🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ජේත්තුකාර රස්තියාදුව

ජේත්තුකාර රස්තියාදුව

තරුණියක ආදරයට සංවේදී වන නමුත් එතැන නොනැවතී සාර්ථක ලෞකික ජීවිතයක් උදෙසා ආදරයෙන් දුරස්ව විවාහයකට එළැඹෙන බව රස්තියාදුකාරයා අත්දැක්කා. මධ්‍යම පාන්තික තරුණයකුට ආදරය සුන්දර මනෝභාවයක් වෙද්දී, තරුණියක් ඊට එහා ගිහින් ජීවිතය සාර්ථක කරගන්න ආදරයට පිටුපානවා. ආදරය සුන්දර වෙන්න පුළුවන්. ඒත් ඊට වඩා ස්ථිර ජීවනෝපායක්, නිවෙසක්, වාහනයක් වෙතට නාභිගත වෙන්න තරම් තරුණියන් ප්‍රායෝගිකයි. ඒ ඔවුන් ස්වභාවයෙන්ම චපල නිසා නම් නෙවෙයි. ඔවුන් ජීවිතය දෙස බලන්නේ ඔළුවෙ හදාගත්තු මනස්ගාතවලින් නෙවෙයි. සමකාලීන ලාංකේය පවුල් ජීවිතය දිහා පොළොවෙ පය ගහලා දැක්ක, උකහා ගත්තු දැනුම ඇසුරින්. ඒ කොහොම වුණත් මෙතැනදි රස්තියාදුකාරයාට මඟහැරුණු යමක් තියෙනවා. ඒ සමකාලීන කාන්තාව නැතිනම් විවාහක ස්ත්‍රිය හා බැඳුණු පිරිමි චරිත 3ක් තියෙන බව. සමකාලීන ගැහැනිය සහ ඇගේ තුන්ඈඳුතු පිරිමි. මේ පිළිබඳ ඇහෙද්දිම හැමෝම ඉක්මන් වෙන්නේ මේ අතරේ පළමුවැනියා ගැහැනියගේ පියා ලෙස වර නඟන්න. ඒත් මෙතැනදි පියා, මව සහ දරුවා ආශ්‍රිත ඊඩිපස් සංකීර්ණය පිළිබඳ නෙවෙයි රස්තියාදුකාරයා කතා කරන්න යන්නේ. දැරියකට තමන්ගේ පියාගෙන් ලැබෙන සහ නොලැබෙන දේ හදාරන්න දැනට ලංකාවෙ නැති, අනාගතයේ බිහිවේ යැයි සිතන්නත් අමාරු මනෝ විශ්ලේෂකයන්ට භාර දෙමු. ඒ නිසා අපි ගැහැනියගේ පියාගෙන් මිදිලා ඇහැට පෙනෙන කනට ඇහෙන සිදුවීම්වලට එහෙම නැතිනම් අනුභූතික සත්‍යයන්ට යොමු වෙමු. මෙතැනදි ඕපාදූප අනුන්ගේ පවුල් ජීවිතවල අති පෞද්ගලිකත්වය පාවා දෙනවා කියලා රස්තියාදුකාරයාට ගල් මුල් එල්ල වේවි. ඒත් ඇත්තටම කෙනෙකුගේ ජීවිතයේ සත්‍යය තියෙන්නේ එතැනම තමයි. ඒත් හැමෝම ලෝකයාගෙන් වසං කරන්නේත් එතැනමයි.

“ඇයි මම මේ තරම් ආදරෙන් ඉඳලත් මගේ ගෑනි අර කුපාඩියා එක්ක පැනලා ගියේ. ඌට රස්සාවක්වත් නෑ. අපරාදෙ මේකි විහින් අමාරුවේ වැටුණේ.” “මම දෙවියන්ට වගේ කිසිම අඩුපාඩුවක් නැතිව සලකලත්, ඇයි මගෙ මිනිහා ළමයි තුන්දෙනෙක් ඉන්න ගෑනි එක්ක පැනලා ගියේ. මොකෝ ඒකි වගේ මම වයසට ගියා කියලද?” මේ තමයි අද සමාජයේ හැම අස්සක් මුල්ලක් නෑරම අපට ඇහෙන උදාන වැකි. ලාංකිකයාගේ ජීවිතේ ඇත්ත ප්‍රශ්න ඔන්න ඕවයි. ඒ කියන්නේ විවාහ ජීවිතය නැතිනම් ස්ත්‍රී - පුරුෂ සබඳතා තමයි හැමෝගෙම හිත යට දුවන එක් තේරුමකට ගේන්න බැරි දේ. හැමෝම වගේ හැම වෙලේම කරකැවෙන්නේ මේ අක්‍ෂය වටා තමයි. ඒත් මේ අය පාරෙදි, තමන්ගේ වැඩ බිමේදී අධිරාජ්‍යවාදයට විරුද්ධව කෑගහනවා. විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කළ යුතු බව කියනවා. දෙමළ ඊළම වෙනුවට මුස්ලිම් අන්තවාදයක් පටලා ගන්නවා. ඒත්, ඇත්තටම මේවා මේ අයගේ දැවෙන ප්‍රශ්න නෙවෙයි. මේ බොරු දේශපාලනික කතාවලින් එක පැත්තකින් තමන්ගේ ඇත්ත අභ්‍යන්තරික ගැටලු සමාජයෙන් වසං කරනවා. විවාහ ජීවිතය පැත්තකින් තියමු. මෙයාලා රට, ජාතිය, ආගම වෙනුවෙන් මේ විදියට වචනයෙන් නැඟී සිටින ගමන් උත්සාහ කරන්නේ තව කීයක් හරි අත මිට මොළවා ගන්න. කන්තෝරුවෙ ඉන්න අය කපලා ඊළඟ උසස්වීමට ඉක්මනට පැනගන්න. ලොක්කට කේලම් දෙක තුනක් කියලා එයාව අල්ලෙ නටවන්න. මේ වගේ සරල තැනක තමයි මේ පණ්ඩිතමානී මහත්වරු ඉන්නේ. ඉතින්, හැමෝම රස්තියාදුකාරයාව හතරමං හන්දියකට ගෙනැල්ලා ප්‍රසිද්ධියේ කස පහර දෙන්න. අහුවෙන හැමෝ එක්ක කිය කියා බැන වදින්න. මේවා අපේ ප්‍රශ්න නෙවෙයි කියන්න. නැත්නම් පොරක් වෙන්න බැරි වේවි. ඒත්, ඒ සතිය පුරාවට මේ තීරුව දෙපාරක්, තුන් පාරක්, නැතිනම් කිහිප වරක් කියවලා හරි අවශ්‍ය වෙලාවට ගන්න ‘මතකයේ’ ගබඩා කරගන්න. ඉතින් අපි මේ පාර ස්ටෝරියට කෙළින්ම බහිමු. රස්තියාදුකාරයා දන්න, ලංකාවෙ මේ හැම තැනම ඉන්නවා වගේ බොහොම සාමාන්‍ය, සරල ගැහැනියක් ඉන්නවා. ඈ විවාහකයි.

ඇගේ සැමියා විදුලි කාර්මිකයෙක්. ආදර සම්බන්ධයක අවසන් ප්‍රතිඵලය වන්නේ මේ ඔවුන්ගේ විවාහය. අෑ ගෘහණියක් ලෙස වැඩ අරඹනවා. තනිකඩ වියේ යන්තම් ඩ්‍රෑම් එකකට සීමාවුණු ඇගේ සැමියා විවාහයෙන් පසු ඔහු මත්පැන් ඩ්‍රෑම් වෙනුවට බෝතල්වලට මාරු වෙනවා. ඒ මදිවට බීගත් ඔහුගේ ගුටිබැට ප්‍රහාරයන්ට ඇයට මුහුණ දෙන්න වෙනවා. අෑ සිය සැමියාට ආදරෙයි. ඒත් බීගත් ඔහුව ඇයට රුස්සන්නේ නෑ. ඒත් මෙතැන සැකයක් හෝ සැක සිතෙන යමක් නෑ. මොකද පැහැදිලිවම ඇයට වෙන පෙම්වතෙක් නෑ. අනියම් සබඳතා නෑ. මේ කතාව මෙහෙම දිගහැරෙද්දි, ඇගේ සැමියාගේ හොඳම මිතුරා ඇගේ ජීවිතයට සමීප වෙනවා. වරදවා වටහා ගන්න එපා. මේ මිතුරා ඇයට අනුකම්පා කරනවා. සැමියාගෙන් නොලැබෙන ආරක්‍ෂාව ඇය ලබන්නේ ඔහුගෙන්. ඉතින් නොදැනුම්වත්වම ඔවුන් දෙදෙනා අතර ආදරයක් ලියලනවා. මේ ආදර අන්දරය ලොවට රහසින් තෙවසරක් ඇදී යනවා. ඇගේ සැමියා මේ කාලයේ සිය සුපුරුදු මධුවිත හා නිදි වරනවා. මෙන්න මේ ජීවිත අතරට කොහේද ඉඳන් තවත් චරිතයක් කඩා පනිනවා. ඔහු ඇගේ නිවෙස අසල නිවෙසක නවාතැන් ගන්නට ආ බෝඩින්කාරයෙක්. කෙටියෙන් පවසතොත්, තෙමසක් යද්දි ඔහු සිය බෝඩින් කාමරයේ යහන වෙනුවට දහවල ඇගේ මංගල යහන ඇය සමඟ බෙදා ගන්නවා. ගැහැනියක් තම විවාහක පිරිමියාට අමතරව තව එකදු පිරිමියක හෝ ආශ්‍රය කිරීම ගණන් ගැනෙන්නේ බරපතළ වරදක් විදියට. එබඳු ගැහැනියක සාධු සම්මත සමාජයට අනුව නම් ‘වල් ගැහැනියක’ නැතිනම් වෛශ්‍යාවක් ලෙස සැලකෙනවා. තත්ත්වය එසේ නම්, එක් ගැහැනියක හා සබැඳුණු පිරිමින් තිදෙනකු සිටීම ගැන කවර කතාද? ඒත් මෙතැනදී රස්තියාදුකාරයා සාධු සම්මත ජන සමාජයට එරෙහිව යමින් මේ අසරණ ස්ත්‍රියව නි‍ෙදාස් කර නි‍ෙදාස් කරනවට පෞද්ගලිකව කැමැතියි. අපි මෙතැනදි ඇගේ ඉරණම ඇයට සරදම් කරන ආකාරය වටහා ගන්න පොඩි උත්සාහයක් දරමු. දැනටමත් දන්න විදියට මේ කතා නායිකාවගේ ජීවිතේට පිරිමි තිදෙනකු සම්බන්ධයි. ඒ ඇගේ සැමියා, ඇගේ ආදරවන්තයා සහ ඇගේ අසල්වැසි බෝඩිංකාරයා. මෙතැනින් ඇය එක් තෝරා ගැනීමකට පමණක් යා යුතුම නම් ඇය කවුරුන්ද තෝරා ගන්නේ? අපට මෙන්ම ඇයටත් මේ උභතෝකෝටික ප්‍රශ්නයක්. ඇය විවාහ වෙන්නේ ආදරය මුල් කරගෙන. හැම ගැහැනියක්ම වගේ ඇයත් සිය සැමියාගෙන් ආරක්‍ෂාව, ආදරය වගේම සිය කායික අවශ්‍යතා සපුරා ගැනීම බලාපොරොත්තු වෙනවා. ලංකාව කියන නීච පිරිමි බහුල රටේ අවිවාහක ගැහැනියකට වගේම, විවාහයෙන් වෙන් වුණු, වැන්දඹු ගැහැනියකට ස්වාධීනව ජීවත් වෙන්න අමාරුයි. මොකද යන්තම් ගැටවර වියට පා තැබූ කොලු කුරුට්ටාගේ ඉඳන්, හම්පඩ නාකි මිනිස්සු පවා මෙහෙම අසරණ වුණු ගැහැනු හඹා යනවා. ඉතින් ලංකාවෙදි තමන්ගේ සැමියා බේබද්දෙක්, මිනී මරුවෙක් නෙවෙයි මිනී මස් කන්නෙක් වුණත් බිරියක් ඔහුගෙන් වෙන් වෙන්න අකැමැතියි. මොකද එළියේ තමන්ගේ මාංසය ඉල්ලන මිනී මෝරු ඉන්නේ කියලා හොඳට දන්න නිසා. මෙයාලා වෙන්න ඇති අවුරුදු 2500ක බෞද්ධ උරුමයකින් ශික්‍ෂණය වුණු බෞද්ධ උපාසකයෝ. ඉතින්, සුරා මතින් නිකරුණේ ගුටි බැට දුන්නත් හැන්දෑවට ගෙදර එන්න සැමියෙක් ඉන්න එක ඇගේ ආරක්‍ෂාවට බලපානවා. ඇගේ ආරක්‍ෂාව පිළිබඳ කාරණය එහෙම වෙද්දි, ඇයට ගුටි බැට දෙන සැමියගෙන් මොන ආදරයක්ද ඇයට ලැබෙන්නේ? මෙහෙම අවසිහියෙන් එන, විකෘති මානසිකත්වයක් ඇති මිනිහෙක්ට ඇගේ කායික අවශ්‍යතා වැදගත් නෑනේ. ඒ වෙනුවට ඔහු ඒක පාක්‍ෂික අතවරයක් ඇයට සිදු කරන්නේ. එයින් ඇයට වේදනාවක් මිස කායික සංතෘප්තියක් ලැබෙන්නේ නෑ. මෙන්න මේ දෙවැනියට මතු කළ ආදරය නම් අවශ්‍යතාවේදී ඇයට ඇගේ සැමියාගේ මිතුරා මුණගැසෙනවා. මුලදී සහෝදරයෙක් වගේ ඇයට අනුකම්පා කරන ඔහු ඇගේ දුක, සැප විමසනවා. ඇගේ දුකට පිහිට වෙනවා. ඔවුන් අතර ආදරයක් ඇති වෙනවා. ඒත්, ඇගේ කායික අවශ්‍යතා ඔහුගෙන් සැපිරෙන්නේ නෑ. ඔහු ඇගේ ආරක්‍ෂාව සලසන ඇගේ අහිංසක බවට ආදරය කරන යහපත් මිනිහෙක්. මෙන්න මේ ලක්‍ෂයේදී තමයි අල්ලපු ගෙදර බෝඩින්කාරයා ඇයට ඇලුම් බැලුම් හෙළන්නේ. ඒ දෙනෙතේ තිබුණේ ආරාධනාවක්. පති භක්තියත්, ආදරයත් මැඬපවත්වලා නොසංසිඳුණු ආශාවෙන් පිරුණු ඇගේ සිරුර ජය ගන්න එක් මොහොතක ඔහුට හැකි වෙනවා. ඉතින් මේ රසය ඇය දිගින් දිගට ඔහුගෙන් පතනවා. මෙතැනදී ඇය වැරැදිද? ඇයට, ඇගේ සැමියාගෙන් ආදරයවත්, කායික තෘප්තියවත් ලැබෙන්නේ. සැමියාගේ මිතුරා ඇයට ආදරෙයි. එතැන ආශාව නෑ. රස්තියාදුකාරයා දැනටමත් අවධාරණය කරලා තියෙන විදියට ගැහැනියට ආදරය කියන්නේ ආදරය සහ ආශාව දෙකේම සංකලනයක්. මෙතැනදී ආලය විදියට මේ සංකල්පය හඳුන්වන්න පුළුවන්.

ආලය = ආදරය + ආශාව 

ඉතින්, ගැහැනිය කියන්නේ තමන්ට ආදරය කරන ඒ වගේම තමන්ගේ සිරුරට ආශා කරන පෙම්වතෙක් නැතිනම් සැමියෙක් ප්‍රාර්ථනා කරන්නියක්. තමන්ගේ විවාහක සැමියාගෙන් නොලැබෙන ආදරය සහ කම්සැප සොයා ඇය තවත් පිරිමින් දෙදෙනකු ඇසුරු කිරීම ඔබට තවදුරටත් වරදක්ද? ඇගේ දෛවය ඇයව එතැනට තල්ලු කරනවා නෙවෙයි. කාලකණ්ණි පිරිමියකු වූ ඇගේ සැමියාගේ අතවර ඇයව තල්ලු කරවන්නේ තවත් පිරිමින් දෙදෙනකු ළඟට. අතීතයේදී ඉන්දියානු සීතාදේවිව පැහැරගෙන ආවේ ලාංකේය රාවණා. ඒ කාලේ ඉඳන්ම ගැහුනු බලහත්කාරයෙන් ගන්න අපේ අය ශූරයෝ. ඒත්, සීතා මහා බලසම්පන්න රාවණාට නතු වුණේ නෑ. මොකද රාමා කුමාරයා ඒ කියන්නේ සීතා දේවිගේ සැමියා ඇයට හිත පුරා ආදරයත්, ඇගේ ගත පුරා ආශාවත් තෘප්තිමත් කරපු පෙම්බර කුමාරයෙක්. අන්තිමේදී, රාවණා මරා දාලා රාම ඇයව ගලවා ගන්නේ නියම සැමියකු විදියට.ඉතින් ඔයාලා රාවණා වෙනුවට රාමව ආදර්ශයට ගන්න.

උපුටා ගැනීම මව්බිම පුවත්පත