🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

පරිගණකය,රූපවාහිනිය ඉදිරියේ කොන්ද වකුටු කරගෙන සිටින ඔබට අත්වන ඉරණම

පරිගණකය,රූපවාහිනිය ඉදිරියේ කොන්ද වකුටු කරගෙන සිටින ඔබට අත්වන ඉරණම

අපේ ඇවතුම් පැවතුම් මොන තරම් අපට නැති ලෙඩ ඇති කරනවාද? හිතට සුව පහසුවක් දෙන බොහෝ ක්‍රියාවන් ගත දැඩි ලෙස අපහසුවට පත් කරන්නේ ඔබටත් හොර රහසේයි. බ්‍රිතාන්‍යයේ පසුගිය මාස දොළහේදී කොන්දේ වේදනාව නිසා රෝහල්ගත වුණු වයස අවුරුදු 18 -24 ත් අතර තරුණ පිරිසගේ ප්‍රතිශතය 84%කි. අයි පෑඩ් සහ අයිපොඩ් ඔවුන්ට දැඩි ලෙස කොන්දේ වේදනාව ගෙන ආ හේතූන් දෙකයි. මොවුන්ගේ වැඩි දෙනෙක් කොන්දේ පහළ කොටසේ, එනම් තුනටිය පෙදෙසේ වේදනාවට ගොදුරු වූ අයයි. දිනකට පැය හයකට වඩා පරිගණකය ඉදිරියේ වකුටු කරගත් කොන්දත් සමඟ හෝ වැරදි ඉරියව්වකින් සිටීමෙන් වැඩි දෙනෙක් විඳින දඬුවම කොන්දේ වේදනාවයි. කොන්ද පමණක් නොව බොහෝ දෙනාගේ ගෙල ද වේදනාවට පත් වෙයි. කොන්දේ ඉහළ, පහළ ආදී වශයෙන් විවිධ තැන් වැරදි ඉරියව් නිසා වේදනාවට පත් වෙයි. ඇඳ, සෝෆාව ආදී විිවිධ තැන් ඔවුන් මේ තාක්ෂණික හිත මිතුරාට සමීප වී සිටීමට යොදා ගනිති. එපමණක් නොව රූපවාහිනිය ද ඊට වැඩි වයස්ගත ජනතාවගේ කොන්ද වේදනාවට වගකිව යුතු බව හෙළි වී තිබේ. වැඩිහිටියන්, දරුවන්ට කුඩා වියේ සිට කෙළින් සිට ගැනීමට, කෙළින් වාඩි වීමට උපදෙස් ලබා නොදෙන්නේ ඔවුනට ද එම වැදගත් පුරුද්ද ගැන මතකයක් නැති නිසයි. අවවාදයට වඩා ආදර්ශය උතුම්ය. එහෙත් තාක්ෂණික ලෝකයේ ආදර්ශය මෙන්ම අවවාදය ද ගිලිහීයමින් පවතී. කොන්දේ වේදනාවට අමතරව තවත් බොහෝ ගැටලුවලට මේ නව තාක්ෂණය හේතුවෙයි. ගමනක් යාමේදී වමනය, කරකැවිල්ල, ඔක්කාරය වැනි ශාරීරික සමතුලිතතාව බිඳ වැටී ඇතිවන අපහසුතාවන්ට ප්‍රධාන හේතුවක් ලෙස විද්‍යාඥයෝ ස්මාට් ෆෝන්, ත්‍රිමාන චිත්‍රපට සහ පරිගණක ක්‍රීඩා හඳුන්වති. එය විසි එක් වැනි සියවසේ ප්‍රබල ගැටලුවක් බවට පත්වනු ඇති බව ඔවුන්ගේ මතයයි. ත්‍රිමාන දර්ශන නූතන මානවයාගේ වඩාත් සිත් ගත් දසුන්ය. මීට අමතරව තවත් බොහෝ කරුණු කොන්දේ වේදනාවට බලපායි.


ක්ෂණික ආහාර පමණට වඩා ගැනීම :

අහිතකර ආහාර රටාව ඔබේ බර වැඩි කරයි. කොන්දට වැඩි පීඩනයක් එල්ල වෙයි. කොන්දේ වේදනා ඇති වෙයි. ඔස්ටියෝපොරෝසිස් අවදානම ද ඉහළ නැංවෙයි. බර අඩු කර ගැනීමෙන් බර වැඩි කෙනෙකුගේ කොන්දට ලැඛෙන සහනය අප්‍රමාණය.


පරණ මෙට්ටයක නිදා ගැනීම :

මෙට්ටයක් හොඳ මට්ටමින් පවතින්නේ අවුරුදු 8 -10 ක් පමණි. එතරම් රළුත් නැති එතරම් මෘදුත් නැති මෙට්ටයක් අලුත් මෙට්ටය ලෙසින් තෝරා ගන්න. මෙට්ටයක් පැරණි වනවිට ගිලෙන නැවක් වාගෙයි. ඔබේ කොන්දම ගිල ගනී.


විශාල බෑගයක් රැගෙන යාම :

විශාල බෑගයක් රැගෙන යාම අද කාලයේ විලාසිතාවයි. එහෙත් මෙයින් උරහිසට, කොන්දට, සිරුරේ සමතුලිතතාවට සිදුවන අහිතකර බලපෑම නම් සුළු පටු නැත. පුංචි අල්මාරියක් වගේ ඔබ කාර්යාලයට රැගෙන යන බෑගයේ බර හෑල්ලු කර නොගත්තොත් ඒ නිසා ඇතිවන ඛෙල්ලේ, කොන්දේ උරහිසේ, අතේ වේදනාව ජීවිතයටම බරක් වෙනු නිසකය. ඒ නිසා සිරුරේ බරට ගැලපෙන ලෙස බෑගයේ බර පවත්වා ගන්න.


ආතතිය නිසා මාංශපේශීන් හැකිළෙයි :

මාංශපේශීන්වලට ද ආතතියක් ඇතිවෙයි. දිගින් දිගටම ආතතියෙන් පසුවෙද්දී මාංශපේශීන්වලට ලිහිල්වීමට ඉඩක් ලැඛෙන්නේ නැත. එවිට වේදනාව උග්‍රවෙයි. ව්‍යායාම, භාවනාව, උණුසුම් ජලය ස්නානය කිරීම, විනෝදාංශයක නිරතවීම ආතතිය අවම කළ හැකි ක්‍රමයි.


ව්‍යයාම නොකිරීම :

ව්‍යායාම කරනවිට කොන්ද ආශි‍්‍රත මාංශපේශීන්වලට මනා ව්‍යායාමයක් ලැබේ. මාංශපේශීන්වල තදගතිය අඩු වේ. මාංශපේශී දුර්වල නොවී ශක්තිමත් වේ. උදරයට සහ පිටුපස මාංශපේශීන්වලට දැනෙන ව්‍යායාම කිරීමෙන් කොඳුඇට පෙළ ද සවිමත් වෙයි. 


අඩි උස හෝ උස අඩි නැති පාවහන් පැළඳීම :

කොන්දේ අස්ථි වක්‍රයට අඩි උස පාවහන්වලින් ඇති කරන පීඩනය කොඳු ඇට සන්ධියට බලපායි. පැතලි අඩි සහිත පාවහන් ද, දෙපා වේදනාවට හේතුවෙයි. ඒ නිසා මධ්‍යස්ත උසක් ඇති පාවහන් තෝරා ගන්න. පාදයේ ස්වභාවය අනුව ගැළපෙන පාවහන් වෙනස් වෙයි. 


අසුබවාදී හැඟීම් :

කෝපය, විශාදය, ආතතිය මේ සියල්ලම සන්ධි වේදනාවට බලපායි. ඔබේ මේ අසුබවාදී හැඟීම් මාංශ පේශීන් ආතතියට, සන්ධි වේදනාවට බලපාන බව කොහෙත්ම නොසිතන්නට ඇත. එහෙත් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ එයයි.


දවස පුරාම සිටගෙන සිටීම :

කාර්යාලයේ සේවයේ නියුතු බොහෝ දෙනෙකුට පුටුවෙන් මොහොතකට නැඟිට යාම අලස ක්‍රියාවකි. නවීන පන්නයේ පුටු නිසා තැනින් තැනට ඇදගෙන යාමට හැකිවීම කම්මැලි සිතට තටු ඒමකි. පරිගණකය ඉදිරියේ දවස පුරාම ඉඳගෙන සිටිද්දී හෝ ඉඳගෙන යමක් කිරීමේදී ක්‍රියාකාරී නොවීම හේතුකොට ගෙන මාංශපේශීන් දුර්වල වේ. ඒ වාගේම සිටගෙන සිටියදීට වඩා ඉඳගෙන සිටියදී කොඳු ඇට පෙළට වැඩි පීඩනයක් එල්ල වේ. මේ නිසා වරින් වර නැඟිටින්න. නැඟිට්ට විට කොන්ද ද හිස සමඟ කෙලින් තබා ගැනීමට මතක තබා ගන්න. 

උපුටා ගැනීම දිනමිණ පුවත් පත