This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
තවත් නන්නත්තාර ජීවිතයක්

පිළියන්දල නගරයට සැඳෑ කළුවර පාත් වන්නේ මහා තදබදයක් ද සමඟ ය. ජනී ජනයා එකිනෙකාගේ ඇ‍ඟේ හැපෙමින් තෙ‍රපෙමින් හා ඔරවමින් මහා තරගයක යෙදී සිටිති. ඔවුනට අනෙකා දෙස බලන්නට හෝ ඔවුන් වෙනුවෙන් ඉඩ හසරක් ලබා දෙන්නට හෝ වේලාවක් නැත. එහෙත් මේ නගරයේ වසන එක්තරා නාස්තිකාර පුත්‍රයකු කෙරෙහි සියල්ලන්ගේ ම අවධානය යොමු ව පවතී. වෙනසක් නැත හදිසියේ ම කඩාගෙන දුවන මිනිස්සු ද තත්පරයක් නැවතී ඔහු දෙස බලති. 

“සම්පත් ගැන ලිව්වොත් මොකද?”
“මැන් මාර ‍චරිතයක් නේද?” කන්තෝරුවේ අමිල කිහිප වරක් ම සිහිපත් කළේය. (“සම්පත්”!) සම්පත් ගැන මතකය අප හැමදෙනාට ම තිබේ. අඩි පහකටත් වඩා උසින් යුතු සම්පත් කට්ට කළු ය. රැවුළ මඳ වශයෙන් වැවී ඇත. නිතරම සිටින්නේ කළු හෝ නිල් කොට කළිසමක් ඇඳගෙන ය. බැලූ බැල්මට පෙනෙන්නේ ඔහු සති, මාස අවුරුදු ගණනකින්වත් නාකියාගෙන නැති බව ය. නිවහනක් නැති සම්පත් පිළියන්දල නගරයේ ඉබාගාතේ ඇවිදිනු ඕනෑ ම කෙනෙකුට දැක ගැනීමට හැකි ය. වෙලාවක් අවේලාවක් නැත. ඕනෑ ම මොහොතක සම්පත්ගේ අතේ සිලි සිලි කවරයක දැමු තේ එකක් ද බීම බටයක් ද මුවෙහි බීඩියක් ද තිබේ. සම්පත්ට කෑම පිළිබඳ ඒ හැටි වුවමනාවක් නැත. එහෙත් ඔහුට කාගෙන් හෝ බත් පාර්සලයක් ලැබේ. ඔහු එය රැගෙන යන්නේ ඇසක් ඉඟිමරා ය. තවත් වරෙක ඔහු කඩයකට හෝ දන්නා කියන අයකුට අත පාන්නේ රුපියල් දහයක් ඉල්ලමින් ය. ඒ බීඩියක් මිලට ගන්නට ය. “සිඟරට් එකක් හරි බීඩියක් හරි අරගෙන දුන්නට සම්පත් බොන්නෙ නැහැ. ඔහුට අවශ්‍ය වන්නේ නියමිත මුදල් ගෙවාත්වා මිලට ගන්නට ය.” 

මේ සම්පත් ගැන දන්නා තරුණයකුගේ අදහසකි. වයස අවුරුදු හතළිහක් හතළිස් දෙකක් පමණ පෙනුම ඇති සම්පත්ට මෙහෙම වුණේ ඇයි? වසර ගණනාවක් තිස්සේ පිළියන්දල නගරය පසුකර යන විට සම්පත් දකින සෑම මොහොතකම අපට සිහිවන්නේ එයයි. “සම්පත්ගේ තාත්තා හොඳ රැකියාවක් කළා. එයාට අක්කා කෙනෙකුයි අයියෙකුයි ඉන්නවා. අයියනම් දැන් ජීවතුන් අතර නැතිව ඇති. සම්පත්ට ඉඩකඩම් තිබුණා. ත්‍රිරෝද රථයකුත් තිබුණා. හොඳට හිටියා. ඒත් එයාට යාළුවෝ වැඩි වුණා. රෑට රෑට මළගෙවල්වල ගියා. සූදුවට පුරුදු වුණා. බොන්නත් පුරුදු වුණා. අන්තිමට සම්පත් පාරට වැටුණා. අතේ සල්ලි නැතිව ගියා. දැන් ඔළුව අප්සෙට්. ඒත් අවුරුදු ගණනක් තිස්සේ පාරේ හිටියත් සම්පත් කිසි දවසක ගෑනු කෙනෙකුට විහිළු කරලා නැහැ. එයා එයාගේ පාඩුවේ පාරේ යනවා. පව් අහිංසකයා!” සම්පත් ගැන තොරතුරු දන්නා අයෙකු ගේ අදහස එවැන්නකි. සම්පත් විටෙක ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු පන්දු යවයි. තවත් විටෙක උඩින් එන පන්දුව අල්ලයි. මේ සියල්ල කරන්නේ බස් නැවතුම් පළේය. එහෙත් පන්දුවක් ඔහු අත නැත. සියල්ල කරන්නේ අභිනයෙනි. හිමිදිරි පාන්දර ඇතැම් විටක මට සම්පත් දකින්නට ලැබේ. ඒ නගරයේ වෙළෙඳ සලක අගුවේදීය. ඔහු සුව නින්දක ය. ඇතැම් විටෙක ඔහු රාත්‍රිය ගත කරනවා ඇත්තේ එහි විය යුතුය. තවත් විටෙක දෙනෝදාහක් යන පදික වේදිකාවේ ඇති විදුලි කණුවකට පිට දී සුව පහසු මෙට්ටයක නිදියනවා වැනි සෙයියාවකින් ඔහු නිදියාගෙන සිටී. මඟ යන එන්නන්ට ද ඔහු ගැන වගක් නැත. සම්පත්ට ද කවුරුන් තමා ඉදිරියේ ගියත් වගක් නැත. බීඩියක්, තේ උගුරක් නැතිවම බැරි සම්පත් ඇතැම් විටෙක කඩයක ඉදිරිපස ඇති මිනිසුන් බී හමාර කළ කිරි පැකට් අවුස්සා බලයි. කඩ හිමියා ඔහුට අලුත් කිරි පැකට් එකක් දුන්න ද ඔහු එය කවුරුන් හෝ බී වීසිකළ පැකට්ටුවකට හලා ගනී. අප සම්පත් සමඟ කතා කරන්නට උත්සාහ කළෙමු. ඒ හැම විටම ඔහු මොහොතක් හෝ දෙකක් මුහුණ දෙස බලා සිට ගෙවී ගිය කහට බැඳුණු දත්කොට පෙනෙන සිනහාසී යන්නට යන්නේ ය. 

“හිතුණ ගමන් මිනිහ නානවා. එක දවසක් අපි ත්‍රීවිල් එකක දාගෙන ගිහිල්ලා නෑව්වා.” පිළියන්දල හන්දියේ ත්‍රීරෝද රථ සොයුරෙක් පැවැසුවේ ය. “මං හැමදාම බත් එකක් දෙනවා. සමහර දවසට බත් එක දෙන්න බැරි වුණොත් කිහිප වතාවක්ම ඇවිත් කඩේ ඉස්සරහා හිටගෙන බලාගෙන ඉඳලා යනවා. සම්පත් හැමෝගෙන්ම ඉල්ලන්නෙත් නැහැ.” වෙළෙඳසලක හිමිකාරියක සම්පත් ගැන කියන්නේ එවැන්නකි. ඇතැම් දිනයක රාජකාරිය නිම වී රාත්‍රියේ නිවෙසට යන විට නගරය පාළුවට ගොසිනි. ඉඳහිට ගමන් කරන වාහනයක් දෙකක් ත්‍රිරෝද රථ මඟීන් කිහිප දෙනෙකු හැරෙන්නට නගරය නින්දට ගොසිනි. එහෙත් කොතැන හෝ අගුවක වාඩි වී අරමුණක් නැති කල්පනාවේ නිමග්නව සිටින සම්පත් බීඩි කොටයක් ද දල්වාගෙන හිඳිනු දකින්නට ලැබේ. ඇතැම් විට පැය දෙක තුන නොදැල්වූ බීඩිය ඔහු මුවේ ලා ගෙන සිටී. ජවසම්පන්න, තරුණයකු වන සම්පත්ට මෙසේ වූයේ ඇයි? ඔහුගේ තාරුණ්‍ය බස්පොළට, කඩපිළක අගුවකට දියවී ගියේ ඇයි? මේවාට පිළිතුරු කිසි තැනක නැත. “සම්පත් අපිට වඩා පාටයි. ඔය කළු ගැහිලා ඉන්නේ දූවිල්ලටයි කුණුවලටයි.” සම්පත් ගැන දන්නා කියන අය එසේ කියති. “අපි එකතු වෙලා සම්පත්ව නාවමු ද?” කන්තෝරුවේ අමිල යෝජනාවක් ගෙනාවේ ය. (සම්පත්ගේ ඡායාරූපයක් ගැනීමට ඉදිරිපත් වූයේ සුදම් ය. ඔහු දින ගණනාවක් ඒ වෙනුවෙන් පිළියන්දල නගරයේ කැමරාවත් මානාගෙන එහා මෙහා ගියේය. අවසානයේ ඔහුට සම්පත් හමුවූයේ හැන්දෑ වරුවකය.) සම්පත්ගේ හෙට දවස කෙසේ නම් විස‍ඳේවී ද? ජීවිතේ ගැන අරමුණක් නැති, බලාපොරොත්තුවක් නැති, මේ ජීවිතයේ හෙට දවස කෙබඳු වේවි ද? ඔහු යාචකයකු යැයි අපට හඳුන්වා දීමට නුපුළුවන. කඩිසර ගමනින් නගරයේ එහා මෙහා යන ඔහු මිනිසුන් ඉදිරියට ගොස් ගතමනාවක් ඉල්ලනු මේ වසර ගණනාවටම අප දැක නැත. මේ තරුණ ජීවිතය යළිත් පුනරුත්ථාපනය කිරීමට නොහැකි ද? ඔහුගේ උමතු බවට ප්‍රතිකාර කරන්නට හැකිනම් එය කොතරම් යහපත් ද? පිළියන්දල සම්පත් යනු එක් අයෙක් පමණි. මෙවැනි ඉබාගාතේ ඇවිදින ජීවිතය නන්නත්තාර කරගත් සම්පත්ලා තවත් ඕනැ තරම් අපේ රටේ නගරවල සිටින්නට පුළුවන. සම්පත්; ඔබට මට කියාදෙන පාඩමක් ඇත. එනම්; ජීවිතේ යොවුන් විය ඉබාගාතේ යන්නට, සූදුවට, මත්පැනට නරක මිතුරු ඇසුරට ගොදුරු වන්නට ඉඩ නොදිය යුතු බව ය. 

ඉසවි, ඡායාරූප - සුදම් ගුණසිංහ
උපුටා ගැනීම සිළුමිණ