🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මං සදා කාලයටම පසුතැවෙන්නේ අම්මා ගැන හරිහැටි හොයා නොබලපු හින්දයි

මං සදා කාලයටම පසුතැවෙන්නේ අම්මා ගැන හරිහැටි හොයා නොබලපු හින්දයි

ප‍්‍රියංකා දිනක් මා හමුවීමට අපගේ කාර්යාලයට පැමිණියාය. ඇය කී කතා පුවතින් අද කඩතුරාව සරසමු.

ප‍්‍රියංකා ඔච්චරටම අඬන්නෙ ඇයි ? ඔයා ඔය දුක්වෙන කාරණාව නැවත හදන්න බැරි වරදක්ද? 
සත්තකින්ම, මගෙ මේ පසුතැවිල්ල මගේ ජීවිතේ පවතින තාක්කල් තියේවි.

කියන්නකො මොකක්ද ඔය කතාව ? 
අපේ අම්මටයි තාත්තටයි හිටියෙ මායි මල්ලියි විතරයි. මං කසාද බඳින්න අවුරුද්දකට විතර කලින් තාත්තා හදිස්සියේම නැති වුණා. ඔය වෙද්දි මායි මල්ලියි දෙන්නම රස්සාවල් කළා. අම්මාට තාත්තගෙ පෙන්ෂන් එකත් හම්බ වුණා. ඒ හින්දා අපට මුදල් හදල් අතින් ලොකු කරදරයක් නම් තිබුණෙ නෑ. ඒත් තාත්තා නැති පාඩුව නම් පිරිමහන්න බැරි තරම් වුණා.

ඉතින් ? 
තාත්තා නැති වෙලා අවුරුද්දෙ දානෙ දුන්නටත් පස්සෙ මගෙ කසාදෙ සිද්ධ කළා. ඊට පස්සෙ මං ගෙදරින් පිට වෙලා මගෙ මහත්තයත් එක්ක එයාගෙ ගෙදර පදිංචියට ගියා.

ඊළගට මොකද වුණේ ? 
මල්ලියි අම්මයි විතරයි ගෙදර ඉතුරු වුණේ. අපේ අම්මා මල්ලිට ඉස්සර ඉඳන්ම හරිම ආදරෙයි. සමහර වෙලාවට මට හිතෙනව අම්මා මටත් වඩා මල්ලිට ආදරෙන් හිටියා කියලා.

පවු‍ලේ බාලයා හින්ද වෙන්න ඇති ? 
බාලයා විතරක් නෙමේ එකම පුතානේ. ඒකත් එක හේතුවක් වෙන්න ඇති. කොහොම වුණත් අම්මගෙ ආදරය වගේම වුවමනාවටත් වඩා වැඩියෙන් තිබුණු අවධානය මල්ලිට කරදරයක් විදිහට දැනුණු බව මට තේරුණා.

ඇයි ඒ ? 
මොනව වුණත් එයා පිරිමියෙක්නේ. එයා කැමති වුණේ නෑ ‍පොඩි ළමයෙක් ගැන බලනව වගේ හැම තිස්සෙම එයාගෙ හැමදේටම ඇගිලි ගහනවට. කොහොම හරි මල්ලි කසාදත් බැන්දා. ඊට පස්සෙ තමයි ගෙදර ප‍්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තෙ.

ඇයි ඒ ?
මල්ලිගෙ හැම දෙයක් ගැනම ඇගිලි ගහනවට මල්ලි විතරක් නෙමේ එයාගෙ වයිෆුත් කැමති වුණේ නෑ. අන්තිමට ගෙදර ආරවුල් ඇති වෙනකොට මල්ලි මට කිව්වා පුළුවන් නම් අම්මව අපේ ගෙදර එක්ක යන්න කියලා.

ඉතින් ? 
මං බලෙන්ම වගේ එක්ක ගියත් අම්මා හැම වෙලාවෙම මල්ලිව මතක් කර කර දුක් වුණා. අන්තිමේ මං ඇහුවා "අම්මට මං ගැන ඔහොම හිතන්නෙ නැත්තෙ මං අම්මගෙ දරුවෙක් නෙමේද ?" කියලා...

එතකොට ? 
අම්මා අමුතු විදිහට මගෙ දිහා බැලූවා. ඊට පස්සෙ මට බැණගෙන බැණගෙන ගියා. "කට කැඩිච්ච කතා කියන්නේ එපා යකෝ. ඒකා මගෙ ‍පොඩි එකානේ"  කියලා. කොහොම හරි අම්මා බලහත්කාරෙන් වගේ ආයෙත් ගියා මහ ගෙදරට.

ඊට පස්සෙ ?
ඔය අතරෙ මල්ලිට පිටරටක රස්සාවක් හම්බ වුණා. මල්ලි ඒක සෑහෙන කාලෙක ඉඳලා ගොඩක් දුක් විඳල මහන්සි වෙලයි හදා ගත්තෙ. ඒත් මල්ලි රට යන බව ඇහුවම අම්මා හිටියෙ පුදුමාකාර හිත් අමාරුවකින්.

ඉතින් ? 
මල්ලි රට ගියා. එයාගෙ වයිෆ් අපේ අම්මත් එක්ක ඉන්න කැමති වුණේ නෑ. එයාල දෙන්න හැම වෙලාවෙම ඇටෑක් නේ. ඒ හින්දා මල්ලිගෙ වයිෆ් එයාගෙ මහ ගෙදරට ගියා.

අම්මා ගෙදර තනි වුණාද?
මං පුළුවන් තරම් උත්සාහ කළා අම්මාව අපේ ගෙදර එක්ක එන්න. ඒත් අම්මා ගෙදර අත් ඇරලා එන්න කැමති වුණේම නෑ. අන්තිමට මමිඅම්මට බැරි නම් ඕන කුදයක් ගහ ගන්න කියලා යන්න ගියා. මට කොච්චර කේන්ති ගියාද කිව්වොත් මාසයක් විතර යනකල් මං අම්මව බලන්න ආවෙම නෑ. අඩු තරමින් කෝල් කළේවත් නෑ. දවසක් මට හිතුනා අම්මාට කතා කරලා බලන්න.

ඉතින් ?
ගෙදර ෆෝන් එකේ රින්ග්ස් යනව කතා කරන්නෙ නෑ. මට බය හිතිලා මං අපේ ගෙදරට ආවා. ගෙදර ජනෙල් දොරවල් සේරම වහලා. මං ළග ගෙදරකින් ඇහුවම එයාලා මගෙන් ඇහුව  "ඇයි? අම්මා ඔයාලගෙ ගෙදර යනව කියලනේ දැන් සුමාන දෙකකට විතර කලින් ගියේ. එහෙ ආවෙ නැද්ද ?" කියලා. මට දෙලෝ රත් වුණා. ඊට පස්සෙ මං අපේ නෑදෑ ගෙවල් හැම තැනකම ගිහින් අම්මව හෙවවා ඒත් හම්බ වුණේ නෑ.

තවමත් හම්බ වුණේ නැද්ද ?
හම්බ වුණා. මීට සති තුනකට කලින්.

කොහෙද හිටියෙ ? 
අම්මා ගගකට පැනලා. මිනිය ගොඩට ගහල තිබුණා.

සිය දිවි නසාගෙන ? 
වෙන්න පුළුවන්. ඒත් අම්මගෙ අවසන් කටයුතුවලට සහභාගි වෙන්න එන්න මල්ලිට විදිහක් තිබුණෙ නෑ. මල්ලි ගිය වේදනාව දරා ගන්න බැරුව වෙන්න ඇති අම්මා මේ වගේ විපත්තියක් කර ගත්තෙ. මං සදාකාලයටම පසුතැවෙන්නෙ අම්මා ගැන හරිහැටි හොයා නොබලපු හින්දයි.

ඉන්දු පෙරේරා
උපුටා ගැනීම ලක්බිම