🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

හීන දකින්න පොතක ලියන්න ජීවිතය විඳින්න

හීන දකින්න පොතක ලියන්න ජීවිතය විඳින්න

ඔබ දකින සිහින පිළිබඳ දින පොතක් පවත්වා ගෙන යෑම කෙනකුට විහිළුවක් විකාරයක් සේ සිතෙන්නට පිළිවන. එහෙත් එය දෛනික සටහන් තැබීමේ හුරුවක් පුරුද්දක් ඇතිකරවන්නක් බව ඔබ මඳකට හෝ නොසිතුවේද? සිහින දින පොතක් ලිවීම ඉතාම යහපත් ප්‍රායෝගික කාර්යයක්ද වෙයි. ඔබ වරක් සිහින සටහන් කිරීමේ පුරුද්දට පුරුදු වුවහොත් ඔබ කිසියම් හුරුවකට පුරුද්දකට තේමාවකට නැඹුරුවන බව ඔබටම වටහා ගත හැකිය. එපමණක් නොවේ, මෙසේ සිරිතක් ලෙස ඔබ දකින සිහින පිළිවෙළකට ලේඛන ගත කරන කල්හි එක්තරා අන්දමකට සිහින සංකේතාත්මකව නිතර නිතර දකින්නටද ලැබෙයි. එහිදී එමඟින් එම සිහිනවල අරුත ගවේෂණ කිරීමටද හැකියාව උදාවන අතර එම ගවේෂණ ඔබේ පෞරුෂය හුවා දක්වන්නක්ද වෙයි. ඔබට සංකේතවත්ව ඉදිරිපත් වන සිහිනවල ඔබේ පොදු වශයෙන් තේරුම් කෙරෙන අර්ථ විවරණයක් තිබෙන්නටද බැරි නැත. මතකුදු වුවත් ඒවා අපි එකිනෙකාට පෞද්ගලික වශයෙන් සම්බන්ධ සහ අපේ අධ්‍යාපනය, සංස්කෘතිය, පරිසරය නැතහොත් අප හැදීවැඩුණු අන්දම ගැන හෝ ඉඟි කිරීමක් විය හැකිය. ඔන්න ඔය කියන සිහින ඉඟි එකිනෙක ගැන සොයා ගැඹුරින් විමසා බලුවහොත් ඉන් අප ගැනම හෝ නැතහොත් වෙනත් පුද්ගලයන් ගැන හෝ අවබෝධයක් ලබා ගත හැකිය. එසේ නැතහොත් එමඟින් අපේ ජීවිතයේ අපේක්ෂා, අරමුණ ගැන තේරුම් ගත හැකිය. සිහින යනු අපගේ ඉටු අනිටු විපාක ගැන වක්‍රමාර්ගයෙන් පෙන්වන සංකේතයකි. නැතහොත් සිහින මතු මත්තේ ඔබට සිදුවිය හැකි යම් දෙයක් පිළිබඳ පූර්ව කතනයක මුළු ධාතුවක් බව දීර්ඝ කාලයක් තිස්සේ ඔබ දකින සිහින ගැන ඔබ විසින්ම ලියන ලද සිහින දින පොත නිරීක්ෂණය කළ විටෙක තේරුම් ගනු ඇත. 

සිහින මඟින් කියැවෙන පණිවුඩ අවබෝධ කර ගැනීමේ ශක්තිය වර්ධනය කරගත් විට යම් යම් දේට ඔබගේ චිත්ත අභ්‍යන්තරයේ කිදා බැස ඇති භීතිය අඩුකර ගත හැකිවෙයි. එසේ නැතහොත් ඉදිරි කාලයේදී ඔබේ ජීවිතයට බලපෑ හැකි ගැටලු පිළිබඳ විසඳුම් ලබා ගත හැකිවේ. කිසියම් රටාවකට පෙනෙන සිහින ඔබගේ ප්‍රේමවන්තයාගේ හෝ ප්‍රේමවන්තියගේ හෝ එසේ නැතහොත් අනාගත සහකාරිය පිළිබඳ රහසින් මුමුනන පූර්ව දැනුම දීමක්ද විය හැකිය. එහෙත් ඔබගේ සිත ඉන් අස්වැසිල්ලකට හෝ පීඩාවට හෝ පත්වීමට ඉඩ ඇතත් එවැනි පණිවුඩවලින් කියැවෙන්නේ කුමක්ද යන්න ගැන පරීක්ෂා කිරීමට එයින්ම මාර්ගයක් විවර කෙරෙනු ඇත. තවත් අතකින් ඔබේ සිහින ඔබේ සිතට සැහැල්ලුව ලබා දෙයි. එසේ සිදුවන්නේ ඔබේ අපේක්ෂාව සාර්ථක වන බවට කල් තියා ඉඟි සිහින දුටු විටය. සිහින ඔබේ වේදනා සමනය කරන ඔෟෂධයක් බව කියන්නේ එබැවිනි. සිහින ඔබට කිසියම් දෙයක වගකීම භාර ගැනීමකටද පොලඹවන්නකි. උදාහරණයක් මෙසේය. එක් කාන්තාවකට වරක් සිහිනෙන් පෙනුණේ තමා ලියූ පොතක් අලෙවි කිරීම සඳහා අලෙවි කරන්නකු සොයා යන අන්දමය. එසේ ගිය විටෙක ඇය පොත් ප්‍රකාශකයකු ද මුණගැසී ඔහු සමඟ සාකච්ඡා කරන අයුරුද දුටුවාය. අයියෝ ඕක මොකක්ද මම ඔයාගෙ පොත ගහල විකුණන කොන්ත්‍රාත්තුව භාරගන්නම් යැයි ප්‍රකාශකයා කියනු ඇයට ඇසිනි. පොතක් ලිවීමේ සිහිනය ඇගේ සිතේ පැලපැදියම් වී තිබුණද වසර ගණනාවක් තිස්සේම එය ක්‍රියාවට නැඟීමේ උත්සාහය නිතරම අත්හැර දැම්මේ ඒ සඳහා ඇතිවන මුදල් ප්‍රශ්නය නිසාය. කවුරු හෝ ප්‍රකාශයකු හමුවුණොත් වැඩේ කළ හැකි බව ඇගේ සිත නිතර නිතරම කීය. ඇය සිහිනය දුටුවේ ඔන්න ඔය අන්දමේ සිත් දෙගිඩියාවෙන් සිටියදීය. ඒ සිහිනය දුටුදායින් පසු ඇයට පොත් ලිවීම ගැන තවත් කාගේ හෝ ධෛර්ය දීමක් අවශ්‍ය නොවිණි. ඇය පොත ලීවාය. පොත් ප්‍රකාශයකු හමුවූවාය. වැඩේ තිතට කෙරිණි. මෙය තවත් උදාහරණයකි. තරබාරු යුවතියක් සිටියාය. ඇය නාටිකාවක් ලෙස මනහර නැටුම් ඉදිරිපත් කරන අන්දම ඕ සිහිනෙන් දුටුවාය. ප්‍රේක්ෂකයන්ගෙන් ඉතා උණුසුම් ප්‍රතිචාරයක් ලැබුණු ඒ රැඟුමට විනාඩි ගණනාවක අත්පොළසන් නාදයක් ලැබුණේය. උද්දාමයට පත්ව සිටියදීම ඇය පිබිදිණි. ඉන්පසුව ඇය රංගනය අභ්‍යාසයක් වශයෙන් කරන්නට පටන් ගත්තාය. එමඟින් ඇය සතුටට පත්වූවා පමණක් නොව ඇගේ බර රාත්තල් ගණනාවක් අඩුවිය. එමතුද නොව ඇයට හොඳ ප්‍රේමවන්තයකුද හමුවිය. ඔබේ සිහින දිනපොත ඔබ නොදන්නා එහෙත් ඔබවටා භ්‍රමණයවන, ඔබට සෞභාග්‍යය යහපත සලසන අවස්ථා පිළිබඳ ඔබට ඉඟි මඟින් කොඳුරා කියන්නත් බව පසක් කර ගනු මැනවි. සිහින ඔබට අත්විඳීමට සිදුවිය හැකි යම් දෙයක් පිළිබඳ ඔබ සමඟ අනේ‍යාන්‍යව ක්‍රියාකරන සංවේදී ප්‍රවාහකයෙකි. එපමණක් නොව එම අනේ‍යාන්‍ය ප්‍රවාහකයා ඔබ තුෂ්ණීම්භූත කරවන අන්දමේ ඔබගේ වික්‍රමාන්විත ක්‍රියාවන් පිළිබඳ ඔබේ මාර්ගෝපදේශකයෙකි. 

හෙලන් ඇඩම්ස් 

පරිවර්තනය - චන්ද්‍රසේන මාරසිංහ

උපුටා ගැනීම මව්බිම