේ මුළු ශරීරයම හිරිවැටී ඇති බවක් දැනෙන බවයි. එසේ නැතිනම් දෑත් වලට ග්ලවුස් දමා ඇති ආකාරයක් මෙන් ම දෙපාවලට මේස් දමා ඇති ආකාරයක් තමාට දැනෙන බවත් ය‍. දියවැඩියාව ශරීරයේ හිරිය ඇතිවීමට බලපෑ හැකි එක් රෝගයක්. දියවැඩියාව නිසි ලෙස පාලනය නොකරන්නේ නම් ශරීරයේ දෑත් දෙපා හිරිවැටී‍මට ඉඩ තිඛෙනවා. අධික ලෙස මත්පැන් පානය කරන පුද්ගලයින්ට ද තමන්ගේ ශරීරය හිරිවැටෙන ස්වභාවයක් දැනෙනවා. එසේ ම ඇතැම් රෝගාබාධ සඳහා දීර්ඝ කාලයක් ගනු ලබන ඖෂධ නිසා ද ශරීරයේ විවිධ ස්ථාන හිරිවැටෙන බව පෙනී යනවා. වයසට යාම ශරීරයේ හිරිය ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණක් වයස් ගතවන විට ඔස්ටියෝ ආතරයිටිස් වැනි රෝගවලට ගොදුරුවීම නිසා සන්ධිවල අස්ථිවල සිදුවන විකෘති නිසා ද එම අස්ථි ආසන්නයේ ගමන් කරන ස්නායු තෙරපීමකට ඇදවීමකට ලක්වීමට ඉඩ තිඛෙනවා. එවිටත් හිරිය ඇතිවෙනවා.

ඊට අමතරව තවත් රෝග නිසාත් හිරිය ඇතිවීමට පුළුවන් නේද?
ඔව්, ප්‍රධාන වශයෙන් ම මොළයේ ස්නායුවල ඇතිවන දුර්වලතා නිසා හිස ගෙල අවට හිරියක් ඇතිවෙන්න පුළුවනි‍. විශේෂයෙන් ම මොළයේ සුසුම්නා ශීර්ෂය ආසන්නයේ කිසියම් තෙරපීමක් නිසාත් හිරිය ඇතිවෙන්න පුළුවනි‍ ගෙලෙහි ඇති අස්ථි එකිනෙක ළංවීම නිසාත්, එම අස්ථි දිරාපත් වීම නිසාත් ගෙල ප්‍රදේශයේ ඇති ස්නායු තෙරපීමකට ලක්වී ගෙල අවට හිරිවැටීමේ ස්වභාවයක් පෙන්නුම් කරනවා. එවිට ඇතිවන හිරිය අත දිගේ ඇතිවන ස්වභාවයක් පෙන්වනවා. එම තත්ත්වයට පත්වුණු රෝගියකු පවසන්නේ තමාගේ ගෙල ප්‍රදේශයේ සිට අත දිගේ විදුලි ධාරාවක් ගමන් කරනවා වැනි දැනීමක් තමන්ට ඇති බවයි. ගෙල ප්‍රදේශයේ අස්ථි මැද තිඛෙන ඩිස්ක් (කම්පන උරා ගැනීමට උපකාරි වන) පිපිරීමකට ලක්වීම නිසාත් ගෙල ප්‍රදේශයේ අස්ථි අනවශ්‍ය ලෙස වර්ධනය වනවිටත් ඉහතින් දැක්වූ ආකාරයට ගෙල ප්‍රදේශයෙන් පටන්ගෙන අත දිගේ යන හිරියක් ඇතිවෙනවා. අස්ථි පිපිරීමකට ලක්වන්නේ අස්ථි වැඩියෙන් ක්‍රියා කරන විටයි. අස්ථි අතර මෘදු ඩිස්ක් පිහිටා තිඛෙන්නේ අස්ථි අතර ඇතිවන කම්පන උරා ගැනීමටයි. ගෙල ප්‍රදේශයේ ඇතිවන හිරියට හිසේ හෝ ගෙල ප්‍රදේශයේ ස්නායු තෙරපීමත්‍ හේතු වනවා. එවිට ඇතිවන හිරිය බොහෝ විට අත දිගේ ගමන් කරනවා. මෙය වහාම ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්. මේ සඳහා ඉක්මනින් ප්‍රතිකාර නොගතහොත් අනිත් පේශීන් දියවීමට පටන්ගන්නවා. එම අවස්ථාවට පත්වූ විට රෝගියා ශල්‍යකර්මයකට භාජනය කළ යුතුයි. බොහෝ රෝගීන් ඛෙල්ලේ සිට අතට එන මෙම හිරියට ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු වෙත යොමු වන්නේ කල්ගත වූ පසුවයි. එය එසේ නොවිය යුතුයි. ගෙලෙහි සහ අතේ ඇතිවන හිරිය ජීවිතයට බොහෝ බලපෑම් කිරීමට සමත්. ඕනෑම පුද්ගලයකුගේ අතක තිබිය යුතු පේශි ප්‍රමාණයක් තිඛෙනවා. එම ප්‍රමාණයට වඩා පේශි අඩු වූ විට එම පේෂිය අවට ඇති ස්නායුවට බරපතළ ලෙස හානි සිදුවෙනවා. එම නිසා මෙම තත්ත්වය නොසළකා සිටීම කිසි සේත්ම සුදුසු වන්නේ නෑ.

හිරිය වහා ප්‍රතිකාරගත යුතු තත්ත්වයක් ද?
ශරීරයේ විවිධ ස්ථානවල ඇතිවන හිරිය බොහෝ දෙනෙක් අත්විඳින තත්ත්වයක්. සරල මෙන් ම බරපතළ හේතු නිසා ද විවිධ පුද්ගලයින්ට ශරීරයේ විවිධ ස්ථානවල හිරිය ඇතිවන බව දැන් පැහැදිලියි. ඇතැම් ‍රෝගීන් තමාගේ ගෙල ප්‍රදේශයේ සහ අත ප්‍රදේශයේ හෝ වෙනයම් ස්ථානයක ඇතිවූ හිරිය දින කීපයක් තිබී නැතිවී ගිය බව පවසනවා. එම තත්ත්වය එතරම් ගණන් ගත යුතු තත්ත්වයක් නෙමෙයි. තමන්ගේ මුහුණේ එක් පැත්තක් හිරිවැටී තිඛෙන බවත්, එක් අතක් හිරිවැටී තිඛෙන බවත් ඇතැම් රෝගීන් පවසනවා. එම හිරිය දිනෙන් දින වැඩි වන බවත් ඔවුන් පවසනවා. එම රෝගීන් එම හිරියත් සමගම දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු, රුමටොයිඩ් ආතරයිටිස් වැනි රෝගයකට ඖෂධ ගන්නවා වෙන්න පුළුවනි. මෙවැනි තත්ත්වයක් ඇත්නම්, එම රෝගියා ඉක්මනින් ම වෛද්‍යවරයකු හමුවීම සුදුසුයි. එහිදී රුමටොයිසිඩි ආතරයිටිස් රෝගයට ඖෂධ ගන්නා රෝගියකුට නම් ලබාගන්නා ඖෂධ ප්‍රමාණය වෙනස් කළ යුතු වෙනවා. ඇතැම් හිරිවැටීමේ තත්ත්වයන් ඉතාම සුළු ප්‍රතිකාර මගින් සුව කළ හැකියි. එහෙත් ගෙල ප්‍රදේශයෙන් හිරිය හටගෙන එය අතදිගේ ගමන් කරන්නේ නම්, එහිදී දීර්ඝ කාලයක් ප්‍රතිකාර ගත යුතු වෙනවා. ගෙලෙන් පටන්ගෙන අත දිගේ යන හිරියක් ඇතිවන්නේ ඉහතින් දැක්වූ ආකාරයට අස්ථිවල අනවශ්‍ය වර්ධනයක් හෝ අස්ථි අතර ඇති ඩිස්ක් වල ගැටලුවක් නිසා ස්නායු තදවීමක් නිසා නම් ඒ සඳහා වහාම ප්‍රතිකාර කළ යුතු වෙනවා. එසේ ම අනතුරක් සිදුවී ස්නායු තැලීමට ලක්වීම නිසා හෝ කැපීමක් සිදුවී ස්නායු ආබාධයකට ලක්වීම නිසා හෝ හිරිවැටීමක් ඇතිවන්නේ නම්, එහිදීත් කඩිනමින් වෛද්‍ය උපදෙස් පැතීම ඉතා වැදගත්.

කුඩා දරුවන්ටත් හිරිය ඇතිවීමේ හැකියාව තිඛෙනවාද?
ඔව් කුඩා දරුවන් හදිසි අනතුරුවලට ලක්වූ විට බොහෝ විට හිරිය ඇතිවීමේ හැකියාව ත‍ිඛෙනවා. දරුවන් පිනුම් ගැසීම වැනි ක්‍රීඩාවක නිරත වූ විට දරුවාගේ කශේරුවේ ආබාධ ඇතිවෙන්න පුළුවනි. එවිට දරුවා ඇවිදින විට පවා අපහසුතාවක් පෙන්නුම් කරනවා. ඒ දරුවාට ඇතිවන හිරිය නිසා. එසේම කුඩා දරුවන් නිතර වැටීම්වලට ලක්වෙනවා. එවැනි වැටීමකදී සුසුම්නාව අසල තෙරපීමක් ඇතිවිය හැකියි. එවිටත් දරුවාට හිරිය ඇතිවී‍මේ හැකියාව තිඛෙනවා. දරුවකු එවැනි තත්ත්වයකට මුහුණ දුන්විට වෛද්‍ය පර්යේෂණවලට යොමුකර නිවැරදි ලෙස රෝගය හඳුනා ගැනීම අවශ්‍යයි.

මුහුණේ ඇතිවන හිරියට බලපාන හේතු මොනවාද?
ප්‍රධාන වශයෙන්ම හිසේ ඇතිවන තුවාලයක් නිසා මුහුණේ හිරියක් ඇතිවීමේ හැකියාව තිඛෙනවා. එසේම හිස් කබල තුළ ඇතිවන කුඩා ගැටිති, ගෙඩි නිසාත් මුහුණේ හිරියක් ඇතිවීමේ හැකියාව තිඛෙනවා. එසේම හදිසි අනතුරකට ලක්වීම නිසා හිස් කබල ආශ්‍රිතව ඇති ස්නායුවක් අනතුරකට ලක්වූ විටත්, මුහ‍ුණේ හිරිය ඇතිවීමට ඉඩ තිඛෙනවා. "පැරටොයිඩ්" ග්‍රන්ථියේ ඇතිවන කුඩා ගෙඩි ද මුහුණේ හිරියට විශේෂයෙන්ම බලපානවා. දත් ඇන්ද ආශ්‍රිතවත් හිරිවැටීම් ඇතිවෙන්න පුළුවනි. එයට හේතුව දත් ඇන්ද ආශ්‍රිතව ඇති ස්නායුවක ගැටලුවක්. දත් ඇන්දේ ඒ තත්ත්වය නිවැරැදි ලෙස හඳුනා නොගත් විට ඇතැම් දන්ත වෛද්‍යවරු විසින් රෝගීන‍්ගේ දත් ඉවත් කරන අවස්ථාවන් ද තිඛෙනවා. බොහෝවිට එය සිදුකරන්නේ රෝගියාගේ බලවත් පෙරැත්තය නිසයි. මෙවැනි රෝගියකු ස්නායු වෛද්‍යවරයකු වෙත යොමුවන්නේ අවසානයේදී. මෙම හිරිය බොහෝවිට ඇතිවන්නේ අලුයම් කාලයේදීය. පාන්දර 2 ට 3 ට පමණ. බොහෝ රෝගීන් පවසන්නේ "මගේ අතේ හිරිය මාව පාන්දර දෙකට තුනට ඇහැරවනවා" යනුවෙන්. එසේ අලුයම අවදිවන්නේ වැරදි ඉරියව්වක නිදාගත්විට රෝගී අත වකුටුවී තිබීම නිසයි. මේ හිරිය ස්කෑන් පරීක්ෂණයකින් නිවැරදිව හඳුනා ගැනීමේ හැකියාව තිඛෙනවා. මෙම රෝගයේ අවස්ථා 3 ක් තිඛෙනවා. රෝගය පවතින්නේ එයින් මුල් අවස්ථාවේ නම් ඖෂධීය ප්‍රතිකාර රෝගියාට ලබා දෙනවා. රෝගය පවතින්නේ මධ්‍යස්ථ අවස්ථාවේ නම් ටික දිනක් ඖෂධ ලබාගෙන අඩුවක් දැනුණේ නැතිනම් ශල්‍යකර්මයක් කළ යුතු බව රෝගියාට වෛද්‍යවරයා විසින් පවසනවා. රෝගය පවතින්නේ උග්‍ර අවස්ථාවේ නම් වහාම රෝගියා ශල්‍ය කර්මයකට භාජනය කරනවා. මෙය ඉතාම සුළු ශල්‍යකර්මයක්. ශල්‍යකර්මයෙන් පසුව එදිනම රෝගියාට නිවසට යා හැකියි. ඉන්පසුව බොහෝවිට මෙම හිරිය නැවත මතු වන්නේ නෑ.

පාදවල හිරියක් ඇතිවීමට බලපාන විශේෂ හේතු තිඛෙනවාද?
පාදවල හිරියක් ඇතිවීමට විශේෂයෙන්ම බලපාන්නේ දියවැඩියාව, රුමටොයිඩ් ආතරයිටිස්, පාදවල සිදුවන කැඩුම් බිඳුම් වැනි කරුණු. ඒ හැර පාදවල හිරියට විශේෂයෙන් ම බලපාන්නේ කොන්ද ආශ්‍රිතව ඇතිවන ආබාධයි. මෙය වහාම ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්.

බොහෝ කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්නයක් වන අ‍තේ මැණික්කටුව ආශ්‍රිතව සහ අතේ ඇගිලි ආශ්‍රිතව ඇතිවන හිරියට හේතුව කුමක් ද?
ප්‍රධාන වශයෙන් ම මෙය පුද්ගලයකු වයසට යන විට ඇතිවන තත්ත්වයක්. ඊට අමතරව දෑත් අධික ලෙස වෙහෙසා වැඩ කිරීම නිසාද එම රෝගය ඇතිවීමේ හැකියාව තිඛෙනවා. රෙදි සේදීම, පොල් මිරිකීම, මැහුම් ගෙතුම් වැඩ වැනි කාර්යන්වල නිතර නිරතවී සිටින විට මෙම තත්ත්වය ඇතිවීමේ හැකියාව තිඛෙනවා. බොහෝවිට ඉහත වැඩ වැඩිපුර කරන්නේ කාන්තාවන් නිසා මෙම රෝගය බහුල කාන්තාවන් අතරයි. ඇගලුම් ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු කාන්තාවන් මෙම රෝගයට බහුලව මුහුණ දෙනවා. එසේම දුම්රියේ බස් රථවල නිතර නිතර එල්ලී ගමන් කරන පුද්ගලයින් ද මෙම රෝගයට ගොදුරු වන බව පෙනී යනවා.

ශරීරයේ හිරියක් ඇත්නම්, ඒ පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීමට සිදු කරනු ලබන වෛද්‍ය පරීක්ෂණ මොනවාද?
වෛද්‍ය පරීක්ෂණ ගණනාවක් ම තිඛෙනවා. හිරිය ගැන සෙවීමට පටන් ගන්නේ සුළු පරීක්ෂණවලින්. කිසියම් රෝගියකු වෛද්‍යවරයකු වෙත පැමිණ තම ගෙල, හිස, අත, පාද ආශ්‍රිතව හිරියක් ඇති බව පවසන්නේ නම්, පළමුව එම රෝගියා දියවැඩියාවෙන් පෙළෙන්නෙක් ද කියා සොයා බලනවා. බොහෝ රෝගීන් දන්නේ නෑ තමන්ට දියවැඩියා රෝගය ඇතැයි කියා. ඉතාම සුළු රුධිර පරීක්ෂණයකින් යමෙකු දියවැඩියාවෙන් පෙළෙන්නේ ද කියා හඳුනාගත හැකියි. බොහෝවිට එම රෝගියාට දියවැඩියාව පාලනය කිරීමට ඖෂධ ලබාදීමෙන් ඔහුගේ හිරිය නවත්වාගත හැකියි. රෝගියාගේ හිරිවැටීමට හේතුව රුමටොයිඩ් ආතරයිටිස් රෝගය ද කියා සැකයක් ඇති වූවොත් රුධිර පරීක්ෂණයකින් ඒ පිළිබඳවද නිවැරදි නිගමනයකට පැමිණිය හැකියි. එසේම ‍රෝගියාගේ ශරීරයේ තයිරොක්සින් හෝමෝන ප්‍රමාණය පිළිබඳව සෙවීමට කරනු ලබන පරීක්ෂණයකින් හිරිවැටීමට හේතුව එම හෝමෝනයේ ගැටලුවක් ද කියා හඳුනාගත හැකි වෙනවා. මෙම තත්ත්වයන්ට ඉතාම සරල ඖෂධීය ප්‍රතිකාර මගින් සම්පූර්ණ සුවය ලබා ගැනීමේ හැකියාව තිඛෙනවා. මොළය ආශ්‍රිතව ඇති කිසියම් හේතුවක් නිසා හිරිය ඇති වන්නේ යැයි අනුමාන කළොත්, එක්ස් රේ පරීක්ෂණ, සී.ටී. පරීක්ෂණ මගින් ඒ පිළිබඳවද නිවැරදිව හඳුනාගැනීමේ හැකියාව තිඛෙනවා. මොළය ආශ්‍රිතව ගෙඩියක් වැනි යමක් තිඛෙනවා ද? ස්නායුවල තෙරපුමක් තිඛෙනවාද? එසේම මොළය ආශ්‍රිතව රුධිර වහනයක් සිදුවී තිඛෙනවාද? කියා සොයා බැලීමේ හැකියාව ස්කෑන් පරීක්ෂණයකින් ලැඛෙනවා. ඊට අමතරව MRI පරීක්ෂණයක් මගින් ස්නායුවල ඇති ගැටලු හඳුනාගත හැකියි. EMG පරීක්ෂණය මගින් හිරිය ඇතිවන්නේ කුමන ස්නායුව නිසාද කියා ඉතාම නිවැරැදිව කියන්න පුළුවන්. එමෙන්ම මෙම පරීක්ෂණය මගින් අදාළ ස්නායුව ගමන් කරන ස්ථානය ද ස්නායුව තෙරපී ඇති ප්‍රමාණය ද පැහැදිලි ලෙස හඳුනාගත හැකියි.

හිරිවැටීමට බලපා ඇති ස්නායුව යථා තත්ත්වයට පත් කිරීමට ඖෂධීය ප්‍රතිකාර ප්‍රමාණවත් ද නැතිනම් ඒ සඳහා ශල්‍යකර්මයක් කළ යුතුද කියා මෙම පරීක්ෂණ මගින් තීරණය කළ හැකියි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහේෂි විෙජ්රත්න
උපුටා ගැනීම සිළුමිණ පුවත් පත ඇසුරෙනි