🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ඇයත් නොදන්නිය ඇය යන මානය

ඇයත් නොදන්නිය ඇය යන මානය

ඉර ගින්දරට දහවල ගිනියම් ය. කඩිගුලක්ව ඇවිස්සුණු මිනිස් රැළට ඇස් රැවුම් කරමින් නැලැවෙමින් ඇය යන්නේ කඩිනමින් වුව ඒ ගමන ලාලිත්‍යය. ඉතින් රස්තියාදුකාර ඇසක්, බෝසත් ඇසක්, මානමාල ඇසක් ඇගේ දිග නෙත් කෙවෙනි අතරෙහි තෙරපෙන්නට තත්පරයකුත් වැඩිය. හිර බ්ලව්සයට කෝඩුකාර ලැම ඉස්සෙද්දී, රතුපාට දෙතොල් ගිනි අව්වට දිලිසෙද්දී... හික්කඩුව ජනාකීර්ණයට පසු පස මුහුද කෑගසා කියන්නේ මිත්‍යාගේ දුක වන්නට ඇත. අහම්බයෙන් දුටු රුවට එබෙන්නට වද දුන් හිත ඒ ඇැස් කෙවෙනි අස්සේ හැංගෙන්න හැදුවේ ඈ අඬවන්නට නොවේ. අපේ කෙල්ලෙක්ගේ ආත්මය මේ වෙරළේ හැපී සුනුවෙන අයුරැ ඔබට කියන්නටමය. සෙල්ලක්කාර, මනමාල ඇහැක රැ‍‍‍ඳෙන්නට පුළුවන් තරමේ , විලාසිතාවකින් මම ද සුරඟනක වෙස් ගත්තේ ඈ හෝ ඔබ හෝ මා රවටන්නට නොවේ. ඈ යන ගමනේ පසෙකින් ඉඳ මම ඇයට නෙතුපාද්දී ඒ ඇස් දිලිසුණේය. දහවලදී ශිලවන්ත - රාත්‍රියට මනමාල ඇස් දෙකක් ඉදිරියේදී තරම්ම නැති එහෙත් මනමාල යැයි කිවහැකි ගුප්ත හිනාවක් ඒ දො‍තොල් අතරින් පිටවෙද්දී මගේ දෙතොල් පී්‍රති හිනාවක් දෙන්නට ඇත. ඒ හිනාවෙන ඇස් දිලිසෙනවා මම බලා උන්නෙමි. තත්පරයක් ඇතුළත දී සුව පහසු පෙජරොවක් ඈ අසලින් ගමනේ වේගය බාල කරද්දී ඕ ඇසක් වසා ඉඟි මැරැවේ මටය. සංඥාව වටහා ගැනීමට මට දෙවතාවක් සිතන්නට අවැසි වූයේ නැත. ඒ වම් ඇසට පිළිතුරැ බඳින්නට මම මගේ වම් ඇස පියෙව්වෙමි. සැකයෙන් වුව ඕ මා හැඳින්නීය. මොහොතකින් ඕ උන්නේ මගේ හුස්කම පාර ඇහිඳින ඉසව්වේය‍.

“අළුතෙන්ද”......?

ඕ ප්‍රථම වරට ඇසුවේ එහෙමය. දෙවතාවක් නොසිතා මම “ඔව්” යි කිව්වෙමි.

“කොහෙන්ද?” මා ඇගෙන් ඇසිය යුතු දෑ ඈ මගෙන් අසද්දී මට මා ගැනද දෙවතාවක් සිතිය යුතුවිය. එහෙත් තර්ක ගෙන ආවේ නම් අවාසිය මටය.

“අනුරාධපුරයෙන්...” දිව පැටලුණා ඇත්තය. එහෙත් සීරුවට පිළිතුරු බැන්දෙමි. 

“අයියෝ එහෙ බිස්නස් හොඳනේ ඉතින්... හැබැයි රේන්ජ් එක මදිනේ...” ඕ එහෙම කියන්නේ ගැඹුරටය. “මෙහේ එහෙම නෙමේ. හොඳ ‍ පොරිනර් කෙනෙකුට සෙට් වුණාම නියමයි. උන් ලූස් නෑ. ගෙවනවා අත දිගෑරලා....” සුන්දර යුවතියකගේ ආත්මය... ඔබට හැඳිනිය හැකිද? පෙනුමෙන් අවුරුදු විසි තුනක් හෝ විසි හතරක භද්‍ර යෞවනයේ වුන් ඇය ආත්මපූජාවට මනා දැනුමුත්තියෙකි. “හික්කඩුවෙමද ඉන්නේ...” හීන් දිගටි දෑස් අගින් අල්ලාගෙන මම ඇසීමි. “ඔව්” යි කියන්නට ඕ හිස සැලුවා විනා කතා කළේ නැත. ‘’ඒ වුණාට මං හද්ද පිටිසරක ඉඳල ආව කෙල්ලෙක්. ජීවිතේ හීනෙන්වත් එන්න හිටිය තැනක් නෙමෙයි මේ..” 

“ඒ කිව්වේ ....” පැනයක් ඉදිරියේ තබා මම නිහඬ වීමි. 

“ඔයාලා වගේ නෙමේ, මේ ගෙන්දගම් පොළවට මං පුරැදු වුණේ කප්පරක් දුක් විඳල. මගේ ජීවිතේ හරියට චිත්‍රපටියක් වගේ. නව කතාවක් වගේ හැබැයි ලස්සනක් නෑ. නිදහසක් නෑ. මොහොතක් මොහොතක් පාසා පිච්චෙනවා....” ඒ හ‍ඩේ සංතාපයක් ගැඹුරක් විය. “මේ ජීවිතේ ගෙවන අපි කවුරැත් සතුටින් නෑ මිත්‍යා. මොහොතක් මො‍හොතක් ගානේ පිච්චෙනවා... මැරි මැරී උපදිනවා. ඒක අපි දරාගන්න ඕන...” මම ඈව දිරිමත් කළේ වංචාවකට නම් නොවේ. අන් තතු සොයා සාම්ප්‍රදායික ඕප දූප ගැහැණියක් වන්නට නොවේ. “පුංචි කාලේ ඉඳල මං හරි ලස්සනයි. හැමදාම ගමේ අවුරුදු උත්සවයේ දී අවුරුදු කුමාරි වෙන්නේ මං. ගමේ විතරක් නෙමේ, දිගින් දිගටම තරඟවලට ඉඳල මං ඒ පළාතේ තිබුණ තරඟයකිනුත් දිනුව. එදා අම්මයි අප්ච්චියි විතරක් නේම්, ඇස් දෙකේ කඳුළු පුරෝගෙන මාත් හිතුවේ මේ ලෝකෙම ඉන්න වාසනාවන්තම කෙල්ල මං කියලා...” මුහුදේ රළ බි‍ඳෙන හඬට ඉඩදී ඕ ජීවිතය ගලපන්නීය. ඒ කඳුළු කතාව ඉතින් මම අසා උන්නේ ඔබ වෙනුවෙනි. 

“අන්න එදා තමයි මේ කාලකණ්නි ජීවිතයට මුල්වුණ දවස. ඔයා දන්නෑ. මගේ ලස්සන තරම් මගේ ජීවිතයට කරුමෙට හිටිය තවත් දෙයක් නෑ. මගේ ලස්සනට, ප්‍රසිද්ධ ලස්සනට මහත්වරුන් කියල හිතන මිනිස්සු සුභ පතද්දී මගේ දුප්පත්කම මගේ නැති බැරිකම් කලවම් වෙලා ඒ ජීවිතේ පැත්තකින් හිස්වට පෙනුණා...”ඇගේ කතාව අසා හිඳිනවා විනා මට මුනිවත බිඳින්නට සිතුනේ නැත.

“එදා ගමේ ඉඳල මේ ගෙන්දගම් පොළවට අඩිය තිබ්බේ, මගේ ලස්සනත් එක්ක රඟපාන්න, පත්තරවල පින්තූරවලට ඉන්න, ප්‍රදාන පෙළේ මහත්තුරැන් එක්ක එකතු වෙලා ඒ ගොල්ලො මවපු සුන්දර ලෝකවල මං හිටියේ ඒ දවස්වල ආඩම්බරෙන්. සත්තයි. හිත සතුටුවුණේ රඟපාන්න අවස්ථාව ලැබුණට නෙමේ. කීයක් හරි හොයල අම්මටයි, අප්ච්චිටයි සැනසීමක් වෙන්න. මං ඉගෙන ගන්න දක්ෂයි. ඒත් ඕලෙවල් වලින් එහාට යන්න වාතාවරණයක් තිබුණේ නෑ... කෙල්ලො ලස්සනට ඇඳල පන්ති යද්දි... ඉස්කෝලෙ යද්දි... බොරපාට සුදු ගවුම තුරුල්කරගෙන මං හූල්ලනවා. නංගිල දෙන්නටයි, මල්ලිටයි ඉල්කෝලේ යන්න ඉඩ දීලා මං ගාමන්ට් ගියා. අම්මයි, අප්පච්චියි කරකුට්ටන් වුණු මහ පොළොවත් එක්ක දඟලනකොට, මට දරාගෙන ඉන්න බෑ. ගිනි අව්වේ පිච්චෙනකොට, කෑගහල අඬන්න හිතෙනවා...” “දුකේ පතුලටම වෙලා... ලෝකේ දිහා බලන්න දන්නැතුව හිටිය මට මේ කොන්ක්‍රීට් පුරේට ඇවිල්ලා මහ ගොඩක් දේවල් කළා. ඉස්සෙල්ලම ලස්සනට ඇඳල පින්තූරයකට හිටිය මම ටික දවසක් යනකොට පින්තූරවලට හිටියෙ බාගෙට ඇඟ පෙන්නගෙන. ඒ හරහා රැපියල් සත අතට එද්දී මම කොළොම්පුරේට අඟනක් වුණේ මටත් නොදැනීමයි...” “ඒ වුණාට මට ඒ ජීවිතේ තිත්ත වුණා. ඔහොම ඉන්නකොට මට මුදලාලි කෙනෙක් හම්බවුණා. රට වටේ විතරක් නෙමේ, ලෝකෙ වටේත් බිස්නස් කරන්න මං පුරුදු වුණේ ඒ මිනිහාගෙන්. අතට සෙල්‍පෝන් එකක් අරගෙන වාහන තියාගෙන මුදලාලිගෙ හෙර බිස්නස් වලට මං ඉත්තෙන් වුණා. මුදලාලි මට හොඳට ගෙව්වා. මං ඉස්සර මාසෙට සැරයක් රට යනවා. ඒ දේවල් සම්පූර්ණයෙන්ම ලීඩ් කළේ මං. මට දුක හිතුනෙ නෑ. ලැජ්ජා හිතුනෙ නෑ. හොයන සල්ලි ගමට යැව්වා. ගේ හැදුවා. නංගියි, මල්ලියි හොඳට ඉගෙන ගත්තා. අම්මටයි, අප්ච්චිටයි අව්ව කන්න වුණේ නෑ...” කියා අවහර ඕ.. බරට සුසුමක් හෙලුවාය. 

“ඉතින් දැන් ජීවිතේ ගොඩක් දේවල් සම්පූර්ණයිනෙ. ඇයි ජිවිතෙන් මිදෙන්න උත්සාහ කරන්නැත්තෙ...” 

“ඔන්න ඔතන තමා මගේ කාලකණ්නිකම, ඔයා දන්නෑ... මට ඒ දුක දරාගන්න බෑ.. දවසක මං හූල්ලලා මැරෙයි... දෙයියනේ මට ඒ දුක දරාගන්න හයියක් නෑ..” එයාකාර දුකක්... මෙපමණ දරා වුන් ඇයට තියෙන්නේ කොහොමද... පෙරපර ගළපන්න බැරුව මං ඈ දිහාම බලාගෙන වුණිමි. “මුදලාලිගෙ බිස්නස් ලීඩ් කරන කාලේ සමහර දේවල් මම තනියම කළා. සමහර දේවල් හොරෙන් කළා. දවසක මම කුඩු අරගෙන සිංගප්පූරැවට යන්න ගියේ මගේ වුවමනාවට. එදා මං පොලිසියට අහුවුණා. මුදලාලිට විතරක් නෙමේ අපේ ගෙදරටත් ඔය සිද්ධි හැම දෙයක්ම ආරංචි වුණා. මුදලාලි මට ඇප දීල අරගෙන ආපහු එයා ගාව තියා ගත්තේ නෑ. මං ආපහු පාරට වැටුණා. පාරේ ජීවිතේ මට දරාගෙන ඉන්නම බැරි තැන මම තමයි ගෙදර ගියේ...” විශ්වාස කරන්න මෙතෙක් වේලා ඒ කඳුළු දිවිය දෙඩවූ ඇයගේ හඬ දැන් බිඳී ගොස්ය. දෑසට ලේ පුරා රතුවුණේ ක්ෂණයකදීය. 

“ගෙදර ගියාට පස්සේත් දුකක්...” මට එහෙම කියවුණේ ඉබේටමය. 

“ඔව්... මං කොහොමද දරාගෙන ඉන්නේ... අම්මයි අප්පච්චියි මාව එලෙව්වා. නංගියි මල්ලියි මගේ මූණට කෙළ ගැහැව්වා. අම්ම කිව්වේ.. මං වේස ගෑණියෙක් හැදුවේ නෑ කියල... මල්ලියි, නංගියි බැන්නේ තෝ අපිව කෑවා කියල... මං එදා යනකොට අපේ ගේ ලස්සනට හදලා තිබුණා. නංගියි මල්ලියි කැම්පස්වල ඉගෙන ගන්නවා. මට කියන්න.. ඔයා කියන්න.. මං මෙහේ ඇවිල්ලා මේ ගින්දර උහුලගෙන හිටියේ එදා ගෙදර තිබුණ ඒ ලස්සන දකින්න. සත්තයි. මට මිනිස්සු එක්ක නටන්න විසයක් තිබුණේ නෑ.. දෙයියනේ... මං එහෙම කළේ නෑ... ගෙදර තිබ්බ මං දුක් විඳල හදල දුන්න ඒ ලස්සන සතුට දාලා මං ආපහු අවෙ ගෙන්දගම් පොළොවටමයි. ඔයා කියන්න මං යන්නේ කොහෙට ද? ඇයි මට මෙහෙම වුණේ... මං අදගත් මේ දැනුත් මේ ජීවිතේ එක්ක පිච්චෙනවා...” 

ඈ දුක කියවා කඳුළු හලද්දී නිනව්වක් නැති අනන්තය දිහාම බලාගෙන මම ඒ ජීවිතය ගැළපුවෙමි. අසාවුන් මට දරන්නට බැරි ඒ දුක ඇය දරා ඉන්නවා පුදුමය. දුක හිත පතුලේම රඳවාගෙන එදා මෙන්ම අදගත් ඈ ජීවිතය උඩින් පනිමින් උන්නාය. මටකියන්නට තේරෙන්නේ නැත. ඈ අයාලයේ ගියායැයි මට කියන්නට බැරිය. වරද ඔබට වැටහෙනු ඇත. එහෙත් ඔබ විශ්වාස කරන්න... මේ මට හමුවූ එක් යුවතියක් පමණි. මව්පිය, සොහොයුරුවරුනුත් පිළිකෙව් කරන මෙවැනි ආත්ම... ඔබට ... මට, පිටට පෙනෙන්නේ ලස්සනට වග සැබෑය. දුක කියවා හමාර ඇය මා තනිකොට දමා යනවා මම බලා උන්නෙමි. ඒ අඩි රළ පෙළින් මැකී යද්දී... ඔබට... මට ඒ දිවිය අමතක කරන්නට ලෙහෙසිය. එ.. හෙ...ත්...ඕ අද නොවේ, මියෙන තුරු යළි යළි මැරී මැරී උපදිනු ඇත. ඔබට, මට ඒ දුක යළි පෙනෙන්නේ නැත. යළි ඇසෙන්නේ නැත. එහෙත් ඈ. මේ සමාජය නිරන්තරයෙන් වෛර කරනු ඇත. නිනව් නැති දුක දරා යන්නට දිනෙක ඕ මිය යනු ඇත. එහෙත් මිය යන්නට පෙර ඒ ඉඳුවර ඇස්, ඒ දූතිකාව ශිලවන්ත අම්මා කෙනෙකු වන්නේ කවදාදා....? 

පසුවදන : එක් සැමියෙකු අහිමි ගැහැණියක් මෙන්ම, සැමියන් බොහෝ හිදින ගැහැණියකට අපි වෙසඟනයැ’යි කියමු. එය අසාධාරණ නොවේ. මිත්‍යා කෙල්ලක්ව හිඳ සුන්දර කෙල්ලක්ව හිඳ... ගැහැණියක් වී නිරිවරමින් ආත්ම පූජාවේ යෙදෙන අපේ කෙල්ලෙකි. ඇගේ නොවේ, ලොවේ මායාවලින් වීදි පුරා සැරිසරණ රුවැත්තියකි... නමුදු සමාවුව මැන... ඈ දෙබිඩිය. ඈ නොවේ, ඇගේ දුප්පත්කම මුහුවුණු සුන්දර ගැහැණුකම ඈ වෙසඟනක් කරද්දී.. ඔබ.. කියන්න ඒ වෙළසඟට හදිකරන ශුද්ධවන්ත පිරිමියාට අපි කවුරුනම් කියමු ද?... ගැහැණිටයකට මව් පදවියක් නොදී මනමාල ඇස් කූඩුකරන රාත්‍රී බෝසත්වරුන්ට අපි කවුරුනම් කියමු ද?... 

අචිනි මේඛලා ජයරත්න