🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මියගිය සුනඛයා එම්බාම් කර මිනී පෙට්ටියක දමා භික්ෂූන් ලවා පාංශුකූලයක් දුන් අපූරැ ස්වාමියෙක්

මියගිය සුනඛයා එම්බාම් කර මිනී පෙට්ටියක දමා භික්ෂූන් ලවා පාංශුකූලයක් දුන් අපූරැ ස්වාමියෙක්

කුලියාපිටියේ පඩිවෙල සති‍පොළ කිට්ටුවේ තිබෙන විදුලි පහන් කණුවක අලවා තිබූ මරණ දැන්වීමක් දෙස බොහෝ දෙනකු බැලුවේ මහා පුදුමයෙනි. මරණ දැන්වීමක් මහා පුදුමයට කාරණාවක් නොවූවත් මේ මරණ දැන්වීම ගැන සියල්ලෝම කුතුහලයෙන් බැලුවේ එහි ඡායාරූපයේ තිබුණේ බල්ලෙකුගේ මුහුණක් බැවිනි. ටෙඩීට නිවන් සැප ලැබේවා යනුවෙන් එහි සඳහන්ව තිබුණි. බොහෝ දෙනෙකු බල්ලෙකු වෙනුවෙන් මරණ දැන්වීමක් අලවා තිබෙන අයුරු දැක තිබුණේ ජීවිතයේ පළමු වතාවටය. මේ සුනඛයා වෙනුවෙන් අලවා තිබුණු මරණ දැන්වීමේ සඳහන්ව තිබුණේ ඌ මණ්ඩකොන්ඩාන දාසවත්තේ විසූ බවය. දාසවත්ත හමුවන්නේ පඩිවෙල සති‍පොළ ළඟින් තිබෙන තාරපාරෙන් කිලෝමීටරයක් පමණ ගිය විටය. මරණ දැන්වීම දැක එහි ගිය ලියුම්කරු අතරමගදී දාසවත්ත ළඟද කියා ඇසූ විට ඔහු එකවරම මගෙන් ඇසුවේ ඇයි ටෙඩී බලන්න යනවද යනුවෙනි. පාර දෙපැත්තෙම ඇත්තේ ලොකු වතුය. පාලු ප්‍රදේශයකි. දාසවත්තද එවැනි විශාල වතු යායකි. ඒ වතු යාය මැද විශාල නිවසක්ද ඇත්තේය. ටෙඩීගේ නවාතැන වූයේ මේ නිවහනය. එම නිවස ඉදිරිපිට ප්‍රියයන්ගෙන් වියෝව දුකට හේතුවක් බවට නිහඬව කියන්නාක් මෙන්ම සුදු කොඩියක් ශෝකීව ලෙළදෙමින් තිබුණේය. වාහන වලින් මෙන්ම ගමේ වැසියන්ද එම නිවසට එමින් තිබුණේ ටෙඩීට අවසන් ගෞරව දැක්වීමටය. එහි හුන් නිවැසියෝද ඇඳ සිටියේ සුදු වස්ත්‍රය. ටෙඩීගේ මළ සිරුර ගේ මැද සාලයේ තැන්පත් කර තිබුණේ අලංකාර පෙට්ටියකය. උගේ හිස ඉදිරියෙන් ‍පොල්තෙල් පහනක් මලානිකව දැල්වෙමින් තිබුණි. පෙට්ටියේ මල් දමා තිබුණි. පෙට්ටිය වටේට කීප දෙනෙක් බලා සිටියේ දුකෙනි. ඒ අතර ටෙඩී ආදරයෙන් රැක බලාගත් පී.වී. ‍පොඩිරත්න ද හුන්නේය. හැට හතර හැවිරිදි ඔහු ටෙඩීව බලා ගත්තේ දරුවෙකු මෙනි. ඒ සිය ස්වාමියා ඔහුට පැවැරූ රාජකාරිය ඉටු කරමිනි. ටෙඩීගේ ස්වාමියා එස්.ඩී. තොම්සන් (අවු. 54) ය. තොම්සන් සිරිමා බණ්ඩාරනායක යුගයේ ප්‍රබල චරිතයක් වූ කොළඹ දාස සමූහ ව්‍යාපාරයේ අධිපති එස්.ඩී. ගුණදාසගේ (දාස මුදලාලිගේ) වැඩිමල් පුතාය. ඔහු එක්දරු පියෙකි. ඔහුට ගැහැනු දරුවෙකු සිටී. විවාහ වී ඇය ජීවත්වන්නේ ඕස්ට්‍රේලියාවේ. තොම්සන් පදිංචි වී සිටින්නේ කොළඹ ජාවත්තේය. සතියේ දවස් පහේ දාසවත්තෙ ඉන්න තොම්සන් සති අන්තයේ කොළඹ නිවසට යන්නේය. ඒ ඔහුගේ බිරිද ඒ ගෙදර පදිංචිව සිටින බැවිනි. දාසවත්තෙ ඉන්න දිනපහේම ටෙඩී තමයි තොම්සන් මහත්තයට තනියට ඉන්නේ. වත්තෙ ඇවිදින විට මේ ටෙඩී හාම්පුතා පිටිපස්සෙන් ඇවිදිනවා. ටෙඩීට දෙන්නෙ හොඳම කෑම. එයා කැමති නැහැ සාමාන්‍ය කෑම කන්න. එසේ කියන්නේ ටෙඩී බලාගත් ‍පොඩිරත්න මාමාය.

ඔහු පවසන පරිදි තොම්සන් මහතාට ටෙඩී හම්බු වී ඇත්තේ ඔහුගේ 43 වැනි උපන්දිනය දවසේය. එය උපන් දින තෑග්ග ලෙසය. ටෙරියා වර්ගයට අයත් මේ සුනඛයාගේ මිල රු. 35000 ක් පමණය. පසුගිය 31 වෙනිදා තොම්සන් මහත්තයා කොළඹ නිවසට ගියේ ‍පොඩිරත්න මාමට ටෙඩීව හොඳින් රැකබලා ගන්නයි උපදෙස් දෙමිනි. තොම්සන් මහත්තයාට ටෙඩී ලැබුණු දවසේ පටන් ඌ රැක බලා ගත්තේ ඇහේ තියාගෙනය. ඒ තරමට ඔහු ටෙඩීට ආදරය කළේය. කෙසේ නමුදු ජනවාරි දෙවැනිදා දවල් ටෙඩී හදිසියේ රෝගාතුර විය. ඒ බව වත්තේ කළමනාකරු එස්.එම්. වසන්ත රණවීර තොම්සන් මහතාට දුරකථන ඇමතුමක් දී දැනුම් දුන්නේය. ටෙඩීව වහාම මාරවිල පශු වෛද්‍යවරයාට පෙන්වීමට රැගෙන යන්නැයි තොම්සන් මහතා වත්තේ කළමනාකරුට උපදෙස් දුන්නේය. එතැනින් නොනැවතුනු ඔහු වහාම කොළඹ සිට දාසවත්තට ආවේ සිය සුරතලාගේ සැප දුක් සොයා බැලීමටය. ඔහු රෝගාතුර වූ ටෙඩීට සියලු ප්‍රතිකාර දීමට දහස් ගණන් මුදල් විය පැහැදම් කළේය. නමුත් තුන්වැනිදා දහවල් වන විට ටෙඩී ඔහු අතහැර ගියේය. එය දරාගත නොහැකි මහ හඩින් ඔහු විලාප දෙමින් හඬා වැළපුණේය. සිය සුරතලා නිකම්ම වළක් කපා පස්වලට යට කිරීමට ඔහුට හිත නොදුන්නේය. ටෙඩීගේ මිනීය එම්බාම් කර ගන්න තොම්සන් මහත්තයට අවශ්‍ය විය. ඔහු කුලියාපිටිය මල්ශාලා කිහිපයකට කතා කළේය. එහෙත් ඒ අය සුනඛයකු එම්බාම් කිරීමට කැමති වුණේ නැත. අවසානේ කුලියාපිටිය මල්ලිකා මල්ශාලාව තොම්සන් මහතාගේ කාරුණික ඉල්ලීම් පිළිගත්තේය. මහත්තය අපි මුල් වතාවට තමයි සතෙක් එම්බාම් කරල මෙහෙම කරන්නේ. මහත්තයගෙ නිසා කරල දෙන්නම් ඔහු තොම්සන් මහතාගේ ඉල්ලීම පිළිගත්තේය. ඉක්බිතිව තොම්සන් මහතා ඔහුගේ වාහනේ කුලියාපිටියට ටෙඩීව රැගෙන ගියේය. මල් ශාලාවේ දී ටෙඩීව එම්බාම් කර අලංකාර පෙට්ටියක තැන්පත් කෙරුණි. එදින පස්වරුවේ මල් ශාලාවේ අවමංගල්‍ය රථයෙන් ටෙඩීගේ මළ සිරුර දාසවත්තට රැගෙන එන ලදී. මේ සඳහා මල්ශාලාවට තොම්සන් මහත්තයා රුපියල් 23,000ක් ගෙව්වේය. නිවසට ගෙනාපු ටෙඩීගේ මළ සිරුර තැන්පත් කෙරුණේ නිවසේ මැද සාලයේය. මල්ශාලාවෙන් ටෙඩීගේ ඡායාරූපයක් සහිත මරණ දැන්වීම් නොමි‍ලේ මුද්‍රණය කර දී තිබුණි. තොම්සන් මහතා උපදෙස් දුන්නේ එම මරණ දැන්වීම ගම වටා අලවන ලෙසය.

මියගිය සුනඛයා එම්බාම් කර මිනී පෙට්ටියක දමා භික්ෂූන් ලවා පාංශුකූලයක් දුන් අපූරැ ස්වාමියෙක්

හතරවෙනිදා පස්වරුවේ ටෙඩීගේ අවමංගල්‍ය කටයුතු දාස වත්ත බංගලාවේදී පැවැත්විණි. මේ අවස්ථාවට ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ පස් නමක් වැඩම කර සිටියහ. ඒ අතර වැඩ සිටි හාල්පන්විල පාලිත නායක හාමුදුරුවන් වහන්සේ අනුශාසනාවක් කරමින් කීවේ මතෛක් කල් මම පාංශුකූල පවත්වල තියෙන්නේ කකුල්දෙකේ අයගේ. අද මම මගේ ජීවිතේ පළමු වතාවට කකුල් හතරේ සතෙකුගේ පාංශුකූලයකට සහභාගි වුණේ. බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙන විදිහට කළගුණ සැලකීම හොඳ ගුණ ධර්මයක්. තොම්සන් මහතාත් අද කරන්නේ වසර පහළොවක් තමන් ළඟ තනියට සිටිය ටෙඩීට ආගමානුකූලව කෘතගුණ සැලකීමයි. අද වර්තමාන සමාජයෙන් කළගුණ සැලකීම අයින් වෙලා විනාශ වෙලා යන යුගයක් බවට පත්වෙලා. මිනිසුන්ගේ හොඳ ගතිගුණ හොඳ වැඩ කරනවිට මිනිහද සතාද කියල හිතන්න හොඳ නැහැ. හොඳ වැඩක් කරනව නම් කොතන වුණත් අප අගය කළ යුතු යැයි උන්වහන්සේ පැවැසූහ. තොම්සන් මහතා ඇතුළු වත්තේ කාර්ය මණ්ඩලය එක්ව පැන්වඩා ආගමික වතාවත් කර ටෙඩීට පින් දුන්හ. ටෙඩීගේ දේහය දාස වත්තේම නිවස අසල භූමදානය කරන ලදී. ටෙඩීට තනියට හිටිය නිකී (බැල්ලි) ටෙඩී භූමදානය කළ ස්ථානය අසල දුකින් වැටී නිදාගෙන ඉන්න අයුරු කවුරුත් බලා හුන්නේ දුකිනි. තොම්සන් මහත්තයාගේ කල්පනාව ටෙඩී වෙනුවෙන් තුන් මාසයේ දානයකුත් දීමය. 

කේ.ඒ. ජයසූරිය 

උපුටා ගැනීම ලක්බිම