🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

පිළිකා රෝගී කාන්තාවකගේ කතාවක්

පිළිකා රෝගී කාන්තාවකගේ කතාවක්

පිළිකාවෙන් ජීවිතය ජයගත් කාන්තාවක් තමන්ගේ ජීවිතය පහතට ඇද දැමූ ඒ කාලය ගැන කියලා තිබුණේ මේ විදියට.... 

පුංචි ගැටයක් ලොකු පිළිකාවක් : අපි බොහෝ දේවල් ගැන වැඩිය හිතන්නෙ නැහැනේ. අපි නොහිතනා පුංචි පුංචි දේවල් පස්සෙ කාලෙක මහා ලොකු දේවල් බවට පත්වෙලා අපිට රිදවනවා. ඇඟේ පුංචි තැනක දැනෙන වේදනාවක් අපි එතරම් තැකීමක් කරන්නේ නැහැ. මගේ පියයුරේ ඇතිවුණු පුංචි වේදනාව මම එතරම් තැකීමක් කළේ නැහැ. අවසානයේදි එය නතර වුණේ මගේ එක් පියයුරක පිළිකාවක් හටගැනීමෙන්. 

මට මේ මොනවද වුණේ : මගේ පියයුරේ පුංචියට ඇතිවුණු ගැටිත්ත කෙමෙක් කෙමෙන් ඉතා ඉක්මනට වර්ධනය වුණු ආකාරය දැකලා මම පුදුම වුණා. මම වෛද්‍යවරයෙක් මුණගැහිලා මේ ගැටිත්ත ගැන කිව්වාම එයා මාව පරීක්ෂණවලට ලක් කළා. අන්තිමේදි මැමෝග්‍රැපි සහ අනෙකුත් පරීක්ෂණවල ප්‍රතිඵල ආවා. මම ඒ දේ අහන්න ඇත්තටම බය වුණා. මගේ පරීක්ෂණ ප්‍රතිඵල පරීක්ෂා කළ වෛද්‍යවරයා කිව්වේ මගේ පියයුරේ පිළිකාවක් කියලා. එය දෙවැනි අවස්ථාව දක්වා වර්ධනය වෙලා කිව්වා. මට ඒ වෙලාවේ හිතාගන්නවත් බැරි වුණා මට මේ මොනවද වෙන්න යන්නේ කියලා. එතැනින් එහාට මට වෛද්‍යවරිය කිව්ව කිසිදෙයක් ඇහුණේ නැහැ. එයා කරන කිසිම දේකට මගේ අවධානය යොමු වුණේ නැහැ. මම ඔහේ ගල් පිළිමයක් වගේ වාඩි වෙලා හිටියා විතරයි. 

ප්‍රතිකාර පටන් ගත්තා : වෛද්‍යවරිය තීරණය කළේ මම හෙටම විශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැසිය යුතුයි කියලා. මම බයෙන් බයෙන් වගේ විශේෂඥ වෛද්‍යවරයෙක් මුණගැහුණා. මම කරන්නේ මොනවද කියන එක ගැනවත් මට මතකයක් තිබ්බේ නැහැ. වයස අවුරුදු 52ක් වුණු මාව පුළුවන් ඉක්මනට ප්‍රතිකාර සඳහා යොමුකරන්න වෛද්‍යවරු තීරණය කළා. 

සැමියාගේ ආදරය වැඩි වුණා : මගේ සැමියා පෞද්ගලික ආයතනයක විධායකවරයෙක්. ඔහු ඔහුගේ හැඟීම් සඟවන්න හොඳට දන්නවා. වාසනාවකට අපිට දරුවෝ හිටියේ නැහැ. ඒක හොඳයි කියලා හිතුණේ හදිස්සියේවත් මට ජීවිතයෙන් සමුගන්න සිදු වුණොත් මට වැඩිය දුකක් දැනෙන එකක් නැති නිසා. ගතවුණු අවුරුදු 52 පුරාම මට බරපතළ ආකාරයේ සෞඛ්‍ය ගැටලු තිබුණේ නැහැ. ඒත් එක පාරටම මට පියයුරු පිළිකාවක් හැදුණා. මට පුදුම හිතුණා. මම කම්පනයට පත් වුණා. මම හුඟාක් ඇඬුවා. මට මේ දේ දරාගන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඒත් මගේ සැමියා හෙවණැල්ලක් වගේ මගේ ළඟින් හිටියා. 

හොඳටම බය වුණු කාලයක් : කියෝ තෙරපි ප්‍රතිකාර පටන් ගත්ත කාලය මගේ හිතේ පුදුම බයක් ඇති කළ කාලයක්. මගේ කොණ්ඩෙ ගැලවී යන්න පටන් ගත්තා. මම කෑගහලා ඇඬුවේ මගේ දුක තුනී කරගන්න. මගේ මහත්තයා හැම වෙලේම පුංචි විහිළුවක් කරල හරි මාව හිනස්සවන්න උත්සාහ කළා. ඒත් හිනාවෙන්න තරම් මගේ හිත නිවිලා තිබුණේ නැහැ. ගින්දරකින් හැම වෙලේම මාව පිච්චෙනවා වගේ දැනුණා. 

සමහරු විහිළු කළා : තට්ටය පෑදුණු මගේ හිස බොරු කොණ්ඩයකින් ආවරණය කරගෙන මගේ මහත්තයා මාව ඇවිදින්න එක්කරගෙන ගියා. සමහර තරුණ ගැහැනු ළමයි මගේ කොණ්ඩය දිහාට ඇඟිල්ල දිගු කරලා මොනවද කියන්න පටන් ගත්තා. එදා ඉඳන් මම ගෙදරින් එළියට බහින එක තරයේ ප්‍රතික්ෂේප කළා. ඒත් මගේ මහත්තයා ඒක පිළිගත්තේ නැහැ. එයාට ඕනෙ වුණේ මාව එළියට එක්කරගෙන යන්න. මම තරුණ ගැහැනු ළමයි එක්ක එකතු වෙන්න පටන් ගත්තා. ඒ මට උසුළු විසුළු කරන්න පෙලැඹුණු අය. මම ඒ අයට පැහැදිලි කළා කිමෝ ප්‍රතිකාර කරද්දි හිසකේ ගැලවෙනවා කියලා. පස්සේ මගේ කතාව අහලා ඒ අය හුඟාක් දුක් වුණා. 

පිළිකාව ඉවත් කළා : අවුරුදු හතරක් ගත වුණා. සැත්කමක් මඟින් මගේ පියයුරේ තිබුණු පිළිකාව සම්පූර්ණයෙන් ඉවත් කළා. දැන් මම පිළිකාවට ගොදුරු වුණු අය වෙනුවෙන් පෙනී ඉන්නවා. එයාලට දැනෙන වේදනාව ගැන අනිත් හැමෝටම කියලා දෙනවා. 

මව්බිම