🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මාධවීගේ ජීවිතය උඩු යටිකුරු කළේ අනුෂාගේ කළණ මිතුදමයි...

මාධවීගේ ජීවිතය උඩු යටිකුරු කළේ අනුෂාගේ කළණ මිතුදමයි...

අනූෂාත්, මාධවීත් පුංචි කාලෙ ඉඳන්ම එකම පන්තියෙ ඉගෙන ගත්තු මිතුරියන්. අනූෂාගෙ දෙමව්පියන්ට මිල මුදලින් අඩුවක් නොතිබුණත් මාධවීට එහෙම නමෛයි. මාධවී ජීවත් වුණේ ප්‍රශ්න ගොඩක් මැද්දෙ. ඒකට හේතුව මාධවීගෙ තාත්තා ගහකින් වැටීම නිසා එක්තැන් වී හිඳීමයි. මාධවීවත් ඇගේ මල්ලිවත් ජීවත් කරන්න අම්මා පුදුම විදිහට දුක් වින්දා. මේ ගැන දන්න හින්දම අනූෂා මාධවීට ඇඳුම් පැළඳුම් ‍පොත්පත්, සපත්තු, සෙරෙප්පු හැම දෙයක්ම වගේ පරිත්‍යාග කළේ නිර්ලෝභීවයි. මාධවීට ඉගෙන ගන්න ලැබුණෙ අනූෂාගෙ ඒ උදව් උපකාර නිසයි. අනූෂාට වඩා මාධවී ඉගෙන ගන්න දක්ෂයි. අනූෂා හැමවෙලාවෙම මාධවීව දිරිමත් කළා. සමහර වෙලාවට මාධවීගෙ ටියුෂන් පන්ති ගාස්තු ගෙව්වෙත් අනූෂා. මාධවී හැම වෙලාවෙම හිතුවෙ අනූෂා තමන්ගෙ ඉෂ්ට දේවතාවා කියලයි. උසස් පෙළ ටියුෂන් පන්තියට යන කාලෙ අනූෂා, දේවින්ද සමග සම්බන්ධයක් ඇති කර ගත්තා. දේවින්ද අනූෂාගෙ තාත්තගෙ ව්‍යාපාරික මිතුරකුගෙ පුතෙක්. ඒ නිසා මේ සම්බන්ධයට මුල ඉඳලම දෙපැත්තේ ආශිර්වාදය ලැබුණ. මාධවී මේ දෙන්නාට උදව් උපාකර කළේ ලොකු සතුටකින්. උසස් පෙළ අවසන් වුණාට පස්සෙ මාධවීට පෞද්ගලික පාසලක ප්‍රාථමික ශ්‍රේණි ගුරුවරියක ලෙස පත්වීමක් ලැබුණා. ඒ වෙනුවෙන් ලොකු කාර්යභාරයක් කළේ අනූෂාගෙ තාත්තායි. අනූෂාගෙත් දේවින්දගේත් විවාහ මංගල්‍යයේදී අනූෂාගෙ යෙහෙළියක් විදිහටත් මාධවී සිටියා. මේ ආකාරයට පැවති ඔවුන්ගේ මිතුරුදම අනූෂාගේ විවාහයෙන් පසුව වුණත් බිඳී ගියේ නෑ. මාධවී සිටියෙත් විවාහයක් විය යුතු වයසෙ.

ඒත් මාධවී ඒ වනතුරුවත් ආදරයක් ගැනවත් හිතල තිබුණෙ නෑ. ඇගේ එකම අභිලාෂය වුණේ මල්ලිට ඉගැන්වීමයි. ඒ අනුව මාධවීට යහපත් කෙනෙක්ව සොයා දෙන්න අනූෂා ගත් උත්සාහයෙන් පලක් වුණේ නෑ. මේ අතර මාධවීගෙ තාත්තාත් අවුරුදු ගණනක් එක තැන දුක් විඳලා මියගියා. ඉන්පස්සෙ මාධවීගෙ හිසට දැනුණු බර වැඩි වුණා. තාත්තා එක තැන හිටියත් මාධවීත් අම්මාත් හැමදේකටම උපදෙස් ගත්තෙ තාත්තගෙන්. දැන් ඒ සේරම බර තමා පිට බව මාධවී වටහා ගත්තා. එක්තරා දවසක දේවින්ද හදිසියේම මාධවීට දුරකථන ඇමතුමක් ගත්තා. ඔහු කියූ පණිවුඩයෙන් මාධවීට දැනුණෙ තමන්ගෙ සිහිය විකල් වනවා වගේ හැඟීමක්. අනූෂා ටික දවසක ඉඳලම උගුරේ අසනීපයකට ප්‍රතිකාර ගනිමින් සිටි බව මාධවී දන්නවා. නමුත් ඒක මේ වගේ බරපතළ රෝග තත්ත්වයක් බව මාධවී හීනෙකින්වත් හිතල තිබුණෙ නෑ. අනූෂාගෙ උගුරෙ පිළිකාවක්. ඒත් අනූෂාට ඒ බව දේවින්දවත් හෙළි කරල නෑ. දැනගත්තු ගමන්ම දේවින්ද කතා කරල තිබුණෙ මාධවීට. මාධවී අසිහියෙන් වගේ ඒ මොහොතෙම ගියා අනූෂාව බලන්න. ඒත් අනූෂා ඇගේ රෝගය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් නොදත් නිසා අනූෂා ඉදිරිපිට තමන්ගේ කඳුළු විශාල ආයාසයක් දරා පාලනය කරගන්නට මාධවීට සිදු වුණා. අනූෂාව පිළිකා රෝහ‍ලේ නතර කර ප්‍රතිකාර ලබාදෙන්න ඇගේ දෙමාපියොවත් දේවින්දවත් කැමැත්තක් දැක්වූයෙ නෑ. ඇයට රෝගය පිළිබඳ සත්‍යය සඟවා පෞද්ගලික රෝහලක නතර කර ප්‍රතිකාර ආරම්භ කළා. මේ කාලය තුළදී වැඩිපුරම අනූෂා ළඟ නතර වෙලා හිටියෙ මාධවී. සෑහෙන කලක් ගතවුණාට පස්සෙ තමාට තිබෙන රෝගය ගැන අනූෂා දැන ගත්තා. ඊට පස්සෙ අනූෂා මානසිකව ගොඩක් වැටුණා. තමා සුවවෙයි කියන විශ්වාසය අනූෂාට තිබුණත් දවසින් දවසම ඇය රෝගය විසින් ගිල ගනිමින් තිබුණා. එක්තරා දවසක අනූෂා කවුරුත් නැති අවස්ථාවක මාධවීගෙන් එක ඉල්ලීමක් කළා. “දේවින්ද මට ගොඩක් ආදරෙයි මාධවී. මං හදිස්සියෙ මැරුණොත් දේවින්දට ඒක වාවන්න බැරි වෙයි. ඒ නිසා ඔයාට පුළුවන්ද මං වෙනුවෙන් දේවින්දව භාර අරන් එයාව හොඳින් බලාගන්න?” අනූෂා අහපු ඒ ප්‍රශ්නයෙන් මාධවීට දැනුණෙ අවට පරිසරය පවා උඩු යටිකුරු වෙන බවකුයි. තමාගේ හොඳම මිතුරියගෙ මරණයක් ගැනවත්, ඒ මිතුරියගේ සැමියාව ඇගේ මරණයෙන් පසු භාර ගැනීමක් ගැනවත් තුන් හිතකින්වත් හිතන්න ශක්තියක් මාධවීට තිබුණෙ නෑ. මාධවී කිව්වෙ එක දෙයයි. “ඔයාට මොනව හරි වුණොත් මමත් ඔයා මත්තෙම මැරෙනව අනූ. ඉන් එහා ජීවිතයක් ගැන මට හිතන්න බෑ.”මාධවීගෙ තීරණය වුණේ ඒක. කෙසේ හෝ සෑහෙන කලකට පසුව අනූෂා මියගියා. ඒ මරණය මාධවීට දරාගන්න හැකි වුණේ නෑ. ඇය දිගින් දිගටම මිතුරිය ගැන සිතමින් හඬා වැළපුණා. දේවින්දගෙවත් අනුෂාගෙ දෙමාපියන්ගෙවත් තත්ත්වය ගැන සොයාබලන්න තරම් නිරවුල් මානසිකත්වයක් මාධවීට තිබුණෙ නෑ. අන්තිමේ දේවින්දටත් අනූෂාගෙ පියාටත් සිදුවුණා මාධවීට මනෝ වෛද්‍ය ප්‍රතිකාර අරන් දෙන්න. දැන් අනූෂා මියගිහින් අවුරුද්දකුත් පසුවුණා. අනූෂාගෙ දෙමාපියන් කැමතියි මාධවීව දේවින්දට විවාහ කර දෙන්න. දේවින්දත් ඒකට අකමැත්තක් පළ කරන්නෙ නෑ. ඒත් කවදාවත් මේ ජීවිතය තුළදී තමාගේ ජීවිතයේ එක කොටසක් වැනි වූ මිතුරියගේ සැමියා තමාගේද සැමියා කරගන්නට මාධවී සිතන්නෙ නෑ. එපමණක් නොවෙයි. තමන්ගේ මල්ලී විවාහයක් කරගත් දවසක මවගෙ රැකවරණය ඔහුට පවරලා ගිහිගෙයින් නික්මෙන්න මාධවී තීරණය කරගෙන ඉන්නවා.

උපුටා ගැනීම ලක්බිම