🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

කෙල්ලගෙ පණ ගියේ මේ අත් දෙක උඩ

කෙල්ලගෙ පණ ගියේ මේ අත් දෙක උඩ

එහා වත්තේ නා ගසේ කුළුඳුල් නා මල පිපුණේ අද උදයේය. මේ නා ගසේ මල් පිපෙනතුරු මා කොතෙක් නම් බලා සිටියාද? නා ගස දකින හැම වරෙකම සිහියට නැගෙන්නේ ඔහු ය. මෙතෙක් කලක් එහි නා මලක් නොදුටුව ද නා ගස දකින හැම වරෙකම නා මල් සුවඳ මා සිත ඉව කරයි. ඒ ඇසිල්ලේ මට සිහියට නැගෙන්නේ අතීතයේ දවසක හමු වු ඔහු ය. බාලවියේ අප දෙදෙනා එකම පන්තියේ එකම පේළියේ හිඳ අකුරු කළෙමු. ඉගෙනුම අවසානයේ අප දෙදෙනා දෙපසකට ගියෙමු. හදවතට බොහෝ ළඟින් සිටි ඔහු පිළිබඳව පුංචිම මතකයක් ගෙවී ගිය කාලය තුළ සිතේ තිබිණි.අපි කාලයකින් හමුනොවුනෙමු. එහෙත් වසර ගණනකට පසුව අහම්බෙන් දිනෙක මට ඔහු හමුවුයේ පොහෝ දිනෙක දී පන්සල් බිමකදීය. නාමල් කිහිපයක් අත දරා සිටි හඳුනා ගත්තේ පුරුද්දට මෙන්ය. මොහොතකට අපි ගොළු විමු. උනුන් මුහුණු බලා සිටියෙමු. කුමක් අසන්නදැයි දෙදෙනාගෙන් කාටවත් මතක නැති සේය.

"අයියා බැඳලද?" ඔහු මොහොතක් මදෙස බලා සිටියේය. දිග සුසුමක් හෙළුණේ ඔහුටත් නොදැනීමය. "මම බැන්ඳා.මීට අවුරුදු හතරකට විතර කළින් එයා මැරුණා."

"නෝනා මැරුණා...ඒ මොනවා වෙලාද?" නිහඬව තත්පර විනාඩි ගණන් ගෙවී යන්නට ඇත. ඔහුට කතා කරන්නට ඉඩ දී මම බලා සිටියෙමි.

"මම නිරංජි එක්ක යාළු වෙලා මාස තුනකට විතර පස්සේ තමයි එයා හොඳටම අසනීප වුණේ. දවසක් නිරංජී අසනීපයි කියලා එයාගේ කන්තෝරුවෙන් පණිවුඩයක් ආවා. මම රෝහලට ගියා. ඉන් දවසකට දෙකකට පස්සේ තමයි දැන ගත්තේ එයාට කැන්සර් එකක් කියලා. වෛද්‍යවරු කිව්වේ නිරංජී වැඩි දවසක් ජීවත් වෙන එකක් නැහැ කියලා වැඩිම වුණොත් එයා මාසයක් ජීවත් වෙයි කිව්වා." ඔහු මොහොතකට නිහඬ වුයේය. මම ඔහු මුහුණ බැලීමි. ඒ දෑසේ ඇත්තේ කෙබඳු බැල්මක් දැයි දැන ගැනීමටය.

"ඉතිං"

"මං හිතුවක්කාර ද දන්නේ නැහැ. ඒත් මං නිරංජීව කසාද බඳින්න එවලෙම තීරණයක් ගත්තා. ඒ වෙන කොටත් නිරංජී දැන ගෙන හිටියෙ නැහැ එයාට කැන්සර් එකක් කියලා. මම අම්මටයි අප්පච්චිටයි මගෙ තීරණය කිව්වා. මගෙ අප්පච්ච් කිව්වේ පුතා වැරදි තීරණයක් ගන්නේ නැහැනේ කියලා විතරයි. අම්මා නම් හිත අමාරු කරගත්තා. ඒත් මං නිරංජිව ඊට පහුවදාම බැන්දා. නිරංජි එයා හිතපු නැති මොහොතක මනාලියක් වුණා. සුළු පැය ගණනකදී අපි පුංචි උත්සවයකුත් ගත්තා. එදාම හැන්දෑවේ ආයෙමත් එයාව රෝහලට ඇතුළත් කළා. ඊට පස්සේ මම එයාව බොහොම පරිස්සමට බලා ගත්තා. නිරංජිට ‍වෛද්‍යවරු නියම කෙරුව සමහර බෙහෙත් හරි මිලයි. සමහර වෙලාවට මගෙ අතේ මුදල් තිබුණේ නැහැ. මම මගෙ රස්සාවට අමතර තව රස්සාවල් කෙරුවා. ඒවා මගෙ තත්වයට නොගැළපෙන්නත් ඇති. ඒත් මං නිරංජි වෙනුවෙන් ඒ හැම දෙයක්ම ඉවසුවා. එයාට බෙහෙත් කරන අතරම මම එයාව රට වටේ එක්කගෙන ගියා. මේ රටේ සුන්දර තැන් බලන්න එක්කගෙන ගියා. ඒ කාලය පුරාවටම නිරංජි පුදුම සතුටකින් හිටියේ. නිරංජීගෙ මානසික මට්ටම යහපත් කරන්න පුළුවන් හැම දේම මම කෙරුවා. එයාට කැන්සර් එකක් කියලා ඇග වෙන්නවත් ඉඩක් තිබ්බේ නැහැ. වෛද්‍යවරු කිව්වේ නිරංජි මාසයකට වඩා ජීවත් වෙන එකක් නැහැ කියලා. එත් නිරංජි මැරුණේ හරියටම අවුරුද්දකට පස්සේ. ඔහු ගෙවී ගිය කාලය සාරාංශ ගත කළේය. ඇය වෙනුවෙන් ඔහු දැසේ කඳුළු නැත. තම ජීවිතය ගැන පසුතැවීමක සේයාවක් ද නැත. ඔහුට ඇත්තේ නිරාමිස සතුටකි. එමෙන්ම නිරංජි වෙනුවෙන් යමක් කළාය යන තෘප්තිය පමණි. මා ඉදිරියේ සිටින මේ මිනිසා පිළිබඳ මට ඇති වූයේ අප්‍රමාණවූ සෙනෙහසකි. දයාවකි. ඔහුගේ ජීවිතය අසා මා කුමක් කියන්න ද? අප අතර හෝරාවකටත් වඩා නිහඬ බවක් පැතිර යන්නට ඇත. ඔහුගේ සත් ක්‍රියාවත් උතුම් වූ ප්‍රේමයත් මා නොදන්නා ඇගේ මරණයත් අසා හිත ඉකිබින්දාය. මට හිල්ලුණේ ඉබේටමය. දෑසින් කඳුළු වැටුණේ මටත් නොදැනීමය.

"ඇයි මේ?"  ඔහු මා අත දැඩිව අල්ලාගත්තේය.

"අපි යමු..."  හිඳ හුන් තැනින් නැඟිටීමට ඔහු මට සුරත පෑවේය. මම ඒ අත අල්ලා ගත්තේ මහත් ලෝබ කමකිනි. වසර ගණනකට පසුව හමු වූ අප වෙන් වූයේ තවත් වසර ගණනක් ළංව සිටිය වුන් ලෙසිනි. ඉන් පසුව අපි යළිත් හමු නොවිමු. ඉදහිට අපි දුරකතනයෙන් කථා කළෙමු. කාලයක් යන විට එයද අතහැරී ගියේය. එහෙත් දවසේ කොයි මොහොතක හෝ මට ඔහු සිහිපත් වේ. එවිට හදවතේ ගැඹුරුම තැනින් මතු වන්නේ සිහින් රිදුමකි. තත්පර විනාඩි ගණන් යනතුරු පහව නො යන ඒ ‍රිදුමේ අරුත කුමක්දැයි මා මෙතෙක් සොයා නැත. උත්තරීතර ප්‍රේමය වෙනුවෙන් ජීවිතයේ සියල්ල කැපකළ ඒ උතුම් මිනිසා වෙනුවෙන් ඒ රිදුම මතුවෙතැයි මම සිතමි. "එයා මැරුණේ මගෙ අත් දෙක උඩ. එයා මැරෙන විටත් යෞව්වනියක්. මට ඕන වුණේ ඒ අහිංසක කෙල්ලට ජීවත් වෙන ටික සැනසිල්ලේ සතුටෙන් ජීවත් වෙන්න දෙන්න." වසර ගණනක් ගියද ඔහු මේ දැන් කියුවා සේ ඒ හඬ මා මතකයේ ළැගුම් ගෙන තිබේ. කුළුඳුලේ පිපුණ මේ නා මල මට සිහිකර දෙන්නේ තවමත් තනිකඩ ඒ උතුම් මිනිසාගේ රුව ගුණයි. ඔහු දැන් ඔහු කොහේදැයි මම නොදනිමි. එනමුත් නා ගසක් නා මලක් දකින හැම වාරයක් පාසාම ඔහු සිහියට නැගෙන්නේ නිතැතිනි. එහා ගෙදර නා ගස ඇත්තේ අපේ වැට මායිමේය. දැන් ඕනෑ නම් මේ මල කඩා ගෙන විත් බුදු පුදට තැබිය හැකිය. එහෙත් අත්පත්කර නොගනිමින් ආදරය කිරීමේ පාඩම ඔහු මට කියා දී ඇත. රටේ කොයි කොනක සිටියද මේ සොඳුරු මිනිසා නාමලක් තරමටම සුවඳ බව හඟිමි.

උපුටා ගැනීම සිළුමිණ