🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සාර්ථක මී මැසි පාලනයක හිමි කරුවෙකු වෙමු.

සාර්ථක මී මැසි පාලනයක හිමි කරුවෙකු වෙමු.

"අම්මා පල්ලා බඹරුන් අත වරද නැති
කැලේ තිබෙන මල් බීලා උන් රැකෙති
අනුන් කරන ගොවිපලකට හානි නැති

බඹර කපන අය නරකාදියේ යති"

මේ කවියෙන් කියැවෙන පරිදි වර්තමානයේදී නම් මී වද කඩා බිද දැමීමක් අවශ්‍යවන්නේ නැත. අතිශය විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සැකසුණු මී මැසි පෙට්ටි මගින් විනාශකාරී නොවන අයුරින් පැණි රැස් කිරීමේ හැකියාවක් ඇත. ඒ පිළිබඳව කෙරෙන ක්‍රමානුකුල පෙළගැස්මක තවත් දිග හරුමකි මේ. මි මැසි පාලනය ආනන්දනීය අත්දැකීමක් කරගත් මිනිසුන්ගේ අපරිමිත උත්සාහයේ ප්‍රතිඵල ලෙස සරුසාර මී පැණි අස්වැන්නක් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට බොහෝ රටවල් සමත් වී ඇත. ප්‍රථමයෙන් මෙම විෂය ක්ෂේත්‍රයේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුයේ යුරෝපීය රටවල්ය. ශ්‍රී ලංකාවේ ආයුර්වේදීය දෙපාර්තමේන්තුව ද 1986 වසරේ සිට සිය අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය මී පැණි ගෙන්වනු ලබන්නේ ඔස්ට්‍රේලියාවෙනි. එහෙත් මේ වන විට යුරෝපය පරදා මී පැණි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වීමට අපේ ආසියාවේ ආර්ථික යෝධයා වන චීනය සමත්ව සිටී. ඒ ආභාෂය මත ශ්‍රී ලංකාව මී පැණියෙන් ස්වයංපෝෂණය කිරීම ඉලක්ක කර ගනිමිනි.

බොහෝ කලෙක සිට අප රටේ මී මැසි පාලනය ස්වයං රැකියාවක් වශයෙන් හැදින්වීම වැරදි සහගත මාර්ගෝපදේශකත්වයකි. සැබැවින්ම ශ්‍රී ලංකාව මී පැණියෙන් ස්වයංපෝෂණය කිරීම සඳහා පළමු පියවරේදී අවශ්‍ය වන්නේ ප්‍රායෝගික අත්දැකීම් සහ නවීන තාක්ෂණික දැනුමෙන් මෙන්ම විද්‍යාත්මක මෙවලම් වලින් සන්නාහ සන්නද්ධ පරිනත මී මැසි පාලකයන් 100 දෙනෙකි. ස්වයං රැකියාලාභී මී මැසි පාලනය තිඹිරි ගෙය ලෙස පරිහරණය කරමින් එම පරිසර හිතකාමී මිනිසුන් වෘත්තිමය මී මැසි පාලකයින් බවට පරිවර්තනය කිරීම මෙම ලිපිය අත්වැලක් වෙනු ඇත. ඒ නිසාම අංග සම්පුර්ණ බිඟු පාලකයෙකු වීම සඳහා අත්‍යවශ්‍ය සුදුසුකම් පිලිබඳ අවධානය යොමු කරමු.

  • ඔහු හෝ ඇය අපගේ සදාකාලික මිතුරා වූ අප හා අවට පරිසර පද්ධතීන් පිළිබඳව අවබෝධයෙන් හා සෙනෙහසින් පරිපුර්ණ කලණ මිතුරෙකු විය යුතුය.
  • අවට පරිසරයෙහි මධු ගෝචර ශාක සහිත භූමියක හිමිකරුවෙකු විය යුතුය.
  • රුචිකත්වය හා හැකියාව මත පමණක් මී මැසි පාලනයට ප්‍රවේශ විය යුතුය.
  • සෑම අවස්තාවකදීම ප්‍රායෝගික විය යුතුය.
  • තමන් අවශෝෂණය කර ගන්නා න්‍යායික දැනුම හා ප්‍රායෝගික අත්දැකීම් දශමයකුදු නොසඟවා පෙරළා සමාජයට ප්‍රධානය කරන ආදරණිය මිනිසකු විය යුතුය.
  • මේ සියල්ලටම අමතරව පුංචි එඩිතර කමකුත් තිබිය යුතුය.

ඉහත ප්‍රවේශයන් සියල්ල සපුරා ගන්නා ආධුනික බිඟු පාලකයන් මුහුණදෙන ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් ඇත. මී මැසි ජනපදයක් සොයා ගැනීම හා ප්‍රායෝගික දැනුම ලබා ගැනීම ඒ අතර ප්‍රධාන වේ. ප්‍රායෝගික පුහුණු කදවුරු වලට සහභාගී වීම, නිරන්තරයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල යෙදීම, බිඟු පාලනයේ ප්‍රවීනයන් ඇසුරු කිරීම, විෂයානුබද්ධ පොත පත කියවීම හා බිඟු පාලන ක්‍රියාකාරකම් සහිත වීඩියෝ පට නැරඹීම ඒ අතර ප්‍රධාන වේ.

  • මී මැසි ජනපද අවශ්‍ය තරම් මිලදී ගැනීමේ පහසුකම හා අවස්තාවන අප රටේ ඇති නමුත් සාර්ථක මී මැසි පාලකයෙකු වීම සඳහා ස්වභාවික පරිසරයේ පිහිටි බිඟු ජනපදයක් අල්ලා ගැනීම ඉතා සාර්ථක කටයුත්තක් වේ.
  • මී මැසි පෙට්ටි මිලදී ගැනීමේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුමත කල ඒවා පමණක් මිලදී ගත යුතුය. මී මැස්සන් හැසිරවීම සඳහා පොල්මුඩු පමණක් භාවිත කල යුතු අතර, මී මැස්සන්ගෙන් ආරක්ෂා වීම සඳහා දුම් විසුරුමද අනිවාර්ය වේ.
  • මී මැස්සන් පෙට්ටි ගත කරගැනීමෙන් පසුව රැදවීම සඳහා නියමිත දිග පළලින් යුතු දැවමය කණුවක් ප්‍රතිෂ්ඨාපනය කල යුතුය. කණුවේ උස පොළෝ මට්ටමේ සිට ඉහලට අඩි දෙකක්ද, පොළොවේ අභ්‍යන්තරයට අඩි 1 1/2 ද විය යුතුය. මුදුනත ලෑල්ලේ දිග පළල අඟල් 08 x 10 ප්‍රමාණයට සකස් කල යුතුය.
මී මැස්සන් ගෙවත්තට ගෙන්වා ගැනීම :

මී මැස්සන් ගෙවත්තට ගෙන්වා ගැනීම සඳහා එම සතුන් ප්‍රිය කරන ගෝචර ශාක එනම් මල්, පුෂ්ප ශාක ගෙවත්තේ රෝපණය කල යුතුය. පැණි කාමරංගා, දෙහි, දොඩම්, අඹ, වැල් දොඩම් මෙන්ම අටපෙතියා, සීනියා හා මල් මේ සඳහා සුදුසුය. කිතුල් කොට, උණ බම්බු මෙන්ම මැටි කලගෙඩිද මී මැස්සන් ගෙන්වා ගැනීම සඳහා රුකුල් ලෙස භාවිතා කල හැකිය.

රැකුල් ඇටවීම :
මී සඳහා ඉතාම සුදුසු උපකරණය මැටි කලගෙඩි වන අතර, අලුත් හෝ පරණ කලගෙඩි මේ සඳහා සුදුසුය. තෝරාගත් කලගෙඩිය හොදින් දෙබල් බෙදුණු ගසක කට පහලට සිටින ලෙස රැදවිය යුතුය. බිම් මට්ටමේ සිට අඩි 03ත් 06ත් අතර උසක් මේ සඳහා ප්‍රමාණවත්ය. මඳ අඳුර සහ සීතල සහිත පරිසරයක වාසය කිරීමට කැමති මී මැස්සා ඉතා ඉක්මනින් පැමිණ කලගෙඩියේ නවාතැන් ගන්නවා ඇත.

උපුටා ගැනීම දියණිය.