🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ටෙ‍්‍රන්ඩ් එකට ස්ලිම් වෙන්න ගිහින් අපරාදෙ ලෙඩ වෙනවා

ටෙ‍්‍රන්ඩ් එකට ස්ලිම් වෙන්න ගිහින් අපරාදෙ ලෙඩ වෙනවා

කෙට්ටුවීමට දරන මහන්සිය නිසා මානසික රෝග ඇතිවෙන්නත් පුළුවන් දිගින් දිගටම ආහාර පාලනය කරන විට පසුකලෙක එය මානසික රෝගයක් බවට පත්විය හැකි බව ඔබ දන්නවාද?. රූමත් වීමේ අරමුණෙන් ආහාර පාලනය කරන වයස අවුරුදු 14 - 17 අතර යුවතියන් තරුණ වියට එළඹෙන විට "ඇනොරෙක්සියා නර්වෝසා" නම් මානසික රෝගයට ගොදුරු වෙන්නට පුළුවන්. මෙහි රෝග ලක්ෂණය වන්නේ තමන් කොපමණ කෙට්ටු වුවත් මහත වැඩී යනුවෙන් හැමවිටම සිතෙන්නට වීමයි. එවැනි යුවතියන් කවුරු කීවත් කෑම කන්නේ අඩුවෙන්. කෑම ප්‍රමාණය හොඳටම අඩු කරන විට ඔවුන්ගේ දෛනික කටයුතු කර ගන්නට තරම්වත් ඇඟට පණ නෑ. දවසම නිදිමතයි. පාඩම් කරන්නට බෑ. මතක හිටින්නේ නෑ. ඔසප් චක්‍රයේ අක්‍රමිකතා ඇතිවෙනවා. ඇඟ සුදුමැලි වෙනවා. ශරීර උෂ්ණත්වය පහළ බහිනවා. මේ රෝග ලක්ෂණ උග්‍රවීමෙන් කලාතුරකින් කෙනෙක් මිය යන්නට පවා පුළුවන්. අද කාලේ තරුණියන්ගේ ටේ‍රන්ඩ් එකල නැත්නම් මෝස්තරේ සිහින් සිරුරක් පවත්වා ගැනීම. පිරිපුන් අඟපසඟින් යුතු තරුණිය ලස්සනයි කිව්වෙ ඉස්සර. දැන් කාලෙ තරුණයො බඳින්න හොයන්නෙ සිහින් සිරුරැති තරුණියන්. ඒ තියා කොල්ලො යාළුවෙන්න හොයන්නෙත් කෙට්ටු කෙල්ලො.

කෙට්ටු කෙල්ලන්ට මොකක්ද මේ තියෙන ඉල්ලුම ?

අද කාලෙ කොල්ලො කෙල්ලො ජීවත් වෙන්නේ අන්තර්ජාල මෝස්තර ලෝකෙක. ඔවුන් චිත්‍රපට නරඹන්නේ අන්තර් ජාලයෙන්. සින්දු අහන්නේ, ක්‍රීඩා තරග නරඹන්නේ. චිත්‍රපට බලන්නේ, ප්‍රේම කරන්නෙ අන්තර්ජාලයෙන්. අන්තර් ජාතික තලයේ නළු නිළියන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, සිනමා නළු නිළියන් ඔවුන්ගේ ලෝකයේ වීරයන් බවට පත් වෙලා. අද කාලෙ කෙල්ලන්ගේ සිහින ලෝකෙ රජ වෙලා ඉන්නේ කේට් මිඩ්ල්ටන්, මෝස්තර නිරූපිකාවන් හින්දි සිනමා නිළියන් වැනි චරිත. සිහින් සිරුරක් හදාගන්න අපේ රටේ යෞවනියන් දැන් සැරසෙන්නේ පුංචි කාලෙ පටන්මයි. සිහින් සිරුරක් තබාගෙන හැඩට වැඩට සිටීම ඉතාම හොඳයි. ඒත් කෙට්ටු වූ තරමටම ලස්සනයි කියලා හිතනවා නම් ඒක ලොකු මුළාවක්. කෙට්ටු අයට ලෙඩ අඩුයි කියලා සමාජයේ පවතින මතයෙහි යම් සත්‍යාසත්‍යතාවක් තිබෙනවා.

ඒත් පමණට වඩා කෙට්ටු වීම ලෙඩ ගොඩකට මුල් වන බව ඔබ දන්නවා ද?

නිරෝගී සිරුරකට උරුමකම් කියන්නට සැරසෙන්නට ඕනෑ දරුවා පුංචි කාලෙ පටන්මයි. උපතේ පටන්ම අධි පෝෂණයට හෝ මන්ද පෝෂණයට ගොදුරු නොවන පරිදි දරුවා හදා වඩා ගන්නට මවුවරුන් දැනගන්නට ඕනෑ. සිඟිති දියණිය අනාගතයේදී නිරෝගී රූමත් තරුණියක බවට පත්වනු දකින්නට නම් ඔවුන් ගන්නා ආහාරපාන ගැන පුංචි කාලෙ පටන්ම මවුවරුන් වගේම දියණිවරුනුත් හිතට ගන්නට ඕනැ. ලංකාවේ උපදින නිරෝගී දරුවකුගේ සාමාන්‍ය උපත් බර කිලෝ ග්රෑම් 2.8 ක් පමණ විය යුතුයි. එය දළ වශයෙන් කිලෝ ග්රෑ්ම් 2.5 - 3.5 අතර බරක්. උපතින් මාස පහක් ඇතුළත දරුවා ගේ බර දෙගුණයක් විය යුතු අතර වසරක් ඇතුළත උපත් බර තෙගුණයක් විය යුතුයි. ඉන් පසුව එළැඹෙන වසර 6 - 8 දක්වා දරුවාගේ බර වැඩිවන්නේ අඩු වේගයකින්. ක්‍රමානුකූලවයි. දැරියක මල්වර වීමට පෙර එනම් අවුරුදු 10 ට ආසන්න කාලයේ දී සිරුරෙහි ශාරීරික හා මානසික වෙනස්කම් රාශියක් සිදු වෙනවා. මේ වයසේ දූ පුතුන්ගේ ආහාර ගැනීමේ රටාව ගැන මවුපියන්ගේ අවධානය එතරම් යොමු වන්නේ නෑ. පුංචිම කාලේ කන්නෙ නැත්නම් දරුවට බලෙන් කෑම කවන මවුපියන් අවුරුදු 8, 9, 10 වැනි පූර්ව යොවුන් වියේ හා යොවුන් වියේ දරුවන් ගේ කෑම බීම ගැන එතරම් වෙහෙසෙන්නේ නෑ. "එයා දැන් ලොකුයිනේ තනියම කන්න පුළුවන් කියලා අවධානයෙන් බැහැර කරනවා" පවුලේ බාල දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. යෞවනෝදයේ මුල් අවදියේ දියණියගේ ගතෙහි මෙන්ම සිතේ ද ඇතිවන වෙනස්කම් නිසා දියණිය තමා ගැනම බෙහෙවින් උනන්දු වන්නට පටන් ගන්නවා. තමන්ගේ පෙනුම හැඩ වැඩ ගැන විශේෂයෙන් හිතන්නට පටන් ගන්නවා. අම්මා තාත්තට වඩා සම වයසේ යෙහෙළියන් කරන කියන දේ පිළිගන්නට, ඔවුන් අනුකරණය කරන්නට පෙලඹෙනවා. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය තමා වෙත ඇදගන්නට විලාසිතා ගැන උනන්දු වෙනවා. මුහුණේ පෙනුම, කුරුලෑ, කොණ්ඩ මෝස්තර වගේම සිරුරේ ප්‍රමාණය ගැනත් පමණට වඩා කරදර වෙනවා.

අද ලෝකේ වැඩි ඉල්ලුමක් තියෙන්නේ කෙට්ටු කෙල්ලන්ට.

ඉතින් අපේ දූලාත් නොකා නොබී කෙට්ටු වෙන්න දඟලනවා. කිසිම පදනමක් හෝ හේතුවක් නැතුව නිර්මාංශ ආහාර ගන්නට පෙලඹෙනවා. යොවුන් විය ශරීරයේ වෙනස්කම් රාශියක් සීග්‍රයෙන් සිදු වෙන අවදියක්. අවුරුදු 10 - 17 පමණ වන දරුවන්ගේ සිරුරේ පටක තවදුරටත් වර්ධනය වෙනවාග උස යෑම, දිගු අස්ථි වර්ධනය, පියයුරු වර්ධනය ඇතුළු ශරීරයේ ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීම සිදු වෙන්නේ මේ කාලේ. ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් හා ටෙස්ටිස්ටොරෝන් යන හෝමෝනවල බලපෑමෙන් ශාරීරික වෙනස්කම් වගේම ප්‍රේමය වැනි මානසික හැඟීම් පහළ වීම ද පටන් ගන්නවා. මේ කාලෙට තමන්ගේ රූපාලංකාරය ගැන හිතලා සිහින් සිරුරක් හදා ගන්නට හිතාගෙන සමබර ආහාර වේලක් නොගෙන කෑම බීම පාලනය කළ විට එය ශාරීරික වර්ධනයට මෙන්ම මානසික සෞඛ්‍යය යටත් අහිතකර ලෙස බලපානවා. කෙට්ටු වෙන්න හිතාගෙන පෝෂ්‍යදායි සමබර ආහාර ප්‍රමාණවත් තරමට නොගත්තොත් ශරීරයේ පටක වර්ධනය අඩාළ වෙනවා. උසින් වැඩි වෙන්නේ නෑ. අත් සහ පාදවල මෙන්ම කොඳු ඇට පෙළේ අස්ථි වර්ධනයත් නිසි පරිදි සිදු වන්නේ නෑ. අප ගන්නා ආහාරවලින් සිරුරේ වර්ධනයට අවශ්‍ය ප්‍රධාන පෝෂක මෙන්ම ක්ෂුද්‍ර පෝෂකත් ලැබෙනවා. ප්‍රධාන පෝෂක වන්නේ කාබෝහයිඩ්රේට් ප්‍රෝටීන් සහ තෙල් සහ මේද. ක්ෂුද්‍ර පෝෂක වන්නේ විටමින් හා ඛනිජ ලවණ. ප්‍රධාන පෝෂකවලින් ශරීරයේ පටක වර්ධනය කිරීම, ශක්තිය ලබා දීම සහ සිරුරේ උෂ්ණත්වය රැක ගැනීම කරනවා. ක්ෂුද්‍ර පෝෂක, අපේ ශරීරයේ නිෂ්පාදනය නොවන බැහැරින් ලබාගත යුතු එමෙන්ම ශරීරයේ පැවැත්ම සඳහා සුළු ප්‍රමාණවලින් වුවත් අනිවාර්යයෙන්ම ලැබිය යුතු පෝෂක කොටස්. මේවා ශරීරයේ පටක වර්ධනයට මෙන්ම එන්සෛම ක්‍රියාකාරීත්වයට බලපානවා. විටමින් හා ඛනිජ ලවණ, යකඩ හා කැල්සියම් මේ ක්ෂුද්‍ර පෝෂක ගණයට අයත් වෙනවා. යොවුන් වියේ පසුවන දරු දැරියන් ආහාර පාලනයේ දී නොකා නොබී සිටින්නේ ම මේ ක්ෂුද්‍ර පෝෂක වර්ග බහුලව අඩංගු ආහාර. ක්ෂුද්‍ර පෝෂක ප්‍රතිඔක්සිකාරක වශයෙන් ද ක්‍රියා කරන අතර එමඟින් පිළිකා සෛල වැනි සිරුරට අහිතකර සෛල නිෂ්පාදනය වළක්වාලනවා. නැවුම් එළවළුල පලා වර්ග, පලතුරු කිරි හා කිරි ආහාර, හාල්මැස්සන්, කරවල, කුඩා මාළු, බිත්තර, පියලි ධාන්‍ය හා ඇට වර්ගවල මේ ක්ෂුද්‍ර පෝෂක බහුලව තිබෙනවා. කෙට්ටු වෙන්න තැත් කරන යුවතියන් වැඩි දෙනෙක් එළවළු පලාවර්ග කොළ ධාන්‍ය හා පියලි ආහාර කන්න කැමැති නෑ. නිර්මාංශ ආහාර ගැනීමත් දැන් අලුත්ම මෝස්තරයක් බවට පත්වෙලා. හින්දි සිනමා තාරකාවන් ගේ සිහින් පැහැපත් සිරුරේ රහස නිර්මාංශ ආහාර බවයි යෞවනියන් වැඩි දෙනෙක් සිතන්නේ. රතු මස් වර්ග හා තෙල් අධික මස් මාංශ බහුලව ගැනීම ඒ තරම් හොඳ නෑ. ඒත් යෞවනයේ වැඩෙන දරුවකුට අවශ්‍ය මාංශමය ප්‍රෝටීන මස්, මාළු හා කිරි බිත්තර වැනි ආහාර මඟින් ලබා ගන්නට ඕනෑ. මාංශමය ආහාරවලින් ලැබෙන ඇමයිනෝ අම්ල විටමින් බී 12 වැනි ක්ෂුද්‍ර ‍පෝෂක නිර්මාංශ ආහාර මඟින් සෑහෙන තරම් ලබාගන්නට බෑ. කුඩා මාළු වර්ග, කිරි, බිත්තර, එළවළු හා පලා වර්ග ප්‍රමාණවත් තරම් දෛනික ආහාර වේලට එක්කර ගැනීමෙන් අධික තරබාරු සිරුරක් වෙනුවට සිහින් සෞඛ්‍යය සම්පන්න සිරුරක් ලබාගන්නට පුළුවන්. යොවුන් වියේ දී හේතුවක් නැතිව ආහාර පාලනය කොහෙත්ම සුදුසු නෑ. සිරුරට අවශ්‍ය තරම් යකඩ, කැල්සියම් හා විටමින් වැනි ක්ෂුද්‍ර පෝෂක නැතිවීමෙන් යොවුන් වියේ පටන්ම ඔබ විවිධ රෝගාබාධවලට ගොදුරු වෙන්නට පුළුවන්.

යකඩ ඌණතාවය හේතුවෙන් රක්ත හීනතාවට ගොදුරු වෙනවා.

එවිට ශරීරයේ සහ මුහුණේ ඇතිවන සුදුමැලි පාටට ‘සුදු වෙලා’ යැයි රැවටෙන්නට එපාග සුදුමැලි පාට සහ පැහැපත් බව අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. සුදුමැලි දරුවන් සම වයසේ සෙසු දරු දැරියන්ට වඩා ක්‍රියාශීලී බවෙන් අඩුයි. ඔවුන්ට දවල් කාලෙත් නිදිමතයි. ඉක්මනින්ම විඩාපත් වෙනවා. පාසල් වැඩ වගේම තමාගේ වැඩ ගැනත් ඇති උනන්දුව හීන වෙනවා. මතක ශක්තිය අඩු වෙනවා. කැල්සියම් ඌණතාව නිසා අස්ථි වර්ධනය අඩාළ වෙනවා. අකලට හිසකේ ගැලවී යනවා. දත්වල රෝග ඇති වෙනවා. ක්ෂුද්‍ර පෝෂක අඩුවීම නිසා ශරිරයේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. නිතරම ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. ඇතැම් ක්ෂුද්‍ර පෝෂක අපේ ශරීරය තුළ ස්වයංක්‍රීයව නිපදවෙන විෂ ද්‍රව්‍ය සිරුරින් බැහැර කිරීමට උපකාර වෙනවාග ක්ෂුද්‍ර පෝෂක නොලැබීමෙන් අපේ සිරුර තුළ ඇති වන මේ විෂ ද්‍රව්‍යයද සිරුර තුළ කලක් පැවතීමෙන් සිරුරේ යම් යම් ස්ථානවල පිළිකා ඇති ‍වෙන්න පුළුවන්.

කෙට්ටු වෙන්න හිතාගෙන ඩයට් කරන යෞවනියන් මුහුණපාන තවත් ගැටලුවක් වන්නේ මලබද්ධය.

එළවළු පලතුරු හා කෙඳි සහිත ආහාර ප්‍රමාණවත් තරමින් නොගත් විට මලබද්ධය ඇති වෙනවා. මලබද්ධය තවත් රෝගාබාධ ගණනාවකට මුල් වෙනවා. මහත්වෙයි කියලා බයේ බත් හෝ ධාන්‍ය වර්ග කන්නේ නැති අපේ ළමයින් කන්නෙ බොන්නේ රෝල්ස් කට්ලට්ස්, පැටිස්, බිස්කට් ‍වගේ කෙටි ආහාර. බොන්නේ කොකාකෝලාල ෆැන්ටා වැනි බීම වර්ග. ස්වභාවික එළවුළු පලතුරුවලින් ලැබෙන විටමින් හා ඛනිජ ලවන වෙනුවට කෘත්‍රීම රසකාරක හා වර්ණක යෙදූ පාන වර්ගල ශක්තිජනක පාන වර්ග බොන්නට යොවුන් පිරිස කැමතියි. මේවා සිරුරට අහිතකර රෝගකාරක ආහාරපාන. තෙල්, සීනි සහ ලුණු අධික ආහාර ගැනීම අනාගතයේ දී දියවැඩියාව ප්‍රෙෂර් හා කොලෙස්ටරෝල් වැඩි වීමටත්, පිළිකා ඇතිවීමටත් හේතු වෙනවා.

දිගින් දිගටම ආහාර පාලනය කරන විට පසුකලෙක එය මානසික රෝගයක් බවට පත්විය හැකි බව ඔබ දන්නවාද?

රූමත් වීමේ අරමුණෙන් ආහාර පාලනය කරන වයස අවුරුදු 14 - 17 අතර යුවතියන් තරුණ වියට එළඹෙන විට "ඇනොරෙක්සියා නර්වෝසා" නම් මානසික රෝගයට ගොදුරු වෙන්නට පුළුවන්. මෙහි රෝග ලක්ෂණය වන්නේ තමන් කොපමණ කෘශ වුවත් "මහත වැඩී" යනුවෙන් හැමවිටම සිතෙන්නට වීමයි. එවැනි යුවතියන් කවුරු කීවත් කෑම කන්නේ අඩුවෙන්. කෑම ප්‍රමාණය හොඳටම අඩු කරන විට ඔවුන්ගේ දෛනික කටයුතු කර ගන්නට තරම්වත් ඇඟට පණ නෑ. දවසම නිදිමතයි. පාඩම් කරන්නට බෑ. මතක හිටින්නේ නෑග ඔසප් චක්රතයේ අක්‍රමිකතා ඇතිවෙනවා. ඇඟ සුදුමැලි වෙනවා. ශරීර උෂ්ණත්වය පහළ බහිනවා. මේ රෝග ලක්ෂණ උග්‍රවීමෙන් කලාතුරකින් කෙනෙක් මියයන්නට පවා පුළුවන්. ආහාර ගත් ප්‍රමාණය වැඩි යැයි සිතා ස්වෝත්සාහයෙන්ම වෙර දරා වමනය කරන යුවතියන් ද සිටිනවා. එය ද රෝගී තත්ත්වයක්. එය "බුලීමියාව" යනුවෙන් හඳුන්වනවා. එවැනි මානසික රෝගවලට ගොදුරුවන දැරියන් සුවපත් කිරීමට ඉතා අපහසුයි. අධ්‍යාපනය සහ අනාගත සැලසුම් උදෙසා කැප කළ යුතු හොඳම කාලය එලෙස අනවශ්‍යය ලෙස රුව වැඩුම උදෙසා කැප කිරීමෙන් යෞවනයේ සුන්දරත්වය සැහැල්ලුව මෙන්ම අනාගත පැතුම් ද විනාශයට පත් වෙනවා.

මත්ද්‍රව්‍යය, මත්වතුර හෝ අයහපත් මිතුරු ඇසුරට යොමු වීමෙන් ඔවුන් ජීවිතය වරද්දා ගන්නවා. පමණට වඩා රූපය ගැන උනන්දු වෙන යුවතියන් නිසිකලට පෙර ප්‍රේම මායා දැලේ පැටලෙනවා. අධ්‍යාපනය කඩාකප්පල් කර ගන්නවා. අඩු වයසින් ගැබ් ගන්නවා. ගබ්සාවලට ලක්වෙනවා. පමණට වඩා කෘශ යුවතියක් සෞඛ්‍යය සම්පන්න වන්නේ නෑග ඇය ඔසප් චක්‍රයේදී සිදුවන රුධිර වහනයෙන් රක්තහීනතාවට ගොදුරු වන්නට පුළුවන්. ගර්භණී සමයේ දී කුස තුළ වැඩෙන දරුවාගේ පෝෂණයට අවශ්‍යය තරම් පෝෂණයක් ඈ සතු වන්නේ නෑ. එවැනි අයට නොමේරූ දරු උපත් ගබ්සා සිදුවීම මෙන්ම විවිධ ඌණතා සහිත දරුවන් උපදින්නට පුළුවන්. උපන් දරුවා මවුකිරෙන් පෝෂණය කරන්නට ඈ අපොහොසත් වේවි. එපමණක් නොවෙයි නිසි කලට ‍කළින් වියපත් වේවි. ඔස්ටියෝපොරෝසිස් වැනි රෝගාබාධවලට ඈ පහසුවෙන් ගොදුරු ‍වන්නට පුළුවන්. අද සුවපත් රූමත් දියණියක් හෙට දිනයේ සුවපත් රූමත් මවක් වෙනු සිකුරුයි. රූමත් බව කියන්නේ කෘශ වීම හෝ සුදුමැලි සිරුරකින් යුතු වීම නොවෙයි. වයසට සරිලන උස සහ බරින් යුතු ක්‍රියාශීලී උද්යෝගිමත් ප්‍රබෝධවත් මනසකින් යුතු දැරියක් නිරායාසයෙන්ම රූමත් තරුණියක බවට පත්වෙනවා.එබැවින් දියණියනි, මවුවරුනි, රූමත් ‍බවේ රහස නිරෝගී ප්‍රකෘතිමත් දිවිය බව සිහි තබා ගෙන කටයුතු කරන්න.

උපුටා ගැනීම සිළුමිණ පුවත්පත