🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

නියම විරුවෙකි, සැබෑ තරුවකි.

නියම විරුවෙකි, සැබෑ තරුවකි.

ඔබට කිසිවක් කර ගතනොහැකි යැයි සිතා, සිතින් බිඳ වැටුණු මොහොතක සිතට දැනෙනා වේදනාකාරී අසරණ හැඟීම කෙතරම් අත්මානුකම්පා සහගතද, එවැනි අවස්ථාවකදී ඔබට වුවමනා වන්නේ උදා ගිරෙන් නැගෙන පළමු අරුණැල්ල සේ සිතට පිරියම් කල හැකි අත්වැලක් සපයන බලාපොරොත්තුවක් පමණි. නමුත්, අපි අපේ ජීවිතය ඉරණමට බාරදී, අනේ අපොයි, මට කිසිදෙයක් කරන්න බැහැ, මම කරන කිසිදෙයක් හරියන්නේ නැහැ, යැයි සිතමින් අප ගැනම දුක්වෙමින් වෙන දෙයක් බලාගෙන ඉන්නට ලෙහෙසියෙන් පුරුදු වී ඇත්තෙමු. සැමවිටම ප්‍රාතිහාරයක් හෝ මැජික් එකක් චිත්‍රපටවල මෙන් අපගේ ජිවිත වල සිදු නොවන බවද අපි හොදාකාරව දනිමු. හිත ඇත්නම් පත කුඩාදැයි අසන්නේ සියලු ප්‍රාතිහාරයන් සහ මැජික් සිදුවන්නට මුලික වන්නේ සිත බැවිනි. ශක්තිමත් සිත් ඇත්තන් දෙනෙතින් කෙතරම් හැඬුවද, තම දෙපයට වාරු දී නැගිටින්නට වෑයම දරති. මෙය හුදෙක් සංවේගය ඉපදවීමට හෝ අනුකම්පාව අයැදීමක් උදෙසා හෝ වන්නක් නොවන බව සැලකිය යුතුය. මේ වෑයම දිරිය මිනිසකුගේ සැබෑවූ සහ තවදුරටත් සැබෑ වන සිහිනයක් ගැන නොදන්නා කතාවක් ගැන කියන්නටයි. 

සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙකුගේ භෞතික ශරීරයේ බෙහෙවින්ම වැදගත් ප්‍රධාන ඉන්ද්‍රිය පද්ධතිය වන්නේ මොළය, සුෂුම්නාව හා සබැඳි ස්නායු පද්ධතියයි. ප්‍රධාන ලෙස මධ්‍ය ස්නායු පද්ධතිය සහ පර්යන්ත ස්නායු පද්ධතිය ලෙසින් කොටස් වශයෙන් හඳුනා ගත් හැකි ස්නායු පද්ධතියෙහි, මධ්‍ය ස්නායු පද්ධතිය මොළය සහ සුෂුම්නාවෙන් සමන්විත වේ. පර්යන්ත ස්නායු පද්ධතිය සමන්විත වන්නේ සංවේදක, මිශ්‍ර සහ චාලක ස්නායු වලිනි. යම්කිසි හෙයකින් මොළයට හෝ සුෂුම්නාවට සිදුවන හානියකින් ජීවිතය පවා අහිමි විය හැකිය. ස්නායු පද්ධතිය සරල ලෙස මස්තිෂ්කය, කුඩා මොළය, සුෂුම්නා ශීර්ෂකය සහ සුෂුම්නාවෙන් සුසැදි මිනිස් සිරුර පුරා විහිද ඇති විද්‍යුත් පරිපථයක් වැනිය. සාමාන්‍යයෙන් සුෂුම්නා ශීර්ෂකය මගින් ස්වසනය (නිදා සිටින විට සිදුවන ස්වසනය), හෘද ස්පන්දනය සහ ප්‍රතික ක්‍රියා එනම් අනුදැනුමෙන් තොරව සිදුවන ශාරීරික ක්‍රියා පාලනය සිදුවේ. මා මෙහි සියල්ල වෛද්‍යවරයෙකු ලෙස හෝ විද්‍යා ගුරුවරයෙකු ලෙස පහදන්නට යන්නේ නැත. නමුත් මා මේ කියන්නට උත්සහ කරන කතාවත් එක්තරා විදිහකට මේ හා සම්බන්ධ වේ. පුරා වසර 30කට අධික වූ කාලයක් අප රට භීතියෙන් ඇලලූ සිවිල් යුද්ධය හා බැඳුනු අඳුරුතම කාලච්ෙඡ්දය ගැන සිහිකිරීමත් හදවත ශෝකයෙන් වෙලාගැනීමට තවමත් සමත්ය. ඒ සිදුවුණු සිවිල් ඝාතන, දේපළ හානි, උදුරා ගත් සතුට, ජිවිත පරිත්‍යාග ආදී වූ සියල්ලන්ගෙන් සමන්විත දුක්මුසු මතක රැසක් පවතින බැවිනි. දේශයේ මුර දේවතාවන් සේ ලක් මෑණියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජිවිතයෙන් පවා ප්‍රතිඥා දුන් යුධ, ගුවන්, නාවික රණ විරුවන්ගේ මහත් වූ කැපවීම් අවසන සාමයේ ගීතිකා රට පුරා රැව් පිලි රැව් දෙන්නට පටන් ගති. මා ඔබට පවසන්නට යන විශ්මය ජනක කතානායකයාගේ ජිවිත කතාවේ හැරවුම සිදුවන්නේද යුද්ධය පාදක කරගෙනයි. යුධ භූමියේදී එක් අවදියකදී, නොසිතු අවස්ථාවක සිදුවුණු එක් මෝටාර් ප්‍රහාරයක් හේතුවෙන් තමන් වටා සිටි සියලු සොහොයුරන් බිම පතිත වනවාත් සමගින් සියලු හඬ නෑසී යනවා පමණි ඔහුට මතකව තිබුණේ. දින ගණනාවකට පසු දෑස් විවර කරන විට හමුදා රෝහලක ඇඳක් මත උඩුබැලි අතට වැතිර සිටියද හිසෙහි හටගත් වේදනාවත් කමපනයත් හැර වෙන කිසිවක් ඔහුගේ දැනීමට ගෝචර නොවීය. එදා යුධ භූමියේදී මෝටාර් ප්‍රහාරයෙන් සහෝදර සෙබළුන්ගේ ජිවිත වලට පමණක් නොව ඔහුගේ සුෂුම්නාවටද බරපතල හානි සිදු කොට තිබුණි. නැවත කිසිදින තම වාරුවෙන් අත පය හෝ හිසවත් එසවිය නොහැකි බව ඔහු හොදාකාරව දත්තේය. ඔහු දේශයේ වීර වරයෙකු වී අවසානය. නමුත් එඩි ඇති ඒ හද නොබිඳුනේ දැයි කෙසේ සිතන්නද, සියල්ලන් ඉදිරියේ දෙනෙතින් කඳුලැලි කඩා නොවැටුනත් හදවතින් කෙතරම් කෑ මොර දෙන්නට ඇතිද. ප්‍රාතිහාරය ඇරඹෙන්නේ ද එතැනින් නොවේ. 

රණවිරුවන්ගේ ගායන කෞශල්‍ය අගයනු වස් ආරම්භ කෙරුණු මෙහෙයුමක් ලෙස රණවිරු රියල් ස්ටාර් රියැලිටි වැඩසටහන ඇරඹුනද, සිතාගත නුහුණු ප්‍රාතිහාරයක් හතරවන මෙහෙයුමේදී සිදුවිය. ඔහු නමින් මේජර් තිළිණ චන්ද්‍ර කුමාර වේ. ගීත ගායනයට සාමාන්‍ය ස්වසනය ප්‍රමාණවත් නොවන බව අපි දනිමු. තාල තැබීමට, වචනයන්ට හැඟීම් මුසු කිරීමට, හඬ උස් පහත් කිරීමට ආදී වූ ගීත ගායනය තුල පෙළහර පෑමට නම් ස්වසනය මනා ලෙස තමාගේ පාලනයට නතු කරගත යුතුය . නමුත් තම පාලනයෙන් ඔබ්බෙහි ඇති, තම අනුදැනුමෙන් තොරව ඉහළ පහළ වැටෙන හුස්ම කෙසේ නම් ගායනයට අවැසි පරිදි යොදා ගන්නේ දැයි මේජර් තිළිණ චන්ද්‍ර කුමාරටත් කුතුහලයක් වන්නට ඇත. ප්‍රාතිහාරය ඇරඹෙන්නට පටන් ගන්නේ එතැන් සිටයි. කලාශුරි අනෝජා වීරසිංහයන්ගේ අභින කණ්ඩායමේ දායකත්වයෙන් අත්තිඩියේ මිහිදු සෙත් මැදුරේ පැවැත්වුණු පෙර පුහුණු වැඩසටහනෙන් පන්නරය, ධෛර්යය සහ ගුරුහරුකම් ලැබූ මේජර් තිළිණ චන්ද්‍ර කුමාරගේ සිහිනය වූයේ එක් ගීතයක් හෝ රණවිරු රියල් ස්ටාර් වේදිකාවේ ගැයිමටයි. ඔහුගේ ගුරුවරිය වූ අනෝජා විරසිංහයන් පැවසූ අන්දමට තිළිණ යනු ප්‍රාතිහාරයක්. පෙර පුහුණු වැඩසටහනෙහි ආරම්භයේදී අත්පොඩි තාලයට හෝ ගයන්නට තරම් ස්වසනය පාලනය කරගත නොහැකි වුනු තිළිණ, වැඩසටහන අවසන් වන විට කටහඬින් නැගීසිටි අයුරු ඇයටත් සිතාගන්නට නොහැකි වෙලා. තිළිණගේ වෛද්‍යවරයා පවා පළමුව විස්මයට පත් වී ඇත්තේ ඔහු එය කෙසේ නම් සිදුකළේද, එය කෙසේ නම් සිදු වුයේද කියායි. නමුත් තිළිණ සතුව අරුම පුදුම මැජික් බලයක් හෝ සඟවාගත් රහසක් නොමැත. එක් කාර්යයක් වෙනුවෙන් සිත එකඟ කරගත හැක්කේ නම්, අත්හල යුතු මතකයන් දෑතින් නිදහස් කල හැකි නම්, කල නොහැක්කක් නැති බව ඔහු සියල්ලටම පෙන්වා දී හමාරයි. ඔහු පැතූ සිහිනය නම් සැබෑ විය. නමුත් තවමත් ඔහු වෙනුවෙන් බොහෝ දෙනෙකු දකින සිහිනයක් ඇත. ඒ ඔහු කටහඬින් කරනා ප්‍රාතිහාරය වෙනුවෙනි. අතීතයේ සිදුවූ කවර හෝ දෙයක් ඔබ පෙළුවේද, ඒ වෙනුවෙන් හඬා වැළපීමට වඩා වැඩි දෙයක් කල හැකි බව ඔහු මුලාදර්ශයක් වෙමින් ඔප්පු කළේය. ‘වැටුනත් නැගිටිමු, වැටි වැටි නැගිටිමු, පෙරටම යමු ලංකා..’ ජාත්‍යාලය නංවන්නට කදිම වූ එක් ගායනා ඛණ්ඩයකි. සැබවින්ම එය කෙතරම් සරල වූ මාර්ගෝපදේශයක්ද?

නෙත්මි