🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

දියණිය වෛද්‍යවරියක කිරීමේ ඇගේ සිහිනය අවසන් වුණේ ඛේදවාචකයකින්...

දියණිය වෛද්‍යවරියක කිරීමේ ඇගේ සිහිනය අවසන් වුණේ ඛේදවාචකයකින්...

දයාබර මවක් මුහුණ දුන් සත්‍ය අත්දැකීමක් : සුජාතා දෙදරු මවක්. වැඩිමලා දිල්කි. බාලයා සුපුන්. කලින් තරමක වැටුපක් ලැබෙන රැකියාවක නිරතව හිටියත් දිල්කිගේ උපතත් සමග සුජාතා රැකියාවෙන් සමුගත්තා. සුජාතාට වගේම ඇගේ සැමියාටත් ඕන වුණේ දරුවන්ව හොඳින් හදා ගන්න. සුජාතාගේ දුව දිල්කි පුංචි කාලෙ ඉඳන්ම ඉගෙනීමට දක්ෂයි. ශිෂ්‍යත්ව විභාගයෙන් හොඳින් සමත්වීම නිසා දිල්කි උසස් බාලිකා විද්‍යාලයකට ඇතුළත් කරන්නටත් සුජාතාට හැකි වුණා. දුවගෙ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දවස ගානේ පන්තිවලට එක්කගෙන ගියේත් ගෙදරදී දුවට පාඩම් කියල දුන්නේත් සුජාතායි. දුව වගේම සුජාතාත් ගොඩක් මහන්සි වුණා ඇගේ අධ්‍යාපනය වෙනුවෙන්. දුවව උසස් බාලිකා විද්‍යාලයකට ඇතුළත් කළාට පස්සේ පාසල් වෑන් රථයකට දැම්මෙ ගෙදර ඉඳන් දවස ගානේ එච්චර දුරක යන්න එන්න සුජාතාට හැකියාවක් නොතිබුණ හින්දයි. ඒත් දිල්කිට ටියුෂන් පන්ති හොයලා දෙන්න සුජාතා ලොකු උනන්දුවක් ගත්තා. පාසලින් පස්සෙ සතියෙ දවස් පහේම හවස් වරුවෙත් සෙනසුරාදා ඉරිදා දවස පුරාමත් දිල්කි ටියුෂන් පන්ති ගියා. කොහොම හරි සියලු විෂයන්වලට ඒ සාමාර්ථය ලබා සමත්වීමයි දිල්කිගේ එකම ප්‍රාර්ථනය වුණේ. දිල්කිගේ අම්මටත් ඕන වුණේ ඒකම තමයි. ඇගේ අරමුණ තම දියණිය කවදා හෝ වෛද්‍යවරියක වනු දැකීමයි. ඒ වෙනුවෙන් ඇය දිල්කිව පුළුවන් තරම් ටියුෂන් පන්ති යවමින් විශාල වෙහෙසක් දැරුවා. බලා‍පොරොත්තු වුණු විදිහටම දිල්කි සාමාන්‍ය පෙළ විභාගයෙන් සියලු විෂයන්ට ඒ සාමාර්ථ ලබා සමත් වුණා. එදා දිල්කිටත් වඩා දිල්කිගෙ අම්මාට සතුටුයි. දියණිය වෛද්‍යවරියක කිරීමේ හීනය සිහිනයෙන් හරි අඩක් සම්පූර්ණ වුණා වගෙයි ඇයට දැනුණෙ. ඊට පස්සේ දිල්කි ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන්න පටන් ගත්තා. පන්තියේ හැම ළමයෙක්ම එක විෂයකට ටියුෂන් පන්ති දෙකකට ගියා. සමහර ළමයින් එක විෂයකට ටියුෂන් පන්ති දෙකකට යාමට අමතරව ගෙදරටත් ගුරුවරයෙක් ගෙන්වා ඉගෙන ගත්තා. ඒ ළමයි කරන හැම දෙයක්ම කොහොම හරි තමන්ගේ දියණියටත් සුජාතා ඉෂ්ට කරලා දුන්නා. 

“අනේ අම්මෙ මට හරි මහන්සියි. මේ තරම් කරන්න. සතියෙ දවස් හතේම උදේ ඉඳන් රෑ වෙනකල් ඉගෙන ගන්නවා. ඒ මදිවාට අම්මා ආසාවකටවත් ටී.වී. එක බලන්න දෙන්නෙත් නෑ. ගමනක් බිමනක් එක්ක යන්නෙත් නෑ. මහ රෑ වෙනකල් පාඩම් කරල ආපහු උදේ පාන්දරින් නැගිටින්නත් ඕනෙ දිල්කි මැසිවිලි නැගුවා. “අවුරුදු දෙකනෙ දුවේ ඔයාට ඔය දුක විඳින්න වෙන්නෙ. ඊට පස්සෙ ඔයාට විවේක ගන්න බැරියැ ටික දවසක්. සුජාතා කිව්වෙ දිල්කිගෙ හිස අතගාමින්. තමන්ගෙ දුවව පාසලට යැව්වා ටියුෂන් පන්ති ඇරියා මිසක් දුව කොයි තරම් දුරට අධ්‍යාපන කටයුතු කරගෙන යනවාද කියලා හොයලා බලන්න සුජාතා උනන්දු වුණේ නෑ. දියණිය හැම දෙයක්ම තමන් බලා‍පොරොත්තු වන පරිදි අකුරටම ඉෂ්ට කරන බවයි සුජාතා සිතා සිටියෙ. දවසක් පාසලෙන් ගෙදරට ලියුමක් ආවා. ඒ ලියුමේ සඳහන් කරල තිබුණෙ ‘වහාම ඇවිත් පන්ති භාර ගුරුතුමියව හමුවෙන්න’ කියලා. මේ විදියට ලියුමක් එවලා තියෙන්නෙ ඇයි කියලා හැන්දෑවෙ දිල්කිගෙන් ඇහුවාම දිල්කි තුෂ්ණිම්භූත වෙලා වගේ බලා හිටියා. 

“පහුගිය දවස්වල මට මහන්සි වැඩිකමට හරියට වැඩ කරන්න බැරි වුණා ඒක වෙන්න ඇති” දිල්කි කිව්වෙ තතනමින්. 

“මොකක්ද මහන්සිය? සුජාතා ඇහුවෙ සැරෙන්.

“ඇයි අම්මෙ ටියුෂන් පන්ති කන්දරාවකට යන්න ඕනෙ රෑට පාඩම් කරන්න ඕනෙ. ඕවා සේරම මතක හිටිනවද? මට දැන් සේරම පැටලිලා වගේ” දිල්කි කිව්වෙ නොසංසුන්ව. 

“උඹලට තමයි සේරම පැටලිලා. අනිත් හැම ළමයෙක්මත් ඔහොම නේද ඉගෙන ගන්නේ? කෝ ඒ ළමයින්ට ඔය මොකවත්? සුජාතා තරහින් පැවැසුවා. පහුවදා උදේ දිල්කි ඔළුව රිදෙනවා කියලා ගෙදර නතර වුණා. සුජාතා තනිවම ගිහින් දිල්කිගෙ පාස‍ලේ පන්ති භාර ගුරුතුමිය හමුවුණාට පස්සෙයි ඇගේ ඇස් ඇරුණේ. දිල්කි සතියකට දවසක් දෙකක් පාසලට ඇවිත් නෑ. පන්තියෙ ඉන්න දුර්වලම ළමයත් දිල්කි. වාර විභාගවලින් සමහර විෂයයන්ට දිල්කි අරන් තිබුණෙ ලකුණු දහයක් පහළොවක් වගේ ප්‍රමාණයක්.

“දුව මට රි‍පෝට් කාඩ් එක කවදාවත් පෙන්නල නෑ. ඇහුවම කියන්නෙ දුන්නෙ නෑ කියලා සුජාතා කිව්වෙ බයාදු හඩින්. 

“එහෙනම් කවුද මේ අත්සන් කරල තියෙන්නෙ.? ප්‍රගති වාර්තා ‍පොත පෙන්වලා ගුරුතුමිය ඇහුවා. “දෙවියනේ සුජාතාට හීල්ලුනා. ඒ හැම එකකම සුජාතාගේ අත්සන දියණිය විසින් වංචාකාරී ලෙස සටහන් කර ඇති අන්දම ඇයට වැටහුණා. එදා සුජාතා ගෙදර ආවෙ කොහොමද කියලවත් මතක නෑ. ගෙට ගොඩ වුණ ගමන්ම දුවගෙ කාමරේට ගියේ හිතේ කෝපය පහ වන තුරුම දිල්කිට තඩි බානවා කියන ච්ෙතනාවෙන්. ඒත් ගෙදර එනකොට දිල්කි ගෙදර නෑ. දිල්කිගෙ මේසය උඩ දෙකට නවපු කඩදාසියක් තිබුණා. ඒක අතට අරන් බැලුවා විතරයි සුජාතාට දැනුණෙ තමන්ගෙ හිස කරකැවෙනවා වගේ. සුජාතා එහෙමම ඇඳ උඩ වාඩි වුණා. දිල්කි ලියලා තිබුණු පේළි කීපයක ලියුමේ සඳහන් වෙලා තිබුණෙ මේ විදිහට. “මට සමාවෙන්න අම්මෙ මම මගේ බෝයි ෆේ‍රන්ඩ් එක්ක යනවා. මිනිහගෙ ඇඟේ බලෙන් හරි එල්ලුනේ නැත්නම් මට වහ බිලා මැරෙන්නයි වෙන්නෙ. දිල්කි ලියලා තිබුණෙ එපමණයි. ඇය වෛද්‍යවරියක වනු දැකීමේ සිහිනය දෑස් ඉදිරිපිටදීම බොඳ වෙලා යන හැටි සුජාතා බලා සිටියෙ ඉකිබිඳුම අතරින්. 

ඉන්දු පෙරේරා

උපුටා ගැනීම ලක්බිම