This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
විස්තර ලුහුඩු දැන්වීම්
ගැබිනි සමය පිළිබඳ අධි විශ්වාසවල ඇත්ත නැත්ත දැන ගනිමු

මිනිස්සු තම ප්‍රඥාවට නතු කරගත නොහැකි අධි විශ්වාස විෂයන් මුල්කොට (Superstition) ඇති කර ගනිති. සමහර විට මේවා මිථ්‍යා විශ්වාස හෙවත් වැරදි විශ්වාස ලෙස හඳුන්වා දී තිබුණද ඒවා මුලුමනින්ම මිථ්‍යාවන් ලෙස ගත යුතු නැත. අපගේ ජනශ්‍රැතිය සම්බන්ධ ගැඹුරු පර්යේෂණයක යෙදුණු නන්දසේන රත්නපාල මහතා විසින් රචනා කරන ලද ජනශුැති විද්‍යාව නම් ‍පොතේ ඒවා හඳුන්වා තිබෙන්නේ “මිථයන්” ලෙසය. ‘Myths’ යන ඉංග්‍රීසි වචනයේ තේරුම ජනප්‍රවාද වෘත්තාන්ත පුරාවෘත්ත මිස මිථ්‍යා මත නොවේ. අධි විශ්වාස ලෙස පවතින දේවල්ද මිථ්‍යා ගණයෙහිමලාම බැහැර කළ හැකි ඒවා නොවේ. මන්දයත් ඒවා දෙස ගැඹුරින් බැලීමේදී ඒවා තුළ ගත යුතු වැදගත් සාධනීය අංග රැසක්ද ඇති බව පෙනී යන හෙයිනි. විශේෂයෙන්ම කාන්තාවගේ ගැබිනි කාලසීමාව හා බැඳී තිබෙන අධි විශ්වාස රාශියකි. මේ සමය සම්බන්ධයෙන් මෙතරම් අධි විශ්වාස ගොනුවීමට සමාජය තුළ ගැබිනියකට ලැබෙන විශේෂිත වූ සැලකිල්ලද හේතුවූවා විය හැකිය. ගැබිනියක යනු ජීවිත දෙකක් දරා සිටින්නියක යන හැඟීම තුළ ඇයට විශේෂිත වූ ගෞරවයක්, සැලකිල්ලක් කා තුළත් පවතී. ගැබිනි සමයේදී පිළිපැදිය යුතු බවට සැලකෙන මෙවැනි අධි විශ්වාස රැසක එකතුවක් පැරණි සමාජය තුළ මුල්බැසගෙන තිබුණේ එනිසාය. 

දොළදුක සංසිඳවීම : ගැබිනි කාන්තාවකට ඇතිවන “දොළදුක” කෙසේ හෝ සංසිඳවිය යුතුය. එසේ නොමැති වූ විට උපදින දරුවාගේ කන පැසවනවාය යන මතයක් සමාජයේ තිබේ. දොළදුක හරහා කියැවෙන්නේ එම කාන්තාවට විවිධාකාර ආහාර වර්ග රසබැලීමට උපදින ආශාවය. ආහාර මගින් සිදුකරන්නේ ඇයගේ ‍පෝෂණය ප්‍රශස්ත මට්ටමකට රැගෙන ඒමය. ගැබිනියට නිසි ‍පෝෂණයක් නොලැබුණහොත් උපදින දරුවාගේ කන පැසවීම කෙසේ වෙතත් දරුවා තුළ ‍පෝෂණ ඌනතා ඇති වී විවිධ සෞඛ්‍ය ගැටලු මතුකිරීමට හේතු විය හැක. එබැවින් එම අධි විශ්වාසය තුළද කිසියම් ගත යුත්තක් සැඟව ඇති බව ඔබට වැටහෙනු ඇත. 

ගැබිනියක බිත්තර කැඩීම අකැපය යන විශ්වාසය : මිනිස් ජීවිතවලට නිරන්තරයෙන් සම්බන්ධ න්‍යායක් ලෙස සංකේතනය (Symbolization) හඳුන්වා දිය හැකිය. සංකේතනය හැම නිතරම ජීවිතය හා මුසුකර ගැනීමේ සහජ ඇබ්බැහියක් මිනිසුන් තුළ තිබේ. ඒ ආකාරයට ගත් කල බිත්තරය යනු ජීවියෙකුගේ උපතකට තුඩු දෙන්නකි. බිත්තරයක් කැඩීම හරහා ඒ තුළ සිටින ජීවියා විනාශවීම, එය කඩන්නා තුළ වරදකාරී හැඟීමක් (Guilt Feeling) ඇති කිරීමට හේතුවෙයි. මේ ආකාරයට ඇතිවන වරදකාරී හැඟීම් මානසික සෞඛ්‍යට යහපත් වන්නේ නැත. එබැවින් එවැනි හැඟීම් ඇති නොවන ආකාරයට ඒවායින් වැළකී සිටීම සැබවින්ම ගැබිනියකගේ මානසික සෞඛ්‍යට යහපත් ලෙස බලපාන බව ඉඳුරාම කිව හැකිය. 

මකුළු දැල්, කුඹල් ගෙවල් කඩා දැමීම හොඳ නැත යන විශ්වාසය : මේ දෙවර්ගයම කිසියම් සත්ව කොට්ඨාසයකට අයත් වන වාසස්ථානයන්ය. ඒවා කඩා බිඳ දැමීම හරහා එම සතුන්ට සිදුවන හිංසාව නිසා සිත තුළ ඇතිවන වරදකාරී හැඟීම් වළක්වා ගැනීම මෙමගින් සිදුකොට තිබේ. එසේම කුඹල් ගෙයක් නිර්මාණය වී තිබෙන්නේ එම සතුන්ට ආවරණය සලසා දෙන කෝෂයක් පරිද්දෙනි. මෙම කෝෂය දරු ගැබට සමාන කර සිතීමෙන් ඒවා කඩා බිඳ නොදමා ආරක්ෂා කිරීම හරහා තම දරු ගැබද අතුරු ආන්තරාවයකින් තොරව ආරක්ෂාවේය යන සිතුවිල්ල මෙම විශ්වාසයට පදනම් වන්නට ඇත. ගැබිනි කාන්තාවන් සිටින ගෙවල්වල යක්මුහුණු, විරූපී හැඩ සහිත වෙස්මුහුණු ආදිය ප්‍රදර්ශනය කිරීම අගුණය යන විශ්වාසය මෙවැනි මුහුණු නිතර නිතර දැකීම මගින් උපදින දරුවාගේ මුහුණද ඒ ආකාරයේ විරූපී ස්වරූපයක් ගන්නා බවට විශ්වාසයක් පැරැන්නන් අතර තිබිණ. ඒ ආකාරයට විරූපී දෙයක් දැකීම එහි ස්වරූපය දරුවාගේ මුහුණට ආරූඪවේය යන්න විද්‍යාත්මකව කෙසේවත් සනාථ වන්නක් නොවේ. නමුත් එවැනි බියජනක විරූපී මුහුණු නිතර නිතර දැකීම ඇය තුළ කිසියම් තිගැස්මක් බියජනක හැඟීමක් ඇති කිරීමට හේතුවිය හැකිය. එය මානසික සෞඛ්‍යට අහිතකර ලෙස බලපා හැකිය. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙවැනි විශ්වාස නිර්මාණය වූවා විය හැකිය. මෙම විශ්වාසය වඩ වඩාත් පරිණාමය වී මේ වන විට ගැබිනියන් සිටින නිවෙස්වල ඇයට පෙනෙන පරිදි පියකරු මුහුණක් සහිත කුඩා දරුවකුගේ පින්තූර එල්ලා තැබිමක් සිදුවෙයි. තමන් ප්‍රියකරන දසුනක් නිතර දෙවේ‍ලේ නෙත ගැටීම ඇයගේ මානසික සෞඛ්‍යට යහපත් බලපෑමක් ඇතිකරන බවද සැබෑවකි. 

ගැබිනි සමයේදී කොට්ටාවල කට මැසීම හොඳ නැත යන විශ්වාසය : දරු ගැබක් දරා සිටින විට ඇතිවන මානසික, කායික වෙනස්කම් හේතුකරගෙන බාහිර සාධක තමාට ආරෝපණය කර ගැනීමක් (Self Consciousness) දැකිය හැකිය. කොට්ට උරයකට පුළුන් පුරවා සකස් කළ විට එය තමන්ගේ දරු ගැබ හා සමානව සිතීමට පෙළඹිය හැකිය. මෙය කට මසා වසා දැමීම මගින් තමාගේ දරු ගැබද වැසීගොස් දරුවා බිහිවීමට ගැටලු මතුවේය යන සිතුවිල්ලද ඒ සමගම හටගත හැකිය. එවැනි හැඟීම් වළක්වා ගැනීම සඳහා මෙවැනි විශ්වාස බිහිවූවා විය හැකිය. අලුතින් නිවෙස් සෑදීම වහලය ආවරණය කරමින් වහලය ගැසීම, වහලයක් සෙවිළි කරන විට එහි මුදුනට ලී කූඤ්ඤ ගැසීමෙන් වැළකීම සිග්මන් ‍ප්‍රොයිඩ් නිවාසයකින් නිතරම මවුකුස සංකේතනය වේය යන මතය ඉදිරිපත් වෙයි. නිවසක් ඉදිකිරීම යනු ආවාට ගියාට කළ හැක්කක් නෙවේ. ඒ සඳහා පවු‍ලේ අය එකමුතුව විශාල වැඩකොටසක් ඉටුකළ යුතුවන සාමූහික ප්‍රයත්නයකි. මෙවැනි කටයුත්තකදී නිවසේ ගැබිනියක සිටී නම් ඇය ගැන තිබෙන අවධානය බොහෝ සෙයින් අඩුවීමට හේතුවිය හැකිය. කාර්යබහුලත්වය නිසා සිදුවිය හැකි එවැනි අතපසු වීම් වළක්වා ගැනීම අලුත් නිවසක් සෑදීමෙන් වැළකීමට හේතුවිය. එසේම නිවසක් ඉදිකිරීමකදී පරිසරයට එකතුවන වැලි කුණු දූවිලි ආදිය ඇගේ සෞඛ්‍යට අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබේ. එවැනි අපහසුකම් වළක්වා ගැනීමත් මෙහි අරමුණ විය. එසේම එවිට නිවස අවට කුඩා වැඩබිමක් බවට පත්වෙයි. ගැබිනියක එහි විසීම විවිධ අනතුරුවලට ඇති සම්භාවිතාව වැඩි කරන්නකි. මේ සියලු අපහසුකම්වලින් ගැබිනිය ආරක්ෂා කළ හැකි එකම ආකාරය නම් එවැනි ව්‍යාපෘති ආරම්භ නොකර සිටීමය. “දරු බරින් නිදහස් වෙනකම් අලුතින් කිසි දෙයක් පටන් ගැනීම හොඳ නැත” යන්න පැරැන්නන් දැරූ මතයකි. එසේම එකල වහලය පල දෙකට සකස් කළ ‍පොල් අතු සෙවිළි කළ යුතුය. එක පලයක පහළම කෙළවරින් ආරම්භ කරන අලුත් අතු බැඳීම ක්‍රමයෙන් ඉහළට ගෙන යාම හරහා නිවස ආවරණය කෙරේ. අවසානයට කරන්නේ වහලයේ මුදුන බැඳ ඒ පල දෙක එකතු කරමින් ලී කෝටු ගසා ආවරණය සවිමත් කිරීමය. මෙසේ වහලයක් සම්පූර්ණයෙන් ආවරණය කිරීම, නිවසේ වෙසෙන ගැබිනියට අහිතකර ලෙස බලපෑ හැකි බවට මතයක් පැරැන්නන් තුළ විය. එබැවින් මුදුන එකතු කොට ලී කෝටු ගැසීමෙන් වැළකී සිටියේ එමගින් දරුගැබ වැඩී දරුවා බිහිවීමට බාධා වේ යැයි විශ්වාස කළ නිසාවෙනි. මෙහිදීද නිවසක් දරු ගැබට සමාන කර සිතීම මෙවැනි විශ්වාස ඇතිවීමට හේතු විය. මේ සියලුම අධි විශ්වාස හරහා සිදුවූයේ දරු ගැබක් දරා සිටින කාන්තාවට විශේෂ සැලකිල්ලක් යොමුකරමින් ඇය ආරක්ෂා කර ගැනීමට කටයුතු සලස්වාලීමය. එබැවින් මේවා කිසිදු වැදගැම්මකට නැති මිථ්‍යා විශ්වාස සහ පුහු ප්‍රලාප ලෙස බැහැර කිරීම කළ නොහැකිය. තවමත් සමාජයේ යම්තාක් දුරකට මේවා පැවැතීමම ඒවායේ ඇති හරයන් නොකියා කියාපාන්නකි. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා අංශයේ,මහාචාර්ය බි.ඒ. ටෙනිසන් පෙරේරා අවධාරණය කරයි. 

නිර්මලා කුමාරි සේනාරත්න 
උපුටා ගැනීම ලක්බිම