🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

තමන්ගේම සොයුරාගේ මෙහෙකාරිය වූ සොයුරියකගේ කතාවක්

null

සුභානි අවුරුදු තිහක් විතර වයස වුණු අවිවාහක තරුණියක්. අම්මා තාත්තා දෙදෙනාම අහිමිව සිටි සුභානිට තමන්ගේ කියලා කෙනකුට හිටියෙ මල්ලි විතරයි.සුභානිට අවුරුදු පහළොවේදී තාත්තා නැති වුණේ. ඊට පස්සෙ අම්මාත් මල්ලිත් එක්ක සුභානි බොහොම දුකසේ ජීවත් වුණා. තාත්තා මිය ගියේ සිරෝසිස් රෝගයෙන්. ඔහු උපයපු දේවල් පවු‍ලේ වියදමටයි මත්පැන්වලටයි වැය කළා මිසක් තමන්ගේ දරු පවුල වෙනුවෙන් යමක් ඉතිරි කළේ නෑ. මේ නිසා පියාගෙ මරණයෙන් පස්සෙ සුභානිලා ගොඩක් අසරණ වුණා. සුභානිගෙ අම්මා ඉස්සර ඉඳන්ම කළේ අත්යන්ත්‍ර රෙදි විවීමේ මැෂිමකින් ගෙදර ඉඳන් රෙදි වියපු එක. එයා විව්වෙ බෙඩ් ෂීට්. ඒ පැත්තෙ ගෑනු කෙනෙක් තමයි මේ ඕඩර් අරගත්තෙ. එයා නූල් වැනි අමුද්‍රව්‍යයත්, තමන්ට වුවමනා කරන මෝස්තරයත් දුන්නම සුභානිගෙ අම්මා ගෙදර ඉඳන් ඒවා වියලා ගිහින් දුන්නා. පුංචි කා‍ලේ ඉඳන්ම අම්මා කරපු මේ කර්මාන්තෙ දැකල පුරුදු නිසා සුභානිත් රෙදි වියන්න ඉගෙන ගත්තෙ ඉබේටම වගේ. සාමාන්‍ය පෙළින් පස්සෙ අධ්‍යාපන කටයුතු හමාර කළ සුභානි අම්මට රෙදි වියන්න උපකාර කළා. සුභානිගෙ අත්උදව් නිසා වෙනදාට වඩා වැඩි රෙදි ප්‍රමාණයක් වියාගන්න ලැබිමෙන් වැඩිපුර කීයක් හරි උපයාගන්න ඔවුන්ට හැකියාව ලැබුණා. සුභානිට තිබුණු ලොකුම බලා‍පොරොත්තුව වුණේ මල්ලිට හොඳින් ඉගැන්වීමයි. නමුත් ඔවුන් කබලෙන් ළිපට ඇද දමමින් හිටිහැටියේ ඇතිවුණු අසනීප තත්ත්වයක් මත සුභානිගේ මවත් මිය ගියා. මොළයට විෂබිජයක් ගිහින් කියලයි වෛද්‍යවරුන් නිගමනය කර තිබුණෙ. සුභානිට ඉතුරු වුණු එකම නෑදෑයා මල්ලි විතරයි. මල්ලිටත් එහෙමයි. ඒ නිසාම ඔවුන් දෙදෙනා දැඩි බැඳීමකින් ජීවත්වෙන්න පටන් ගත්තා. මවගේ රෙදි විවීමේ කාර්යය සම්පූර්ණයෙන්ම සිය’තට ගත් සුභානි තමන්ගේත් සොහොයුරාගේත් ජීවිතය රැකගැනීම පිණිස උනන්දුවෙන් රෙදි වියන්න පටන් ගත්තා. සුභානි දුක් විඳින හැටි බලන් ඉන්න මල්ලිට දුකයි. ඒ නිසාම අමාරුවෙන් උසස් පෙළ ඉවර වෙන කල් අධ්‍යාපනය ගැට ගහගෙන ගිහින් ඊට පස්සෙ අධ්‍යාපනයට නැවතීම් තිත තබලා රස්සාවල් හොයන්න පටන් ගත්තා. ඒත් කිසිම පුහුණුවක් නොතිබුණු මල්ලිට රස්සාවක් සොයාගැනීම පහසු වුණේ නෑ. ඒ ගැන මල්ලී හිටියෙ ලොකු කලකිරීමකින්. අන්තිමට ඔහු තීරණය කළා අක්කගෙ රෙදි වියන ව්‍යාපාරයටම සම්බන්ධ වෙන්න. ඒත් ඒ වගේ දෙයක් ස්වයං රැකියාවක් විදිහට කරගෙන යන්නවත් මූලික වශයෙන් ආයෝජනය කරන්නට මුදලක් ඔවුන් සතු වුණේ නෑ. ඒ නිසා තමයි මල්ලි ගාමන්ට් එකක රැකියාවට බැඳුනෙ.

ඊට පස්සෙ මල්ලි ගාමන්ට් එකේම ගෑනු ළමයකුත් එක්ක සම්බන්ධකමක් ඇති කර ගත්තා. බොහෝම දුර පළාතක දුප්පත් ගෑනු ළමයෙක් වුණු නිරාශා තමන්ගේ නෑනා කරගන්න සුභානිගෙ අකමැත්තක් තිබුණෙ නෑ. ඒත් අක්කා විවාහ වෙනකල් විවාහ නොවෙන්නයි මල්ලි තීරණය කරලා තිබුණෙ. නමුත් නිරාශාට වගේම ඇගේ වැඩිහිටියන්ටත් මේ කටයුත්ත ඉක්මනින් කරන්න වුවමනාව තිබුණා. ඒ නිසාමදෝ බෝඩිමේ හිඳීම අපහසුයි කියලා දවසක් එක සැන්දෑයාමයක නිරාශා තමන්ගේ ඇඳුම් බෑග් එකත් අරගෙන සුභානිලගෙ ගෙදරට ආවා. නිරාශාව ආපහු යවන්න සුභානි කොහෙත්ම කැමති වුණේ නෑ. ඒත් ඇය එක යුතුකමක් කළා. ඒ තමයි පහුවදාම ඒ දෙදෙනාගේ විවාහය ලියාපදිංචි කරවීම. නිරාශා සුභානිලගෙ ගෙදර පදිංචි වුණේ ඒ විදිහට. ඊට පස්සෙ මල්ලි සුභානි ගැන තිබුණු අවධානයත් අඩුවුණා. ඒ ගැන සුභානි හිත රිදව ගත්තෙ නැත්තෙ ඒක ලෝක ස්වභාවය බව දැනගෙන හිටපු නිසයි. ඒ දෙන්නට තමන්ගෙ පවුල් ජීවිතය ගෙනියන්න ඉඩ දීලා සුභානි රෙදි විවීමේ කටයුත්ත දිගටම කළා. මේ අතරෙ නිරාශාට දරුවෙක් ලැබුණ. ඒ දරුවා පුතෙක්. මල්ලිගෙ පුතුට සුභානි දැක්වූයේ අසීමිත ආදරයක්. ඒ නිසාම නිරාශා දරුවා බලා කියා ගැනීම සුභානිට පවරලා රැකියාවට යන්න පටන් ගත්තා. මේ හින්දා සුභානිට තමන් කරමින් හිටිය රාජකාරිය කරගන්න බැරි වුණා. තමන්ටම කියලා කීයක් හරි හොයාගත්ත එක අහිමි වීම සුභානිට ලොකු දුකක්. ඒත් නිරාශාට මොකුත් කියන්නත් සුභානි කැමති වුණේ නෑ. දරුවාගේ වැඩ කටයුතු විතරක් නෙමේ ගෙදර ඉවුම් පිහුම් කටයුතු පවා සියල්ලම සුභානිගේ කරපිට වැටිලා තිබුණා. උදේ පාන්දර අවදි වුණාට පස්සෙ මහ රෑ නින්දට යනතුරුත් සුභානිට විවේකයක් තිබුණෙම නෑ. බැරිම තැන මේ ගැන මල්ලිට පැමිණිලි කළාම නිරාශා එක්වරම පැනලා උත්තර දුන්නෙ “අපි කෑමබිම දෙනව නම් ගෙදර වැඩයි දරුවවයි බලාගෙන අක්කාට ඉන්න බැරි මොකද?” කියමිනුයි. එයින් මල්ලිත් එකවරම බිරාන්ත වෙලා සුභානි දිහා බැලුවා. ඒත් ඔහු නිරාශාට වචනයක් වත් කිව්වෙ නෑ. සුභානිට දැනුණෙ පුදුමාකාර හිත් වේදනාවක්. මේ සියලු දේ අතහැර දමලා මැදපෙරදිග යන්නත් සුභානිට සිතුණු වාර අනන්තයි. ඒත් මල්ලිගෙ පුතු සුභානිට පුදුම විදිහට සමීප වෙලා හිටියා. ඒ දරුවා තමන්ගෙ අම්මාටත් වැඩිය ආදරය කළේ සුභානිට. මේ නිසා දරුවාව දාලා යන්න බැරිකමට සුභානි හැමදේම ඉවසන්න පුරුදු වුණා. අද සුභානි ජීවත්වෙන්නෙ තමන්ගේම මල්ලිටත් නෑනටත් මෙහෙකාරියක වෙලයි. ඒත් සුභානි දුක් නොවෙන්නෙ මල්ලිගෙ පුතා ගැන හිතලයි.

ඉන්දු පෙරේරා
උපුටා ගැනීම ලක්බිම