🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

කිවිසුමකින් කියැවෙන අප නොදන්නා රහස් තිබේද?

කිවිසුමකින් කියැවෙන අප නොදන්නා රහස් තිබේද?

අද එතරම් ප්‍රචලිතව නැතත් දැනට ටික කලකට පෙර යමෙකුට කිවිසුමක් පිටවූ සැණින් සියලු දෙනා පවසන්නේ “ඔයාව කවුරු හරි මතක් කරනවා ඇති” කියාය. නමුත් දැන් ජංගම දුරකථන ඇති බැවින් මතක් වූ සැණින් කිවිසුමක් යන්නටත් පෙර කතා කරන්නට පුළුවන් නිසා එවැනි කතා අද ඇසෙනවා Sneezing-womanඅඩුය. නමුත් බිලිඳු වියේ දරුවන් කිවිසුම් පිටකරන විට ‘ආයුබෝවන්’ කියන පුරුද්ද තවමත් අප අතරින් ඈත්ව ගොස් නැත. ඇතැම් ප්‍රදේශවල කතෝලික ජනතාව මෙවැනි අවස්ථාවලදී ‘ජේසු අම්මා’ කියා පවසනුද ඇසිය හැකිය. අප අතර පමණක් නොව ලොව පුරා විවිධ ජාතීන් අතර කිවිසුම සම්බන්ධව මෙවැනි චාරිත්‍ර ඇති බැව් පෙනී යයි. මෙම අපූරු චරිත්‍ර පිළිබඳ කතා කිරීමට පෙර කිවිසුමක් යනු කුමක්ද යන්න විද්‍යාත්මකව තේරුම් බේරුම් කරගැනීමේ වරදක් නැත. මන්ද එවිට මෙම චාරිත්‍ර වාරිත්‍ර සමග මෙය යම් යම් ආකාරයන්ගෙන් ගළපා ගත හැකි බැවිනි. නාසයට යම් කිසි ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළු වූ විට එය මොළය හා පෙණහලු කරා ගමන් කිරීම වළක්වා ගැනීම පිණිස සිරුර විසින් ඇති කරනු ලබන ස්වභාවික ආරක්ෂණ ක්‍රියාවලියක් ලෙස කිවිසුම ගැන සඳහන් කළ හැකිය. අපගේ නාසයේ ආරම්භක ප්‍රදේශය අතිශය සංවේදී ආකාරයෙන් නිර්මාණය වී ඇති අතර ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළු වූ සැණින් එම සංවේදී කොටස ක්ෂණිකව උත්තේජනය වෙයි. එවිට පෙණහල්ල වෙතින් ප්‍රබල වායු ධාරාවක් අධික වේගයෙන් නාසය කරා යැවෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආගන්තුක ද්‍රව්‍යය නාසයෙන් පලවා හරියි. මෙම වායු ධාරාව පැයට සැතපුම් 80 - 100 අතර වේගයකින් පිටවන බැව් සොයාගෙන තිබේ. නාසයට ‍පොල් කෙන්දක් වැනි දෙයක් දැමූ විට එක්වර දීප්තිමත් ආලෝකයක් දකින විට, උෂ්ණත්වය ක්ෂණිකව පහත වැටුණු අවස්ථාවක, සුළඟ හමන විට, බඩ හොඳින් පිරී ඇති විට හෝ වයිරස ආසාදනයකට ලක් වූ විට කිවිසුම් යාම සුලබව දැකිය හැකිය. හිරු දෙස එක එල්‍ලේ බලන විට ද කිවිසුම් පිටවෙයි. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු විට වැඩිපුර කිවිසුම් පිටවෙයි. එවැන්නක් සිදුවන්නේ නාසය හරහා සිරුර ආසාදනය කරන ආගන්තුක ද්‍රව්‍ය තවදුරටත් ඇතුළු වීම වළක්වාලීම සඳහාය.

කිවිසුම දේව පණිවුඩයක්ද ? පැරණි ග්‍රීක වැසියන් විශ්වාස කළේ කිවිසුම යනු දෙවියන්ගෙන් ලැබෙන පණිවුඩයක් වශයෙනි. උදාහරණයක් ලෙස ක්‍රි.පූ. 401දී ඇතීනියානු හමුදා සේනාපති ෂෙනොප්හොන් පර්සියානුවන්ට එරෙහිව යුද වදින සිය සෙබළුන් ඉදිරියේ කතාවක් පවත්වමින් සිටියේය. සේනාපති යමක් පවසන සෑම විටකම පාහේ එක් සෙබළකුට කිවිසුම් පිටවිය. සියලුදෙනා සිතුවේ මෙය දෙවියන් ඔවුනට එවූ සුබ ලකුණක් ලෙසිනි. මහත් උද්දාමයට පත් සෙබළු නිර්භීතව සටන්කොට ජයග්‍රහණය කළහ. මධ්‍යම යුගවලදී යුරෝපයේ පැවැති විශ්වාසයක් වූයේ යමෙකුගේ ජීවිතය රැඳී පවතින්නේ හුස්ම හෙවත් ආශ්වාස ප්‍රශ්වාසය මත බවය. එබැවින් වේගයෙන් හුස්ම පිටවන විට ඒ සමගම ආයුෂ ද මදක් පිටව යන බැව් ඔවුහු විශ්වාස කළහ. කිවිසුමකදී අධික වේගයෙන් හුස්මක් පිටවන බැවින් එය මාරකයක් යැයි ඔවුහු සිතූහ. මේ නිසා කිවිසුමක් පිටවූ සැණින් “ඔබට දෙවි පිහිටයි” යනුවෙන් පවසන්නට ඔවුහු පුරුදු වූහ. කිවිසුමක් පිටවූ සැණින් අප ද ‘ආයුබෝවන්’ යැයි පවසන්නට හුරුපුරුදුව ඇත්තේ මෙහිදී අපගේ ආයුෂ කෙරෙහිද යම් බලපෑමක් ඇතිවේ යැයි අප පැරණි ජන සමාජයේද යම් විශ්වාසයක් පැවැති බැවිනි. පෙරදිග ආසියාවේ ඇතැම් රටවල, විශේෂයෙන් චීනය, ජපානය, වියට්නාමය සහ ශ්‍රී ලංකාවේ ද පවතින විශ්වාසයක් වන්නේ යමෙකුට කිවිසුමක් පිටවන්නේ ඒ මොහොතේම වෙනත් අයකු විසින් කිවිසුම පිට කළ තැනැත්තා ගැන කතා කරමින් හෝ සිතමින් සිටින බවය. අපද එක දිගට කිවිසුම් පිට කරන විට, “කවුරු හරි බණිනවා වගේ” යනුවෙන් පවසන්නට හුරු වී ඇත්තේ මේ නිසාය. මෙම විශ්වාසය ග්‍රීසිය, ස්‍ලේවික්, සෙල්ටික්, ඉංග්‍රීසි, ප්‍රංශ, ඉන්දීය හා නේපාල් ජාතිකයන් අතර ද ප්‍රචලිතය.

කිවිසුම අසුබ නිමිත්තක්ද ? උතුරු ඉන්දියාව සහ ඉරානයේ පවතින එක් විශ්වාසයක් වන්නේ යම් කිසි කාර්යයක් ආරම්භ කිරීමට සැරසෙද්දී කිවිසුමක් පිටකිරීම යනු එම කාර්යයට එල්ල වන බාධාවක් පිළිබඳ පෙන්නුම් කිරීමක් බවය. එවැනි අවස්ථාවක එම කාර්යය මඳකට නවතා ජලය පානය කිරීමෙන් එම බාධාව මගහැරෙන බවද ඔවුහු විශ්වාස කළහ. ‍පෝලන්තයේ ඇතැම් ජන කොටස් අතර පැවැති විශ්වාසයකට අනුව විවාහක පිරිමියකුට කිවිසුම් යන්නේ ඔහුගේ බිරිඳගේ මව ඔහු පිළිබඳ දෝෂාරෝපණය එල්ල කරමින් සිටින බවය. කිවිසුම පිටවූයේ විවාහක කාන්තාවකට නම් ඒ මොහොතේ ඇයට ‘දෙහි කපමින් සිටින්නේ’ ඇයගේ සැමියාගේ මවය. 

කිවිසුම පිළිබඳ ඉස්ලාම් මතය : ඉස්ලාම් ආගමේ ද කිවිසුම පිළිබඳ සඳහන් කොට තිබේ. මහමත්තුමාගේ ඉගැන්වීම අතර මෙවැනි දෙයක් පවතී. “ඔබගෙන් කෙනෙකු කිවිසුමක් පිටකරන විට ඔහුට ‘අල්-හම්දු-ලිලියාහ්’ (දෙවියන්ට ප්‍රශංසා වේවා) යනුවෙන් පැවසිය යුතුය. ඔහුගේ සහෝදරයන් හා මිතුරන් ‘යර්හාමුක් අල්ලා’ (දෙවියෝ ඔබට අනුකම්පාව කරත්වා) යනුවෙන් පැවැසිය යුතුය. එවිට කිවිසුම පිට කළ තැනැත්තා ‘යඨිකුම් අල්ලා වා යස්ලිහු බාලකුම්’ (දෙවියන් ඔබට මග පෙන්වා ඔබගේ වැරදි නිවැරදි කරත්වා) යනුවෙන් පැවසිය යුතුය. බොහෝ රටවල ජනතාව විශ්වාස කරන්නේ අපගේ ආත්මය පිහිටා ඇත්තේ හිසෙහි බවය. එබැවින් ඔවුනට අනුව කිවිසුමක් පිටවීම යනු ආත්මය විසින් අපට ලබාදෙන්නා වූ සුබ ලකුණකි. නමුත් තවත් පිරිසක් මෙයම අසුබ ලකුණක් ලෙස ද සලකති. ග්‍රීක, රෝම සහ ඊජිප්තු වැසියන් විශ්වාස කරන්නේ කිවිසුමක් මගින් ඉදිරියේදී සිදුවන්නට ඇති අසුබ සිදුවීමක් පෙන්නුම් කරන බවය. ඔවුනට අනුව කිවිසුම පිටවන විට හිස දකුණු පැත්තට හැරුණේ නම් එය සුබ ලකුණක් ලෙස ද, හිස වම් පැත්තට හැරුණේ නම් එය අසුබ ලකුණක් ලෙසද විශ්වාස කරති. 

බෙල්ජියම් වැසියන් විශ්වාස කරන්නේ කතා බහක් අතරතුර කිවිසුමක් පිටවන්නේ නම් එයින් අදහස් වන්නේ පවසන දෙය සත්‍ය බවය. මෙය ග්‍රීක, රෝම සහ ඊජිප්තු ජාතිකයන් අතර ද පවතින විශ්වාසයකි. කිවිසුමක් මගින් සිරුරේ සිරවී සිටින නපුරු ආත්මයක් පිටවන බව ලෝකයේ බොහෝ දෙනකු විශ්වාස කරති. කිවිසුමක් පිටවූ සැණින් “ඔබට දෙවි පිහිටයි” යනුවෙන් ලෝකයේ බොහෝ රටවල පවසනු ඇසිය හැකිය. දහහත්වැනි සියවසේදී එංගලන්තයේදී කිවිසුමක් පිටවූ විට එය ඇසුණු සියලු දෙනා සිය හිස්වැස්ම, බෝ එක, ගලවා, “ඔබට දෙවි පිහිටයි“ යනුවෙන් පවසති. දහනව වැනි සියවසේ එංගලන්තයේ කිවිසුම් පිට කිරීම සම්බන්ධව කවියක්ද නිර්මාණය වී තිබේ. එයට අනුව සතියේ එක් එක් දිනවල කිවිසුමක් පිටවූ විට කළ යුත්තේ කුමක්දැයි දක්වා තිබේ. ඒ කවියේ සරල සිංහල අනුවාදය මෙලෙසිනි. 

  • සඳු දින කිවිසුම - අනතුර අත ළඟ
  • කුජ දින කිවිසුම - සිපගනු කිසිවකු
  • බුද දින කිවිසුම - හසුනක් නියතය 
  • ගුරු දින කිවිසුම - යහපතක්ම වේ 
  • සිකුරාදා නම් - විපතකි අසුබෙකි
  • ශනි දින කිවිසුම - දුර ගමනක්මය
  • රිවිදින කිවිසුම - සාතන් (යක්ෂයා) දුරු වේ.

මේ සියලු කරුණු පිළිබඳ සිතීමේදී පෙනී යන්නේ සිරුරේ ස්වභාවික ආරක්ෂණ යාන්ත්‍රණයක් වන කිවිසුම සම්බන්ධව ලෝකයේ සෑම ජන කොටසක් තුළම විවිධ විශ්වාසයන් පවතින බවය. ඇතැම් විශ්වාසයන් විද්‍යාවේ දියුණුවත් සමග කමෛන් තුරන්ව යන අතර ඇතැම් ඒවා තවමත් පවතී.  බොහෝ විශ්වාසවල විද්‍යාත්මක පදනමක් නැති මුත්, සිරුර විසින් කිවිසුමක් ඇතිකරන හේතුව සමගිින් යම් යම් ආකාරයන්ගෙන් ඒවා බැඳී පවතින බැව් ද පෙනෙන්නට තිබේ.

නිරංජන් චාමින්ද කරුණාතිලක
උපුටා ගැනීම ලක්බිම