🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මගේ කෙල්ලගේ ජීවිතේ ඉවරයි

මගේ කෙල්ලගේ ජීවිතේ ඉවරයි

කුමුදු කියන්නේ වයස අවුරුදු දාහතරක පුංචි දරුවෙක්. පාසල් යනවා. අම්මායි තාත්තායි දෙන්නාම එදා වේල හොයා ගන්නේ බොහොම දුක් මහන්සි වෙලා. කුමුදුට අක්කලා හතර දෙනෙක් ඉන්නවා. ඉන් තුන්දෙනෙක්ම විවාහ වෙලා. කුමුදු ගෙදරදී වැඩිපුරම කරන්නේ රූපවාහිනිය දිහා බලාගෙන ඉන්න එක. හින්දි චිත්‍රපට, ටෙලිනාට්‍ය වරද්දන්නේම නැතිව බලා කුමුදුගේ හිත මනෝමය ලෝකයක රජවෙලයි තිබුණේ. ඉස්කෝලෙ යනකොට එනකොට දැකපු රංජි එක්ක කුමුදු පේ‍්‍රම සම්බන්ධයක් ඇති කරගත්තා. රංජිගේ වයස අවුරුදු 24යි. මේ පේ‍්‍රම කතාව නිසා කුමුදුගේ ඉස්කෝල වැඩත් ටිකෙන් ටික අතපහු වුණා. ටිකෙන් ටික අම්මටත් ආරංචි වුණා. අම්මා එකහෙලාම මේකට විරුද්ධ වෙලා කරුණු තේරුම් කරලා දුන්නා. “ඉස්සෙල්ලාම ඉගෙන ගෙන හිටපන්කෝ දුවේ” කියල අම්මා නිතරම කිව්වා. ඒ වුණත් කුමුදුගෙයි රංජිගෙයි ආදර වෘත්තාන්තය නැවතුණේ නම් නෑ. දිනෙන් දින විවිධ මාන ඔස්සේ මේක ලියලා වැඩුණා. අම්මා දවසක් කුමුදුව හෙව්වා. අල්ලපු ගෙවල්වල නැති තැන සැකේට වාගේ හෙව්වා. අම්මාගේ ඇස් අදහා ගන්නත් බැහැ. කුමුදු රංජිත් එක්ක ලිංගිකව හැසිරෙනවා අම්මාගේ අතටම අහුවුණා. අම්මාගේ තරහා නිවෙනකල් කුමුදුට ගැහුවා. කකුලේ පිටේ වයිරන් මතු වුණා. ඒත් ගැහුවා. කුමුදුගේ අම්මා කුමුදුව වෛද්‍යවරයෙක් ළඟට ගෙනාවා. විස්තර කියලා අම්මා හොදටෝම ඇඬුවා. “මගේ කෙල්ලගේ ජීවිතේ ඉවරයි” කිය කියා ඉකි බින්දා. කුමුදුගේ වයස අවුරුදු 14ක් නිසා, ඇයට ලිංගික අතවර කළේ යැයි චෝදනා මත රංජිව නීතියේ රැහැනට හසු වුණා. ඒ අනුව රංජිට නැති ප්‍රශ්න වැලකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අධිකරණයේ රස්තියාදු වෙලා නමත් කැතකර ගෙන දුක් ගොඩක් විදපු රංජි, කුමුදුට වයස අවුරුදු 18 පිරුණට පස්සේ කසාද බඳින්නම් කියලත් කිව්වා. ඒත් අම්මා කැමති වුණේ නෑ. අනාගතයක් ගැන නොහිතා කලබල වෙලා මේ වගේ වැඩ කරපු එවුන් විශ්වාස කරන්න බෑ කියලා අම්මා කිව්වා. වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වුණා කුමුදු මීට පෙරත් ලිංගිකව හැසිරී ඇති බව. කුමුදු නිසා තැවෙන මව දැක දැක වෛද්‍යවරිය කුමුදුට පැහැදිලි උපදෙස් ටිකක් ලබා දුන්නා.

ජීවිතය අපි හිතනවාට වඩා බොහොම සංකීර්ණයි. වරක් වරදක පැටලුන නිසා එතන ජීවිතය, විනාශ කර ගන්න එක හොඳ නැහැ. මේ සිදුවීම වැනි අනවශ්‍ය වයසට නොගැලපෙන ක්‍රියාවන්ට නතුවන්නේ නැහැ කියලා හිතට ගන්න. ඉගෙන ගන්නට තිබෙන්නේ පුංචිම පුංචි කාලයක්. එය සාර්ථකව නිමා කර ගත්තොත් ඉදිරි ජීවිතය අති සාර්ථකව සතුටින් ගත කරන්න පුළුවන්. අඩු වයසින් ඇති කරගන්නා ප්‍රේම සම්බන්ධතාවලට දීර්ඝකාලීන පැවැත්මක් නැහැ. තමාගේ අධ්‍යාපන මට්ටමට ගැලපෙන සහකරුවෙක් මුණගැහෙන්න නම් තමන්ගේ අධ්‍යාපනයේ අවසානය දකින දුරකටවත් යන්න ඕනෑ. තමාට ඇත්තටම හදවතින්ම ආදරය කරන පේ‍්‍රමවන්තයෙක් විවාහය සිදු කර ගන්නා තෙක් ලිංගික සම්බන්ධතාවයකට ආරාධනා කරන්නේ නැහැ. එය තදින්ම දරුවෝ හිතට ගන්න ඕනෑ. දෙමව්පියන්ගේ එකම බලාපොරොත්තුව දරුවන්ට පැහැදිලි ලස්සන අනාගතයක් උදා කරදීම පමණයි. පාසලේ ගුරුවන්ට නොදන්නා දේ, සැක හිතෙන දේ අහන්න.... කුමුදු සියල්ල අවබෝධ කර ගත්තා. ඇය ඉකිබිඳිමින් හැඬුවා. යළි කිසිදිනෙක වරදක් නොකරන බවත්, හොඳින් ඉගෙන ගන්නා බවටත් පොරොන්දු වී ඇය මව සමඟ පිටව ගියා. 

උපුටා ගැනීම දිනමිණ