This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
ආදරය කියන්නේ මරණය වගේ අත්දැකීමක්

'මම මාවම' හරහා මම කතා කරන්නෙ මට හිතෙන දේවල් ගැන. සමහර විට ඔබට හිතේවි මූට පිස්සු කියලා. අටුවා ටීකා ටිප්පනි මොකටද..... ඔන්න මම මාවම ඉන්ටව් කළා...... 

ඇත්තටම ඔබ තාරුණ්‍යය දකින්නේ කොහොමද? ශාස්ත්‍රාලයීය නිර්වචනවලින් තාරුණ්‍යයේ ඉම ලකුණු කරන්න බෑ. අපි කවදාවත් එහෙම උත්සාහ කරන්නෙත් නෑ. ඒත් ටිකක් වෙනස් විදියට ලෝකෙ දිහා බලනවා. ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින්දෝ කියලා හිතේවි එතකොට. ප්‍රේමයයි, වෛරයයි අතර දුර කෙස් ගසකට සමානයිලු. ඉතින් මොකද කරන්නේ. කෙල්ල තරහා වුණු ගමන් ඇසිඩ් ගහනවා. පිහියෙන් අනිනවා. ඇයි ඉතින් ආදර්ශ පාඨයකුත් තියෙනවානේ. නෑ එහෙම නෙවේ. යං ටීම් එක කියන්නේ වෛරයේ ඉඳලා ප්‍රේමයට දුර කෙස් ගසයි. දැන් හරි නේද? එහෙනම් දැන් ප්‍රේම කරන්න පටන් ගමු. අපි හැමදාම කිව්වෙ ඉර පායන්නේ නැගෙනහිරින් කියලා. ඒත් දැන් අපි කියන්නේ ඉර පායන්නේ නැගෙනහිරින් නොවේ. ඉර පායන පැත්තටයි අපි නැගෙනහිර කියලා කියන්නේ. මෙන්න මෙහෙම හිතන අය කවදාවත් වයසට යන්නේ නෑ. ඒ අයට චින්තන ධාරිතාවක් නෑ. සිතිවිලිවලින් පොහොසත් සියලු සෞන්දර්ය හැඟීම් හා සහවාසව තුටු සිතින් ජීවත් වෙන උදවිය. "මට මහලු වයසේ - බැරිය වෙන ගායනා පෙර සේ" වෙනුවට ඔවුන් කියන්නේ "ගත මහලු වයසේ" නමුදු සිත ඇත තරුණ වයසේ" කියලා. ඒ අය ගොඩක් තරුණයි. අතීත කාමය කියන මාරාන්තික රෝගය පොඩ්ඩක්වත් නෑ. ඒ හැම දෙනාටම අවුරුදු 25දි නැවතිලා එතැන ඉඳන් පරම්පරා ගාණක් එගොඩ කරනවා. 

මොකක්ද? මේ විස්සෙ මහල්ලොන්ගෙ කතාව : විස්සෙ මහල්ලෝ සහ හැටේ කොල්ලෝ ගැන කතා කරද්දි යං අපිට ඉන්න ජව සම්පන්නම තරුණයා තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස්. මළත් නොමළ කේමදාස මාස්ටර් විස්සේ මහල්ලෝ නම් එකෙක් සතේ ගාණේ විකුණලා කෝටිපතියෙක් වෙන්න පුළුවන් තරමටම ඉන්නවා. තරුණයෙක් වුණාම හිතුවත්කාර වෙන්න ඕන. මේ කියන්නේ නාහෙට අහන්නේ නැති වෙන්න ඕන කියලා නෙවේ. මේ තරුණ හිතුවක්කාරකම තමයි මේ ලෝකෙට අලුත් දේවල් හොයා ගන්නේ. යං අපි හැමදාම කියන දෙයක් තමයි ඉතිහාසය ගෙවිලා ඉවර නෑ. මහා වංසය මේ මොහොතෙත් ලියවෙනවා කියන එකට අපිට පුළුවන් ඉතිහාසයට යහපතක් එකතු කරන්න. එතකොට අනාගතයේ මිනිස්සු අපි දිහා ප්‍රසංසා කටයුතු සත්කාරයක් කරපු පිරිසක් දෙස බලනවා වගේ බලාවි. ආඩම්බරයි නේද? කාලය ගත වෙන්නේ තප්පර, විනාඩි, පැය, දවස්, සති, මාස අවුරුදුවලින්. අලුතෙන් හිතලා වෙනස් විදියට බලලා තත්පරයක් ජීවත් වුණත් ඔබ අවුරුදු ගාණක සමාජගත වෙලා ඉඳීවි තරුණයෙක් විදියට. ඒ ගතින් නොව සිතින් තරුණ අය ගැන. අනෙක් පිරිස සිතින්, ගතින් දෙකෙන්ම කරන අය. මේ අය තමයි හෙට රට තීරණය කරන්නේ. සංස්කෘතිය, සභ්‍යත්වය, සිරිත් විරිත් රී මික්ස් කරන්නේ ඇත්ත මේ හැමදේම යාවත්කාලීන වෙන්න ඕන. ඒ පිළිබඳව සියලු දෙනාට අවබෝධයක් තියෙන්නත් ඕන. ගොළු හදවතේ දම්මි-සුගත් වෙරළු කනවා. වස්සාන සිහිනයේ චාපා කසුන්ට කාර් එකේදි දෙන්නේ ඇපල්. අන්න හරි කාලයත් එක්ක හැම දේම අලුත් වෙන්න ඕන. උදාහරණ, උපමා අලුත් වෙන තරමට අපි ළං වෙනවා. 2014 තාරුණ්‍ය කියන්නේ බුල්ගාරි පර්ෆියුම්, ලිවයිස් ඩෙනිම්, අඩිඩාස් සපත්තු, ඇපල් දුරකතන විතරක් නොවේ මේ හැම දේම විලාසිතා. අපි කියන්නේ මේ හැම දේම නැති වුණත් තරුණයා ඉතිරි වෙන්න ඕන කියන එක. අතේ ඇඟිලි පහත් එක වගේ නෑ. ඒත් ඒ ඇඟිලි පහම තියෙන්නේ එක අතේ. ඒ නිසා ඇඟිල්ලට බෙහෙත් කරලා වැඩක් නෑ. අතට බෙහෙත් දෙමු. එතකොට ඇඟිලි පහටම ඒ බව දැනේවි. ලෝකෙ ජනගහනය මිලියන හතක් පැනලා. ලංකවේ මිලියන විස්ස පහු කරලා. සංඛ්‍යාත්මකව විශාල ගාණක්. ඒත් කෝ ගුණාත්මක බවක්. හිස් ඔළුගෙඩි ටිකක් විතරයි නේද? සින්දුවකුත් තියෙන්නෙ. මාලේ ගෙලේ... චේ පපුවේ... කිසිම දෙයක් නෑ ඔළුවේ..... කියලා ඔබ ආදරය දකින්නේ කොහොමද? දකින දෙයට වඩා බලන දේ තුළ සැඟවිලා තිබෙන තොරතුරු හා දත්ත ලබා ගන්න පුළුවන්. මොකද ඕනෑම දෙයක් ඕනෑම කෙනකුට දකින්න පුළුවන්. පෙනෙන්න පුළුවන්. ඒත් ඒ දෙස බලන කෙනකුට වැඩි යමක් වටහාගත හැකියි. මමත් කැමැතියි ආදරේ දෙස බලන්න. ආදරේ වතුර වගේ දෙයක්. ආදරේ කවදාවත් එක තැන හිරවෙලා තියෙන්නෑ. වතුරටත් ඒ වගේ ගලාගෙන යෑමේ හැකියාව තියනවා. ආදරේට නිශ්චිත හැඩයක් නෑ. එකිනෙකාගෙන් ඵකිනෙකාට ඔවුන්ගේ බුද්ධි පරාසය, චින්තනය, ආකල්ප මත හැඩය වෙනස් වෙනවා. වතුරටත් නිශ්චිත හැඩයක් නෑ. දමන භාජනයේ හැඩය ගන්නවා. ගඳ සුවඳ වුණත් වර්ණයන් වුණත් අදාළ අයට තමන් කැමැති ආකාරයකට වෙනස් කර ගන්න පුළුවන්. එය තීරණය වෙන්නේ ඔවුගේ හැසිරීම මත. වතුරත් අවර්ණයි. හැබැයි ඕනෑම පාටක් කවලම් කරන්න පුළුවන්. 

ආදරය කලින් කලට වෙනස් වෙනවද? පැහැදිලිවම ඔව්. ආදරය මොහොතින් මොහොත වෙනස් වෙනවා. මේ සඳහා සමාජ දේශපාලන හා ආර්ථික කාරණාත් බලපාන අවස්ථා තිබෙනවා. පුද්ගල සංවේදීතාව, ලිංගික ඉරිසියාව, ස්වාභාවික කුතුහලය ආදී කාරණාද බලපානවා. නමුත් මේ සියල්ල සාපේක්ෂයි. බොහෝ විට නැඟෙන චෝදනාවක් තමයි කල් යෑමේදී ආදරය ඒකාකාරී වීම හා නීරසවීම කියන එක. මුලින් තිබුණු ආදරය කලක් අවෑමෙන් ක්ෂය වී යන බව පැවැසීම. මෙය සමාජ විද්‍යාත්මක කාරණයක්. මේ ගැන වෙනමම දවසක් කථා කරන්න කරුණු තියෙනවා. 

ආදරයට ශුංගාරය ඇතුළත්ද? මගේ ආදරයට නම් ඇතුළත්. අපි මේ ශුංගාරය කියන වචනෙම පටලවගෙන ඉන්නේ. ශුංගාරය කියන්නේ කාමරයකට ගිහිල්ලා දොර වහගෙන ලිංගිකව එක්වෙන එකටම නොවේ. ස්පර්ශයෙන් පටන්ගෙන සිප වැලඳ ගැනීම් පවා ශුංගාරයට ඇතුළත්. ඇය හෝ ඔහු දැකීම ඇසීමද මෙහි කොටස් ලෙස හඳුන්වන්න පුළුවන්. ආදරයට ශුංගාරය අවශ්‍ය ප්‍රමාණය ලකුණු කරගත යුත්තේ අදාළ ප්‍රේමවන්තයන්. සීමා-මායිම් ලකුණු කරගත යුත්තේද ඔවුන්. 

ආදරය කියන්නේ මොන වගේ අත්දැකීමකටද? ආදරය කියන්නේ මරණය වගේ අත්දැකීමක්. කවරදාකවත් විග්‍රහ කළ නොහැකි අත්දැකීමක්. එය එසේ වෙන්නේ මරණීය අත්දැකීම විඳි කෙනකු නැවත ජීවත් නොවන නිසා. ආදරයට එය සමාන වෙන්නේ, ආදරණීය අත්දැකීමක් විඳි කෙනකුට හිතෙනවා එය ප්‍රමාණවත් නෑ අසම්පූර්ණයි කියලා. ඔහු මේ අසම්පූර්ණ අත්දැකීම සම්පූර්ණ කර ගන්න සියලු ප්‍රයෝග උපයෝගී කර ගන්නවා. මේ හරහා ආදරයට විකාශනික ගුණයක් එකතු වෙනවා. එය ආදරයේ චමත්කාරය ලෙසත් හඳුන්වන්න පුළුවන්.

පෝරුවට පෙර යහනට සංකල්පය ලංකාවට ගැළපෙනවද? කුරුණෑගලට, ගම්පහට, මාතරට සෙනසුරාදා ඉරිදා දවස්වල ගියොත් ලංකාවට ගැළපෙනවද නැද්ද කියලා හොයා ගන්න පුළුවන්. ගම්පහ විතරක් සතියකට උසස් පෙළ පෙම්වතුන් හතළිස්දහසක් පමණ පෙම් සුව විඳින්නේ ලැගුම්හල්වල කියලා සමීක්ෂණවලින් හෙළි වෙලා තියෙනවා. අපේ සංස්කෘතියට අනුව මෙය බරපතළ තත්ත්වයක්. ඒත් මේ මොහොතෙත් අපි කලින් කතා කරපු දේ සිදු වෙනවා. අපේ සංස්කෘතිය හරියට දැලක් වගේ. අපි හැමෝම ඒ දැලට අහුවෙලා ඉන්නේ. දැල කඩාගෙන යන්න ගියොත් අවදානයට ලක් වන ප්‍රමාණය වැඩියි. ඉතින් බොහෝ දෙනෙක් කරන්නේ දැලේ හිල් අතරින් රිංගලා ගිහිල්ලා අවශ්‍ය දේ ඉටු වුණාම ආපසු දැල ඇතුළට යන එක. කොහොමත් ළඟදීම ලොකු සංස්කෘතික විපර්යාසයක් සිදුවේවි. හැබැයි ඒක හෙට වෙන්නත් පුළුවන් තව අවුරුදු 10කින් වෙන්නත් පුළුවන්. එතකන් අපි බලන් ඉමු. 

ලිවින් ටු ගෙදර් විවාහයට පෙර එකට ජීවත් වීම සමාජගත වීගෙන එනවා. ඒ ගැන මොකද හිතෙන්නේ? දැන් නොවේ මේවා රජ කාලේ ඉඳන් තිබුණු ඒවා නමුත් අපි ලිවින් ටු ගෙදර් කියන වචනේ භාවිත කරන්නේ 90 දශකයෙන් පස්සේ. අපේ රාමුව ඇතුළේ මෙය වැරැද්දක්. උත්තරාරෝපිත අදහස ඇති අයෙකුට මෙහි ඇති ඇතැම් කාරණා යහපත් ලෙස පෙනෙන්නත් පුළුවන්. නමුත් මේ සමාජ ක්‍රමය තුළ අද අසම්මත යැයි හන්වඩු ගැහෙන දෙය හෙට සම්මත යැයි පූජාසනයේ තියෙනවා. හැබැයි පෞද්ගලිකව මම හිතනවා දික්කසාදයටත් දුක් කසාදයටත් යම් තරමකින් හෝ පිළිතුර මේ හරහා හොයා ගන්න පුළුවන් කියලා. 

ඔබ ආදරයට ආදරයේ සංස්කෘතියට නිගරු කරනවා. අපහාස කරනවා කියලා මම කිවුවොත්? ඔබට සාපේක්ෂව එහෙම වෙන්න පුළුවන්. මම මුලදී කිවුවා වගේ ආදරේ කියන්නේ ස්වාධීන මනෝභාවයක්. පොදු ක්‍රමයක් හෝ පොදු මතයක් නෑ ආදරේ කරන්න. මගේ මතය පොදු කරන වුවමනාවකුත් නෑ. හැබැයි ඒ වුණාට බොරු සර්ව පිත්තල මත විනාශ කිරීමේ අරමුණක් තියෙනවා. මේ 2014 වුණාට අපි තාම ඉන්නේ 1983. පරම්පරාවක හිඩැසක් තියෙනවා. ඒ හිඩැස පුරවන්න පුළුවන් උත්සාහයක් ගන්නවා. ඔබේ ඔය චෝදනාව මට පුළුවන් නැවත ඔබටම එල්ල කරන්න. මම හිතන් හිටියට වැඩිය මල්ලි ගාව වචන ගොඩක් තියෙනවා. ඇත්ත, අපි පරම්පරාවක් අහිමි වුණ ජාතියක්. ඒ හිඩැස පුරවන්න අලුත් මතවාද අවශ්‍ය වෙනවා. තාරුණ්‍යයේ සිතිවිලි නියඟය අවසන් කරන්න වෙනවා. චින්තන දරිද්‍රතාවකින් පෙළුණු අයට සෑම විෂයක් සම්බන්ධවම කථිකාවතක් ගොඩනැඟීමේ දරුණු ගණයේ වුවමනාවක් තියෙනවා. 

සුපුන් රත්නායක 
උපුටා ගැනීම මව්බිම