🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

හුඟක් පිරිමි හිතන් ඉන්නෙ තනිවුණු ගෑනු සෙල්ලම් බඩු කියල

දුරකථනයෙන් මට දින කීපයක් කතා කළ තුසිතා ඇගේ කතාව කඩතුරාවට ඉදිරිපත් කළේ මෙලෙසිනි.

* තුසිතා කොහෙද වැඩ කරන්නෙ ? රාජ්‍ය ආයතනයක. ඒකෙ නම නම් කියන්න විදිහක් නෑ මට.

* හරි ඒකට කමක් නෑ. ඔයාගෙ ඔය හිත් වේදනාවට මුල් වුණු කාරණාවට එන්න කලින් ඒකට පසුබිම් වුණු කාරණා ගැන කියලම ඉමුකො. මං කසාද බැඳල මාස අටයි මගෙ මහත්තයා නැති වෙනකොට.

* හදිස්සියෙ කොහොමද නැති වුණේ ? එයා හමුදාවෙ කෙනෙක්. යුද්දෙන් නැති වුණේ.

* ඔයාට දරුවෙක් එහෙම ලැබෙන්න නැතුව ඇති ? නෑ. මට ඒ කාලෙ නම් හිතුනා අනේ මට සංජීවගෙන් දරුවෙක් හරි හිටිය නම් කියලා. ඒත් පස්සෙ හිතුනා ඒ දරුවට තමන්ගෙ තාත්තගෙ මූණවත් බලන්න ලැබෙන්නෙ නැති නිසා මොන තරම් දුකක් දැනෙයිද කියලා. ඒ හින්දා දරුවෙක් නොලැබුණු එක හොඳයි කියලා පස්සෙ මට හිතුනා. 

* ඉතින් ? මං සංජීව වෙනුවෙන් ගොඩක් කාලයක් දුක් වින්දා. ඊට පස්සෙ මං ටිකෙන් ටික හිත හදා ගත්තා. ඔය විදිහට අවුරුදු දෙකකටත් කිට්ටු වුණා. අම්මලා මට කිව්වා වෙන කෙනෙක් ගැන හිතන්න, මං හැමදාම මෙහෙම ඉන්න එකේ තේරුමක් නෑ කියලා.

* ඔයාට ඒ ගැන මොකද හිතුනෙ ? මොකුත් විශේෂයෙන් හිතුනෙ නෑ. නමුත් මං වගේ එක පාරක් කසාද බැඳල හිටපු ගෑනියෙකුට පිරිමියෙක් හොයන එකත් ඒ තරම්ම ‍ලේසි වැඩක් නෙමේනේ.

* ඒ කියන්නෙ තුසිතාට ගැළපෙන කෙනෙක්ව හම්බුණේ නෑ ? මං යන එන මගතොටේදී දකින කෙනෙක් මාත් එක්ක හිනා වෙන්න පටන් ගත්තා. මාත් මුලදී හිනා වුණා. මනුස්සකමට. ඒත් එයා හිනාවෙන්නෙ මනුස්සකමට එහා ගිය සම්බන්ධයකට බව මට තේරුණා. 

* ඉතින් ? ඔයා ඒ වගේ දේකට කැමති වුණාද ? මේ වෙනකොට මට ලොකු පාළුවක් තනිකමක් දැනෙමින් තිබුණා. මට ඕන වුණේ පිරිමියෙකුගෙන් කායික සතුටක් ලබන්න නෙමේ. ආදරයක් ලබන්න. මං බලා‍පොරොත්තු වෙන විදිහෙ අවංක ආදරයක් ලැබෙනව නම් මට ඒ ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරන්න බැරිකමක් තිබුණෙ නෑ. මං බුද්ධික ගැන හිතුවෙත් ඒ විදිහට. 

* බුද්ධික කිව්වෙ ඔයාට ඔය හම්බ වුණු කෙනාද ? ඔව්. බුද්ධික මට කියපු දේවල්වලට මං මොන තරම් වසඟ
වුණාද ? එයාගෙ හැසිරීම් කතාබහවල තිබුණු විනීත සංවරකම ගැන මගෙ හිතේ ඇතිවුණු පැහැදීම ගැන කියන්න වචන නැති තරම්. 

* ඔයා බුද්ධිකට කැමති වුණා ? ඇත්තටම ඔව්.

* ඊට පස්සෙ ? අපි ගොඩක් සමීපව ආශ්‍රය කළා. එයා මට හොඳට ආදරය කළා. සංජීව නැති වුණාට පස්සේ මං ලොකු සැහැල්ලුවකින් සැනසීමකින් ජීවත් වෙන්න පටන් ගත්තෙ බුද්ධිකගේ හමුවීමෙන් පස්සෙ තමයි.

* ඊට පස්සෙ මොකද වුණේ ? ඔය දෙන්නා බැන්දද ? අපි දෙන්නා මේ විදිහට මාස ගණනක් සමීපව ආශ්‍රය කළා. එයා ඊට පස්සෙ ටිකින් ටික මාව මග අරින බව මට තේරුණා. මං ඒකට හේතු ඇහුවම එයා කිව්වෙ එයාට ඔෆිස් එකේ වැඩ වැඩියි කියලයි. 

* ඔයා කියන්නෙ ඒක ඇත්තක් නමෛයි කියලද ? ඒක ඇත්තක් වෙන්න පුළුවන් කියමුකො. ඒත් ඉතින් එක මොහොතටවත් ඉස්පාසුවක් නැති තරමටම වැඩද ? අඩු ගාණෙ විනාඩි පහක් දහයක් කතා කරන්නවත් බැරි තරමටම...

* ඔයා මොකක්ද ගත්තු පියවර ? මං මොන තරම් බුද්ධිකට පැහැදිලි කරන්න උත්සාහ කළාද මගෙ ආදරේ ගැන. ඒත් වැඩක් වුණේ නෑ. පිරිමි කියන්නෙ කිසිම හිතක් පපුවක් නැති ජාතියක්. මට හිතා ගන්න බෑ පිරිමි මේ තරම් කුරිරු ඇයි කියලා.

* ඔයාට බුද්ධික මොකුත්ම කිව්වෙ නැද්ද ? නෑ. දවසින් දවසම මගඇරියා. ඒ විතරක් නෙමේ මගේ කෝල්ස්වලට කිසිම විදිහකින් උත්තර දුන්නෙ නෑ. 

* එයා ඔයාව බඳින්න ‍පොරොන්දු වෙලා හිටියද ? මුලින් කිව්වා කවුරු මොනව කිව්වත් මාව බඳිනවමයි කියලා. ඒත් මෙච්චර මෙහෙම වෙනස් වෙන කොට මට ඉවසන්නම බැරි තැන මං එයාව හම්බ වෙන්න ගියා. එතකොට එයා කිව්වෙ පුදුම කතාවක්. 

* ඒ මොකක්ද ? ගෙදරින් එයාට යෝජනාවක් ගෙනල්ලලු. එයාව බඳින්න කියලා බල කරනවලු. එයා අහනව දහදුක් විඳල හදපු අම්මලට පිටුපාන්නෙ කොහොමද කියලා. තමන්ගෙ පුතා මීට කලින් කසාදයක් බැඳල හිටපු ගෑනියක්ව බැන්දා කියල දැන ගත්තොත් එයාගෙ අම්මාට හාට් ඇටෑක් එකක් හැදෙයිද දන්නෙත් නෑලු. මේක ඇහුවම මට දැනුණෙ මට මුලදී කතා කරපු බුද්ධිකයි දැන් මෙතන ඉන්න බුද්ධිකයි එක්කෙනෙක් නෙමේ දෙන්නෙක් කියලමයි. මට හිතා ගන්න බැරි වුණා මිනිස්සුන්ට මේ විදිහට කතා කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නෙ බුද්ධික එයාගෙ අම්මලට කීකරුවෙන එක නෙමේ මට තියන ප්‍රශ්නෙ. එයා මුලදී කියපු කතායි දැන් කියන කතායි සංසන්දනය කරල බැලුවම මේ කතා කරන්නෙ දෙන්නෙක් මිසක් එක්කෙනෙක් කියලා හිතන්න නම් කීයටවත් මගෙ හිත ඉඩ දුන්නෙ නෑ. 

* තුසිතා මොකද කිව්වෙ ? ‘බුද්ධික ඔයා එදා කියපු දේවලුත් මට මතකයි. ඔයා මැරිලා ඉපදුනාට මං මැරිල ඉපදුනේ නෑ. ඔයා වගේ මිනිහෙකුට මේ තරම් ආදරේ කරපු එක ගැන මම මටම ශාප කර ගන්නව. මේ සංසාරෙටවත් ආයෙමත් ඔයාගෙ රෝම කූපයක්වත් මට දකින්න සිද්ධ වෙන්න එපා’ කියලා මං ආපහු ආවා. 

* දැන් බුද්ධික බැඳලද ? ඒකා බැඳලද නැද්ද කියන එක නෙමේ වැඩේ. ඊට පස්සෙ උගේ යාළුවෙක් මට හැම තිස්සෙම කෝල් කරන්න පටන් ගත්තා. 

* ඒ මොකටද ? බුද්ධික ඔයාට කරපු වැඩේ වැරදියි කිය කියා ඌ කිඹුල් කඳුළු හෙලන්න ආපු හැටියට ඌත් එන්නෙ ගලාගෙන යන නදියකින් දිය දෝතක් බොන්න පුළුවන්ද බලන්න බව මට තේරුණා. දවසක් ඌට හොඳ සිංහලෙන් කතා කරල කෝල් එක කට් කළා. ඊට පස්සෙ ආයෙත් ඌ ආවෙ නෑ මට කතා කරන්න. හුඟක් පිරිමි හිතන් ඉන්නෙ තනිවුණු ගෑනු සෙල්ලම් බඩු කියල. 

ඉන්දු පෙරේරා 

උපුටා ගැනීම ලක්බිම