This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
විස්තර ලුහුඩු දැන්වීම්
තම බිරිඳ සල්ලාලයන්ට අලෙවි කිරීමට උත්සහ දැරූ තිරිසන් සැමියෙක්

සුජීවාගේ අම්මයි තාත්තයි දෙන්නම සුජීවාට අවුරුදු පහක් හයක් විතර වෙද්දිම වෙන කසාද කරගත්තා. අන්තිමේ සුජීවාගේ රැකවරණය ආච්චිට පැවරුනා. ආච්චිට සුජීවාව හදා වඩා ගන්න මුලදි නම් අම්මයි තාත්තයි දෙන්නම කීය කීය හරි දුන්නා. ඒත් පහුවෙන කොට ඒකත් නැතුව ගියා. සීයා නැති වුණාට පස්සෙ ඒ පෙන්ෂන් පඩිය හම්බ වුණේ ආච්චිට, මහ ලොකු ගාණක් නම් නමෛයි, රුපියල් අටදාස් පන්සියයක්. අන්තිමේ ආච්චි ඒ මුදලෙන් තමයි සුජීවාවත් ‍පෝෂණය කළේ. සුජීවා ඉගෙන ගත්තෙ සාමාන්‍ය පෙළ පන්තියට විතරයි. ඒත් විභාගය හරිහැටි සමත් වුණේ නම් නෑ. ආච්චිට තවදුරටත් කරදර කරන්න බැරිකමට සුජීවා එතැනින් පස්සෙ පාසල් යාම නතර කරලා දැම්මා. ඉස්කෝලෙ ගමන නවත්තලා වැඩි දවසක් ගියේ නෑ සුජීවාට ගුණසේනගෙ යෝජනාව එනකොට. මේ යෝජනාව ගෙනාවෙ ගුණසේනගෙ නැන්දා කෙනෙක්. ආච්චි මේ නැන්දාව කලින් දැනහඳුනාගෙන හිටියෙ නෑ. දුර බැහැර ඥාතියෙකුගෙ මළගෙදරක ගිය වෙලාවෙ තමයි ආච්චි මේ නැන්දාව හඳුනා ගත්තෙ. ඒ මළගෙදරට ආච්චිත් එක්ක සුජීවාත් ගියා. නැන්දා ගුණසේන ගැන කිව්වෙ අරක්කු ‍පොදක් කටේ තියන්නෙ නැති, සිගරට් එකක් ආසාවකටවත් බොන්නෙ නැති, ආණ්ඩුවෙ රස්සාවෙන් හොඳට හම්බ කරන කාර්යාල කාර්ය සහයක කෙනෙක් කියලයි. තිස් හැවිරිදි ගුණසේන සහ 17 හැවිරිදි සුජීවාගේ විවාහය කිසිම උත්සවයක් නැතුව සිද්ධ කළේ ආච්චිට ඒ වෙනුවෙන් කිසිම හැකියාවක් නොතිබුණු හින්දයි. ඒ නිසා දවෛනි ගමනක් තිබුණෙත් නෑ. නමුත් යාළුවන්ට වෙනම පාටියක් දෙන්න ගුණසේන සූදානම් කරල තිබුණා. එදා ගුණසේන මොන තරම් බිව්වාද කිව්වොත් පාන්දර තුනට විතර ගුණසේන ඇඳට ආවෙ තමන් එක්ක බිපු එවුන් හතර දෙනෙකුගෙ වාරුවෙන්. මේ වගේ අත්දැකීම් කවදාවත් සුජීවාට තිබුණෙ නෑ. ඒ නිසා සුජීවා එදා රෑ හොඳටම බය වුණා. යාළුවො ගියාට පස්සෙ කාමරේට ආපු සුජීවාට මුළු කාමරේ පුරාම දැනුනෙ අරක්කු ගඳ. අන්තිමේ සුජීවා සාලෙ පැදුරක් දාගෙන නිදා ගත්තා. වාසනාවකට ඒ පුංචි ගෙදර හිටියෙ සුජීවායි ගුණසේනයි විතරයි. ගුණසේනගේ නැන්දා කියපු තුන් වෙනි කාරණාව ඒ කියන්නෙ පියන් රස්සාව වුණත් හොඳටම හම්බු කරනවා කියපු එක මොන තරම් ඇත්තද කියලා සුජීවාට වැටහුණේ ගුණසේනම කියපු එක එක කතාවලින්. ඒ කන්තෝරුවට තමන්ගෙ රාජකාරි කරව ගන්න එන පිට මිනිස්සුන්ගෙන් ගුණසේන පුදුම විදිහට අල්ලස් ගත්තා. යට තිබුණු ෆයිල් කවරයක් උඩට අරගෙන වැඩේ ඉක්මනට කරල දෙන්න නම් අඩුම තරමේ රුපියල් පන්සීයක්වත් ගුණසේනගෙ මිට මොළවන්න ඕන. ගුණසේන ගෙදර ඇවිත් සුජීවා එක්ක මේවා කිව්වේ ලොකු හපන්කමක් කරනව වගේ. මහ උජාරුවෙන් වුණත් සුජීවා නම් හිතයටින් පුදුම විදිහට දුක්වුණා ඒ අහිංසක මිනිස්සු ගැන හිතලා. මේ මිනිහව ‍පොලීසියට අල්ලලා දෙන්න තියනවා නම් කියලත් සුජීවාට නොහිතුණා නමෛයි. ඒත් ඉතින් ගුණසේන හිරේ ගියොත් තමුන් මනෙ අමාරුවෙ වැටෙන්නෙ කියලා සුජීවා කරබාගෙන හිටියා. කිසිසේත්ම නොහිතපු විදිහට ගුණසේනගෙ වැඩ තහනම් වුණේ ඔය අතරෙදි. ඒකට හරිහැටි හේතුවක් සුජීවා දැනගෙන හිටියෙ නෑ. ගුණසේන නම් කිව්වෙ යාළුවෙක් එක්ක ‍පොඩ්ඩක් අරන් හිටියෙ, අපේ ලොකු සර්ට ඒක අහුවෙලා” කියලයි. දවසක් රෑ ගුණසේන අරක්කු බෝතල් දෙකක් එක්ක කුකුල් මස් වගයකුත් ගෙනාවා. මේවට සල්ලි කොහෙන්ද කියලා සුජීව ඇහුවට ගුණසේන කිව්වෙ යාළුවෙක් දුන්නා කියලයි. ඒ කුකුල් මස් ටික හොඳට බැදලා දෙන්න කියලත් ගුණසේන සුජීවාට නියම කළා. ලොකු කලකිරීමකින් වුණත් සුජීවා ඒක කරලා දුන්නෙ ගුණසේන එක්ක වාද විවාදවලට පැටලෙන්න තිබුණු අකැමැත්ත හින්දයි. එදා ගෙදර උයන්න සහල් ඇටයක්වත් තිබුණෙ නෑ.

සුජීවා උදේ ඉඳලම හිටියෙ පාන් කෑල්ලකින් කුස පුරවගෙන. ඒත් සුජීවා කෑවද කියල ඇහුවෙවත් සුජීවාට කන්න මොනව හරි ගෙනත් තිබුණෙවත් ගුණසේන නමෛයි. බඩගින්න ඉවසන්න බැරි කමට ගුණසේන ගෙනත් තිබුණු ලොකු මුරුක්කු පැකට් එකෙන් සුජීවා ටිකක් අරන් කෑවා. රෑ අට විතර වෙනකොට ගුණසේනයි තව යාළුවො කීප දෙනෙකුයි සාලෙ වාඩි වෙලා බොන්න පටන් ගත්තා. දැන් නම් ගුණසේන එක්ක ජීවත් වුණා ඇති කියලත් සුජීවාට හිතෙනවා. ආයෙත් වතාවක් ආච්චි ළඟට ගිහින් ජීවත් වෙන්න අන්තිමේ සුජීවා තීරණය කළා. තමන්ට දරුවෙකුත් නැති නිසා ආච්චි ළඟ ඉඳන් ගාමන්ට් එකක රස්සාවක් හරි හොයා ගන්නයි සුජීවා ඒ රෑ තීරණය කළේ. ඔය අතරෙ තමයි ගුණසේන කාමරේ දොරට තට්ටු කරන්න පටන් ගත්තෙ. මේ වෙලාවේ මොකද මේ? කියලා කේන්තියෙන් මුමුණමින් සුජීවා දොර අරිනකොටම ගුණසේන වැනි වැනී කාමරේට ඇතුල් වුණා. “අපට සල්ලි හොයා ගන්න හොඳ ක්‍රමයක් තියෙනවා. මගෙ රත්තරන් ගෑනියෙ උඹ මේකට කැමති වුණොත් අපට දවසකට හාර පන්දාහක් හොයා ගන්න පුළුවන්. අත උඩින්ම මං උඹව රජ කුමාරියක් වගේ තියා ගන්නවා” ගුණසේන කියන්නෙ මොකක්ද කියලා සුජීවාට කිසිම විදිහකින් හිතාගන්න බැරි වුණා. අන්තිමේ ගුණසේන කියපු වචන ටිකෙන් සුජීවාට දැනුනෙ අහසෙ ඉඳන් එක පාරටම ‍පොළොවට වැටුණා වගෙයි. ගුණසේන ඉල්ලා හිටියෙ එයාගෙ යාළුවොත් එක්ක සුජීවාට කායිකව එකතු වෙන්න කියලයි. උන් ලොකු ගාණක් ඒ වෙනුවෙන් දෙන්නත් ‍පොරොන්දු වුණාලු. බය ලැජ්ජාව කලකිරීම මේ හැම දේකින්ම සුජීවා එකවර පෙළෙන්න පටන් ගත්තා. අසාධ්‍ය උණ රෝගියෙකුගේ වගේ සුජීවාගේ ඇඟ ගැහෙනවා. මේ රෑ ගෝරි කරන්න ගත්තොත් අහල පහළ මිනිස්සු සේරම දැන ගන්නවා. හෙමින් සීරුවෙ ගුණසේනට සැක නොහිතෙන විදිහට ගෙදරින් පිට වෙන ක්‍රමයක් ගැන හිතද්දී සුජීවාට ගණ දෙවි නුවණ පහළ වුණා. “ඔයා කියන දේකට විරුද්ධව යන්න මට බෑනේ. හැබැයි මං ඇඟ ‍පොඩ්ඩක් හෝද ගන්න ඕනෙ.” සුජීවා කිව්වෙ බොහොම ළයාන්විත විදිහට. ගුණසේනගෙ මූණ ඉරක් පෑව්වා වගේ ආලෝකමත් වෙන හැටි සුජීවා දැක්කා. ගේ ඇතුළෙ නාන කාමරයක් තිබුණෙ නෑ. සුජීවා දිය රෙද්දක් අරන් ළිඳ ළඟට යන බව අඟවල හෙමින් සීරුවෙ පිටි පස්ස බැලුවා. ගුණසේන පේන මානෙක නෑ. හැකි වීරිය යොදල සුජීවා අල්ලපු ගෙදරට ගිහින් දොරට තට්ටු කළා. ඒ මිනිස්සු සුජීවාගේ කටහඬ අඳුනගෙන දොර ඇරියාට පස්සෙ සුජීවා හඬා වැළපෙමින් සිද්ධිය කිව්වා. “කාලකණ්ණි තිරිසනා” කියමින් ඒ ගෙදර වැඩිහිටි කාන්තාව සුජීවාව එදා රෑ ගෙදර නතර කර ගත්තා. පහුවදා මහ පාන්දරින් සුජීවා ආච්චි ළඟට ආවා. දැන් සුජීවා ගුණසේනගෙන් “වෙන් වෙන්න නඩුවක් දාලා ගාමන්ට් එකක රස්සාවට යනවා.

උපුටා ගැනීම ලක්බිම