🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මල්වර වූ දියණියගේ මාස් ශුද්ධිය පමා වුණාට කලබල වෙන්න එපා

මල්වර වූ දියණියගේ මාස් ශුද්ධිය පමා වුණාට කලබල වෙන්න එපා

ළමා වියේ කෙළි‍ දෙලෙන් පසු වූ ඔබේ සිඟිති දියණිය හිටි ගමන් කැපී පෙනෙන ලෙස උස ගිහින්. මුහුණ ඇඟපත පාට වැටිලා. වෙනදාට වඩා වේලාවක් කැටපත ඉදිරියේ එහාට මෙහාට හැරෙමින් හැඩ බලනවා. තනියම හිනා වෙනවා. දවසකට දහ වතාවක් කොණ්ඩෙ පීරනවා. යසට හිටපු පුංචි පැංචිට හිටපු ගමන් සිද්ධ වුණු මේ විපිරියාසෙ මොකක්ද කියලා අම්මා කලබල වෙලා. වෙනදට වඩා හොඳට ඇහැ ගහගෙන ඉන්න ඕනෑ කියලා හිතලා පුංචි දෝනිට දහසකුත් එකක් තහංචි පනවනවා. මේ තහංචි දරාගන්න බැරි වුණාම පුංචි දෝනි හිතුවක්කාර වෙනවා. යොවුන් වියේ දූ දරුවන් ඉන්න මවුපියන්ට මුහුණ පාන්නට සිදුවන ගැටලුවක් ඒ. ඇත්තෙන් ම එය ගැටලුවක් බවට පත් කර ගතයුතු තත්ත්වයක් නොවෙයි. ළදරු වියේ සිට වයස අවුරුදු දහය පමණ වන තුරු ගැහැනු පිරිමි ළමයින් දෙපිරිසගේ ම ශාරීරික හා මානසික වර්ධනය සිදුවන්නේ බොහෝ දුරට ඒකාකාරයෙන්. වයස අවුරුදු 10 - 19 අතර කාලය යෞවන අවධියයි. ඒ වයසට පත් වෙන විට පිරිමි ගැහැනු දෙපාර්ශ්වයේ ම ද්විතීයික ලිංගික ලක්ෂණ ගැහැනු දෙපාර්ශ්වයේ ම ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වන්නට පටන් ගන්නවා. පිරිමි ළමයින් වැඩිහිටි පිරිමියකු බවට පත්වීමේත් දැරියන් වැඩිහිටි කතක් මෙන් ම මවක් වීමේ මූලික අඩිතාලම සකස් වන්නේත් යොවුන් වියේදීයි. පිරිමි ළමුන්ගේ දැළි රැවුල් මතු වීම, කටහඬ ගොරෝසු වීම කිහිලි හා ලිංගික අවයව ආශ්‍රිතව රෝම කූප වර්ධනය සිදු වෙනවා. දැරියකගේ පියයුරු ඉදිරියට නෙරා ඒම කිහිලි හා ලිංගික අවයව අසල රෝම කූප වර්ධනය හා ඔසප් චක්‍රය ආරම්භ වීම ද්විතීයික ලිංගික ලක්ෂණ ලෙස හැඳින්වෙනවා. මෙසේ ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වන්නේ දැරියන්ගේ මොළයේ පිටියුටරි ග්‍රන්ථියේ නිපදවෙන වෙනත් හෝමෝනවල බලපෑම මගින් ඩිම්බකෝෂ, උත්තේජනය කරනු ලැබීමෙන්. ඩිම්බ කෝෂයේ ඩිම්බ වර්ධනයත් සමඟම ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වෙනවා. දැරියන් කෙරෙන් ඉහත සඳහන් කළ වෙනස්කම් දිස්වන්නේ මෙම හේතුව නිසයි. පිටියුටරි ග්‍රන්ථියෙන් නිපදවන ඊස්ට්‍රජන් හෝමෝනය නිසා කාන්තා ලක්ෂණ පහළ වීමත් කාන්තාවක සේ සිතන්නට පතන්නට පටන් ගැනීමත් සිදුවෙනවා. ඒ කාලෙට දැරියක තම රුව ගැන වෙහෙසෙන්නේ, විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය වන්නේ මේ මානසික වෙනස්කම් හේතුවෙන්.

මල්වර වීම නැත්නම් වැඩිවියට පත්වීම යනුවෙන් අදහස් කරන්නේ මුල් වරට දැරියකගේ ඔසප් චක්‍රය ආරම්භ වීමයි. ශුද්ධවීම ආරම්භයේදී ඩිම්බ මෝචනය ක්‍රමවත්ව සිදු නොවීමට ඉඩ තිබේ. වර්තමානයේ ඇතැම් දැරියක වයස අවුරුදු 8 - 9 වැනි කුඩා කාලයේදී ම මල්වර වෙයි. මෙවැනි අවස්ථාවල පළමු මාස් ශුද්ධිය ඇති වී මාස 5 - 6 හෝ වසරක් දෙකක් පමණ වන තුරු මාස් ශුද්ධිය ඇති නොවේ. එවැනි අවස්ථාවල දැරියන් මෙන් ම මවුපියෝ ද කලබලයට පත් වෙති. එහෙත් එය කලබල විය යුතු නැති සාමාන්‍ය සිද්ධියකි. මෙය රෝගී තත්ත්වයක් නොවන අතර ඒ සඳහා ඛෙහෙත් අවශ්‍ය වන්නේ නැත. එවැනි දැරියන් වයසින් වැඩෙන විට වයස අවුරුදු 17 - 18 - 19 පමණ වන විට ඔසප් චක්‍රය ක්‍රමවත්වේ. වැඩිවියපත් දියණියක ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වන ඇතැම් අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් පැතීමට සිදුවේ. එවැනි අවස්ථා වන්නේ අවුරුදු 14 වනතුරුත් ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ නොවූ විට හෝ ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වුවත් වයස අවුරුදු 17 පමණ වීත් ඔසප් චක්‍රය ආරම්භ නොවන අවස්ථාවේත් ය. වයස අවුරුදු 11 - 12 පසු වී ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වී ශුද්ධ වීමක් නැතිවම උදරයේ වේදනාවක් ඇති වේ නම් අනිවාර්යයෙන් ම වෛද්‍ය උපදෙස් පැතිය යුතු ය. එම තත්ත්වයට හේතු වන්නේ ගනකම් වූ කන්‍යා පටලයක් හෝ යෝනි මාර්ගයේ ඇති විවිධ අංග විකලතා නිසා ගර්භාෂය තුළ ඇතිවන රුධිර වහනය පිටතට ගලා නොඒමයි.

ඔසප් වේදනාව හා ඒ ආශ්‍රිත ගැටලු කිහිපයකි. 

ඇතැම් විට ඔසප් වීමේදී දින ගණනාවක් පුරා ම දැරියගේ සිරුරෙන් රුධිරය පිටවේ. මෙවැනි අවස්ථාවලද වෛද්‍ය උපදෙස් පැතිය යුතු වේ. ඇතැම් විට දැරියන් ගේ ගර්භාෂය තුළ ඇති හෝමෝනවල වෙනස්කම් හා ගර්භාෂය තුළ ඇති ලේ කැටි එළියට එනු පිණිස ගර්භාෂය සංකෝචනය වීම නිසා ද උදරයේ වේදනාවක් ඇති වේ. ඇතැම් විට ප්‍රොස්ටොග්ලැන්ඩින් ස්ථරයේ ඇති හෝමෝනවල අසමතුලිතතාවය හේතුවෙන් ද වේදනාවක් ඇතිවේ. මෙම අවස්ථා දෙකේදීම දෛනික වැඩකටයුතු කරගැනීමට අපහසු වෙන තරම් වේදනාව උග්‍රවේ නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතු ය. එම තත්ත්වය සඳහා ඖෂධ ලබා ගත යුත්තේ අවම වශයෙනි. එම ඖෂධ ශුද්ධ වීමට දිනකට ප්‍රථම ගත යුතු ය. සාමාන්‍යයෙන් ඒ සඳහා වෛද්‍යවරුන් භාවිතා කරන්නේ හෝමෝන නොවන වේදනා නාශක ය. මේවායෙන් වේදනාව සුව නොවුණහොත් උපත් පාලන පෙති වැනි හෝමෝන වර්ග භාවිතා කැරේ. මෙම ඛෙහෙත් වෛද්‍ය උපදෙස් මත පමණක් ලබාගත යුතු ය. කොතරම් කලක් ‍ඒවා ලබා දිය යුතු ද යන්න වෛද්‍යවරයා තීරණය කරනු ඇත.‍ ශුද්ධ වීම් දෙකක් අතර ඇතිවන පරතරය දිගු වීම ද ඇතැම් අය ගැටලුවක් සේ සලකති. ආරම්භක කාලයේ ශුද්ධවීම් දෙකක් අතර කාලය මාස 7 - 8 ක් පමණ ප්‍රමාද වුවත් එය රෝගී තත්ත්වයක් නොවේ. සති දෙකකට වැඩි කලක් අඛණ්ඩව රුධිරය පිටවීම මෙන් ම ශුද්ධ වීම් දෙකක් අතර අපිළිවෙළට රුධිරය වහනය වෙන අවස්ථාවලද වෛද්‍ය උපදෙස් පැතිය යුතු ය. අධික ලෙස රුධිරය පිටවීමෙන් ශරීරය දුර්වල වීම මෙන් ම රක්ත හීනතාවට ගොදුරු වීමට ද ඉඩ තිබේ. මෙම තත්වය යටතේ හුස්ම ගැනීමට අපහසුවීම, කල්පනා ශක්තිය අඩු වීම, අවධානය අඩු වීම මෙන් ම දෛනික වැඩකටයුතුවල යෙදීමට නොහැකි වීමට ද ඉඩ තිබේ. යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවීම ද සලකා බැලිය යුතු තත්ත්වයකි. සාමාන්‍යයෙන් දුගඳ නැති අවර්ණ හෝ සුදු පැහැයට හුරු ශ්‍රාවයක් පිටවීම රෝග තත්ත්වයක් නොවේ. එහෙත් දුගඳින් යුතු කහ දුඹුරු හෝ කොළ පැහැති ශ්‍රාවයක් පිටවීම, කිරි කැටිති වැනි ශ්‍රාවයක් පිටවීම හෝ යෝනි මාර්ගය අවට කැසීම හෝ තුවාල ඇති වේ නම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතු ය. අයහපත් යෝනි ශ්‍රාවයන් පිට වීමට ප්‍රධාන හේතුවක් වන්නේ දිලීර ආසාදන වේ. දිලීර යනු යෝනි මාර්ගයේ සාමාන්‍යයෙන් ජීවත්වන ජීවියෙකි. යෝනි මාර්ගයෙහි ක්ෂුද්‍ර ජීවීන් ගේ සංකලනයක් පවතී. ඒ අතර ලැක්ටො බැසිලි නම් ක්ෂුද්‍ර ජීවීහු වැඩිපුර වෙසෙති. ලැක්ටොබැසිලි විසින් යෝනි මාර්ගයෙහි වෙසෙන සෙසු සියලු ම ක්ෂුද්‍ර ජීවීහු පාලනය කරනු ලබති. එවිට දිලීර ආසාදන ඇති නොවේ. කිසියම් අවස්ථාවක යමකු ගේ ප්‍රතිශක්තිය හීන වූ අවස්ථාවල එනම් උණ වෛරස් උණ හෝ වෙනත් ඕනෑම රෝගයක් ඇතිවී ප්‍රතිශක්තිය අඩු වූ අවස්ථාවක ලැක්ටෝබැසිල අඩු වී සෙසු දිලීර වර්ධනය වීමෙන් ආසාදන ඇතිවේ. එවැනි අවස්ථාවල ඛෙහෙත් ලබා දීමෙන් රෝගය පාලනය කළ හැකි ය.

යොවුන් දැරියන්ගේ සිතට මෙන් ම ගතට ද වද දෙන තවත් කරුණක් වන්නේ කුරුලෑ මතු වීම ය. ශරීරයේ ඇතිවන හෝමෝනවල වෙනස්කම් හා එක් එක් දැරියගේ ශරීරයේ ස්වභාවය හා ජානවල බලපෑම අනුව කුරුලෑ ඇතිවේ. කුරුලෑ ඒම පාලනය කර ගැනීම සඳහා පිරිසුදු හමක් පවත්වා ගැනීම පිරිසුදු කාරක හෝ ඖෂධ භාවිතා කළ හැකි ය. අධික ලෙස කුරුලෑ හැදෙන විට සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු ගෙන් උපදෙස් ලබා ගැනීම වඩා සුදුසු ය. වයසට හා උසට සරිලන පමණට වඩා මහත්වීම තෙල් සහිත සමක් පැවතීම ද ඒ තත්ත්වයට හේතු වේ. ස්ථුලතාව හෙවත් අධිබර මද සරු භාවයට ද හේතු වන හෙයින් ස්ථුලතාවෙන් වැළකී සිටීම ද යහපත් සෞඛ්‍ය තත්ත්වයකට හේතු වෙයි. යොවුන් වියේ දී දියණිය සිරුරින් ශීඝ්‍ර වර්ධනයක් දක්වයි. මානසිකව ද වර්ධනය වෙයි. එහෙත් ශාරීරිකව මෙන් ම මානසික වද ඇය ගර්භයක් දරා සිටීමට තරම් මෝරා නැත. යොවුන් වියේ පෙම් සබඳතා හේතුවෙන් යෞවනියක ගැබ් ගත හොත් ඇගේ දරුවාට නිසි පෝෂණය ලබාදීමට, දරු ගැබ ශක්තිමත්ව දරා සිටීමට හෝ උපතින් පසු දරුවාට මවු කිරි දෙමින් ඔහු පෝෂණය කිරීමට ඇය කායිකව මෙන් ම මානසිකව ද සූදානම් නැති හෙයින් අඩු බර දරු උපත්, මළ දරු උපත් හෝ විවිධ රෝග තත්ත්වවලින් යුතු දරුවන් බිහිවීමට ඉඩ තිබේ. ප්‍රසූතියේදී ඇතිවන අධික රුධිර වහනය වැනි තත්ත්ව ඇතැම්විට මාරාන්තිකය. එහෙයින් ඔබේ දියණියගේ යෞවනය සැබෑ සුන්දර අත්දැකීමක් බවට පත් කරන්නට මවුපිය වැඩිහිටි ‍ඔබගේ සහය ඇයට ලබාදිය යුතු ය. ඒ වයසේ දරුවන්ගේ මනසට ඔරොත්තු දෙන තරමින් ඔවුන්ට නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබාදිය යුතු ය. ඒ සඳහා පුහුණු ගුරුවරුන් වැනි සුදුසු පුද්ගලයන් ගේ සහය ලබාගැනීම වැදගත් වන්නේ සාවද්‍ය ලෙස කරුණු වටහා ගැනීමෙන් හා වැරැදි පුද්ගලයන් වෙත යොමු වීමෙන් ඔවුන් සිය යොවුන් වසන්තය සදාකාලිකව අඳුරු කරගැනීමට ඉඩ ඇති හෙයිනි.

උපුටා ගැනීම සිළුමිණ පුවත් පත